• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

prabath-rajasooriya

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

May 15, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 02

ගුවන් විදුලි සරළ ගීයෙන් ඔබ්බට සිය ප‍්‍රතිභාව මෙහෙයවන්නට අසමත් ව මිළිණව සැගව ගිය ගායන ශිල්පීන් අතර ’ජේ ඒ ධර්මරත්න’ නම් වූ නාමය ද සටහන් වේ. ඔහු එදවස 70 දශකයේ ගැයු ගී අතර අදද එදා ශ‍්‍රාවක දනන් සිත් පැහැර ගත් නාද රටාවක් පෙළගැස්වූයේ ’රොක්සාමි’ විසිනි.

කඩන්න බැරි මල් පිපුණට  නැහැ ළතවෙන්නේ ………..

දිගු දෑතක පහස ලබා පෙති සැඵනාවේ …………..

(ඩබ්ලිව් විල්ෆ‍්‍රඩ් සිල්වා )

 

මිල්ටන් මල්ලවාරච්චි නමින් පිබිඳි විකසිත වෙමින් පැවති ගායන පෞරුෂය වෙනුවෙන් නොපැකිළිව අත හිත දුන් ඔහු මිල්ටන් නමින් එළිදුටු වෙළඳ ගී තැටියක් උදෙස මියැසි වෙණ නද මැව්වේය.

පායා ආ සඳ අඳුරු වළාවෙන් ………….

මා ඉදිරියෙදිම වැසුනා ……………..

සෝකය තාපය පාඵව අතරේ ………….

ඉකිබිඳ හැඩුවා ඇසුනා …………………..

(කරුණාරත්න අබේසේකර)

ගමනේ ගිම්නිවු එදා ………..

සැනසුම් පවන් සළා …………..

ඔබ මා දවයි දිවා ? ………….

හද සෝ සුසුම් හෙළා …………

(කරුණාරත්න අබේසේකර)

මිල්ටන් ගුවන් විදුලි සරළ ගීතාවලිය ශ‍්‍රාවක දෙසවන් පිනවනු වස් මතු වූයේ 70 දශකයේ මුල් යුගයේදීය. එහිදී ’රොක්සාමි සංගීතවේදියා’ මතුකළ රසොඝයයි මේ.

මධුමල ලෙස මුදු මගේ ප‍්‍රියාදර මිහිරාවිය වෙතටයි………….

ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි………………..

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති හැම දේ……….

පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි……

(කරුණාරත්න අබේසේකර)

https://youtu.be/fMEWXhY2E0U

70 දශකයේ ඉතා තරගකාරීව පැවතී ගීත කලා ක්‍ෂේත‍්‍රයේ දී යම්කිසි අධුනික ගායන ශිල්පියෙකු හට මතුවි සිය නාමය ශ‍්‍රාවක හදවත් හී නිත්‍යව ලැගුම් ගන්වන්නට තරම් අවස්ථාවක් ලැබීම අසිරිමත් සිදුවිමකි. ’විජේසිරිවර්ධන පොළොන්නෝවිට’ නමින් වු ඔහු ලංකා ගුවන් විදුලිය තුලින් විකසිත වූ මුල්ම ගීතය, වෙනුවෙන් සංගීත සංයෝජනයෙන් සහය වූයේ ’රොක්සාමි සංගීතවේදියාණන්ය. ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් ප‍්‍රවිණයාගේ නැවුම් අදහසක් රැගත් ගී පදවැලක් හිමිකරගන්නට එදා ඔහු වරම් ලද්දේය.

’උණ පඳුරක මල් පිපිලා……………’

’ඔබේ පෙමත් ඒ වාගේ…………….’

’මලක් පිපි පෙති හැළිලා …………’

’ඔබේ පෙමත් ඒ වාගේ ……………..’

(තනුව  ගායකයා සතුබව කියැවේ)

එකී දශකයේ උදාව සමගින් ’ගුවන් විදුලිය’ ඔස්සේ මතුවෙමින් පැවති යොවුන් ගායක ගායිකාවන් අතර ප‍්‍රමුඛයා ’ප‍්‍රියා සූරියසේන’ ලෙස හඳුන්වාදීම අසාධාරණ නොවනු ඇත. මක් නිසාද යත් එදා ඔහු ගැයු ගීත අතගැලි ගණනකට අඩු සංඛ්‍යාවක් හැරුනුවිට අන් සියඵ ගී නොමද ශ‍්‍රාවක අවධානයටත් ඇගයීමටත් ලක් වු බැවිනි. ඒ අතරින් ’ප‍්‍රියා සුරියසේන’ නම් වු අති දක්‍ෂ තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා අතරින් ද ’රොක්සාමී’ නිර්මාණයක් හමු වෙි.

සරතැස නිවා ……….

දිවි කතරේ ……..

ඔබ හමුවුනා මට සොඳුරේ…………

දිය ගලනා උල්පත් මවා මවා…..

(පේ‍්‍රමකීර්ති ද අල්විස් පබැඳුම)

’වෙළඳ තැටි’ නිපැයුම්කරුවන්ගේ ඒකායන අරමුණ ’අලෙවි වාර්තා පිහිටුවා ඇල්බමය විකිණිමයි’ යන ආදර්ශ පාඨය මනාසේ දැන හැඳිනගත් ’රොක්සාමි’ ඒ අරමුණ නිසි ලෙස සපුරාගන්නට හැකි වන සේ සිය නිර්මාණ කෞෂල්‍යය මෙහෙයවීමට වග බලා ගත්තේය.

බටහිර තුර්ය නාද සහ වේගරිද්මය ඊට නිසි පමණින් නිසිකලට මුසුකලේය. ’ෆීලික්ස් ඇන්ටන්’ නම් ගුවන් විදුලි ශිල්පියා ගේ නමින් ඇසුණු ගි අතර පෙරමුණගත් මේ නිර්මාණය සළකනු වටී.

නෙත පිනන රුසිරු වත ඔබේ…………….

සිත එකගකරන සිත ඔබේ…………..

රන් දිමුතු මුතුද ලග තිබේ…………

මගේ සියඵ දෙයම මතු ඔබේ…………..

(පේ‍්‍රමකිර්ති ද අල්විස්)

මෙසේ 70 දශකයේ මධ්‍ය භාගයට එළඹෙද්දී ගී ශ‍්‍රාවක උන්මාදය ද උච්චස්ථානයට එළඹෙයේය. ගුවන් විදුලියේ අසීරූ මාවත මගහරිමින් ගීත ලොවට පිවිසෙන්නට වරම් පෑතූ නව ගායක ගායිකාවන් වෙළඳ තැටි ව්‍යාපාරිකයන්ගේ සරණ පැතුහ. ’මරියසෙල් ගුණතිලක’ නම් වූ යෞවනිය පැතුම් පිරූවේ ’වේගරිද්මයේ ශ‍්‍රාවකයන් මුසපත් කරන්නටය’. ’රොක්සාමි’ සංගීතවේදියා එය මනාව අවබෝධකරගත්තේය. ප‍්‍රබුද්ධ ගී රසය නොරිසි ශ‍්‍රාවක සමාජය පවා ’යුග යුග යළි යළි රස මිහිරෙන් මන්මත් වන’ තනු නාදරටා ඔහු සතුව නොමදව තිබිනි.  අරුත්සුන් වදන් ඇතුළත් නියමාකාර ’ගී පදමාලාවක්’ නම් යම් කිසිවක් ඇතුළත් නොවු ගීයක් ගායනා කරමින් ඇය එකරැයින් රසිකයන් අතර නමරැන්දූවේ ’රොක්සාමී’ සංගීතවේදියාගේ අපුර්ව රිද්ම රටාවේ බලමහිමයෙනි.

මතු සම්බන්ධයි……..

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

May 1, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

 එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 01

හින්දි සිනමා ගීත මාධූර්යය නොපරදින්නට සිංහල සිනමා ගීත රසය දියුණු තියුණු කරන ලද්දාවූ ලාංකීය සිංහල සංගීතඥ බලමුඵව නියම ලෙස පෙළ ගැසෙන ලද්දේ 70 දශකයේ මුලාරම්භයේ සිට බව පෙනියයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සිය නිර්මාණ නිම්වළලු පුඵල් කරද්දී  ආචාර්ය වික්ටර් රත්නායක සහ සරත් දසනායක ඊට නවකයන් ලෙස සම්බන්ධ විය.

60 දශකයේදී පන්ඩිත් අමරදේවයන් ඊට දයක වෙද්දී දක්‍ෂිණ භාරතීය දේශවාසී පසුව ලාංකීක පුරවැසි බව ලද රාමයියා මුත්තුසාමි සිනමාවේදීන්ගේ ප‍්‍රියතමයා ද ලංකීය ද‍්‍රවිඩ සංගීතඥ එම් කේ රොක්සාමි ජනප‍්‍රසාදයෙන් දෙවැන්නාද වු බව කියැවේ.

Sarath Dasanayake
Shelton Premarathne
Shelton Premarathne
M.K.Rocksamy

50 දශකයේදී ’සැක්සෆෝනය’ අතදරමින් ගී රාව ප‍්‍රතිරාව නැංවූ ’රොක්සාමි’ අතිවිශීෂ්ඨ වයලීන් වාදන ශූරයෙකු බව රසිකයන්ද සෙසු ශිල්පීන්ද හොඳින් දැන හැඳින සිටියේය.

හින්දී සිනමා ගී තනු අනුකරණය කරන ලෙස දන්වනු ලැබූ අවස්ථා ගණනාවක් හැරෙන්නට ග‍්‍රහනය ලිහිල් වූ සැමවිටම ඔහු කර්ණරසායන ස්වාධීන නව ගී තනු ද සංගීත සංයෝජනයන්ද සිය සිනමා සංගීත නිර්මාණ උදෙසා එක්කරනු ලැබිය.

ඉන්දීය ජාතික සිනමාවේදී ’එම් මස්තාන්’ විසින් අදියුරු භූමිකාව හොබවනු ලැබූ ’ධීවරයෝ’ 1964 වසර වර්ණවත් කලේය. එහි ගීත පොකුර ’රොක්සාමී’ නම් වූ ගාන්ධර්වයාගේ නිර්මාණ බලමහිමය මනාලෙස ප‍්‍රකට කළේය.

 

සතුට සෝකේ ජය පරාදේ  – ලතා වල්පොළ

සාමය සමගිය පතුරාලා  – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

නිලට නිලේ විහිදී යයි අමර දසන්තේ – ලතා වල්පොළ සහ ධර්මදාස වල්පොළ

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

ආගාධ සාගරයේ ඈත දියේ බිළි බෑවි – ජේ ඒ මිල්ටන් පෙරේරා

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

රෑ බෝ වී යයි – මිල්ටන් පෙරේරා සහ හරූන් ලන්ත්රා

සමග ගී තනු අනුකරණය කරන ලද

මාලිගාවේ මහ රැජිනී  – සුජාතා අත්තනායක

හොඳම ගීතය ලෙස සරසවි සම්මානයෙන් පුද ලද ඔහුගේ රසාලිප්ත ස්වත‍්‍රන්ත‍්‍ර තනුවකින් සුසැදි ගීතයක් කලඑළි දුටුවේ 1967 වසරේ තිරයේ ඇඳි ’මහ රෑ හමුවූ ස්ති‍්‍රය’ සිනමා සලරුවෙනි. යාපන වැසි ’කේ වෙන්කටසාලවන්’ සහ ’රොක්සාමී’ නම් වු ඔවුන් ඉස්ලාම් භක්තික ’මොහිදීන් බෙග්’ ද සමගින් සිය සහෝදර සිහල රසිකයන් වෙනුවෙන් අත්වැල් පටලා ගත් කුඵඳුල් නිර්මාණයයි ඒ.

සරවන බව කඳසුරිඳුගේ තෙදබලේ …………….

පවසන තුරුලිය පොබකල මදනළේ …………………….

(ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකර)

මෙතැනට එළඹෙද්දී සංගීත අධ්‍යක්‍ෂනය ’එම් කේ රොක්සාමි’ නාමය යටතේ සිනමා නිර්මාණ පෙළක මතකයේ නිදන් වූ ගීත රැසක් ශ‍්‍රාවකයන් පිනවමින් තිබිනි.

හිනා වෙන්නේ ඇයි මේ  – ප‍්‍රමාදය හින්දයි මේ – සංසාරේ 1962 (ජෝති සහ චන්ද‍්‍රා ද සිල්වා)

සඳුන් ගසේ සමන් වැලක් පිපෙන්නේ  – අදට වැඩිය හෙට හොඳයි – 1963 (මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට)

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ලතා වල්පොළ) – සංගීත සංයෝජනය 

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ඉන්ද‍්‍රානි විජේබන්ඩාර) – – සංගීත සංයෝජනය 

දිය රැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ – සුහද සොහොයුරෝ – 1964 (ෆ්‍රෙඩී සිල්වා – පුෂ්පරාණි ආරියරත්න)

මැණීකක් රකිනා නා රජිඳෙකු සේ – චන්ඩාලි – 1964 (මොහිදීන් බෙග් – ජී එස් බි රාණි පෙරේරා)

සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා – සැකය – 1965 (සුජාතා අත්තනායක)

විණාවේ සත්සර නාදේ ඔබ පිරිමදිනා තාලෙට – සැකය – (හරූන් ලන්ත‍්‍රා සහ සුජාතා)

එයින් කිහිපයකි.

’රොක්’ අයියා නමින් කලාලොව සහෘද මිතුරු කළ විසින් අමතනු ලැබූ ඔහුගේ ගී සත්සර රටා යෝධ සෙවණැල්ල එතැන් සිට ඉදිරියට දුරින් දුරට ඈත කොණ දක්වා පැතිර ගියේය.

නිදහස් කාහළ නාදය රැව්දේ හෙළදිව අඹර පුරා…….සිගිති සුරතල් – 1968 (මිල්ටන් පෙරේරා)

කොමළ පපා මුකුඵ පපා අපේ ලගට එන්නකෝ…….  ඔහොම හොඳඳ – 1970 (ඇන්ටන් ජෝන්ස් ඇතුඵ පිරිස)

හදමල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා………….රන්රස – 1967 (හරූන් ලන්ත‍්‍රා)

ඔබේ මව්බිම සිංහලයි ඔබේ මව්බස සිංහලයි…..සූරයන්ගෙත් සූරයා – 1969 (සුජාතා අත්තනායක)

රජකම් කෙරුවත් කළකම් පළදේ…………ඔහොම හොඳද – 1970 (ජෝති)

මල්කැකුළි ගෝමරී මනාලී මල් ගොමුවේ..සිරිල් මල්ලී – 1974 (ජෝති)

ඔබගේ රුව මාගේමයි සසරේ මල් පීදීමයි…. හරිම බඩු තුනක් – 1976 (එම් එස් ප‍්‍රනාන්දු සමග රංජනී පෙරේරා)

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා….නීලා – 1977 (ලතා වල්පොළ සහ සූජාතා අත්තනායක වෙන් වෙන්ව)

සීතල රටේ මීදුම වැටේ …..සකුන්තලා – 1977 (සූජාතා අත්තනායක)

කුංකුම රත අංගරාජ ….දෙවියනි ඔබ කොහිද 1977 (පන්ඩිත් අමරදේව) – සංගීත සංයෝජනය  පමණයි (තනුව අමරදේවයන් සතුයි)

ආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී – දෙවියනි ඔබ කොහිද – 1977 – (සුජාතා අත්තනායක සහ වික්ටර් රත්නායක)

සුමියුරු ස්වත‍්‍රන්ත‍්‍ර තනු නිර්මාපකයෙකු මෙන්ම සංගීත සංයෝජයෙකු වූ ඔහුගේ එකී ප‍්‍රතිභාව නිසිලෙස ක‍්‍රියාවේ යොදවන්නට මේ වකවානුවේ අතිබහුතර සිනමාකරුවන් සහ මුල්‍ය දායකත්වය දැක්වූ අර්ථපතියන් ඉඩදුන්නේ නැත. ඔහු ප‍්‍රතිනිර්මාණය කළ ’අනුකාරක’ ගීත ගොන්න අතිමහත් විය. ඒවා ද සිනමා ලෝලී දනන් තුඩ තුඩා රැව් පිළීරැව් දුන්නේය.

නිලූකා මන් ආදරේයි කුසුම් සරයි ……………..නිලුකා – 1977 (ජෝති)

චිං චිං නෝනා චිං චිං කංකං බූරු කංකං…චිං චිං නෝනා 1977 (ජෝති සහ ෆ්‍රෙඩී සිල්වා ඇතුඵ පිරිස)

හෘර්දේ රස මාලිගේ ප‍්‍රිති දේ මා හදේ………සකුන්තලා 1977 (සූජාතා අත්තනායක)

සුදුපාට මිදුම් ගලාලා…එදත් සුරයා අදත් සූරයා – 1974 (ජෝති සහ ඇන්ජලීන්)

රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා…කව්ද රාජා – 1976 (ජෝති)

දිනේ ලංකා මගේ ලංකා සදාකාලේ සිනා නංගා – කව්ද රජා – 1976 (ඇන්ජලීන් ගුණතිලක සහ ෆ්‍රෙඩී සිල්වා)

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ – කව්ද රජා – 1976 (ජෝති)

මල්වැහි සීතල මල් වැස්සේ – හොඳට හොඳයි – 1975 (ජෝති සහ ඇන්ජලීන්)

මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා…එදත් සූරයා අදත් සූරයා (ලතා වල්පොළ)

ඒ අතරින් අල්පයකි

 

තම කිරිකැටි බිළිඳා තුරුඵ කරගත් මවක් සේ ’වයලීනය’ තුරුඵ කරගත් ඔහු නිරතුරු එසේ ගැවසුනේ ’චිත‍්‍රාගාරයට’ වඩා ’ලංකා ගුවන් විදුලි පටිගතකිරීමේ මැදිරි’ තුලය. එහි බොහෝ වාර ගණනකදී ඔහු පන්ඩිත් අමරදේව,සෝමදාස ඇල්විටිගල, ඩී ආර් පීරිස්, වික්ටර් දඵගම, වික්ටර් රත්නායක,පී එල් ඒ සෝමපාල, සෝමතිලක ජයමහ, තිලකසිරි ප‍්‍රනාන්දු,බී වික්ටර් පෙරේරා, දයාරත්න රණතුංග,ඩී ඩී ඩැනී,සෝමපාල රත්නායක,පේ‍්‍රමදාස අතුකෝරාළ, පියදාස අතුකෝරාළ, පේ‍්‍රමදාස මුදුන්කොටුව,පැට‍්‍රික් දෙණිපිටිය,සී ඩී ෆොන්සේකා, නන්දා මාලිනී, සරත් බාලසූරිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්  ආදී මෙකී නොකී ගාන්ධර්වයන් රැසකගේ ගී තනු ගී වාද්‍ය ඛන්ඩ ප‍්‍රස්ථාර ලිපි සිය වයලීනයෙන් පණගැන්වීය. ඒ සිය හදවතින් මතු වී පැන නැගී ගී මියැසි නාද රටාවන්ට අමතරවය.

බුදු සාමිනේ සිරිපා පියුම් කරමි බැති පිණි පා………………….

ගුණෙනි සොමි සෙත පෑමෙනි කරුණා සුවේ සතපා …………….

(කරුණාරත්න අබේසේකර) ගැයුම – ඉන්ද‍්‍රානි සේනාරත්න විජයබන්ඩාර

(විශේෂ ස්තුතිය – ඉන්ද‍්‍රානී රොක්සාමී මහත්මිය වෙතට)

—————————–(මතු සබැඳේ)————————————-

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

කියවන්න එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2  –>

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සී ටී ගීත – CT Song Collection

April 17, 2022 by shamilka
C.T. Fernando, Prabath Rajasooriya

මිණිකිකිණි රාව ප‍්‍රතිරාව නැංවු ’සී ටී’ ස්වර්ණ ගී නාදය…………..(1949-1977)

සී ටී ප‍්‍රනාන්දු ලෙසින් වත්මනෙහි තෙවන සංගීත ලෝලී පරපුරක් විසින් දැන හැඳිනගත් ඔහු ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දු’ ය. ලාංකීය ගීත කලාව පොබයූ කැපී පෙනෙන ශිල්පීන් රැසක් බිහිකල ’මොරටු’ පුරවරයේ කඩලාන වැසියෙකු වු ඔහු අකුරු කලේ ඉන් සැතපුම් සිය ගණනකට දුරින් පිහිටි කන්ද උඩරට නාවලපිටිය ශාන්ත මේරී විදුහලේය.

මිහිරි කොවුල් නද බඳුවන් අසමසම ’සි ටී’ හඞ යම්තමින් හෝ අනුකරණය කරන්නට සමත් වූ කිසිවෙකු එදාමෙදා තුර ගී ලොවේ පහළ වූ බවක් නොදන්නේය. ඒ කුසලතාවය බිඳකින් හෝ උරුමකර ගත්තේ ඔහුගේ එකම පුත‍්‍ර රත්නය වූ ’ප‍්‍රියන්ත’ පමනි.

Priyantha Fernando
Priyantha Fernando

පසුගිය දුරුතු මසින් විසිඅටවෙනිදින දාතමින් ලාංකික ගීත ලෝලීන් ඔහුගේ ජන්ම ශත සංවත්සරය අනුස්මරණය කරන්නට යෙදිනි.

ළමා වියේ සිට ඉංග‍්‍රිසි බසින් සුරුවිරුකම් පාන්නට සමත් වු ඔහු ඒ බසෙහි ගායන,නාට්‍ය,රචනා තරග වලින් දස්කම් පාමින් සම්මානනයට පාත‍්‍ර විය.

1946 වසරේදී ලාංකීය ගීත කලා පුෂ්පකරණිය සදා සුවඳින් නහවන්නට ’ලංකා ගුවන් විදුලියේ’ අශීර්වාද ලබමින් සුපිපි කුසුම් ද්විත්වය ට ’සිරිල් ටියුඩර්’ ද අයත් විය. අනෙකා ’සුනිල් සාන්තය’.

Sunil Shantha
Sunil Shantha

ඒ සමයේදී පටන් සත් දශකයක් පුරාවටම පරම්පරා දෙකක ළමා ළපැටියන් ගේ සවන් පිනවාලූ සිහින් හඞින් ගැයෙන ආයචනාත්මක යුග ගීයකින් ඔහු ’කුරුඵ’ පියෙකු වී සිය දරුවන් හා ආයාසයෙන් තනාගත් ’නිවස’ රැුක දෙන මෙන් ගැයුවේය. පාඨශාලාචාර්ය ’ආර් එන් එච් පෙරේරා’ එහි ගී පද වැල් ලියා දුන්නේය.

පින් සිදු වෙන්නේ ……………

අනේ බාල ළමුන්නේ ……….

මගේ කුඩා නිවස කඩා …………

බිම නොදමන්නේ …………...
————————————

ගී පද – නැසිගිය ආර් එන් එච් පෙරේරා ශූරීන් ගෙනි

සහය ගායිකාව – සුරියරාණී (එව්ලින් බාලසූරිය)
———————————————-

එකී යුගයේ ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තරව පරසිඳු තැටි ලේබලයේ ලාංකිය නියෝජිතායතනය ’කාර්ගිල්ස්’ (වර්තමාන කාර්ගිල්ස් නොවේ* මෙකී කෝකිළ කූජනය සිය නිෂ්පාදනයන්ගෙන් හැඩවැඩ කරන්නට ඉදිරිපත් විය.

එවකට හින්දුස්ථානි සංගීත ආර අනුව ගැයුනු ’සිංහල’ ගී ප‍්‍රියනොකළ රසිකයන් ලක් ඉතිහාසයේ මුල්වරට ’සිංහලෙන්’ ඉංග‍්‍රිසි ගීත ගයන මෙකි අපුර්ව ගායකයා දෝතබදා වැළඳගන්නා බව ඔවූහු සිය ශූර ව්‍යාපාරික ඥානයෙන් අවබෝධකරත්තේය.

’සුවඳ රෝස මල් නෙළා මාල ගොතාලා ගෙලේ දමා ඉනේ ඔතා ………………….’

’බරබාගේ දුටුවේ සිහිවේ පෙරකාලේ …………..’

’අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ……………’ (ඒ යුගයේ ’සඳ’ ලක්දරුවන් හඳුනාගත් සංඥා නාමය)

’අඹරුක් සෙවනැල්ලේ මේ රන් ඔන්චිල්ලේ ………….’

’බිළීඳා නැළවේ උකුලේ ……………….’

’ලෝ අඩ නින්දේ මේ රැයාමේ සඳරැස් වතුරේ ……………’

එයින් නිපන් අමරණිය ගීතාවලියෙන් අංශූ මාත‍්‍රයකි.

අරුමයකි….. දශකයක් ගෙවී ගොස් 60 දශකය එළඹෙද්දී ඔහු ලක්දිව අසමසම විශීෂ්ඨතම ’ගායකයා’ විය. එය එසේ විය යුතුව තිබිනි. මක් නිසාද යත් ඔහු තමන් නිරතව සිටින කාර්යයේ ස්වභාවය මනාව අවබෝධ කර දැන හැඳින සිටි බව නිසා විය හැකිය. ඉහත ද මින් පසුවද සටහන් කෙරෙන ’සි ටී’ ගී පදවැල් හි මධුරතර ’තනු’ නිර්මාණ ඔහුගේමය. සංගීත වාදන සංයෝජනයන් උදෙසා ලක්දිව අති විශීෂ්ඨ ’හවායන් ගිටාර්’ වාදකයා වු නැසිගිය ’පැට‍්‍රික් දෙණිපිටිය’ ගේ අතහිත ලැබිනි.

60 දශකයේදී එක්තරා අවධියක, බී බි සී – සංදේශය වැඩසටහන ලන්ඩනයේ සිට මෙහෙයවූ ආචාර්ය සුනන්ද‍්‍ර මහේන්ද‍්‍ර ඔවුන් දෙදෙනා ඒ දේශයට කැඳවා ප‍්‍රසංග පවත්වාගන්නට සමත් විය. පසුව ලක් ඉතිහාසයේ මුල්වරට එදවස පැවති නවිනතම තක්‍ෂණය අනුව ’ස්ටිරියෝ’ ක‍්‍රමයට ලන්ඩනයේදී ’ඊ පී තැටිය’ ක් නිකුත්කරවාගන්නට සමත් වු ප‍්‍රථමයා ද ’සි ටී’ ය.

’ලුවිස් බ‍්‍රවුන්’ තැටි සමාගම ද ’සි ටී රන් හඞ’ රසිකයන් අතරට ගෙනගිය වාහකයන් අතර විය. ’නිදහස් සමරු උත්සවයන්හිදී මතු මතුද යුග යුග වාදනය කරනු ඇතැයි හැගෙන එසේ කරන ලද විශීෂ්ඨ දේශාභිමානී ගීතය එයින් දොරට වැඩියේය.

හෙළ ජාතික අභිමානේ …………..

වැඩු විරුවන් මේ දෙරණේ……………

(කරුණාරත්න අබේසේකර)

එයින් පසුව

’මා බාල කාලේ අම්මාගේ උකුලේ …………..’

’සඳවට රන්තරු කැකුඵ පිපේවා …………….’

