
කුසුම් පිපී තුරු මතේ – ජයමහ සරළ ගී මිණිදමයෙන්
සෝමතිලක ජයමහ – දිදුලණ සරළ ගී මිණිදාමයේ අසිරි සිරිය
ප්‍රවිණ ශිල්පී සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගණනින් සිමීත එහෙත් ගුණාත්මකභාවයෙන් අපරිමිත නිර්මාණ අතරින් රසික සිත් ආලෝලනය කළ එදා ඇසුණු ගීයකට පාදක වූ පසුබිම් කථාව ඔහු මෙසේ හෙළිදරව් කරන්නට යෙදිනි
මේ කථාවකට පසුබිම් වූ සිද්ධි දාමය අදින් වසර 47 ට පෙර එනම් 1969 වසර තෙක් දිවයයි එවකට මා ගුවන් විදුලියේ යොවුන් ආධුනික ශිල්පියෙකු ලෙස සේවයේ යෙදිමින් සිටිය යුගයයි
සති අන්තයේ නිවාඩුව අපේ ගම් පියස වූ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් කුළියාපිටිය ප්‍රදේශයේ ගතකිරීම මගේ පුරුද්දයි
විදුලි බලය ලැබී නොතිබුනු වර්තමානයේ මෙන් නාගරිකරණයට හසු නොවුනු සුන්දර ගම් පියසක් වූ එහි සැන්දැ යාමයන් එකම රස ගුලාවකි
ඒ මන්ද යත් ඩෝල්කි සර්පිනා රැගත් කොලු ගැටවුන් අපේ නිවසට රොක්‌වී මා සමග ගීත ගායනයට හවුල් වීම පුරුද්දක් කරගෙන තිබිම නිසයි
අප ගම් පියසට අසන්නව ඔවුන් අකුරු කෙරෑ කුලියාපිටිය නක්‌කාවත්ත මැදි මහ විදුහල පිහිටා තිබිණි
එහි එවකට සංගීත විෂය ඉගැන්වූයේ අප ප්‍රදේශයේ ගොමුගොමුව නමින් හැඳින්වූ ගමිපියසේ වැසියෙකු වූ ජොර්ජ් පල්ලෙවත්ත ගුරු මහතායි

ඔහු එකී සිසු දරුවන්ට සෞන්දර්ය විෂයානුබද්ධව ගායනා කිරීම සඳහා මෙකී මනරම් ගීතය පබඳා තනුවක් යොදා නිර්මාණය කර තිබිනි
සංගීත සාජ්ජය වඩාත් හරබර වූයේ පල්ලෙවත්ත මහතාගේ මෙකී ගීතය ද එහි නිතර වැයුණු නිසාවෙනි
එහි ආ සුන්දර යෙදුම් මෙන්ම සොබාදහම් වැණුම් පිනිස යොදාගත් සරල පද සංකල්පනාව මා සිත් ආලෝලනය කරනු ලැබ තිබීණි
ඒ නිසා එය සරළ ගීයක් ලෙස වැඩිදියුණු කරවා ජනගත කරන්නට තරම් වටිනා නිර්මාණකැයි යන්න මට හැගී ගියේ වරක් දෙවරක් නොවේ
ඒ අනුව ඔහු හමුවි මේ පිළිබදව කථාබස් කිරීමට විජේසිංහ නම් වැඩිහිටි සිසු දරුවා ලවා පාසලට පණිවුඩයක් යවන ලදී
නිසි අවසරය පතා විමසන ලදින්
එකහෙළාම තම කැමැත්ත දුන්නේ ගීයේ තනුව හා සංගීතය සරළ ගීයකට වඩාත් ගැලපෙන ලෙස යළි සකස්‌කරවාදීමෙනි
මාගේ මුල්ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන පටිගත කෙරුණු 1969 වසරේ අගභාගයේදී මේ ගීය ද ඊට අමතරව මා විසින්ම පබඳා තනුව යෙදූ සැඳෑ අඳුර ලොව ගලන වේලාවට නම් ගීතයද පටිගත කරන්නට යෙදිනි
සරළ ගීයකට සරිලන ලෙස විනාඩි 05 ක කාලයකට ගැළපෙන ලෙස එහි ඇතැම් පද ඉවත් කරන්නට සිදුවුයේ අකමැත්තෙනි මක්‌නිසාද යත් ඒවා ද මුල්ගීයට ඇතුළත් වූ පදරටාවට නොදෙවෙනි සුන්දර යෙදුම් නිසාවෙනි
ඒ අතර
බන්ඩි ගොයම නැමි නැමී
ගමටම ආසිරි පැතී
ගැමි දැරියක් නොකිළිටී
රුව ගෙන පෑවේ මධුර වසන්තේ
යන පද කොටස ද ඇතුළත් වූ බව සඳහන් කළ යුතුය
තවද මේ ගීයේ පද සංකල්පනාවෙන් කියෑවෙන පරිසරය එවකට එකී පාසල් බිමේ සැබැවින්ම විද්‍යාමාන වූ බව කිව යුතුය
අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධුරස ගී ගය ගයා – අමරස වින්දේ
එහි පැවතුනු මි අඹ ගස් සිහිගන්වයි
රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
පාසල අසලින් ගලාගිය දිය දහරාවද එහි අද්දර වැවී තිබුණු ගස්‌පෙළින් වැටෙන මල්රේණු ඒ මත පතිතවන ආකාරය චිත්‍රණය කරයි
ගම්මානය කෙළවරේ – පන්සල් බිම බෝරුකේ
සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ
ගමේ විහාරස්ථානයේ දී රචකයා ඇසු දුටු දෑ ගෙනහැර දක්වයි
මේ නිර්මාණයේ හිමිකරුවාණෝ එනම් ජෝර්ජ් පල්ලෙවත්ත ගුරු පියාණන් පසුව හොරණ ශ්‍රීපාලියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර මින් දස වසරකට මත්තෙන් දිවියෙන් සමුගෙන ගිය බව දැනගන්නට ලැබිණි
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දසඅතේ
කෝකිල කූජනය නැගේ
ලියගොමු අතරේ
මධුර වසන්තේ
රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ
ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ
අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ
පද සංකල්පනාව තනුව හා සංගීත නිර්මාණය – නැසිගිය ජොර්ජ් පල්ලෙවත්ත
ගායනය – සෝමතිලක ජයමහ
වසර – 1969
(ස්තුති පූර්වකව කෘතඥතාව – ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතා වෙතට)
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…