• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

indrani-bogoda

ඉන්ද්රානි බෝගෝඩ මුල් ගුවන් විදුලි නිර්මාණපෙළ අතරින්…..

March 19, 2022 by shamilka
Indrani Bogoda, Prabath Rajasooriya

දෙරණ තල දෝවා අරුණැල්ලේ නාද දුන් නීල කොබෙයි පවත………………… ස්වර්ණවර්ණ එදා ගුවන් විදුලිය….1975

රුහුණු කුමාරිය සුපුරුදු ලෙස දිනපතා මාතර පුරවරයෙන් හිමිදිරියේ පිටත්වෙයි. යොවුන් පෙම්වතුන්ද පෙම් සටනින් ජයලද්දෝද එදා මෙන්ම අදද හෙටද එහි නිරතුරු ගමන් කරනු ඇත.

එසේම අඩසියවසක යුගයකදී බොහෝ දේ විපර්යාසට ලක්වී ඇත්තේය. නව තාක්‍ෂණය උපකරණ ආකල්ප අදහස් සිතුම් පැතුමි මේ සියල්ලම එසේය. ඔවුන් අතරැඳි ජංගම දුරකථනය වෙත නිරන්තරයෙන් නෙත්යොම සිටිමින් ඇතැමුන් යුහුසුඵව මාපටැගිලි ඒ මත චලනය කරවන්නේ නොයෙක් ආකාරයේ වෛවර්ණ චලන රූප මෙහෙයවමින් ක්‍රීඩා කරන්නටය. සවන්පත් වසාගත් උපකරණය ඊට නිතිපතා සම්බන්ධ වේ. එදා මෙන්ම අදද  නෙකාකාර දසුන් කවුඵ අතරින් ඈත් මැත් වෙද්දී කිසිවෙකු හෝ ඒ දෙස හිස ඔසවා නොබලන්නේ දුරකථන තිරයේ දිස්වන දෑ සියලු දසුන් පරදා ඔවුන්ගේ නෙත් පැහැර ගන්නා නිසා වන්නට ඇත.

පරිසරයේ සිරි අසිරිය විඳගන්නට එය නෙත් රසඳුන් කරගන්නට ඔවුහු ප්‍රිය නොකරනා සේය. තාක්‍ෂණය විසින් ඒ සියල්ල ඔහුට ඇයට අහිමි කර ඇති සේය.

අඩසියවසකට ආසන්න යුගයක දුර අතීතයේ දිනක රුහුණු කුමාරි ඇකයේ සැනහෙමින් අගනුවර කරා පියමං කරන යොවුන් පති පතිනි යුවළකි. එදවස ද දිනකර මෙදවස මෙන් කවුඵ අතරින් එබි බලද්දී ඔහු හිමිදිරි අරුණෝදයේ රුසිරු දසුන් වින්දනය කරයි. ඇය හිස මත දැඩි බරක් වගකිමකි. තවත් හෝරා කිහිපයකින් ඇය සිය දිවියේ සුවිශේෂී අත්දැකීමට මුහුණ පාන්නට සැරසි සිටින්නීය. එහෙත් ඒ කාර්යය නිසි ලෙස ඉටුකරගන්නට හැකිවේදෝ යන සිතුවිල්ල ඇයගේ මනස කළඹාලයි. ඇය ඊට මනාලෙස තවමත් සුදානම් නැත. අගනුවරට පිවිසෙන්නට පෙර ඉටුකරගතයුතු සම්පුර්ණකරගතයුතු කාර්යයක් අසම්පුර්ණය. අභියෝගය සුඵපටු නොවේ.

රුහුණු කුමාරිය පෙනෙන දුරින් රළ රැළි නංවන සිඳු නාදය පරදවා සිය ඝෝෂාව නංවයි. ජීවන චාරිකාව ද ඇයගේ චාරිකාව ද එකළෙසය. නැවතුමක ගිමන් හරින්නට සැරසි ඇය කෙමෙන් නිසලවෙයි. යළි හඞ නංවයි.