’අනේ ඩිංගක් ඉන්නකෝ ඔය ……………’

’බේරෙන පැනි බිඳු රතු මි වද බඳු ……………..’

මිහිර වෑහෙන ’සි ටී’ හඞින් එළිදැක්විනි. 60 දශකයේ ලක්දිව පුරා පැවති සංගීත ප‍්‍රසංග සංදර්ශන වේදිකාවන් හිදී ඔහුගේ වේදිකා ගතවීම හමුවේ උන්මාදයෙන් වියරු වැටුනු රසික රසිකාවියන් එකහඞින් ඔල්වරසන් නැංවුහ.

තමන් ගේ පාසල් බිමේ, විනෝද චාරිකාවේ, ප‍්‍රිය සම්භාෂණයේ, උපන්දින සාදයේ’ මංගලෝත්සවයේ වරක් හෝ ’සි ටී’ ගීයක් නොගැයිනි නම් එය ද අරුමයක්ම විය.

ලංකා ගුවන් විදුලියේ විශීෂ්ඨයන් වූ ’කරුණාරත්න අබේසේකර’ ’ආනන්ද සරත් විමලවීර’ සහ ’ලලිත් එස් මෛත‍්‍රිපාල’ ද පුවත්පත් කලාවේ ජයදද නැංවූ ’විමලදාස පෙරේරා’ ද ’සි ටී කොවුල් නාද සර පොබයනු පිනිස ගී පබැඳුම් මැවිය.

පුන්සඳ හිනැහෙන්නේ ………….

වනමල් පිබිදෙන්නේ …………….

ලස්සන ඔබේ මුහුණේ…………

දැක්කම නොවැ මැණීකේ …………

60 දශකයේ දෙවන අඩ ගෙවියද්දී ’ගුවන් විදුලියෙන්’ ඇසුනි. ලංකා අම්බරයේ පෑවු විශීෂ්ඨතම ගායිකාව ’රුක්මණි දේවී’ ජනප‍්‍රියතම ගායක ’සී ටී’ හා එක්ව ගයනු එසේ ඇසෙයි. ප‍්‍රසංග වේදිකා ඒ ’යුග්ම ගී රසයෙන්’ නිම්නාද දෙයි. ප්‍රේක්‍ෂක රසවතුන් මිහිරෙන් මත්කෙරෙයි.

ඔහු ’ලංකා ගුවන් විදුලි’ යේ ගීත ගැයු බව ඇතැමුන් නොදනී මන්ද යත් ඒවා තැටි හෝ වෙනත් මාධ්‍යයන් වෙතින් පසුව අසන්නට නොලැබුනු නිසා වන්නට ඇත. ඒ රසය විඳිනට ඔබ ’ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය’ වෙත සවන් යොමා සිටිය යුතුය.

ඒ අතර

’මුතු මැණිකේ කලේ අරන් ……’

’ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ …………’

’සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ……….’

’අගේ මගේ පිටිසරයේ දැනෙන්නේ …………..’

වැනි නිර්මාණ ප‍්‍රකටය.

මේ ’කන්ඩායම් ගී’ නව සංගීත ප‍්‍රවණතාවය කළඑළි බසිමින් පැවති සමයයි. එහි පුරෝගාමි නියමුවා මීගමු පුරවරයේ ’නෙවිල් ප‍්‍රනාන්දු’ සිය ’ලොස් කැබැයියරෝස්’ කන්ඩායම සමගින් උක්ත ගීය නව ආරකින් නව ලතාවකින් වරක් දෙවරක් තෙවරක් කිහිප වරක් ගායනා කරන්නට යෙදිනි.

’සි ටී’ උරණ විනි. එසේ නොකරන්නැයි කියැවිනි. සෙසු කලා ළැදියන් ආරවුල සමථයකට පත්කරන්නට පෙරමුණ ගත්තද ඉන් ඇතිවු සිත් තැවුළින් ’අබේසේකරයෝ’ වෙතින් ඔහු මෙසේ ලියවා ගැයුවේය. සිය ගායන විජිතය ආක‍්‍රමණය කරන්නවුන්හට ’සොඳුරු තරවටුවක්’ කළේය

පියුමෙහි පැණිබොති වන බඹරු …………

මලමත නොරගති කඵ දෙබරු ………..

දහවල් නෙනිමෙයි අඹරේ තරු ………..

අවරින් නොනැගෙනි නැගෙන හිරු ……..

 

’කුසගිනි හැදුනට ඉඳුල් නොකවු…………’

’තනකොළ නොබුදිති සිංහ පැටවු ………….’

’කොඳමල් නොපිපෙයි ගිරි මුදුනේ ………..’

’ගවතෙල් නොදමයි රන් බඳුනේ ………….’

70 දශකය එළඹි ඇත. දෛවය සැමදා මිනිසා වෙත ’රෝසමල් යහනා අතුළ සිනිඳු පලස්’ අතුරනු නොහේ. ඔහු හදාවඩා හෙළිපෙහෙළි කරගත් වේගරිද්ම මාවතේ ’නව යෞවනයන්’ පියමං කරන්නට විය. ’සි ටී හඞ’ අංශූ මාත‍්‍රයකින් හෝ නැසී ගියේ නැතද ඉන් ’නව ගී’ මතුවි එන උල්පත සිඳි යන්නට විය.

1975 වසරේදී ’ලුවි වැන්ඩ‍්‍රස්ට‍්‍රාන්ට්’ ගේ ’පෙම් කුරුල්ලෝ’ තිරයේ දිගහැරෙද්දී ඉන් පෙර දශකයේ වේදිකාව එකාලෝක කල ’සි ටී’ හඞ ද මතුනොව රුව ද ඉන් මතුවිය.

මි අඹ වනයේ ගී හඞ පතුරා …………

කාවද අමතන්නේ …………..

ලස්සනට මුහුණට ඇස්වහ දෙන්නද …………

ඔයහැටි හිනැහෙන්නේ ………….

(ගී පද ආනන්ද සෙනෙවිරත්න)

නවයොවුන් වේගරිද්ම ගායන තරු ප‍්‍රතිභාව කෙමෙන් පැතිරෙද්දී, ’සි ටී’ හද සසළ කෙරිණිද …..? වප් මසින් දසසත්වැනි දාතම 1977 වසරේ එළැඹි තිබියදී තිස්වරසක රන් කෝකිළ නාද රිද්ම මතුකරදුන් හදවතේ රිද්මය නැවති ගියේ සුවසහසක් ශ‍්‍රාවක රසික සමූහයා සෝ සුසුම් සයුරක ගිල්වා දමමිනි.

 

සී ටී ගි රස උල්පත

අදද ඊයේ වාගේ සන්තොසින් …………..

අවදිවන්න අවදිවන්න ………….

අමතන්නට හැකි බසක් ………….

බිළිඳා නැළවේ උකුලේ ………….

දවස ගෙවි දැන් ටික ටික අඳුර වැටෙන්නා …………

කඵ මහවැලි කැළණිද වළවේ …………..

මා හද සිසිල් පවන් පොදක් ………….

රැ පැල් රැකලා පැල් කවි කියලා ………….

සිගිරි සුකුමාළියේ ……….

රන මොණරයි රණ මොණරියි ……………

මා සුකුමාලි ……….

රන්වන් රන්කෙඳි පිරාලා ……………..

මල් ලෝකේ රාණි ……..

පරවුනු මල් නැවත නැතේ ………

සංතෝසේ පෑහෙන්න සංතාපේ පහවෙන්න ………..

සිහින ලොවේ මිහිර මැවූ …………….

මගේ සුදු මාමේ ……………

——————

සී ටී වේගරිද්මය ඇතැම් විටක ’සොඳුරු වේග රිද්මයක්’ බවට පරිවර්තනය වුයේ බටහිර වාද්‍ය සංගීතයේ මිහිර ද ඊට මනාලෙස ගළපා ගැන්මෙනි. 60 දශකයේදී අන් කවර සිංහල ගීතයක් හෝ අභිබවනය කරමින් ඒවා අපුර්ව නාද සංකලනයන්ගෙන් සමන්විත විය.

පහත නිර්මාණ විමසා බලනු වටී.

අඩසියවසකට පසුව එදා මෙන් අදද ’සි ටී ගී’  එවන් අන් සියඵ ගීත හා කරට කර තබමින්  සාදයේදී, චාරිකාවේදී, ප‍්‍රියසම්භාෂණයේදී රිද්මයට පා තබමින් රගමින් ගයන්නට හැකිව ඇත්තේ එබැවිනි. ඒවා කිසිවිටක ’කල්ඉකුත් නොවන සර්වකාලින නිර්මාණයන් බවට අන් කවර සාක්‍ෂි ද ?

පරවුනු මල් නැවත නැතේ පිපෙන්නේ ………………..

සදඵ තලෙන් ඇද හැළිලා ගලන්නේ …………..

දවසක් ගතවුනා කියා හිරු අවරේ ගිළි ගියත් …………

සැමදා නැත සඳ පායන්නේ …………………..

—————————-

සංගීතය – පැට‍්‍රික් දෙණිපිටිය

ගී පද – කරුණාරත්න අබේසේකර

යුගය – 1968 පමණ

——————————

—————————–

රන්වන් රන්කෙදී පිරාලා ………

චන්දන කල්කෙන් නැහැවිලා …………..

කිංකිණි නූපුර නාද දී …………

මල් මල් මුහුණක් සේ ඇදී ……

උකුළ සාළාලා.. බඳ නළවාලා ….

රගන්න සියුමැළියේ…………….

——————–

සංගීතය  – පැට‍්‍රික් දෙණිපිටිය

ගී පද – කරුණාරත්න අබේසේකර

———————

————————

එහෙත් ’සී ටී’ එවැනි වේගරිද්ම සම්භාෂණ ගී කලාවේ පමණක් ඇලී ගැලී ඊට නතුවි සිටියෙක්ද ? නැත කිසේසේත් නැත පෙර සඳහන් කළ පරිදි ඔහුගේ නාමය යටතේ සාමාන්‍ය සරළ ගී ගුවන් විදුලිය සතුව එමට තිබේ. බලනු මැනවි.

මුතු මැණිකේ කළේ අරන් ……………

දිගු වරළස පිටේ හෙළන් …………..

කොයි යනවද උදෑසනින් ………….

තව පොඩ්ඩක් හිනාවෙයන් ………………..

—————————

ගී පද – සරත් මුණසිංහ

සංගීතය – පැට‍්‍රික් දෙණිපිටිය

වාදන මිහිර – ගුවන් විදුලි වාද්‍ය වෘන්දය

යුගය – 1965 පමණ

—————————

——————–

සිරිල් ටියුඩර් ’රුව’ ජිවමානව තබා සේයාරුවකින් හෝ දැක දැන හැඳිනගත් පරපුරු යුග්මයක් එනම් වත්මන් ළමා හා යොවුන් පරපුර මෙන්ම හතළිස්විය ඉක්මවා නොගිය මව්- පිය පරපුරක් වෙසෙන මේ යුගයේ ඔහු පිළිබඳව යතුරු ලියනය කෙරෙන මේ සටහන් ද බහුතරයක් ගී ශ‍්‍රාවකයන්හට ආගන්තුක විය හැකිය.

’රාජ්‍ය ගුවන් විදුලි සේවා නාලිකා’ හැර දැන් දැන් ඔහු ගේ උක්ත මධුර රස කැලතු ගී පෙළ විකාශය කෙරෙන රේඩියෝ නාලික දුර්ලභ වී ඇත්තේද ඉහත කරුන නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

’සී ටී’ රසික ප‍්‍රසාදයේ හිනිපෙත්තේ වැජඹුනු 60 දශකයේදී කළඑළි බට ’ක්ලැරන්ස්’ විජේවර්ධන නම් යොවුන් තරුණයා ඔහුගේ ’අනුප‍්‍රාප්තිකයා’ ලෙසින් හැඳින්වීම කොතරම් නිවැරදිදැයි ගැටඵකාරීය.

’ක්ලැරන්ස්’ ට වඩා ’සි ටී’ සොබාසෞන්දර්යය වර්ණනා කරමින්, මව් සෙනෙහස, සත්ව කරුණාව, ගැමි දිවිය, ජන්ම භූමිය අගයා ගී ගැයූවේය. ඊට එකිනෙකට දෙවැනි නොවන මියුරු වාද්‍ය ඛන්ඩ නිර්මාණය වුයේය. ’කන්ඩායම් ගී’ කලාව පිබිදී හැදීවැඩී ශ‍්‍රාවක සිත් කැළඹූ උක්ත දශකයේදී ඔහු ඊට අනුගත නොවි සිය ස්වාධීන ඒකල ගායන දිවිය අඛන්ඩව ගත කරන්නට ප‍්‍රිය කළ බව පෙනී යයි.

දෙයියන්ගේ රටේ – 1957, (හිමේ සමන් දෙවි පිහිටෙන්)

හතර මහ නිධානය – 1965, (සෝබනඵ කොළඹ නගරේ)

සාරවිට – 1966, – (ලස්ස ගනන් වස්තු ලැබී)

සැගවුනු මැණීක – 1967, (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා)

සඳ නැග එද්දී – 1966, (ලා තන නිල්ලයි)

කවුද හරි – 1969, (මී වදයකි ජිවිතේ)

පාරා වළලු – 1969 (විහිඵ විහිඵ)

නිම් වළල්ල  – 1970 (නිසුයුරු මුතුළැල්)

සමනළ කුමරියෝ – 1972 (නෝනා පොල්ල සෙල්ලම)

පෙම් කුරුල්ලෝ – 1976 (මී අඹ වනයේ ගී හඞ පතුරා)

—————–

ළා තන නිල්ලයි…

ගලනා ඇල්ලයි………

සැළෙනා නා දල්ලයි …

ලෝකේ හද මගේ සොල්වයි…………

—————————–

සිනමා කෘතිය – සඳ නැග එද්දී

සහය ගායනය – සී ඩී ෆොන්සේකා

ගී පද රචනය – නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි ශීල්පී සිංහල සේවා අධ්‍යක්‍ෂ ලලිත් එස් මෛත‍්‍රිපාල

තනුව – විදේශිය තනුවකි

සිනමා සංගීත අදියුරු – නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී තිලක් කරුණාතිලක

————————————-

1960 දශකයේ එක්තරා යුගයකදී ද වරින් වර පැවැත්වෙන සුපුරුදු ලංකා ගුවන් විදුලි හඞ පරික්‍ෂණය හෙවත් ’ඔඩිෂන්’ සඳහා පරික්‍ෂක මන්ඩලය වෙත කැඳවා තිබුනේ මහ සංගීතවේදී සුනිල් සාන්ත, පන්ඩිත් අමරදේව සහ ජ්‍යෙෂ්ඨතම සංගීතඥ එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ය.

ඊට මුහුණ දී සිය ශ්‍රේණිගත මට්ටම ඉහළ නංවා ගැන්මට ’සී ටී’ ද සහභාගි වි තිබු බවත්, අවාසනාවන්ත ලෙසින් ඔහුට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ ලබාගැනීමේ වරම එහිදි අහිමි වි ගිය බවද වාර්තා වේ. හේතුව ලෙස වාර්තා වී තිබුනේ ’සි ටී උච්ච ස්වර පරාසයේදී දැක්වු දුර්වලතාවය’ බව කියතත් ඉහත ගැයු ගීතයේ ඔහුගේ ඒ ගායන කුසලතාවය මනා ලෙස ඉස්මතු වන අයුරු නිරික්‍ෂණය කළ හැකියි.

අතැගිලි ගණනක සිනමා කෘති සංඛාවකදී පමණක් ඔහු ගේ ගී නාදය ශ‍්‍රවණය කළ හැකිවීමෙන්, ද ඔහුගේ යුගයේ ලාංකිය සිනමා කර්මාන්තයේද ’වසන්ත සමය’ ගතවෙමින් තිබුනද, ඒ කරුණ එසේ සිදුවිමෙන්ද, ඔහු ’සිනමා’ ගීත කලාව කෙරෙහි එතරම් ප‍්‍රියතාවයක් නොදැක්වූ බවක් පෙනි යන්නේදැයි කුකුසකි.

පිය උරුමය අඛන්ඩය ඉදිරියට ගෙනගිය ’සී ටී’ එකම පුත් ’ප‍්‍රියන්ත’ ද ලොවින් සමුගෙන ගොස්ය. ඉහත කී ගැටඵ ලිහා හැරගැන්මට ඔහු සමීපව ඇසුරු කළෝද වත්මනෙහි දුලබය.

සිංහල ගී වංශකථාව කිසියම් දිනක කිසියම් පිරිසක් විසින් සටහන් කරනු ලබනවා ඇද්ද, ඔවුන් හට ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දූ’ නම් වූ රසවතා උදෙසා එහි පරිච්ඡේදයක් වෙන් කරන්නට සිදුවනු නිසැකය. මක් නිසාද යත් ඔහු ’සිංහල ගීත කලාවේ ’බටහිර සළකුණ’ නිසිලෙස මතුකරදුන් පුරෝගාමියා වන හෙයිනි.

නිමියේය.

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

වජීරා බාලසූරිය එදා ගැයු ගී රස මිහිර……

April 4, 2022 by shamilka
Prabath Rajasooriya, Vajira Balasooriya

සැටවසක ට පෙර එදවස –  සවනත සුවදෙන සත්සර වජ්රය  1952

ආනන්ද සමරකෝන්  – සූරියසංකර් මොල්ලිගොඩ – සුනිල් සාන්ත – දේවාර් සුරියසේන -නෙඵම්දේවී – සරණගුප්ත අමරසිංහ  – වින්සන්ට්‌ සෝමපාල  – අමරදේව යන මේ නාමාවලියේ සාමාජිකයන්  අතරින් බොහෝ දෙනෙකු වත්මන් රසිකයන්හට ආගන්තුක විය හැකිය

සිංහල සංගීතය වෙනුවෙන් ඔවුන් කළ කි දෑ එයින් එහි ප්‍රගමණයට ඇති වු බලපෑම යනා දී මේ කරුණු සාමාන්‍ය ගී රසිකයන් හට නොවැදගත් යෑයි ඔවුන් විසින්ම තීරණය කරති ගීතය රසවිඳිමින් හෝ නොවිඳිමින් ඔවුන් මේ ශිල්පීන් ගේ එදා යුගයේ ගී සවන්දෙති

ඒ අතරින් ඇතැම්හු ගීතයක හදවත බඳුවන් රිද්මය – තනුව ඉවත ලා එහි  පදමාලාවේ අපුර්වත්වය අගයමින් එහිම ඇලී ගැලී සිටිති

Sunil Shantha
Sunil Shantha
W.D.Amaradeva
W.D.Amaradeva

එදා ඇසුණු එවන් ගී රසවිඳින අද රසිකයන්ද ඉහත වයස්‌කාන්ඩයේ හෝ ඊට තරමක පහළින් සිටියද ඔවුහු සිය දිවියේ ප්‍රඥා දශකයේ රැඳි සිටින්නන්ය ඒ අනුව ගීතය නම් කලා නිර්මාණය අගයද්දී අගතිගාමී නොවී මධ්‍යස්‌ථව සිය නැණැස මනා ලෙස යොදවා එහි රසය උකහගැනීම වැදගත්ය

ඉහත නාමලැයිස්‌තුව නියෝජනය කරන ඇතැමුන් දැවැන්තයන්ය ඔවුහූ සිංහල සංගීතය නමැති ජලප්‍රවාහයේ  දිශානතිය හැරවු මහාවේලී වැන්න

ඔවුන් ගියමග යන්නට සැදී පැහැදී සිටි අනුප්‍රාප්තික ශිල්පී ලැයිස්‌තුවට එදා ඇතුළත් වු නාම කිහිපය අතර

එන් කේ කාරියවසම් – තිලකසිරි ප්‍රනාන්දු සහ ජී ආර් එඩ්වඩ් -ඩබ්ලිව් එෆ් විමලසිරි – වසන්තා සන්දනායක – පුෂ්පරාණි ආරියරත්න – ශීලා පීරිස්‌ – ස්‌වර්ණා ද සිල්වා – කමලානි පෙරේරා  – ප්‍රිම්රෝස්‌ ජයසිංහ – චන්ද්‍රා ද සිල්වා සහ වජිරා බාලසූරිය වැන්නවුන් ද වෙති

Vajira Balasooriya
Vajira Balasooriya

ඔවුහු ඒ යුගයේ සමකාලීනයන් වු අතර ග්‍රැමෆෝන් යුගයේ පසු භාගය නියෝජනය කලහ

ඩබ්ලිව් එෆ් විමලසිරි නම් අප්‍රකට සංගීතඥයා පිළිබඳව ලුහුඞු සටහනක්‌ තැබීම හොබනේය ඔහු පන්ඩිත් අමරදේවයන්ගේ ද නිජභුමිය වු මොරටුවේ කොරළවැල්ලේ වැසියෙකි ඩබ්ලිව් ඩී ඇල්බට්‌ පෙරේරා පසුව අමරදේවයන් ලෙස ගී ලොව අබිසෙස්‌ ලැබු අයුරින් විමලසිරි ද ඊට පිවිසෙන්නට පෙරාතුව දෝ  අර්නස්‌ට්‌ ප්‍රනාන්දු නම් වුයේ යෑයි අමරදේව චරිතාපදනය ලියු ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් සටහන් කරනු ලැබ තිබේ

රාත්‍රියේ මුල්පැය කිහිපය ගෙවිගොස්‌ සිය දවසේ වැඩසටහන් නිමා කරනු පිනිස සැරසෙන ගුවන් විදුලිය ශ්‍රාස්‌ත්‍රිය සංගීතය නමින් විනාඩි පහළොවක වැඩසටහනක්‌ විකාශය කරනන්ට පුරුදුව සිටියේය ඒ මින් දශක තුනකටත් එපිට යුගයකදී මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම හින්දුස්‌ථානී ශෛලියේ ශුද්ධ සංගීතය වෙනුවෙන් වෙන්කර තිබිනි

භාරතයේ භාත්ඛන්ඩේ සංගීතායතනයේ ඩිප්ලෝමාධාරීන් විසින් එය මෙහෙයවන ලදී ඩබ්ලිව් එෆ් විමලසිරි ද එදවස එහි වාදන රටා මැවු වෘත්තීය ශිල්පීන් ලැයිස්‌තුව නියෝජනය කලේය

W.F.Wimalasiri
W.F.Wimalasiri

මේa විමලසිරි වෙනුවෙන් දදියළිදු වරෙක අමරදේවයන් වෙනුවෙන්ද යුග ගී හඞ සහයිකාව බවට පත් වු සුන්දර යුවතියකි ඇය

විද්වත් මතය අනුව සිහල භාෂවේ අක්‍ෂරහෝඩියෙන් හටගැනෙන ඇතැම් ශබ්ද අතිශය කන්කඵ ලෙස ඇයටම ආවේනික ශෛලියකින් උසුරුවන්නට සමත්කම් පෑ ඇය ගේ ඒ හැකියාව ඉක්‌මවායන්නට සමත් වු ශිල්පිනයක්‌ එකළද පසුවද නොවු බව කියෑවෙයි

ඇය නම් වජීරා සෝමා බාලසූරිය ගුරු මාතාවයි දැනුමැති රසිකයන් ඇයව නොහඳුනන්නේ නොවේ ඒ එකල ගුවන් විදුලියෙන් ඇසුණු රසාංගයක්‌ වු ගීත නාටකයක ට පබැඳුනු අපුරු නිර්මාණයකි

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් දැවැන්ත බස්‌ වෙසරදයාණන්ගේ පන්හිඳෙන් ගලා ආ එය

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ………………… යන පෙර ගැයියෙන් දෙසවන් කර පියඹා ආවේය

එහි ගැයුම් රස මතුකල පන්ඩිත් අමරදේවයන් ගේ සහයිකාව ඇයයි

එපමණද ?

කිසිසේත් නැත…

ඇය එකලාව හඞ අවදිකරන්නට ද වරම් ලැබීය

අම්මා මාව දොයිකරන්න හදපු හැටි අගේ…..

දොයි දොයි දොයි කියලා – බයි බයි බයි කියලා…..

උකුල උඩින් හොවාලා – වතුර ටිකක්‌ පොවාලා……..

වඳිමු සුගත සෑසි පියා  – සුදු අරලිය මලින් පුදා……

සසර දුකින් එතෙර වන්න – පතමු නිවන් සැපත සැමා……..

සාදු සාදු මා බුදුහිමි සමිඳා – දෝත නගා පුද දේ ……

තුන්ලෝකේ අගරාජා…….

මේ හඞ සපිරි ගීත නිරතුරු ගුවන සිසාරා පැතිර ගිය කලෙක්‌ විය …ඒ එදා ය ගී රසවින්දන නම් මහා සාගතය හසුවි වසර ගණනක්‌ එහි දුර්විපාක විඳ එය මැළවී ගියවුන් මේ රසය කෙසේ විඳගනු ඇද්ද ?

අංකුර කලා රසවතුන්ගේ කෙම්බිමක්‌ වු කැළණි පුරවරයේ සාන්ත පාවුලුවෙන් අකුරු කල ඇය ගුවන් විදුලියේ ආධුනික ගී ගායනා තරගයකින් සිය පළමු කඩුල්ල තරණය කළාය ඒ 1952 පමණ යුගයේදීය

චිත්‍රසේනයන් වෙතින් නර්තනය ද හදරා එහි ම දියත්වු ඇල්බට්‌ පෙරේරා ගේ හෙවත් අමරදේවගේ සංගීත සිප්හල වෙතින් ගායනයද හැදැරුවාය

එදවසම

සඳපානේ වැලිතලා- සුරකුමරියො මල් සලා…..

මිහිරි ලලිත ගී- ගයා නටති මේ රැයේ ………

හෙළයේ මහා සුබස්‌ ගුරු පියාණෝ කුමාරතුංග මුණිදාසයන් ගේ පදවැලක මිහිර පෙරදෙන්නට එසේ ඇය ඔහුට සහය වුවාය

එයින් නොනැවතී ඔවුහු යළිත් දිනක මෙසේ ගැයුහ

සිගිරියේ සිතුවම් රමණී – අති සුන්දර කීරති දැරු ලෝකේ ……

සිගිරියේ සිතුවම් රමණී………….

කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි ලේබලයේ වජීරා නාමය නොසඳහන්ය ඇත්තේ සෝමා ලෙසිනි

1955 මහරගම ගුරු ඇබැසි විදුහලට ඇතුලත්ව එයින් ගුරුමව් වරම් ලැබ වේයන්ගොඩ මැදි විදුහල – රත්මලානේ ධර්මාරාම ව- ග්‍රැන්ඩ්පාස්‌ (කොළඹ 14) ස්‌ටේස්‌ පාර යන මෙකි විදුහල් හි රැඳෙමින් සිප්සතර බෙදා දුන්නාය

පසුව එම් බී එච් වාරියපොළ නම් අධ්‍යාපන නිලදරුවා සිය ජීවන සහකරු බවට පත් වු නිමේෂයේ සිය ගැයුම් රසකලස හිස්‌කර දැමුවාය ඒ උත්තරීතර මාතෘත්වයේ කිරුළ දරනු පිනිසය එයින් ඇය ලොවට දැයට රටට හිතැති වැඩැති දරු දෙදෙනෙකු බිහිකළාය

අගනුවර ශ්‍රි ජයවද්දන පුර රෝහලේ අති සුප්‍රසිද්ධ අක්‍ෂි ශල්‍ය ජිවකයාණෝ දුෂ්‍යන්ත වාරියපොළ ඇගේ දෙටු පුතුය පරිගණක මැවිසුරු පුබුදු මද්දුමයාය

(මාධ්‍යවේදී විජිත් කුමාර් සේනාරත්න ලියු සඳ මිදුලේ රන් මිවිත කෘතියෙන් ඔහු අවසරයෙන් උපුටාගනු ලැබීය)  

——————————-

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ඉන්ද්රානි බෝගෝඩ මුල් ගුවන් විදුලි නිර්මාණපෙළ අතරින්…..

March 19, 2022 by shamilka
Indrani Bogoda, Prabath Rajasooriya

දෙරණ තල දෝවා අරුණැල්ලේ නාද දුන් නීල කොබෙයි පවත………………… ස්වර්ණවර්ණ එදා ගුවන් විදුලිය….1975

රුහුණු කුමාරිය සුපුරුදු ලෙස දිනපතා මාතර පුරවරයෙන් හිමිදිරියේ පිටත්වෙයි. යොවුන් පෙම්වතුන්ද පෙම් සටනින් ජයලද්දෝද එදා මෙන්ම අදද හෙටද එහි නිරතුරු ගමන් කරනු ඇත.

එසේම අඩසියවසක යුගයකදී බොහෝ දේ විපර්යාසට ලක්වී ඇත්තේය. නව තාක්‍ෂණය උපකරණ ආකල්ප අදහස් සිතුම් පැතුමි මේ සියල්ලම එසේය. ඔවුන් අතරැඳි ජංගම දුරකථනය වෙත නිරන්තරයෙන් නෙත්යොම සිටිමින් ඇතැමුන් යුහුසුඵව මාපටැගිලි ඒ මත චලනය කරවන්නේ නොයෙක් ආකාරයේ වෛවර්ණ චලන රූප මෙහෙයවමින් ක්‍රීඩා කරන්නටය. සවන්පත් වසාගත් උපකරණය ඊට නිතිපතා සම්බන්ධ වේ. එදා මෙන්ම අදද  නෙකාකාර දසුන් කවුඵ අතරින් ඈත් මැත් වෙද්දී කිසිවෙකු හෝ ඒ දෙස හිස ඔසවා නොබලන්නේ දුරකථන තිරයේ දිස්වන දෑ සියලු දසුන් පරදා ඔවුන්ගේ නෙත් පැහැර ගන්නා නිසා වන්නට ඇත.

පරිසරයේ සිරි අසිරිය විඳගන්නට එය නෙත් රසඳුන් කරගන්නට ඔවුහු ප්‍රිය නොකරනා සේය. තාක්‍ෂණය විසින් ඒ සියල්ල ඔහුට ඇයට අහිමි කර ඇති සේය.

අඩසියවසකට ආසන්න යුගයක දුර අතීතයේ දිනක රුහුණු කුමාරි ඇකයේ සැනහෙමින් අගනුවර කරා පියමං කරන යොවුන් පති පතිනි යුවළකි. එදවස ද දිනකර මෙදවස මෙන් කවුඵ අතරින් එබි බලද්දී ඔහු හිමිදිරි අරුණෝදයේ රුසිරු දසුන් වින්දනය කරයි. ඇය හිස මත දැඩි බරක් වගකිමකි. තවත් හෝරා කිහිපයකින් ඇය සිය දිවියේ සුවිශේෂී අත්දැකීමට මුහුණ පාන්නට සැරසි සිටින්නීය. එහෙත් ඒ කාර්යය නිසි ලෙස ඉටුකරගන්නට හැකිවේදෝ යන සිතුවිල්ල ඇයගේ මනස කළඹාලයි. ඇය ඊට මනාලෙස තවමත් සුදානම් නැත. අගනුවරට පිවිසෙන්නට පෙර ඉටුකරගතයුතු සම්පුර්ණකරගතයුතු කාර්යයක් අසම්පුර්ණය. අභියෝගය සුඵපටු නොවේ.

රුහුණු කුමාරිය පෙනෙන දුරින් රළ රැළි නංවන සිඳු නාදය පරදවා සිය ඝෝෂාව නංවයි. ජීවන චාරිකාව ද ඇයගේ චාරිකාව ද එකළෙසය. නැවතුමක ගිමන් හරින්නට සැරසි ඇය කෙමෙන් නිසලවෙයි. යළි හඞ නංවයි.

ඔවුන් මෙසේ අරුණෝදයේ කඵ සෙවනැළි මෑත් වන්නටද පෙරාතුවම රුහුනු කුමාරි දුම්රියේ අසුන් අරා අගනුවරට සේන්දු වන්නේ ඇයට තැපෑලෙන් ලැබුනු ලිපියේ සඳහන් කාර්යාලයටය. එය එදවස අයෙකුට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකට සම්බන්ධ වනු පිනිසය. දිවයිනේ ඇති එකම විද්යුත් මාධ්‍යායතනය වු එය ’ලංකා ගුවන් විදුලියයි’. ලක්දිව පුරා අධිපත්‍යය පතුරාලු ජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනය වු එහි එක්රොක්වන්නට සිහින මවන්නෝ මහත්ය. ඒ අතරින් ගැයුමෙන් වැයුමෙන් හඞ අවදිකිරීමෙන් රංගනයෙන් අසමසම දස්කම් විස්කම් පෑවෝ පමණක් එහි පියනගන්නට වරම් ලබයි. ඒ දුලබ හිමිකම ලද්දෝ තමන් දිවයිනේ වඩාත් වසනාවන්තයෝ ලෙස සළකති.

ඇය කලාන්තරයක් පුරා සිහින මවමින් පෙරුම් පුරමින් සිටි  ’සරළ ගීත ගායනා’ වැඩසටහන වෙත දොරටු විවර කර දුන් කැඳවිම් ලිපිය ලද ඇයට පස්වනක්  ප්‍රිතියෙන් පිනා යන්නට වරම් නොවීය. ඇයට එහි ගායනා කරන්නට නියමිත ගීත සතරකින් එක් ගීතයක ’තනුව’ පමණක් ඇය සතුය එහි තාලය පමණක් ඇය මනාව ප්‍රගුණ කර තිබුනද පදමාලාව අහිමිය. ඇයගේ හදවත යකුඵ පහර දෙමින් ස්පන්දනය වන්නේ එබැවිනි. තවත් සුඵ කාලයකින් ඇය දැන කියා ගත් ’තනුවට’ වදන් සම්පුර්ණකරගත යුතුමය.

Indrani Bogoda
Indrani Bogoda

පතිකුලයට පිවිසි නවකයන් වූ ඇය සිය සැමියා කැටිව හිස ගිනි ගත් ලෙසින්  දුරුරට පියමං කරන්නේ ඒ නිසාවෙනි.

ඔහු සිය බෑගයෙන් ගත් කඩදාසියක් මත කිසිවක් සටහන් කරනු ඇයට පෙනෙයි. වරෙක හිසරුවා කවුඵවෙන් එපිට තැනක ඔහුගේ නුවන් රඳවයි. යළි හිස පහත හෙළා කිසිවක් කඩදාසිය මත කුරුටු ගායි. පෑන් හිස දෙතොල් අතර රඳවයි.

හිරු සිය සුපුරුදු චාරිකාව අරඹා ඇත. නිල්ල අතරින් අහස් කුස කරා පියඹා යන සියොතුන් සොඳුරු දසුන් මවයි.

අත රැඳි පත සිසාරා ඔහුගේ සුරත දිව යනු ඇයට පෙනෙයි. එහි මුතු අකුරින් වදන් වැල් මතුවෙයි. රුහුණු කුමාරිය සිය ගමනින් අඩක් නිමවා ඇති සේය. උකුල මත රුවා ගත් පතෙහි  පදවැල් පේළී මාලා එක්තැන් වෙයි.

ඔහුගේ මුහුනේ ඇඳි මන්දස්මිතය ඇයගේ කැළඹුනු සිත නිවාළන පවන් රොදක් බඳුය. දුම්රිය අගනුවර පෙනෙන මානයේ ඇදීයද්දී ඔහු සිය සුරත රැඳි පත ඇයගේ උකුල මත තබයි.

’කියවන්න ………….’

’ආ….නේ .. හරිම ලස්සන කවියක්…………….. ’

මාතර සිට කොළොම්පුරය දක්වා සැතැපුම් සියයක දුරකදී  දුම්රිය කවුඵ දොරින් නෙත ගැවසුනු දසුන් අකුරු වැල් බවට පත්වී එහි අපූරුවට පෙළගස්වා තිබිනි.

සීත දියරැල් සලා …………………….

පියුම් පිපුනා බලා ………………….

දෙරණ තල දෝවා අරුනඵ දේ ………………..

සියොත් කැළ නාද දේ …………………..

දෙරණ තල දෝවා නැගි අරුනඵ හමුවේ හදගැස්ම සමනය වී සැක සංකාවෝ පහවී ගිය සේය. තවත් හෝරාවකින් දෙකකින් තම ගායන දිවියේ මුහුණදෙන්නට නියමිත තවත් කඩඉම අභියෝගය ජයගැන්ම උදෙසා ඊට එරෙහිව නැගි බාධක දුරු වි ගොසිනි. තවත් නොබෝ දිනකින් එය සිරිලක අහස් කුස සිසාරා ඇසෙනු ඇත. තවත් සොඳුරු නිර්මාණයකින් ශ්‍රාවක සිත් සැනහෙනු ඇත.

කලක් ගත වී එක්තරා දිනක නිශා යාමයේ තැන්පත් ස්වරයෙන් කියැවුනු ගුවන් විදුලි නිවේදනයකි.

’මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල පළමුවෙනි සේවයයි…………….’

මෙතැන් සිට ’සරළ ගී’ , අද සරළ ගී වැඩසටහන ආරම්භ කරන්නේ ගායන ශීල්පිනී ඉන්ද්‍රානී බෝගෝඩ ගැයු ගීතයකිනි…………….’ 
මේ ගීතයේ පද රචනය ’ධර්මදාස පරණගම’ සංගීත නිර්මණය සංගීතවේදී චන්ද්‍රසේන බෝගෝඩ …………..’

කල් බලන් සිටිය බඹරින්දා ….

විල්තෙරින් හමන මදනළ හා ………..

මුසුව ගිය රත් දෙතොල් පොපියා …..

හාදු දී මා දිහා බැලුවා ……………..


විල්තෙරේ රේණු සුකුමාලා …

රත්පියුම් රේණු මා දැකලා ….

————————–

තවත් කලක් ගතවිනි මේ  1976 වසරයි. එක්තරා දිනකදී නිකුත් වුනු ’ගුවන් විදුලි මාසික වැඩසටහන් විස්තරය කැටි කොට ගත් එය සගරාවක් යැයි කිවනොහැකි නමුත් කඵසුදු’ තරමක් නොපැහැදිලි මුද්‍රිත අකුරු සහ සේයාරූ වලින් සමන්විත පත්‍රිකාවකි. එහි පසුපිටේ මුද්‍රිත උඩුකය සේයාරුව යොවුන් යුවතියකගේය. ඊට දකුණු පසින් ගීතයක පදපේලී හා එහි නිර්මාණ තොරතුරු මුද්‍රිතය.

නීල වරළ නීල කොබෙයියෝ ………………

මං ආදර නීල වරළ නීල කොබෙයියෝ ……………..

සිත වටකර පියාසලන………

සිතට සුවඳ පවන්සලන ……………….

උඩින් ගියත් බිමින් ගියත් ………….

මගේ සිතින් ඉගිල නොයන්නේ ………………….

අඳුර නිවෙන සොඳුරු සිහින ………………

ම වෙත ගෙනෙන්නේ ……………..

එරන් මාල එරන් තෝඩු …………

එරන් වළලු නැතෙයි පතන්නේ ……..

අමාවකේ නිමා නොවන ….

සිනා බිඳක් රැගෙන වරෙන්නේ ……………..

ගීත රචනය – ජී එච් කේ රත්නසිරි

සංගීත නිර්මාණය – චන්ද්‍රදාස බෝගෝඩ

ගායනය – ඉන්ද්‍රානී බෝගෝඩ

————————–

ගීතය වාදනය කරන්නට පෙරාතුව නිවේදක තනතුර හොබවන්නා ගේ මුවින් ’ඉන්ද්‍රානී’ නාමය පිටවෙද්දී නිමේෂයක කලපරතරයකදී ශ්‍රාවකයෝ කුතුහලයෙන් මත්වී යතී. ඒ එදවස ගීත ලොවේ ජයදද බැන්දූ ’ඉන්ද්‍රානී’ තුන්කට්ටුවෙන් ඇය කිනම් සාමාජිකාවදැයි දැනගන්නා තෙක්ය. වරෙක ඇය ජ්‍යෙෂ්ඨතමයා වු ’ඉන්ද්‍රානී සේනාරත්න විය හැකිය (එදා ගුවන් විදුලියේ ඇගේ අනන්‍යතාවය හෙළිකළ පරිදි* හෝ පොප් වේගරිද්ම ගායිකාව වූ ’ඉන්ද්‍රානී පෙරේරා’ ද විය හැකි අතර ඇතැම්විට අධූනික ගායිකා ’ඉන්ද්‍රානී බෝගෝඩ’ ද වන්නට හැකිය.

සාලයේ දැවැන්ත රේඩියෝ පෙට්ටිය අසල ගැවසෙමින් සිටිනා ගී ශ්‍රාවකයන්ගේ කසුකුසුව මතුවෙයි………….

’අන්න අන්න ’සඳකිඳුරී මා ……………… ’ යන්න හදනවෝ …………………. ආ නෑ…. නෑ …………… ’ඈත එපිට සඳවටකර තරු පායනවා ……… ද ? ඔබේ කටහඞ තාම මතකයි … වෙන්න ඇති …. අනේ නෑ දෙන්නාම නෙවයි ඒ ඉන්ද්‍රානි බෝගෝඩ ගේ නේ ………………..’

නිර්මාපකයා ගේ අනන්‍යතාවය සැගවී දශක දෙකක ඇවැමෙන් ඇයට ඔහු අහඹු ලෙස මුණගැසී පසුව මෙම නිර්මාණයට පාදක වූ නිමිත්ත ද ඔහු විසින් හෙළිදරවු කරන ලදී.

’එක් දිනක් මා නිවසට යන්නට රැඳි සිටි බස්නැවතුමේ සොඳුරු වදනින් සන්තර්පනය වෙන යොවුන් යුවළකි. අපිළිවෙලට හිසපීරූ අවලස්සන කාල වර්ණ දේහයක් හෙබි ඔහු පැහැපත් සුන්දර වත කමලකින් හෙබි සිය අදරවන්තිය හා ළංවී බස් තෙපලමින් සිටී.

ගැමිජනවහරේ ’තැඹිලි ගෙඩිය මත වැසු කපුටා’ කියමන සරි ඇය ආදරය කරණ ’නීල වර්ණ නීල කොබෙයියා’ ගේ පවත බිහිවුනේ එයාකාරයෙනි.

1970 දශකය  නම් වූ ලාංකීය ගීත කලා වංශ කථාවේ සකල යස ඉසුරු සපිරි  ’දුටුගැමුණු’ යුගයේ ’ඉන්ද්‍රානී බෝගෝඩ’ නම් වු ගාන්ධර්ව යුවතියගේ ’ගී ස්වයංවරය’ එසේ සටහන් විය යුත්තේය.

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ස්වර්ණ ගී රස කලස – 70 දශකය

March 6, 2022 by shamilka
Prabath Rajasooriya

විසිතුරු පිළිතුරු තොරතුරු අමයුරු – 70 දශකයේ ස්‌වර්ණ යුගයක ගී අංශු මාත්‍රයක්‌ ……………………….

එදා රෑ ගුවන් තොටුපළේදී මා…….
වෙන්වි ගියේ සිතකින් නොවේ ….

නෑ සිය මිතුරන් පැමිණීලා…..

ආසරි සුභ පැතුම් පැතුවා….

ඔබ නාවේ ඇයි මිහිරියේ…….

———————–

නම් පැණය විමසුවේ එදා යෞවනයේ සිහින සුපිරි තරුව මිල්ටන් මල්ලවාරච්චි විසිනි

වාර්තාගත රසික ප්‍රතිචාර ලැබු මේ නිර්මාණය මෙන්ම වෙනත් එයාකාර ගීත උදෙසා පසුව පිළිතුරු ගී ලිවීම සිදුකරනු ලැබුවේ අදාළ ගීත රචකයා විසින්මය නැතහොත් මුල් නිර්මාණයට පෙම්බැඳි වෙනත් ගායක ගායිකාවකගේ ඇවිටිලි හමුවේ වෙනත් ගීත රචකයෙකු ඔහු ගේ ඇය ගේ පැතුම ඉටුකරයි

ඉහත ගීය පබැඳූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ නම් ප්‍රතිභාසම්පන්න අපුර්ව නිවේදක සහෘදයා මේ යුගයේම ශිල්පී මර්වින් පෙරේරා වෙනුවෙන් ලියු

මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

——————–

වෙනුවෙන් පුන්‍ය කත්‍රිආරච්චි නම් ගුවන් විදුලි ශිල්පිනිය මෙසේ ගැයුවේ සුනිලා විජේසිංහ නම් ආධුනික කිවිඳියක්‌ වු ගුරු මහත්මිය විසින් ලියු පදපෙළකි ඇය දිවයින මාධ්‍යවේදී ප්‍රවිණ පුවත්පත් කලාවේදී චන්ද්‍රසිරි දොඩංගොඩයන්ගේ ප්‍රිය භාර්යාවයි

මා ඔබමුණගැසුනු අයුරු සිහිකරන්නෙපා……..

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා…………

මේ පදයන්හි සර්වසම බව වටහගන්නට සුවිසෙස්‌ උත්සහයක්‌ ගතයුතු නොවේ

———————

ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා දයා ද අල්විස්‌ ගේ පදවැළකින් හැඩගැන්වුනු මේ නිර්මාණය නිතිපතා සවනත වැකුනේද ගුවන් විදුලි සරළ ගීයක්‌ ලෙසිනි ඒ මල්කාන්ති නන්දසිරි ශිල්පිනියගේ හඩිනි

සහසක්‌ පැතුමන් ඉපදී මියගොස්‌  – ඉතිරිව ගිය එක පැතුම දරාගෙන….

ඇහැල මහක අඞසඳ පැයූ දා – මතකද සිරි දළදා වැන්දා….

——-

එයින් පසු දිනක ඇය ගේ පෑන්තුඩින් ලියෑවුනු මේ නිර්මාණය ප්‍රවිණ සංගීතවේදී සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙත පිරිනැමිනි

සහසක්‌ පැතුමන් නැත මා පැතුවේ – එකම පැතුම පමණකි සිත රැඳුනේ …

හද අඹරේ අඩ සඳ වැනි නෑනේ – මතකයි සිරි දළදා වැන්දා…

——

ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාම් අදින්නේ……

ගැටව් කතාබහට කඩ එළපත්තේ රංචු ගැහෙන්නේ……..

————————–

ආචාර්ය අජන්තා රණසිංහ ලියු මෙකී පදපෙලක්‌ හටගත් ආන්දෝලනය ඒ යුගයේ දිවයිනේ බලවත්ම සංනිවේදන මාධ්‍යය වූ ගුවන් විදුලියේ ඇසෙන  ගීතයක පවා ප්‍රබල බව පසක්‌ කරගනු උදෙසා මනා නිදසුනකි

සිය උපන්ගම්පියසේ යොවුනන්ගෙන් හටගත් විරෝධය සමනය කරනු පිනිස හෙතම වහා පියවර ගත්තේ එහි ගායක සනත් නන්දසිරි ගේ ඊලග සරළ ගී වැඩසටහනට මෙසේ ලියාතබමිනි

අකාසේ තාරකා මුහුදේ මඩ උනත් අරන් දෙන්න…….

කෝපි කඩේ දාං අදින ගැටව් හපන්නු ………

————————–

මේ යුග පිළිතුරු ගී ආරේ තවත් සාමාජිකයෙකු බිහිකරන්නට ආචාර්ය අජන්තා සිය පෑන් තුඩ මෙහෙයවමින් ශීල්ප දැක්‌වුයේ මහාචාර්ය අමරා රණතුංග මියෑසි නාදරටා හා අනුගත වනු පිණිසය

පාලු පැලේ මට තනි නෑ හිමියනේ – දුක සංකා ගන්න එපා හිමියනේ …..

විදුලි අකුණු මේඝ වළා  – එතෙර ඇදෙන්නයි……

සතර වරම් දෙවි පිහිටෙන් – මෙතෙර දකින්නයි……..

——————-

මෑත දිනක පතිකුලයට වන් තමා වෙනුවෙන් සිය දයාබර ධිවර සැමියාණන් ගේ හදේ තෙරපෙන පහත කී සිතිවිලි දහර ඉවකරමින් ඇය එසේ පිළිතුරු දෙයි

මංගල මධු සමය පතා  – කුලගෙට ආ රූපිකාව…….

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා – කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා………

——————

ඈත දිනක ගුවන් විදුලි රසිකයන් මන්මත් කල උපාලි ධනවල විතාන ගේ ඉහත කී  වදන් පෙළ සරසාලු සත්සර පෙළ සරත් ද අල්විස්‌ සංගීතඥයා ගේය

එදවස ගුවන් විදුලි නිවේදක සංසදයේ ගී පද ගෙතුවන් අතරින් දැවැන්තයෙකු වු කේ ඩි කේ ධර්මර්වර්ධන සිය මිතුරු ගායක සහෘදයෙකු වු චන්ද්‍රකුමාර් කඳනාරච්චි  ගේ ඇරයුමක්‌ ලැබෙන්නේ දෙදෙනා ටොරින්ටන් හී ගුවන් විදුලිය ට නුදුරු ජාතික කිරි මන්ඩලයේ (වර්තමාන මිල්කෝ සමාගම) සුදු රත් පැහැ තීරු පින්තාරු වලින් වර්ණවත් වු කිරිහලේ අසුන් ගෙන සිටියදීය

කේ ඩි කේ ගේ පදපෙල ලියු කඩදාසිය වෙත නෙත් යොමමින්

චන්ද්‍රකුමාර් –  මේකනම් ලොක්‌කා අනුමත කරන එකක්‌ නෑ කේ ඩි කේ….. අනිවාර්යෙන්ම තහනම් කරනවාමයි

කේ ඩි කේ  – තහනම් කරනවා ???? ආ එහෙමද ??? හරි (කඩදාසිය පසුපිට හරවයි පෑන එහි රඳවමින්)  එහෙනං ……. තහනම් නේද ?

(ඔහුගේ මුවින් වදන් වැල් පිටවෙයි ඒවා කඩදාසියේ ලියෑවෙයි)

ඇගේ සිනහව තහනම් (හරිද ?)…..

ගෙදරින් මට තහනම්…..

සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්…

චරපුරුෂයෝ දැන් මා වටලා……

යන එන හැම තැන් මුරදාලා…..

———————-

නමින් එහි ලියෑවි තිබිනි උපාලි කන්නංගර නම් සුන්දර ලිඩ් ගිටාර් වාදකයා ගේ සත්සර හමුවේ ඔබ රසවිඳින්නේ මේ ගීයයි

යලිදු දිනක කේ ඩි කේ සිය මිතුරා ට නැවතත් මෙසේ සටහන් කර දුන්නේ ඔහු ගේ වෙළඳ තැටියේ අඩුව සපුරාගනු පිනිසය

සිනහව ඇගේ තහනම් වු පසු පෙර දවසේ…..

මා නොයනා ගුරු පාරක්‌ ඇත මේ පදෙසේ…..

එහි වු තුරුවැල් මල් ගැන නෙදනිමි පෙරසේ….

එනමුදු මග සළකුණු තවමත් ඇත මනසේ……

—————

ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මුණගැසෙන්නට පැමිණි නවක තැටි ව්‍යාපාරික විජය රමණායක සිය තරංගා ලේබලයේ දෙවැනි ඊ පී තැටිය උදෙසා සහය පැතුවේ 1976 වසර තරම් දුර යුගයේදීය

එදවස යෞවනයේ රිද්මය මිල්ටන් ගේ ඉහත නිර්මානය සිහියට නගාගත් ඔහු ගේ පෑන්තුඩ ක්‍රියාත්මක විය

මිල්ටන් හඞට අරූඩ වු පෙම්වතා ගේ විරහා වේදනාව ඔහුගේ හදිදිනු ළබැඳි පෙම්වතිය හඳුනනු ලැබ ඇත්ද ? ඇය ඔහුට කෙසේ පිළිවදන් දෙනු ඇද්ද ?

ඇය එතෙර රටකට පියඹා යන සිය ළබැඳියාණන්ගෙන් මෙසේ විමසයි

ගුවන් තොටුපොළ ඔබ හමුවන්නට  නාව නිසා තරහද ඔයා ?

ගිය ඉරිදා ඔබ මා සමගයි….
මේ ඉරිදා ඔබ වෙන තැනකයි…..
වෙන තැනකයි වෙන රටකයි…
ඒ මුත් මගේ හිත ඔබ සමගයි….

ඔබ නැති පාලුව සිතට දැනෙයි….
සෝගිනි දැල් හද තුල ඇවිලෙයි….
ඔබ සිටියා අහස ඉරාගෙන ….
වෙගෙන් ඉගිලෙනු මා දුටුවා….

ගුවන් තොටුපොළ ඔබ හමුවන්නට….
නාව නිසා තරහද ඔයා ?…..

ඔබ ගිය දා සිට මේ වෙනතුරු මම…..
කඵඳු විමානෙක දිවි ගෙවමි…..
කවදෝ යළි ඔබ එන දිනයක….
මා කැඳවාගෙන යනු මැනවී……..

මේ හඞ අවදිකරනු පිනිස සංඥා නංවන්නේ සොඳුරු මවුත්ඕගන වාදනයකිනි එය එහි පිවිසුම් නාදමාලාවයි

———————————–

ලේබලය – තරංගා ලේබලය – 1977

වර්ගය – 45 භ්‍රමණ වට ඊ පී

නිෂ්පාදනය – විජය රාමණායක – තරංගා රෙකෝඩ් බාර්  – කොටුව කොළඹ 01

පද සංකල්පනය – මෙල්රෝයි ධර්මරත්න

තනු සංකල්පනය – මෙල්රෝයි ධර්මරත්න

සංගීත සංයෝජන සංකල්පනා – මෙල්රෝයි ධර්මරත්න

ගායනය – ඉන්ද්‍රාණී පෙරේරා

——————————–

තමා පබැඳු නිර්මාණයට තමා විසින්ම සත්සර මුසුකරවා තමන්ම ඊට වැයෙනා වද්‍ය රටා පෙළගස්‌වනු ලැබුවෝ විරළය ඔවුහු
දැවැන්තයෝ මය ආනන්ද සමරකෝන්  -සුනිල් සාන්ත – පන්ඩිත් අමරදේව හෙළ ගී කෙත එකාලෝක කල පහන් ටැම් පෙළ අතරට ඒ විස්‌කම එයාකාරයෙන්ම  පෑ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන – මෙල්රෝයි ධර්මරත්න වැන්නෝ ඇතුළත් නොවිය යුතුද ? ඔවුහු සියල්ලෝ වාග්-ගේය-කාරයෝ (වදන් – තනු – ගායනය)  වෙති

Sunil Shantha
Sunil Shantha
W.D.Amaradeva
Clarence Wijewardena
Clarence Wijewardena

ක්‌ලැරන්ස්‌ පිළිබඳව කියෑවුනු ලියෑවුනු දෑ බොහෝය එහෙත් ඔහු පිළිබඳව අවර්ජනය නොකර සිටින්නට එය කිසිසේත් හේතු විය යුතු නොවේ සිංහල පොප් ගීත කලාවේ පුරෝගාමි මෙහෙවරක යෙදී එය සිය ශක්‌ති පමනින් දියුනු තියුණූ කරවා ප්‍රචලිත කරන්නට ඔහු කල කැපවීම කෙසේ නම් ලඝූ ලුහු කොට සලකන්නද ?

ඉහත ලියෑවුනු තැටි ගී කලාවේ මතු දිනය සරු කරනු වස්‌ එදවස ඔහු දැනඋගත් නූගත් සියල්ලෝ හට අසනු පිනිස මෙසේ ලියා තැබිය

ගමෙන් ලියුමක්‌ ඇවිල්ලා – අක්‌කගෙන් වාගේ…..

මොකක්‌ කියලාද දන්නෑ – එහි ගියෙත් නෑනේ…….

—————

මේකී ලිපියට පිළීතුරු ලෙස කියෑවුනු තතු විත්ති වලට අමතර යමක්‌ යළිත් මෙලෙස කියා සිටියි

දයාබර අක්‌කේ ….

කලක්‌ ගත වි ගියා – තවම නෑ පිළිතුරක්‌ ලියා……

අදම මෙය ලියමි යෑයි කියා – ලියන්නේ වැඩ දහක්‌ කියා…

ගමේ එන්නට සිතේ තියා – සිතුව මුත් සති ගනන් ගියා….

ඉවරයක්‌ නැති ලියුම් ලියා – පලක්‌ නෑ මම ගමේ නොයා……

—————
පද සංකල්පනා සහ තනු -නැසිගිය ක්‌ලැරන්ස්‌ විජේවර්ධන විසිනි
——————

තාක්‍ෂණ විප්ලයකට හසුව වේගයෙන් පරිණාමය වෙමින් යන වර්තමාන මානව සමාජය පාරිභෝජනවාදය මත සියඵ අගයන් රඳවා තබාගනු ලබයි මින් දශක පහක තරම් දුර අතීතයක සංකීර්ණ නොවු අවශ්‍යතා අවම වු සාමුහිකත්වය මත රැඳුනු ගුණාංග රැකි මානව සමාජයක තොරතුරු පැතිකඩක්‌ මෙහි පෙළගැස්‌වු නිර්මාණයන්ගෙන් හෙළිකෙරෙයි

ස්‌තුතියි

ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න

ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන් ජීවන තොරතුරු

February 20, 2022 by shamilka
Jayathissa Alahakoon, Prabath Rajasooriya

ඉරට යටින් සඳට යටින්  – ඔබව සොයා ආවා  

ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන් මැවූ ගී සර අසිරිය

 

සතුට විලයි සැපත මලයි – නෙඵවොත් මල අතින් එකයි…….

පමා වුනොත් මල පරවේ  – ඉරට යටින් හඳට යටින් කාලය පැනයනවා ……….

ගී පද නැසිගිය නිමල් වික්‍රමසේකර

—————–

ගුවන් විදුලියේ නිතර ඇසුවකි  සමූහ ගායනාවක්‌ පමණක්‌ නොව සිනමා ගීයකි නමුදු 60 දශකයේ පටන් ප්‍රචලිත බටහිර –  ලතින් ඇමෙරිකානු සංගීත ශෛලියට ද නෑකම් කියයි
කලාපෙළ නිර්මාතෘ ප්‍රවිණ සිනමාවේදී ජී ඩි එල් පෙරේරා විසින් 1968 වසරේ තිරගත කරන්නට යෙදුනු දහසක්‌ සිතුවිලි සිනමා පටයේ සාද ජවනිකාවක්‌ වෙනුවෙන් පසුබිමින් වැයුනු මෙම ගීතයේ නිර්මාණකරුවා  ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන්ය

භාරත දේශයේ හින්දුස්‌ථානි සංගීත ආභාෂය ලද එම ගුරු කුලයේ සාමාජික  පන්ඩිත් අමරදේවයන් ද එවකට පැවති ගී රැල්ලට අනුගත වෙමින් කැලිප්සෝ ලතින් ඇමෙරිකානු නාදමාලා ට සරිලන තනුරටාවක්‌  බිහිකරනු ලැබීය ඒ මින් දෙවසරකට ඉහත තිරගත වු ආචාර්ය ලෙස්‌ටර් ගේ දෙළොවක්‌ අතර සිනමා පටය උදෙසාය

ඇතැම් විට මෙම නිර්මාණය එය ගුරුතන්හි තබන්නට ඇතැයි අනුමාන කළ හැකිය දේවානන්ද වෛද්‍යසේකර යන නාමය රසිකයන් අතරට වඩාත් සමිප වුයේ  මෙයින් බව කිවහැකිය

Devananda Waidyasekara
Devananda Waidyasekara

නමුදු ඔහු ගේ මංගල සිනමා ගී ගායනය වු ආශා දෑසින් දකිනා සිහිනේ ශ්‍රවණය කරන්නට ලැබුනේ ජී ඩී එල් පෙරේරා ගේ ද මංගල සිනමා නිමැයුම වූ  සාමා වෙතිනි ඒ මින් තෙවසරකට පෙර 1965 වසරේදිය

වනන්තරේ ගල් අරනේ විමානේට  ……

නිරන්තරේ යන ගමනේ විඩාවට………

නමින් ශිල්පිනි මල්ලිකා පෙරේරා ගැයු ගීතයද  කළඑළි බට එකී සිනමා නිර්මාණයේ ඒ ගරුබුහුමන ට හිමිකම් කිවේ අප කථානායකයාමය ඒ ඔහුගේ මංගල සිනමා සංගීත නිර්මාණයයි
ඔහු පිළිබඳව ලුහුඞින් විමසා බලන්නට දරන ලද තැතකි මේ

Jayathissa Alahakoon
Jayathissa Alahakoon

බස්‌නාහිර පළාතේ ෙඓතිහාසික අත්තනගල්ල පුරවරයේ නිට්‌ටඹුව ග්‍රාමයේ ජන්ම ලාභය ලැබු ජයතිස්‌ස අලහකෝන් ගේ පියා මාටින් පෙරේරා නමින් වූ පැරණි ටවර් හෝල් ශිල්පියෙකු විය

මරදානේ සංඝරාජ විදුහලේ අකුරු කළ සියපුතු වු ජයතිස්‌සයන් තූර්ය භාන්ඩ අතදරමින් ඒවා ඇසුරේ දිවිගෙවන්නට රිසිබව දැන වටහගත් හෙතම සිය පුතු එවකට ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ මහා දැවැන්තයෙකු වු එච් ඩබ්ලිව් රූපසිංහයන් යටතට යොමු කලේය හෙළයේ නිළි අග රැජින මෙන්ම මහා ගායිකාව වු රුක්‌මණි දේවිය ගේ ද සංගීත ඇදුරිඳු වු ඔහු සප්ත ස්‌වරයේ න්‍යයාත්මක හා ප්‍රයෝගික මුලධර්ම පිළිබද දැනුම සිය යව්වන සිසුවා වෙත ගෙනහැරදැක්‌විය

ඉන් අනතුරුව වාදන ශිල්පකලාව ප්‍රගුණ කරවන්නට ඔහු පියනැගුවේ ඒ කටයුත්තේ දැවැන්තයන් වු පන්ඩිත් අමරදෙවයන්හා  සංගීතවේදී බී වික්‌ටර් පෙරේරා වෙතටය එහිදි ඔහු වයලීන් වාදනය හදාරා ස්‌වෝත්සහයෙන් එය වැඩිදුරටත් ප්‍රගුණ කලේය

මේ අතරවාරයේ ඔහු භාරතයේ විශ්ව භාරතී භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයේ පරික්‍ෂණයට පෙනිසිට ඉන් සමත්ව රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේ තමා අකුරු කල මරදානේ සංඝරාජයෙනි

ඊට සමගාමිව හෙතම දිවයිනේ ප්‍රමුඛතම සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණයන් සඳහා තෝරාගත්  වයලීන් වාදක කන්ඩායම නියෝජනය කරන්නට සමත් විය

දිවයිනේ නාට්‍ය වංශයේ රන් අකුරින් ලියෑවෙන මහඇදුරු සරත්චන්ද්‍රයන්ගේ මනමේ  ගුණසේන ගලප්පත්තිගේ මුදූ පුත්තු ඇතුඵ වෙනත් වේදිකා නාට්‍ය ගණනාවක වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකුව සිය හැකියාව මනා ලෙස ඔප මට්‌ටම් කරගන්නට සමත් වු ජයතිස්‌සයන් සිය කලා දිවියේ සංධිස්‌ථානයකට එළැඹුනු වසර වුයේ 1964 වසරයි

ජී ඩි එල් පෙරේරා ගේ සාමා නමින් වු වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය පැවරි තිබු නිසාම එය සිනමා කෘතියක්‌ බවට පත්කිරීමේ ක්‍රියාවලියේදී ද ඔහු ට එහි සංගීත අධ්‍යක්‍ෂණය පැවරී තිබුනේ එම වසරේදිය

කලාපෙළ සාමාජිකයෙකු වු සුගතපාල සෙනරත් යාපා ඒ වෙනුවෙන් ලියු පෙර සඳහන් ගීතයට සාධරණය ඉටුකරන්නට ජයතිස්‌ස අලහකෝන් සංගීතඥයා සමත් වුයේ එහි ‍ශෝකි රසය ජනනය කරවන ජවනිකාවට එය මනාව පැහි යන ලෙසට ස්‌වර පෙළගස්‌වාලමිනි

Rukmani Devi
Rukmani Devi
W.D.Amaradeva
W.D.Amaradeva
Sugathapala Senarath Yapa
Sugathapala Senarath Yapa

ලියෝනි කොතලාවල නම් අධුනික යොවුන් රංගන ශිල්පිනිය කරත්තයක නැගි සිය ගම් පියසෙන් සමුගෙන යන අයුර එහි ජවනිකා පෙළින් කියා පෑහ

ඉහත සිනමා ගී ද්විත්වයෙන් පසුව ක්‍ෂේත්‍රයේ තමාට හිමි ස්‌ථානය තහවුරු කරගත් ඔහු 70 දශකයේ ජාතික ගුවන් විදුලියේ ශීල්ප හරඹ දක්‌වන්නට අවස්‌ථාවක්‌ උදාකරගන්නා ලදී

කුරවි කෙවිළ්ලන් පානා ඉගිබිගි නෑ නෑ මෙතෙක්‌ දැනුනේ ………………………

———————————————

මහඇදුරු සුනිල් ආරියරත්න ගේ පද සංකල්පනාවක්‌ වු ඉහත ගීතයේ ස්‌වර සංකලනයෙන් නන්දා මාලිනිය ට සහය වු හෙතම යළිත් වරක්‌ ඇයවෙත සුමධුර තනුවක්‌ නිර්මාණය කරදුන්නේ රත්න දිසානායකගේ පදමාලාවක්‌ ඇසුරු කරමිනි

කප් සුවහස්‌කල් පෙරුම් පුරාගෙන – අනන්ත බාධක දුක්‌ පීඩා විඳ

භවෙන් භවය යන මං සළකුණු දැක – ඔබව සොයා ආවා………………….

1972 වසරේදී පේරාදෙණියේ අනුලා දිසානායක සමග විවහ වු ඔහු දරුවන් සය දෙනෙකුගේ  සිය කැදැල්ලට එක්‌කරගත්තේය

1995 වසරේදී රජයේ සේවයෙන් නික්‌ම ගිය ඔහු දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙයි


විශේෂ ස්තුතිය


තොරතුරු මුලාශ්‍රය වෙනුවෙන්
මියැසි හරසර – ලාල් ආනන්ද අබේධීර මහතා වෙත

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද – හෙල පෙළපත අභිමන් දද බැන්දා

February 5, 2022 by shamilka
KDK Dharmawardena, Prabath Rajasooriya

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර – 04 වන කොටස

නමුදු ඔහු ගේ පරිකල්පන ය ඔස්‌සේ මුවහත් වූ නැණැස මෙහෙයවූයේ මිනිසත්බව එකී පැතිකඩ ඔස්‌සේ පමණක්‌ම නොවේ ඔහුමැවූ යොවුන් ප්‍රේමවිජිතයේ සටන් ජයලබනුයේ දෙහදක්‌ එක්‌විමෙනි

ඉක්‌බිති ඇය උත්තරීතර මව් පදවිය ලැබ අපිරිමිත දාරක ස්‌නේහයෙන් හද පුරවා ළදරු වියෙන් නික්‌මීයන තම සිගිත්තාගේ ලෝකය හා එක්‌වන අයුරුයි මේ

වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණදෝ – ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්‌ටුයිදෝ ?

කෝ අනේ පුංචි හොරා උන්නා මේ කාමරයේ නෑ සද්දක්‌ දොරමුල්ලේ එත් අනේ දොරහෙල්ලේ

(ශ්‍රීමතී තිලකරත්න – සප්තස්‌වර මුසුව මහින්ද තිලකරත්න විසිනි)

අද මානව පරිකල්පනය මොටකර මුලිනුපුටා දමන රූපයන්ත්‍රයේ ග්‍රහණයට ලක්‌වන්නට පෙරාතුව එදා ගුවන් විදුලිය මාධ්‍ය ට හුරුව සිටි රසිකයන්ගේ ගේ මනස සිසාරා දිවයන එවන් සුන්දර රූපාවලියක්‌ මැවූයේ ද කේ ඩි කේ ය

පුරාණ සාහිත්‍යයේ අතැඹුලක්‌ කොටගත් මේ ගේයපද රචකයාණෝඅන්ධානුකරණය පිළිකෙව් කලේය ඒවා විචාර පූර්වක ව තර්කාණුකුල අර්ථ විවරණය කරන්නට විය තත්කාලීන කලා නිර්මාණ හා වියත් අදහස්‌ ද ඔහු සැළකිල්ලට බඳුන් කරන්නට ඇතැයි අනුමාන කිරීම යුක්‌තියුක්‌තය

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර තිබිණි

රාමායණයේ දැක්‌වෙන කථා ප්‍රවෘත්තිය හා එයාකාරයෙන්ම එකග වීම ප්‍රඥාගෝචර නෙවන්නේ යෑයි මම කියමි එය පක්‍ෂග්‍රාහි යෑයි පැවසෙන විද්වත් මත යුක්‌ති සහගත වේ යෑයි මමද සිතමි එහි කථානායකයාණෝ භාරත යේ දශරථ රජ පුත්‍රයාණන් වූ රාම චරිතය උත්කර්ෂණයට ලක්‌ කර තිබීමත් ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ ලංකාද්වීපයේ පාලකයා වූ රාවණ නිග්‍රහයට පාත්‍ර වන්නට සැලැස්‌වීමත් සිදුකර තිබෙයි එහෙත් මෙහි පවතින්නා වූ ජනකථා ජනශ්‍රැතිය හා වෙනත් මුලාශ්‍ර ඒ හා සපුරා අනුගත නොවේ

එවර ඔහුගේ පන්හිඳ තුඩගින් මෙසේ ලියෑවී තිබිණි

සිතාවනි ඔබ හැඩරුව ඇති බව – දිවි හිමියෙන් පති දම් සුරකින බව

දනිමි ඔබත් දැනගත යුතු මේ බව – ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව

අපේ කුලගොත වත ඉහළයි හැමවිට- එහි අභිමානය රකිනෙමි හැමවිට

අන්සතු අගනක සෙනෙහස පැතුමට – දීන නොවේ මේ රාවණ පෙළපත

මගේ සොහොයුරියක්‌ පෙර දවසක්‌දා – රමා කුමරුගෙන් හිරිහැර වින්දා

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා – හෙල පෙළපත අභිමන් දද බැන්දා

(වින්ස්‌ටන් ප්‍රේමසිරි ගී හඞ වෙනුවෙන් ස්‌වර රටාව ආචාර්ය වික්‌ටර් රත්නායක)

රාවණ නරපති තෙම එසේ තෙපළයි ශ්‍රාවක සිත් සසල කරවයි සුපුරුදු ලෙස මෙවර ද ඔහු තම ගී රසිකයාගේ නෙතග කඳුලු නංවයි එහෙත් ?

හාත්පසින්ම වෙනස්‌ ප්‍රස්‌තුතයක්‌ ඔස්‌සේය ඒ ඔහුගේ අපමණ නිර්මාණ කෞෂල්‍යයයි
කේ ඩි කේ විසින් ඒ භූපතියාණෝ පිළිබඳව මහත් දායානුකම්පාවක්‌ ජනිත නොකෙරුවේද ඔබ තුල රෑ හදවත හඩා නොවැටුනේද ඔහු පිළිබඳව ඔබගේ ?

ඉන්දීය ආගමික සාහිත්‍යයයේ පූජාර්භ වන ලෝ තලයේ ම පතල සිමිත සංඛ්‍යාවක්‌ මහා කාව්‍ය අතරද ප්‍රමුඛත්වය ලබන මහා භාරතය මෙන්ම මේ කථාවස්‌තුව ගෙනහැර දක්‌වන රාමායණය ඇතැම්හු පුරාවෘත්තයක්‌ ලෙස ද සලකති එසේ නොවන්නේ යෑයි කියා සිටින්නෝ ද වෙති

රාමායනයේ මේකී පුවත කියෑවෙන අයුරු මෙසේය

දුරාතීතයේ යුගයක ලංකාද්වීපය පාලනය කළ රාවණ නම් තෙදැති පාලකයා ලෝ නියාම ධර්මයට පටහැනිව ක්‍රියා කරයි ඒ අනුව ඔහු විසින් භාරතයේ ඉසුරුමත් අයෝධ්‍යාපුර පාලක දශරථ නරවරයා විසින් වනප්‍රස්‌ථ දිවියකට පිටමං කළ ඔහු පුත් රාමයන්ගේ අතිශය රූබර භාර්යා තොමෝ වූ සීතා දේවිය පැහැරගෙන මෙහි ගෙන එන ලබන්නේ සල්ලාලකම නිසයි

ඒ නිසා මෙකී දුෂ්ඨ පාලකයා හා ඔහුගේ පරපුර විනාශ කර දමන්නට පාරිශුද්ධත්වයේ සංකේතය වූ රාමයන් විසින් යුධ ප්‍රකාශ කරනු ලැබ ඊට ඇවැසි ගෝත්‍රික සේනා රැස්‌කරවා මෙහි විත් වසර ගණනක බිහිසුණු යුද්ධයකින් රාවණ තෙමේ දිවි තොර කරනු ලබයි ඒ ඔහු සොයුරු විභිෂණ ගේ සහයෙනි

ඊට ප්‍රතිඋපකාර ලෙස විභිෂණ ලක්‌ කිරුළ පවරා රාමයන් සීතා දේවිය හා නික්‌ම ගොස්‌ ඇය අමතා තමා ගේ නිකැළැල් බව ඔප්පු කර දක්‌වන මෙන් නියෝග කරයි

40 දශකයේ මුල්භාගයේදී මුණිදාස කුමරතුගුවන් විසින් බිහිකල හෙළ හවුලේ සාමාජික පිරිස්‌ වූ හරිස්‌චන්ද්‍ර විජේතුංග ජයන්ත වීරසේකර අරිසෙන් අහුබුදු මෙම සිදුවීම ප්‍රතික්‍ෂේප කරයි තම මතවාදය ජනගත කිරීම සඳහා අහුබුදුවන් සක්‌විති රාවණ නම් වේදිකා නඵව මෙන්ම ලිපි හා පුස්‌තක කිහිපයක්‌ එළිදැක්‌වීය

දිඑවකට රාවණයන්ගේ යටත් විජිතයක්‌ වූ දක්‍ෂීණ භාරතයේ දන්ඩක වනයට අනවසරයෙන් ඇතුඵවු රමා – සීතා හා සොයුරු ලක්‍ෂමණ ගෙන් කරුණු විමසන්නේ එහි අන්ඩුකාර ධුරන්දර රාවණ සොයුරිය ශුපර්ණිකාය එහිදී ඈ ට එරෙහිව ඇගේ නාසය හා කන් සිඳලනු ලබයි

රාවණ සීතා පැහරගන්නේ මීට පළිගැනීමට මිස ඇයව අපහරණය කරන්නට නොවේ

කේ ඩි කේ ගේ මෙම නිර්මාණය ට හෙළ හවුලේ මතය හා ලාංකික ගැමි ජනප්‍රවාද සාහිත්‍යයය සෘජුව හෝ වක්‍රව බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකිය

90 දශකයේ මැදභාගයට එපිටින් යුගයේ පොදුරසිකයන් වෙත නිති ගී රස ළංකරදුන් එකම විදුමාධ්‍ය වූ රජ්‍ය ගුවන් විදුලියේ එවක සේවය කළ නිවේදක මඩුල්ල කිසිම විටක එකිනෙකාට දෙවැණි නොවිනි එහෙත් ඔවුන් අතරින් වඩාත් කැපී පෙනෙන සුන්දර රූපකායක හිමිකාරුවාණෝ වූ මේ ගේයපද කවියාණන් එහි දී ආරාධන ස්‌වර දැහැන හා වෙනත් වෙළඳ වැඩසටහන් අතිමහත් සංඛ්‍යාවකට දායකත්වය සැපයීය

ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිංහල සේවා අධ්‍යක්‍ෂ පාලිත පෙරේරා හා එක්‌ව සෙවණැල්ලක්‌ මෙන් සිටිමින් සම්ප්‍රදායික ගතානුගතික එකී අයාතනය නවිණ ලෝකය වෙත කැන්දාගෙන යන්නට ඔහු ද අතහිත දුන්නේ ලාංකිය පුරෝගාමි එෆ් එම් චැනලය වූ සිටි එෆ් එම් බිහිකරන්නට දරදිය ඇදීමෙනි

Palitha Perera
Palitha Perera

දේශපාලන විපර්යාසයන් අනුව හමන සැඩ සුළගින් නිති හසුවන ගුවන් විදුලියේ 1994 හැමූ තීරණාත්ම මාරුතයකින් පෙරඵනු වෘක්‍ෂයන් ට තැළි පොඩිවී ගසාගෙන ගිය කේ ඩි කේ ට දශක තුනක්‌ තමා ගේ සොඳුරු නිවහන බඳු වු ඒ ආයතනයෙන් බැහැරව යන්නට තින්දු වී තිබිණි

ඔහු මේ කොදෙව්වෙන් බැහැරව වැඩිම ලාංකික ගී රසිකයන් රැසක්‌ එක්‌රැස්‌ වූ කලාපයක නව නවාතැනක සුපුරුදු කලාව ප්‍රගුණ කරන්නට වූයේය ඒ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ උමා අල් ක්‌වේන් ප්‍රාන්ත ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් මෙහෙයවන්නටය

නව සහස්‍රය ඈත ක්‍ෂිතජයෙන් එබි එකොළොස්‌ මසක්‌ ගතවී ගොස්‌ තිබිණි ඔහු මෙවර ජීවන චාරිකාවේ සයපනස්‌විය පසුකරමින් සිටියේය

අදින් තෙසැත්තාවකට පෙර මෙහි සපැමිණි කේ ඩි කේ ධර්මවර්ධනයෝ සුරත රැඳි පන්හිද පසෙකින් තබන්නට ඉරණම විසින් තින්දු කර තිබිණි ඔහු ඈත ක්‍ෂිතජයේ සැගව ගිය සෙයකි මතු මහල් තලයක රැඳී නෙත් පහත යොමා තම ගේයපද රසිකයන් වෙත දයාබරිත බැලුම් හෙළන්නේද ?

තමන් වසග කල එවන් අමයුරු ගීතාවලියක රසඋල්පත සිඳි ගිය බව කණවැකුණු රසිකයන් වැළනොකැඩි රෝහල් සයනය මත නිසලව නිදන කේ ඩි කේ රුව දසුන තවත් එකම වරක්‌ තම දෙඇස්‌ හි සටහන් කරගන්නට පොරකෑහ

මතු දිනක එයින් මෑත්ව යළි මෙහි පැමිණ විරාමය ලත් තැනින් ඒ සුන්දර ගීතාවලිය අරඹන තෙක්‌ ඔවුහූ නොඉසිලිමත්ව රැඳි සිටිනු ඇත

xxxxxxxxxx     සමාප්තයි    xxxxxxxxxxxxxxxx

අධෝලිපිය

කේ ඩි කේ ධර්මවර්ධන සිනමා ගීතපෙළ අතරින් සමහරක්‌

ශ්‍රී මදාරා – පළිගු බඳුන් – මිල්ටන් මල්ලවාරච්චි

පෙම්බර මධු – දෙණුවන් බිගුන් – බඹරිදු රොන්සුනු එච් ආර් ජෝතිපාල – ඇන්ජලීන්

මග පෙන්වන තරු සළකුණු – චන්ද්‍රීකා සිරිව්ර්ධන

මරුවා සමග වාසේ – බඹර කලාපේ – මිල්ටන් මල්ලවාරච්චි – ඇන්ජලීන් ගුණතිලක

සැණකෙලිය – බොල්පිණි මැද – සුජාතා අත්තනායක

වස්‌තුව – බඹර පහස – එච් ආර් ජෝතිපාල – ඇන්ජලීන් ගුණතිලක

අනුරාධා – තාරුකා දිහා – මිල්ටන් මල්ලවාරච්චි

මල් කැකුඵ – ලස්‌සන දෑසක්‌ ඉස්‌සර මා සෙව්වා – මිල්ටන් මල්ලවාරච්චි – ෂ්‍යාමි ෆොන්සේකා

සහෝදරියකගේ කථාව – පැතුමන් බොඳවී- අමරදේව

සිකුරු දසාව – සසලව කැළඹී – ලතා වල්පොල මහමග තැන තැන – රූපා ඉන්දුමතී – මිල්ටන් පෙරේරා

සඳවට රන්තරු – සැගවීලා – එච් ආර් ජෝතිපාල

රන්දම්වැල් – ළංවෙන්නවාදෝ වෙන්වූයේ – එච් ආර් ජෝතිපාල – ලතා වල්පොල – වෙන්වෙන්නවදෝ ළංවුයේ – වික්‌ටර් රත්නායක

යළී හමුවෙන්නයි – ආදරේ මන්දිරේ වැසුනා – චන්ද්‍රලේඛා පෙරේරා

දුර්ගා – රසමුසු ජය කල්පනා – නීලා වික්‍රමසිංහ

 රූපවාහිනි ටෙලි නිර්මාණ පෙළ අතරින්

හිමි අහිමි හඳහඩන පණනල – සුනිල් එදිරිසිංහ

ප්‍රමාද වැඩියි – ආදර සීනුව පෙම්ලොව දොරලග- ග්‍රේෂන් ආනන්ද

සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය – ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි – නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන මහත්මිය)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Previous »

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved