
සියලු රස මැවූ සංගීතවේදියා ‘මෙල්රෝයි’
“ගී කව් සරස” – මෙල්රෝයි ධර්මරත්න
නව පරපුර ‘මෙල්රෝයි ධර්මරත්න’ නාමය ඉතා හොඳින්ම හඳුනනවා යැයි කියන්නට අපහසු ය. නමුදු හැට හැත්තෑව දශක තුළ නම් ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමේ නාමය සංගීතයට ආදරය කළ කිසිවෙකු නොදැන සිටින්නට ඉඩක් නැත. සංගීතය පිළිබඳව කිසිඳු ක්‍රමවත් න්‍යායාත්මක දැනුමක් නොලැබුවත් සිය සහජ කුසලතාවයන් හා ප්‍රායෝගික සංගීතමය අත්දැකීම් සුහුරු ලෙස සම්මිශ්‍රණය කරමින් සංගීත ලොවට නව එළියක් සැපයූ සොඳුරු සංගීතවේදියෙකු ලෙස ‘මෙල්රෝයි’ හඳුන්වන්නට පුළුවන. ඒ නිසාම මෙල්රෝයිගේ සංගීතමය දායකත්වයන් අපි ඔහුගේ නමින් හඳුනා නොගත්ත ද අදටත් රස විඳිමු. සංගීත ලෝකය වෙනුවෙන් මෙල්රෝයි ධර්මරත්නයන්ගේ දායකත්වය එක් සීමාවකට ලඝු කොට දැක්වීම සැබවින්ම අපහසු ය. මන්ද යත් සංගීතය නැමති පුළුල් වූ ක්ෂේත්‍රය තුළ විසිරී පැතිරී ඇත්තා වූ බොහෝ මං පෙත් ඔස්සේ ධර්මරත්නයන් සිය ශක්‍යතා විදහා දක්වා ඇති හෙයිනි

1947 මාර්තු 12 වන දින කොළඹ දී ධර්මරත්න පවුලේ සිවුවැන්නා ලෙස මෙල්රෝයි ධර්මරත්න ජන්ම දයාද ලැබුවේ ය. කුලරත්න ධර්මරත්න හා ස්ටෙලා ධර්මරත්න මව් පියන් වන අතර ක්‍රිස්ටි, මැක්ස්වෙල්, රොනල්ඩ් යන සොහොයුරන් ද ස්වීටි හා ෂර්ලි සොහොයුරියන් ද විය. දරුවන් කුඩා කාලයේදීම පියා මෙලොවින් සමුගත් බැවින් සියලු බර කරට ගන්නට මවට සිදු විය. සියල්ල ඉරණමට විසඳන්නට ඉඩ දී බලා නොසිටින්නට තරම් ශක්තියක් තිබූ කාන්තාවක් වූ ඈ සියලු පීඩා දරා ගනිමින් දරුවන්ට අවැසි මාර්ගය සකසන්නට වෙහෙසුනා ය. එහි ප්‍රතිඵලයක් ලෙස රොනල්ඩ් හා මෙල්රෝයි එකමුතුවෙන් ‘ධර්මරත්න සහෝදරයෝ’ සංගීත කණ්ඩායම ආරම්භ විය. සිය මූලික කලාත්මක හැකියාවන් විදහා පාන්නට ධර්මරත්නයන් හට ඔහුගේ පාසල වූ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල මනා වේදිකාවක් සැපයී ය. එඩ්වඩ් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ ‘OUR OWN SONGS’ ප්‍රසංගයේ දී තම සංගීත හැකියාවන් එළි දක්වන්නට අවස්ථාවක් ඔහුට උදා වීම ද සිය දිවියේ හැරවුම් ලක්ෂ්‍යක් වන්නට ඇත. ශාන්ත ලුසියා දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙකු වීම ද ගායනය පිළිබඳ නවමු පන්රයක් ලබා දෙන්නට හේතු වන්නට ඇත.

පසු කලෙක සියලු සොයුරන් ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමට එක් වීමත් සමඟ කලා ලොව නිම් වලළු සොයා වේගවත් මෙන්ම රසවත් සංචාරයක යෙදෙන්නට මෙල්රෝයි ධර්මරත්නයන්ට අවකාශ උදා විය. කරුණාරත්න අබේසේකරයන් විසින් පද රචනය කරන ලද ‘දුරකතනය’ ගීතයට තනු නිමවන්නට ඔහුට අවස්ථාව හිමි වන්නේ මේ අතර වාරයේ දීය. පසු කලෙක එය එච්.ආර් ජෝතිපාලයන්ගේ මියුරු හඬින් රසික සවන් තුඩු ස්පර්ශ කළේය. ඉන් පසුව සම්පූර්ණ ළමා ගී එකතුවකට සංගීත අධ්‍යක්ෂණය කිරීමේ වරම් ඔහුට හිමි විය. අදටත් නිරන්තරයෙන් ඇසෙන රසවිඳින ‘කොන්ද නමාගෙන’ ‘සකල බුජන්’ වැනි ගීත එම එකතුව තුළින් ප්‍රථමයෙන් රසික සවන්ගත විය. ‘සකල බුජන්’ ගීතය සිරිමාවෝ ආණ්ඩුව තුළ වාරණයට ලක් වූ බව ද අසන්නට ලැබේ. තනු නිර්මාණයට මෙන්ම ගීත රචනයට ද සක්‍රීයව දායකත්වය සැපයූ ඔහු ,ජෝතිපාල ගයන ‘අයුබෝවන්’ මිල්ටන් මල්ලවාඅරච්චි ගයන ‘මේ මැයි ගහ යට’ හා තවත් සිය ගණනක් වූ ගීත කලා ලොවට දායාද කොට ඇත්තේ ය. තව ද සුගත් සමරකෝන් අධ්යක්ෂණය කළ ‘පතිනි’ චිත්‍රපටිය සඳහා සංගීත අධ්යක්ෂණය කරන ලද්දේ ද ධර්මරත්නයන් විසිනි. නමුත් එම සිනමා පටය ප්‍රදර්ශනය වූ බවට වාර්තාවක් නැත.
මෙල්රෝයි ධර්මරත්න චරිතය සංගීතය ලෙස එක් විෂයයකට පමණක් ලඝුකොට සාකච්ඡා කිරීම ම එම චරිතයට කරන්නා වූ අසාධාරණයයක් යැයි කීම නිවැරදි ය. මා පෙර සඳහන් කළ පරිදිම ඔහු කලා ලොව තමන්ට ස්පර්ශ කළ හැකි බොහෝ තැන් ස්පර්ශ කළ විශිෂ්ටයෙකි. 1960 වසරේ දී ප්‍රදර්ශනය කෙරුණු ‘මායා’ නම් නාට්ය ලංකාවේ ප්‍රතම ඒකළ වේදිකා නාට්‍ය ලෙස ද හැඳින්වෙයි. 1977 දී වේදිකා ගත වූ ඔහුම රචනය කර ඔහුම නිෂ්පාදනය කළ ‘නව මගක යන්නෝ’ නාට්‍ය සමස්ත ලංකා සම්මාන විශාල ප්‍රමාණයකට පාත්‍ර වී ඇත. ‘සවස’ පුවත්පතෙහි තීරු ලිපි රචකයෙකු ලෙස ද , ‘විසිතුර’ පුවත්පතෙහි විචිත්‍රාන්ග රචකයෙකු ලෙස ද ඔහු පුවත්පත් කලාව තුළ සිය නාමය සනිටුහන් කර ඇත. ‘සතුට’ පුවත්පතට සැපින්න නම් කාටූනය සපයමින් කාටූන් ශිල්පියෙකු ලෙස ද සිය කෞෂල්‍යයන් විහිදුවා ඇති අයුරු අපූරු ය. පසුව සිනමාවට ද නැඟී ඇති ‘මලවුන්ගේ ලෝකය’ නම් නවකතාව ද මොහුගේම නිර්මාණයකි.
කලාව පිළිබඳව ඉතා සුවිසල් අවබෝධයකින් හා ස්වයං අධ්‍යයනය තුළින් ලබා ගත් දැනුමකින් හෙබි මෙල්රෝයි ධර්මරත්නයන් සිය දැනුම් සම්භාරයෙන් බිඳක් සිය ‘ගී කව් සරස’ කෘතියෙහි දක්වයි. කවිය හා ගීතය යනු එකම මග ගමන් ගන්නා සේ පෙනෙන වෙනස් වූ අංගයන් ද්විත්වයක් බව පෙන්වා දෙන ඔහු එහි වෙනස ඉතා සරලව පහදා දෙයි. “ කවිය බොහෝ දුරට කියවා රස විඳිය හැකි රසාලිප්ත හෝ බුද්ධි ගෝචර ගද්‍යක් හෝ පද්‍යක්” බව ඔහු දක්වයි. “ගීතය හුදෙකලා නිර්මාණයක්නොවන අතර සාමූහික නිර්මාණයක්” බව ද ඔහු තවදුරටත් පවසයි. ගීයක පද, නාද රටා, රිද්මය, සංගීතය සියල්ලක්ම මනා ගැළපීමකින් යුතුව සංයෝජනය වීම ගීතයේ වටිනාකම ත්‍රිව්‍ර කරන බව ඔහුගේ අදහස යි. ‘ජිප්සීස්’ ගයන ‘ඕයේ ඔජායේ’ ගීය ආදී ගී කිහිපයක් මෙම අදහස තුළින් ඔහු විවේචනයට ලක් කරයි. නමුත් එවැනි ගීතයන් ද වෙනස් වූ රසයක් මැවූ බව මෙහි දී සඳහන් කළ යුතුම ය.
කෙසේ වෙතත් මෙල්රෝයි ධර්මරත්න චරිතය මෙරට කලාව වෙනුවෙන් අගය කළ යුතු සේවාවක් කළ බව නම් නොරහසකි. නමුදු ඒ වෙනුවෙන් නිසි අගය කිරීමක් ලැබෙනවා දැයි යන්න ගැටලු සහගත ය. කෝමත් අපේ ඇත්තන්ට කලාකරුවන් සිහි වන්නේ ඔවුන් මිය පරලොව ගිය දවසට ය. ඇතැම් කලාකරුවන්ව බොහෝ දෙනෙකුට එහෙමවත් සිහි වන්නේ නැත. එවන් තත්වයක් තුළ සිටිමින් කලාකරුවන් ඇගයීම පිළිබඳව කතා කිරීම ද විහිළු සහගත වුව ද ඔවුන් පිළිබඳ සටහන් මෙසේ ලියා තැබීම හෝ ඔවුන් වෙනුවෙන් කරන ඇගයීමක් බව සිතමි. තව ද මෙල්රෝයි ලා කවර පපුරක් වුව ද අමතක කර දමා යා යුතු චරිත නොවේ යැයි නැවත නැවතත් කියමි. වත්මන් තරුණ පරපුර වන අපට කුඩා කල අමතක නොවන ගීත බවට පත් වූ ‘සකල බුජන්’ ‘කොන්ද නමාගෙන’ ‘කරුන්ක ගෙඩියක්’ ‘කලුම කලූ කට්ට කලූ’ ‘පොඩි කාලේ දඟ කෙරුවාම’ ආදී වූ ගී නිමැයූ නිර්මාණකරුවාව සියල්ලන්ම කෙසේ වෙතත් කලා ලැදි තරුණ පිරිසවත් හඳුනාගෙන සිටීම වටින්නේ ය. අවසාන වශයෙන් මෙසේ ලියමි. මෙල්රෝයි පිළිබඳවද බොහෝ දෙනා කතා කරන දිනයක් උදා වනු ඇත. එවිට අප බොහෝ ප්‍රමාද ය.
Liyamu.lk – 2020 අප්‍රේල්
~සටහන් පෙළගැස්ම~
Chathura Pradeep Bandara
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…