ඔවුන් මෙසේ අරුණෝදයේ කඵ සෙවනැළි මෑත් වන්නටද පෙරාතුවම රුහුනු කුමාරි දුම්රියේ අසුන් අරා අගනුවරට සේන්දු වන්නේ ඇයට තැපෑලෙන් ලැබුනු ලිපියේ සඳහන් කාර්යාලයටය. එය එදවස අයෙකුට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකට සම්බන්ධ වනු පිනිසය. දිවයිනේ ඇති එකම විද්යුත් මාධ්‍යායතනය වු එය ’ලංකා ගුවන් විදුලියයි’. ලක්දිව පුරා අධිපත්‍යය පතුරාලු ජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනය වු එහි එක්රොක්වන්නට සිහින මවන්නෝ මහත්ය. ඒ අතරින් ගැයුමෙන් වැයුමෙන් හඞ අවදිකිරීමෙන් රංගනයෙන් අසමසම දස්කම් විස්කම් පෑවෝ පමණක් එහි පියනගන්නට වරම් ලබයි. ඒ දුලබ හිමිකම ලද්දෝ තමන් දිවයිනේ වඩාත් වසනාවන්තයෝ ලෙස සළකති.

ඇය කලාන්තරයක් පුරා සිහින මවමින් පෙරුම් පුරමින් සිටි  ’සරළ ගීත ගායනා’ වැඩසටහන වෙත දොරටු විවර කර දුන් කැඳවිම් ලිපිය ලද ඇයට පස්වනක්  ප්‍රිතියෙන් පිනා යන්නට වරම් නොවීය. ඇයට එහි ගායනා කරන්නට නියමිත ගීත සතරකින් එක් ගීතයක ’තනුව’ පමණක් ඇය සතුය එහි තාලය පමණක් ඇය මනාව ප්‍රගුණ කර තිබුනද පදමාලාව අහිමිය. ඇයගේ හදවත යකුඵ පහර දෙමින් ස්පන්දනය වන්නේ එබැවිනි. තවත් සුඵ කාලයකින් ඇය දැන කියා ගත් ’තනුවට’ වදන් සම්පුර්ණකරගත යුතුමය.

Indrani Bogoda
Indrani Bogoda

පතිකුලයට පිවිසි නවකයන් වූ ඇය සිය සැමියා කැටිව හිස ගිනි ගත් ලෙසින්  දුරුරට පියමං කරන්නේ ඒ නිසාවෙනි.

ඔහු සිය බෑගයෙන් ගත් කඩදාසියක් මත කිසිවක් සටහන් කරනු ඇයට පෙනෙයි. වරෙක හිසරුවා කවුඵවෙන් එපිට තැනක ඔහුගේ නුවන් රඳවයි. යළි හිස පහත හෙළා කිසිවක් කඩදාසිය මත කුරුටු ගායි. පෑන් හිස දෙතොල් අතර රඳවයි.

හිරු සිය සුපුරුදු චාරිකාව අරඹා ඇත. නිල්ල අතරින් අහස් කුස කරා පියඹා යන සියොතුන් සොඳුරු දසුන් මවයි.

අත රැඳි පත සිසාරා ඔහුගේ සුරත දිව යනු ඇයට පෙනෙයි. එහි මුතු අකුරින් වදන් වැල් මතුවෙයි. රුහුණු කුමාරිය සිය ගමනින් අඩක් නිමවා ඇති සේය. උකුල මත රුවා ගත් පතෙහි  පදවැල් පේළී මාලා එක්තැන් වෙයි.

ඔහුගේ මුහුනේ ඇඳි මන්දස්මිතය ඇයගේ කැළඹුනු සිත නිවාළන පවන් රොදක් බඳුය. දුම්රිය අගනුවර පෙනෙන මානයේ ඇදීයද්දී ඔහු සිය සුරත රැඳි පත ඇයගේ උකුල මත තබයි.

’කියවන්න ………….’

’ආ….නේ .. හරිම ලස්සන කවියක්…………….. ’

මාතර සිට කොළොම්පුරය දක්වා සැතැපුම් සියයක දුරකදී  දුම්රිය කවුඵ දොරින් නෙත ගැවසුනු දසුන් අකුරු වැල් බවට පත්වී එහි අපූරුවට පෙළගස්වා තිබිනි.

සීත දියරැල් සලා …………………….

පියුම් පිපුනා බලා ………………….

දෙරණ තල දෝවා අරුනඵ දේ ………………..

සියොත් කැළ නාද දේ …………………..

දෙරණ තල දෝවා නැගි අරුනඵ හමුවේ හදගැස්ම සමනය වී සැක සංකාවෝ පහවී ගිය සේය. තවත් හෝරාවකින් දෙකකින් තම ගායන දිවියේ මුහුණදෙන්නට නියමිත තවත් කඩඉම අභියෝගය ජයගැන්ම උදෙසා ඊට එරෙහිව නැගි බාධක දුරු වි ගොසිනි. තවත් නොබෝ දිනකින් එය සිරිලක අහස් කුස සිසාරා ඇසෙනු ඇත. තවත් සොඳුරු නිර්මාණයකින් ශ්‍රාවක සිත් සැනහෙනු ඇත.

කලක් ගත වී එක්තරා දිනක නිශා යාමයේ තැන්පත් ස්වරයෙන් කියැවුනු ගුවන් විදුලි නිවේදනයකි.

’මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල පළමුවෙනි සේවයයි…………….’

මෙතැන් සිට ’සරළ ගී’ , අද සරළ ගී වැඩසටහන ආරම්භ කරන්නේ ගායන ශීල්පිනී ඉන්ද්‍රානී බෝගෝඩ ගැයු ගීතයකිනි…………….’ 
මේ ගීතයේ පද රචනය ’ධර්මදාස පරණගම’ සංගීත නිර්මණය සංගීතවේදී චන්ද්‍රසේන බෝගෝඩ …………..’

කල් බලන් සිටිය බඹරින්දා ….

විල්තෙරින් හමන මදනළ හා ………..

මුසුව ගිය රත් දෙතොල් පොපියා …..

හාදු දී මා දිහා බැලුවා ……………..


විල්තෙරේ රේණු සුකුමාලා …

රත්පියුම් රේණු මා දැකලා ….

————————–

තවත් කලක් ගතවිනි මේ  1976 වසරයි. එක්තරා දිනකදී නිකුත් වුනු ’ගුවන් විදුලි මාසික වැඩසටහන් විස්තරය කැටි කොට ගත් එය සගරාවක් යැයි කිවනොහැකි නමුත් කඵසුදු’ තරමක් නොපැහැදිලි මුද්‍රිත අකුරු සහ සේයාරූ වලින් සමන්විත පත්‍රිකාවකි. එහි පසුපිටේ මුද්‍රිත උඩුකය සේයාරුව යොවුන් යුවතියකගේය. ඊට දකුණු පසින් ගීතයක පදපේලී හා එහි නිර්මාණ තොරතුරු මුද්‍රිතය.

නීල වරළ නීල කොබෙයියෝ ………………

මං ආදර නීල වරළ නීල කොබෙයියෝ ……………..

සිත වටකර පියාසලන………

සිතට සුවඳ පවන්සලන ……………….

උඩින් ගියත් බිමින් ගියත් ………….

මගේ සිතින් ඉගිල නොයන්නේ ………………….

අඳුර නිවෙන සොඳුරු සිහින ………………

ම වෙත ගෙනෙන්නේ ……………..

එරන් මාල එරන් තෝඩු …………

එරන් වළලු නැතෙයි පතන්නේ ……..

අමාවකේ නිමා නොවන ….

සිනා බිඳක් රැගෙන වරෙන්නේ ……………..

ගීත රචනය – ජී එච් කේ රත්නසිරි

සංගීත නිර්මාණය – චන්ද්‍රදාස බෝගෝඩ

ගායනය – ඉන්ද්‍රානී බෝගෝඩ

————————–

ගීතය වාදනය කරන්නට පෙරාතුව නිවේදක තනතුර හොබවන්නා ගේ මුවින් ’ඉන්ද්‍රානී’ නාමය පිටවෙද්දී නිමේෂයක කලපරතරයකදී ශ්‍රාවකයෝ කුතුහලයෙන් මත්වී යතී. ඒ එදවස ගීත ලොවේ ජයදද බැන්දූ ’ඉන්ද්‍රානී’ තුන්කට්ටුවෙන් ඇය කිනම් සාමාජිකාවදැයි දැනගන්නා තෙක්ය. වරෙක ඇය ජ්‍යෙෂ්ඨතමයා වු ’ඉන්ද්‍රානී සේනාරත්න විය හැකිය (එදා ගුවන් විදුලියේ ඇගේ අනන්‍යතාවය හෙළිකළ පරිදි* හෝ පොප් වේගරිද්ම ගායිකාව වූ ’ඉන්ද්‍රානී පෙරේරා’ ද විය හැකි අතර ඇතැම්විට අධූනික ගායිකා ’ඉන්ද්‍රානී බෝගෝඩ’ ද වන්නට හැකිය.

සාලයේ දැවැන්ත රේඩියෝ පෙට්ටිය අසල ගැවසෙමින් සිටිනා ගී ශ්‍රාවකයන්ගේ කසුකුසුව මතුවෙයි………….

’අන්න අන්න ’සඳකිඳුරී මා ……………… ’ යන්න හදනවෝ …………………. ආ නෑ…. නෑ …………… ’ඈත එපිට සඳවටකර තරු පායනවා ……… ද ? ඔබේ කටහඞ තාම මතකයි … වෙන්න ඇති …. අනේ නෑ දෙන්නාම නෙවයි ඒ ඉන්ද්‍රානි බෝගෝඩ ගේ නේ ………………..’

නිර්මාපකයා ගේ අනන්‍යතාවය සැගවී දශක දෙකක ඇවැමෙන් ඇයට ඔහු අහඹු ලෙස මුණගැසී පසුව මෙම නිර්මාණයට පාදක වූ නිමිත්ත ද ඔහු විසින් හෙළිදරවු කරන ලදී.

’එක් දිනක් මා නිවසට යන්නට රැඳි සිටි බස්නැවතුමේ සොඳුරු වදනින් සන්තර්පනය වෙන යොවුන් යුවළකි. අපිළිවෙලට හිසපීරූ අවලස්සන කාල වර්ණ දේහයක් හෙබි ඔහු පැහැපත් සුන්දර වත කමලකින් හෙබි සිය අදරවන්තිය හා ළංවී බස් තෙපලමින් සිටී.

ගැමිජනවහරේ ’තැඹිලි ගෙඩිය මත වැසු කපුටා’ කියමන සරි ඇය ආදරය කරණ ’නීල වර්ණ නීල කොබෙයියා’ ගේ පවත බිහිවුනේ එයාකාරයෙනි.

1970 දශකය  නම් වූ ලාංකීය ගීත කලා වංශ කථාවේ සකල යස ඉසුරු සපිරි  ’දුටුගැමුණු’ යුගයේ ’ඉන්ද්‍රානී බෝගෝඩ’ නම් වු ගාන්ධර්ව යුවතියගේ ’ගී ස්වයංවරය’ එසේ සටහන් විය යුත්තේය.

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

චන්ද්‍රදාස – ඉන්ද්‍රාණී බෝගෝඩ නිර්මාණ මංජුසාව

November 7, 2021 by shamilka
Chandradasa Bogoda, Indrani Bogoda, Prabath Rajasooriya

ගුවන් විදුලියේ රන් යුගය සැරසු ගි මිණි පොකුරු – ඇය ගයන්නී සොයුරාණන් හැදූ ගීත මෙසේ……………..

70 දශකය යනු රිජ්වේ තිලකරත්නයන් මුලසුන අරා සිටි ගුවන් විදුලියේ රන් යුගයයි

එසමයේ  ගීත ගායනා ක්‍ෂේත්‍රයට පිවිසි නවක ගායන ශිල්පි ශිල්පිනියන් අතර රැඳී සුභාවිත සුගායනා ලැදි රසික දනා මතු දශක ගණනාවකදී ද හෘදයාංගමව සිහිපත් කරවන ඇය ඉන්ද්‍රාණි බෝගෝඩ ය ගණනින් නොවිසල් සංඛ්‍යාවක්‌ නිර්මාණ ගැයූවද ඒවා එකිනෙක පරයා ශ්‍රාවක හදට සමිප කරවන්නට සමත් වූ ඇයගේ ජීවන මං සළකුණු සැකෙවින් සටහන් කරන්නට ගත් උත්සහයකි මේ

රුහුණු දේශයේ තම උපන් ගම් පියස වූ මාතර පුරවරයේ ජන්ම ලාභය ලැබ එහි විසූ ඇය ට ද රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඖෂධ සංයෝජකයෙකු ලෙස කටයුතු කරනු ලැබු තම පියාගේ වෘත්තිය දිවිය නිසාවෙන් ගම් පියසෙන් බැහැර ව පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට සිදුවූ බව කියාසිටියි එයිනුදු වැඩිමනත් කාලයක්‌ සිප්කිරි ලැබු බෙලිඅත්ත මහ විදුහල හෘදයාංගමව සිහිපත් කරන්නීය

Indrani Bogoda
Indrani Bogoda

සංගීතයට ඇඵම් කරමින් එකී ක්‍ෂේත්‍රයේ මුලින්ම රැඳුනු තම සුඵපියාණන් වූ සෝමපාල බෝගොඩ ගායන ශිල්පියා ගේ අතේ එල්ලී පාසල් දැරිවියක්‌ ලෙස ඔහුගේ සංගීත වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් ඇගේ සප්ත ස්‌වර ශිල්ප චාර්කාව ඇරඹෙයි

එයින් අනතුරුව රජයේ සංගීත විද්‍යාලය වූ හේවුඩ් නමින් එවකට හැඳින්වූ ආයතනයේ බාහිරව ලියාපදංචි වෙමින් ගාන්ධර්ව සංගීත පරීක්‍ෂණය ට පෙනිසිටියාය

තම පියාණන්ගේ රාජකාරිමය කටයුතු නිසා නිවස්‌න නිති මාරුකරන්නට සිදුවූ ඇය ඇතුඵ පවුලේ සාමාජිකයන් මෙකී සිද්ධිදාමය වූ අවධියේ විසුවේ ඈත රුහුණේ බෙලිඅත්තේය

වැඩිමහල් සොයුරන්  වූ ගුවන් විදුලි වාදක මන්ඩලයේ තබ්ලා වාදක රංජිත් බෝගෝඩ හා එහි වැඩසටහන් උදෙසා බාහිර ශිල්පියෙකු ලෙස කටයුතු කරනු ලැබූ එවකට සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි චන්ද්‍රදාස බෝගෝඩ අනුව යමින් ඇයද එහි සරළ ගී ගායනා ශිල්පීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වන්නට තීරණය කර තිබිනි

එවකට එහි සංගීත අංශයේ ප්‍රධානී පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් ගේ නිර්දේශයෙන් ඇය හට ඒ ශ්‍රේණියේ ගායිකාවක්‌ ලෙස කටයුතු කරන්නට වරම් ලැබුනු ඒ අවස්‌ථාව ඇගේ සංගීත දිවිය එකලු කල රිදී රේඛාවයි

W.D.Amaradeva

අදටත් හෙටටත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳුනු ඇගේ ගායන ලාලිත්‍යය කියා පෑ එකී සුමිහිරි සරළ ගීතාවලියේ උපත සිදුවුයේ එතැන් සිටයි

එහි පැවති ක්‍රමවේදය අනුව එතැන් සිට සයමසකට වරක්‌ ඇයට සරල ගී වැඩසටහනක්‌ සඳහා තම හඩ මුසුකරන්නට ඉඩහසර ලැබී තිබිණි

එවකට ද යුග දිවියට එළඹ සිටි ඇය තම දයාබර සැමියාණන් වූ ධර්මදාස පරණගම ද කැටුව මාතරින් අඵයම දුරයේ අගනුවර කරා පිටත්වන රුහුණු කුමාරි දුම්රියේ අසුන් ගන්නේ එදිනට තමාට නියමිත් ගුවන් විදුලි සරළ ගී වැඩසටහන ට සහභාගි වන්නටය එහිදී එක්‌ වැඩසටහන් උදෙසා ගීත හතරක්‌ තැටිගත කරන්නට අවසර ලැබිණි

වරෙක එසේ කැඳවීම ලැබුනු විරාමයේ පුහුණුවී සුදානම් ව සිටියේ ගීත තුනකටය සතරවන ගීතයේ තනුව සූදානම්ය එහෙත් වදන් පෙළ ?

එහෙත් නියමිත දිනයේ වහාම අගනුවර ගුවන් විදුලි කාර්යාලය වෙත වාර්තා කළ යුතුමය

සුපුරුදු ලෙසම හිමිදිරි උදයේ ඉන්ද්‍රාණි – ධර්මදාස යුවල රැගත් රුහුණු කුමාරිය අගනුවර වෙත සෙමින් සෙමින් ඇදී යන්නට විය දුම්රියේ ගොරහැඩි නාදය වරෙක බාලවූ නිමේෂයේ හාත්පස කුරුඵ ගී හඩ සවනත වැකෙයි  ළා හිරු රැස්‌ පෙරී ඈත මෑත පොල් රූප්පාවෙන් මවන්නේ මනහර දසුනකි

යාබද අසුන්ගෙන සිටි ඇගේ සැමියා ධර්මදාසයන් කඩදාසියක යමක්‌ සටහන් කරනු පෙනේ දුම්රිය තම ගමාන්තය කරා එළඹ තිබිණි ඔහු අදාළ වැඩසටහනට අඩුව පැවති ගේය පද පේළිය සම්පූර්ණ කර තිබිණි

සීත දියරැල් සලා – පියුම් පිපුණා බලා……………..

දෙරණ තල සෝබා අරුනඵ දේ – සියොත් කැල නාද දේ…………………….

චන්ද්‍රදාස ඔයාගේ නංගී බොහොම ලස්‌සනට සිංදු කියනවා මම අහගෙන එදා  මේකට ගැලපෙන හඩ තියෙන්නේ එයා ලගම තමයි මේක එයාගේ ඊලග සරළ ගීත වැඩසටහනට යොදාගන්න කියන්න

එසේ කියමින් පසු දිනක ගුවන් විදුලි කාර්යාලයේ සේවය කල සහෘද කවියෙකු ගේය කාව්‍ය රචනයක්‌ සටහන් කල කඩදාසි කැබැල්ලක්‌ ඉන්ද්‍රණි සොයුරු සංගීතවේදී චන්ද්‍රදාසයන් අත තැබීය එය ඇය වෙත ලැබුනු වහාම ඊට සුදුසු තනු සොහොයුරා විසින් යොදනු ලැබීය

ගීත පටිගතකරන දිනය එළඹ තිබිණි නොඋස්‌ නෙමිටි තරමක්‌ කෘශ සිරුරකට හිමිකම් කී මැදිවිය පසුකරමින් ගිය පුද්ගලයෙක්‌ මැදිරියේ කොණක සිට ඇය එය පුහුණුවනු නරඹමින් සිටියේය

ඔහු ඇය ඇමතීය

මට තමයි ඩෝල්ටන් අල්විස්‌ කියලා කියන්නේ අපේ අයතනයට ක්‍ෂේත්‍රයට නවකයෙක්‌ වුනාට ඔයා බොහොම දක්‍ෂ විදියට ගීත ගයනවා මං දවස්‌ ගණනක්‌ බලාගෙන හිටියා

Dolton Alwis
Dolton Alwis

ඩෝල්ටන් අල්විස්‌ අර තරම් සුන්දර ගීතපදමාලාවන්ගේ හිමිකරු කොතරම් නිහතමානී පුද්ගලයෙකුද ඔහු

ඇය තමාටම මිමිණිය

අමරවරම ලැබූ එදා සිංහල සරළ ගීතාවලියට බැබඵ තවත් ගී මිණක උපත එදින සිදුවිය

01 මගේ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ – නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ……………

02 ථූපවංශ භූමියේ මම උපන්නෙමි – මහාවංශ භූමියේ මම උපන්නෙමි
යළිත් එන්නෙමි – යළිත් එන්නෙමි

එදා ඩොල්ටන් අල්විසුහු කියූ දේතෙපඵ බස්‌ කොතරම් නම් නිවැරදිද හතරවන දශකයේදීද එදා ජනප්‍රියතම ගී අතරට එක්‌වන්නට එය සමත්විය

මේ ගීත කලාවට මහත් සේ ඇඵම් කල ඒවා නිති ප්‍රවර්ධනය කල ඒවා ම රසිකයන් අතර ප්‍රචලිත කරවන්නට මහත් සේ තම ශ්‍රමය කැපකල රසවතෙකු වූ රිජ්වේ තිලකරත්නයන් විසින් පනවන ලද කොන්දේසිකට අනුව අදාල වැඩසටහනේ ගීත පෙළගැස්‌මේදී මව්ගුණ බොදුගුණ දේශාභිමානී යන මේවා ද අඩංගු විය යුතුව තිබිණි

ඒ අනුව ඇයගේ සරල ගී වැඩසටහනකදී වදන් එක්‌තැන් වූ මේ ගීතය ද ඩෝල්ටන් අල්විස්‌ නම් එකී ප්‍රවිණ ගී පද රචකායණන්ගේය

ථූපවංශ භුමියේ – මම උපන්නෙමි………………..

මහාවංශ භූමියේ – මම උපන්නෙමි………………..
යළිත් එන්නෙමි යළිත් එන්නෙමි……………….

ජාතියේ උදාර වූ කල්පනා කැඵම්……………….
මගේ ප්‍රාණ වායුවෙන් මම වින්දින්නෙමි…………….

මම වින්දින්නෙමි……………………..

(ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකිනි)


පද සංකල්පනාව – ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක නැසිගිය ඩෝලටන් අල්විස්‌ ශුරීන් විසිනි

තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ සංගීතඥ  චන්ද්‍රදාස බෝගෝඩ

වසර  – 1973 ?

==========================================

ගුවන් විදුලි සිංහල සරල ගීත ක්‍ෂේත්‍රයේ නොමැකෙන නාමයන් සනිටුහන් කලෝ බොහෝය එහෙත් ඊට වරම් ලැබූ පවුල් සංඛ්‍යාව ඉතා අල්පය ඒ අතරිනදු මාතර පුරවරයේ බෝගෝඩ පවුල කැපී පෙනෙන්නේ මෙඅයුරිනි

ඉන්ද්‍රාණි බෝගෝඩ ශිල්පිනියට  ඇති ඥාති සබඳතාවය අනුව

සෝමපාල බෝගොඩ – (සුඵ පියා – ගායකයාණන්)

චන්ද්‍රදාස බෝගොඩ – (වැඩිමහඵ සොයුරු – සංගීතඥයානන්)

රංජිත් බෝගෝඩ – (වැඩිමහඵ සොයුරු – වාදකයාණන්)

ධර්මදාස පරණගම – (සැමියා – ගී පද රචකයාණන්)

විනී බෝගෝඩ – (සුඵ පියාණන් ගේ පුතු- ඥාති සහෝදර – ගායකයාණන්)

රෝහණ බෝගොඩ – (සුඵ පියාණන් ගේ කනිෂ්ඨ පුතු – විනි බෝගොඩ කනිෂ්ඨ සහෝදරයා)

ජානක බෝගෝඩ – (වැඩිමහල් සොයුරු වැඩිමහල් පුතු)

දිනේෂ් බෝගෝඩ  – (වැඩිමහල් සොයුරු බාල පුතු)

Rohana Bogoda
Rohana Bogoda

==============
නීල වර්ණ නීල කොබෙයියෝ – මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

සිත වටකර පියාසලන – සිතට සුවඳ පවන් සලන…….

නීල වර්ණ නීල කොබෙයියෝ ……………..

උඩින් ගියත් බිමින් ගියත්  – මගේ හිsතින් ඉගිළ නොයන්නේ …….

අඳුරු බිඳෙන සොඳුරු සිහින – කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ …….


නීල වර්ණ නීල කොබෙයියෝ …….


එරන් මාල එරන් තෝඩු  – එරන් වළලු නැතෙයි පතන්නේ ……


අමාවකේ නිමා නොවන සිනා බිඳක්‌ රැගෙන වරෙන්නේ ……..

(ගුවන් විදුලි සරළ ගී)

වසර- 1975

පද සංකල්පනාව- ජී එච් කේ රත්නසිරි 

තනුව හා සංගීතය – චන්ද්‍රදාස බෝගෝඩ

===========

80 දශකයේ දීද වරින් වර තමන්ට ලැබුනු සරළ ගී වැඩසටහන් ඔස්‌සේ සුපුරුදු ලෙස මාතර සිට පැමිණ ඇය තම ශ්‍රාවකයන් කුල්මත් කලාය

බෝගෝඩ කලා රසවතුන් අතර මේ ගීතාවලියේ සත්සර රටා ඇමිණූ ඇයගේ සොයුරු චන්ද්‍රදාස බෝගෝඩයන් ගේ ජීවන වතගොත දිගැහැරලන්නට අවස්‌ථාවයි මේ

Chandradasa Bogoda
Chandradasa Bogoda

තම පියාණන්ගේ රැකියාව නිසා පවුලේ සමාජිකයන් සමග තැනින් තැනට යන්නට සිදුවීමෙන් මාතර වැලිගම මෙතොදිස්‌ත විදුහලෙන් කෑගල්ලේ තෝලංගමුව මහ විදුහල වෙත අකුරු කරන්නට පැමිණි චන්ද්‍රදාසයන්ගේ සංගීත ඇදුරුතුමාණෝ වෝලටර් හිග්ගොඩ නම් විය හින්දුස්‌ථානි සංගීතයේ තිඹිරිගෙය වූ අසල්වැසි භාරතයෙන් ඒ පිළිබඳව ඩිප්ලෝම සහතික ලබා පෙරළා විත් රජයේ සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය ඒ අදින් වසර 58 පමණ ඉහතදී තම ගම්පියසේ හක්‌මන මෙතෝදිස්‌ත කණිටු විදුහලෙනි

නිරන්තරයෙන් අභ්‍යාසයේ යෙදෙමින් හා දැඩි කැපවීමකින් තමා උගත් ශිල්පය දියුණු තියුණු කරගත් හෙතෙම රාගාශ්‍රීත නවතනු පබඳා ඒවා ස්‌වර ලිපි ගත කරන්නට පටන් ගත්තේය

හා පුරා ඔහු ගේ ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණයක්‌ ලෙස එළිදුටුවේ ඉහත සඳහන් සීත දිය වැල් සලා ගීතයේ තනුවයි ඔහු විසින් එය තම සොයුරිය ට මනාව පුහුණුකරවා ඇයගේ ගුවන් විදුලි සරළ ගීයකට යොදා ගන්නට උපදෙස්‌ දී තිබිණි

තමන්ගේ ශීල්පීය නිපුණතාවය වඩාත් පුඵල් කරගැනීමට හා එය  ඔප මට්‌ටම් කරගන්නට නම් අගනුවර ඇසුරේ ජීවත් වීමේ වැදගත්කම වැටහී ගියද ඔහු උපන් ගම් පියස වූ තෙලිජ්ජවිල හැරදමා නොගියේය වැඩසටහන් හා වෙනත් වෘත්තිය කටයුතු සඳහා අගනුවර පිවිස අදාළ කටයුත්තේ නිමාවේදී යළිත් නිවස කර පියමං කලේය

මාධ්‍යය ඇසුර හා ප්‍රසිද්ධිය පිළිකෙව් කල මේ සංගීතවේදියාණෝ නිහඩවම තම නිර්මාණකරණයේ නිම් වළලු පුඵල් කරගනු ලැබීය

බෝගෝඩ පරපුරට උරුම සංගීත කලාව ඉදිරියට පවත්වා ගනිමින් චන්ද්‍රදාසයන්ගේ පුතුන් වූ ජානක ද ඔහුගේ සුඵපියා වූ රංජිත් අනුව යමින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදකයෙකු ලෙස ද දිනේෂ් සංගීතය පිළිබඳව උපාධි ලැබ එහිම සංගීත පාලකවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි

Janaka Bogoda
Dinesh Bogoda
Dinesh Bogoda

වසර 30 ක ගුරු දිවියෙන් ඉසිඹුලැබ 1986 පමණ නිල්වලා අධ්‍යාපන විද්‍යා පිඨයේ සංගීත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබිය

ප්‍රවිණ සංගීතවේදි චන්ද්‍රදාස බෝගෝඩ හැදූ ඉන්ද්‍රාණි බෝගෝඩ ගැයු ගී පෙළ අතරින්

සීත දියරැල් සලා (ධර්මදාස පරණගම) – 1974

මගේ නීල නෙතු සගලින් (ඩෝල්ටන් අල්විස්‌) – 1975

ථූපවංශ භූමියේ (ඩෝල්ටන් අල්විස්‌) – 1975

මා ප්‍රිය හිමියනි (ක්‍රිස්‌ටි ගුණසේකර) – ටී ෂෙල්ටන් පෙරේරා සමග – 1975

නීල වර්ණ නීල කොබෙයියෝ – (ජ් එච් කේ රත්නසිරි) – 1976

සීරිමා බෝපත් චාමර (ධර්මදාස පරණගම) – 1976

පෙම් කල වරදට (දයා ද අල්විස්‌) – 1979

පූජාසනයේ (පුෂ්ප තරංග රණතුංග) – 1981

සිගිරි නාරිලතා (රත්නකුමාරි අමරසූරිය) – 1981

================================
ළබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ ………………

මල ඊයේ යළි නැත එළඹෙන්නේ…………….


කඳුලින් කවුරුද ජය පැන් බොන්නේ………………..


දහදිය බිඳු මත ලොව ඉදිවන්නේ ………………………….


නිෂ්පාදනය  – ජී එස්‌ බී රාණි පෙරේරා


වැඩසටහන  – ප්‍රබුද්ධ ගී


අරමුණ – වගා සංග්‍රාමය – ප්‍රවර්ධනය – දේශාභිමානී ගී නව නිර්මාණ 


වසර – 1974 ?


පද සංකල්පනාව – ප්‍රවිණ පුවත්පත් කලාවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ


තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදන ශිල්පී එච් එම් ජයවර්ධන

(මුලාශ්ර පරිශීලනය – මියැසි හරසර- ලාල් අනන්ද අබේධීර
විශේෂ ස්තුතියි – ඉන්ද්‍රාණී බෝගෝඩ මහත්මිය වෙත)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved