• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

chandradasa-bogoda

චන්ද්‍රදාස – ඉන්ද්‍රාණී බෝගෝඩ නිර්මාණ මංජුසාව

November 7, 2021 by shamilka
Chandradasa Bogoda, Indrani Bogoda, Prabath Rajasooriya

ගුවන් විදුලියේ රන් යුගය සැරසු ගි මිණි පොකුරු – ඇය ගයන්නී සොයුරාණන් හැදූ ගීත මෙසේ……………..

70 දශකය යනු රිජ්වේ තිලකරත්නයන් මුලසුන අරා සිටි ගුවන් විදුලියේ රන් යුගයයි

එසමයේ  ගීත ගායනා ක්‍ෂේත්‍රයට පිවිසි නවක ගායන ශිල්පි ශිල්පිනියන් අතර රැඳී සුභාවිත සුගායනා ලැදි රසික දනා මතු දශක ගණනාවකදී ද හෘදයාංගමව සිහිපත් කරවන ඇය ඉන්ද්‍රාණි බෝගෝඩ ය ගණනින් නොවිසල් සංඛ්‍යාවක්‌ නිර්මාණ ගැයූවද ඒවා එකිනෙක පරයා ශ්‍රාවක හදට සමිප කරවන්නට සමත් වූ ඇයගේ ජීවන මං සළකුණු සැකෙවින් සටහන් කරන්නට ගත් උත්සහයකි මේ

රුහුණු දේශයේ තම උපන් ගම් පියස වූ මාතර පුරවරයේ ජන්ම ලාභය ලැබ එහි විසූ ඇය ට ද රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඖෂධ සංයෝජකයෙකු ලෙස කටයුතු කරනු ලැබු තම පියාගේ වෘත්තිය දිවිය නිසාවෙන් ගම් පියසෙන් බැහැර ව පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට සිදුවූ බව කියාසිටියි එයිනුදු වැඩිමනත් කාලයක්‌ සිප්කිරි ලැබු බෙලිඅත්ත මහ විදුහල හෘදයාංගමව සිහිපත් කරන්නීය

Indrani Bogoda
Indrani Bogoda

සංගීතයට ඇඵම් කරමින් එකී ක්‍ෂේත්‍රයේ මුලින්ම රැඳුනු තම සුඵපියාණන් වූ සෝමපාල බෝගොඩ ගායන ශිල්පියා ගේ අතේ එල්ලී පාසල් දැරිවියක්‌ ලෙස ඔහුගේ සංගීත වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් ඇගේ සප්ත ස්‌වර ශිල්ප චාර්කාව ඇරඹෙයි

එයින් අනතුරුව රජයේ සංගීත විද්‍යාලය වූ හේවුඩ් නමින් එවකට හැඳින්වූ ආයතනයේ බාහිරව ලියාපදංචි වෙමින් ගාන්ධර්ව සංගීත පරීක්‍ෂණය ට පෙනිසිටියාය

තම පියාණන්ගේ රාජකාරිමය කටයුතු නිසා නිවස්‌න නිති මාරුකරන්නට සිදුවූ ඇය ඇතුඵ පවුලේ සාමාජිකයන් මෙකී සිද්ධිදාමය වූ අවධියේ විසුවේ ඈත රුහුණේ බෙලිඅත්තේය

වැඩිමහල් සොයුරන්  වූ ගුවන් විදුලි වාදක මන්ඩලයේ තබ්ලා වාදක රංජිත් බෝගෝඩ හා එහි වැඩසටහන් උදෙසා බාහිර ශිල්පියෙකු ලෙස කටයුතු කරනු ලැබූ එවකට සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි චන්ද්‍රදාස බෝගෝඩ අනුව යමින් ඇයද එහි සරළ ගී ගායනා ශිල්පීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වන්නට තීරණය කර තිබිනි

එවකට එහි සංගීත අංශයේ ප්‍රධානී පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් ගේ නිර්දේශයෙන් ඇය හට ඒ ශ්‍රේණියේ ගායිකාවක්‌ ලෙස කටයුතු කරන්නට වරම් ලැබුනු ඒ අවස්‌ථාව ඇගේ සංගීත දිවිය එකලු කල රිදී රේඛාවයි

W.D.Amaradeva

අදටත් හෙටටත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳුනු ඇගේ ගායන ලාලිත්‍යය කියා පෑ එකී සුමිහිරි සරළ ගීතාවලියේ උපත සිදුවුයේ එතැන් සිටයි

එහි පැවති ක්‍රමවේදය අනුව එතැන් සිට සයමසකට වරක්‌ ඇයට සරල ගී වැඩසටහනක්‌ සඳහා තම හඩ මුසුකරන්නට ඉඩහසර ලැබී තිබිණි

එවකට ද යුග දිවියට එළඹ සිටි ඇය තම දයාබර සැමියාණන් වූ ධර්මදාස පරණගම ද කැටුව මාතරින් අඵයම දුරයේ අගනුවර කරා පිටත්වන රුහුණු කුමාරි දුම්රියේ අසුන් ගන්නේ එදිනට තමාට නියමිත් ගුවන් විදුලි සරළ ගී වැඩසටහන ට සහභාගි වන්නටය එහිදී එක්‌ වැඩසටහන් උදෙසා ගීත හතරක්‌ තැටිගත කරන්නට අවසර ලැබිණි

වරෙක එසේ කැඳවීම ලැබුනු විරාමයේ පුහුණුවී සුදානම් ව සිටියේ ගීත තුනකටය සතරවන ගීතයේ තනුව සූදානම්ය එහෙත් වදන් පෙළ ?

එහෙත් නියමිත දිනයේ වහාම අගනුවර ගුවන් විදුලි කාර්යාලය වෙත වාර්තා කළ යුතුමය

සුපුරුදු ලෙසම හිමිදිරි උදයේ ඉන්ද්‍රාණි – ධර්මදාස යුවල රැගත් රුහුණු කුමාරිය අගනුවර වෙත සෙමින් සෙමින් ඇදී යන්නට විය දුම්රියේ ගොරහැඩි නාදය වරෙක බාලවූ නිමේෂයේ හාත්පස කුරුඵ ගී හඩ සවනත වැකෙයි  ළා හිරු රැස්‌ පෙරී ඈත මෑත පොල් රූප්පාවෙන් මවන්නේ මනහර දසුනකි

යාබද අසුන්ගෙන සිටි ඇගේ සැමියා ධර්මදාසයන් කඩදාසියක යමක්‌ සටහන් කරනු පෙනේ දුම්රිය තම ගමාන්තය කරා එළඹ තිබිණි ඔහු අදාළ වැඩසටහනට අඩුව පැවති ගේය පද පේළිය සම්පූර්ණ කර තිබිණි

සීත දියරැල් සලා – පියුම් පිපුණා බලා……………..

දෙරණ තල සෝබා අරුනඵ දේ – සියොත් කැල නාද දේ…………………….

චන්ද්‍රදාස ඔයාගේ නංගී බොහොම ලස්‌සනට සිංදු කියනවා මම අහගෙන එදා  මේකට ගැලපෙන හඩ තියෙන්නේ එයා ලගම තමයි මේක එයාගේ ඊලග සරළ ගීත වැඩසටහනට යොදාගන්න කියන්න

එසේ කියමින් පසු දිනක ගුවන් විදුලි කාර්යාලයේ සේවය කල සහෘද කවියෙකු ගේය කාව්‍ය රචනයක්‌ සටහන් කල කඩදාසි කැබැල්ලක්‌ ඉන්ද්‍රණි සොයුරු සංගීතවේදී චන්ද්‍රදාසයන් අත තැබීය එය ඇය වෙත ලැබුනු වහාම ඊට සුදුසු තනු සොහොයුරා විසින් යොදනු ලැබීය

ගීත පටිගතකරන දිනය එළඹ තිබිණි නොඋස්‌ නෙමිටි තරමක්‌ කෘශ සිරුරකට හිමිකම් කී මැදිවිය පසුකරමින් ගිය පුද්ගලයෙක්‌ මැදිරියේ කොණක සිට ඇය එය පුහුණුවනු නරඹමින් සිටියේය

ඔහු ඇය ඇමතීය

මට තමයි ඩෝල්ටන් අල්විස්‌ කියලා කියන්නේ අපේ අයතනයට ක්‍ෂේත්‍රයට නවකයෙක්‌ වුනාට ඔයා බොහොම දක්‍ෂ විදියට ගීත ගයනවා මං දවස්‌ ගණනක්‌ බලාගෙන හිටියා

Dolton Alwis
Dolton Alwis

ඩෝල්ටන් අල්විස්‌ අර තරම් සුන්දර ගීතපදමාලාවන්ගේ හිමිකරු කොතරම් නිහතමානී පුද්ගලයෙකුද ඔහු

ඇය තමාටම මිමිණිය

අමරවරම ලැබූ එදා සිංහල සරළ ගීතාවලියට බැබඵ තවත් ගී මිණක උපත එදින සිදුවිය

01 මගේ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ – නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ……………

02 ථූපවංශ භූමියේ මම උපන්නෙමි – මහාවංශ භූමියේ මම උපන්නෙමි
යළිත් එන්නෙමි – යළිත් එන්නෙමි

එදා ඩොල්ටන් අල්විසුහු කියූ දේතෙපඵ බස්‌ කොතරම් නම් නිවැරදිද හතරවන දශකයේදීද එදා ජනප්‍රියතම ගී අතරට එක්‌වන්නට එය සමත්විය

මේ ගීත කලාවට මහත් සේ ඇඵම් කල ඒවා නිති ප්‍රවර්ධනය කල ඒවා ම රසිකයන් අතර ප්‍රචලිත කරවන්නට මහත් සේ තම ශ්‍රමය කැපකල රසවතෙකු වූ රිජ්වේ තිලකරත්නයන් විසින් පනවන ලද කොන්දේසිකට අනුව අදාල වැඩසටහනේ ගීත පෙළගැස්‌මේදී මව්ගුණ බොදුගුණ දේශාභිමානී යන මේවා ද අඩංගු විය යුතුව තිබිණි

ඒ අනුව ඇයගේ සරල ගී වැඩසටහනකදී වදන් එක්‌තැන් වූ මේ ගීතය ද ඩෝල්ටන් අල්විස්‌ නම් එකී ප්‍රවිණ ගී පද රචකායණන්ගේය

ථූපවංශ භුමියේ – මම උපන්නෙමි………………..

මහාවංශ භූමියේ – මම උපන්නෙමි………………..
යළිත් එන්නෙමි යළිත් එන්නෙමි……………….

ජාතියේ උදාර වූ කල්පනා කැඵම්……………….
මගේ ප්‍රාණ වායුවෙන් මම වින්දින්නෙමි…………….

මම වින්දින්නෙමි……………………..

(ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකිනි)


පද සංකල්පනාව – ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක නැසිගිය ඩෝලටන් අල්විස්‌ ශුරීන් විසිනි

තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ සංගීතඥ  චන්ද්‍රදාස බෝගෝඩ

වසර  – 1973 ?

==========================================

ගුවන් විදුලි සිංහල සරල ගීත ක්‍ෂේත්‍රයේ නොමැකෙන නාමයන් සනිටුහන් කලෝ බොහෝය එහෙත් ඊට වරම් ලැබූ පවුල් සංඛ්‍යාව ඉතා අල්පය ඒ අතරිනදු මාතර පුරවරයේ බෝගෝඩ පවුල කැපී පෙනෙන්නේ මෙඅයුරිනි

ඉන්ද්‍රාණි බෝගෝඩ ශිල්පිනියට  ඇති ඥාති සබඳතාවය අනුව

සෝමපාල බෝගොඩ – (සුඵ පියා – ගායකයාණන්)

චන්ද්‍රදාස බෝගොඩ – (වැඩිමහඵ සොයුරු – සංගීතඥයානන්)

රංජිත් බෝගෝඩ – (වැඩිමහඵ සොයුරු – වාදකයාණන්)

ධර්මදාස පරණගම – (සැමියා – ගී පද රචකයාණන්)

විනී බෝගෝඩ – (සුඵ පියාණන් ගේ පුතු- ඥාති සහෝදර – ගායකයාණන්)

රෝහණ බෝගොඩ – (සුඵ පියාණන් ගේ කනිෂ්ඨ පුතු – විනි බෝගොඩ කනිෂ්ඨ සහෝදරයා)

ජානක බෝගෝඩ – (වැඩිමහල් සොයුරු වැඩිමහල් පුතු)

දිනේෂ් බෝගෝඩ  – (වැඩිමහල් සොයුරු බාල පුතු)

Rohana Bogoda
Rohana Bogoda

==============
නීල වර්ණ නීල කොබෙයියෝ – මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

සිත වටකර පියාසලන – සිතට සුවඳ පවන් සලන…….

නීල වර්ණ නීල කොබෙයියෝ ……………..

උඩින් ගියත් බිමින් ගියත්  – මගේ හිsතින් ඉගිළ නොයන්නේ …….

අඳුරු බිඳෙන සොඳුරු සිහින – කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ …….


නීල වර්ණ නීල කොබෙයියෝ …….


එරන් මාල එරන් තෝඩු  – එරන් වළලු නැතෙයි පතන්නේ ……


අමාවකේ නිමා නොවන සිනා බිඳක්‌ රැගෙන වරෙන්නේ ……..

(ගුවන් විදුලි සරළ ගී)

වසර- 1975

පද සංකල්පනාව- ජී එච් කේ රත්නසිරි 

තනුව හා සංගීතය – චන්ද්‍රදාස බෝගෝඩ

===========

80 දශකයේ දීද වරින් වර තමන්ට ලැබුනු සරළ ගී වැඩසටහන් ඔස්‌සේ සුපුරුදු ලෙස මාතර සිට පැමිණ ඇය තම ශ්‍රාවකයන් කුල්මත් කලාය

බෝගෝඩ කලා රසවතුන් අතර මේ ගීතාවලියේ සත්සර රටා ඇමිණූ ඇයගේ සොයුරු චන්ද්‍රදාස බෝගෝඩයන් ගේ ජීවන වතගොත දිගැහැරලන්නට අවස්‌ථාවයි මේ

Chandradasa Bogoda
Chandradasa Bogoda

තම පියාණන්ගේ රැකියාව නිසා පවුලේ සමාජිකයන් සමග තැනින් තැනට යන්නට සිදුවීමෙන් මාතර වැලිගම මෙතොදිස්‌ත විදුහලෙන් කෑගල්ලේ තෝලංගමුව මහ විදුහල වෙත අකුරු කරන්නට පැමිණි චන්ද්‍රදාසයන්ගේ සංගීත ඇදුරුතුමාණෝ වෝලටර් හිග්ගොඩ නම් විය හින්දුස්‌ථානි සංගීතයේ තිඹිරිගෙය වූ අසල්වැසි භාරතයෙන් ඒ පිළිබඳව ඩිප්ලෝම සහතික ලබා පෙරළා විත් රජයේ සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය ඒ අදින් වසර 58 පමණ ඉහතදී තම ගම්පියසේ හක්‌මන මෙතෝදිස්‌ත කණිටු විදුහලෙනි

නිරන්තරයෙන් අභ්‍යාසයේ යෙදෙමින් හා දැඩි කැපවීමකින් තමා උගත් ශිල්පය දියුණු තියුණු කරගත් හෙතෙම රාගාශ්‍රීත නවතනු පබඳා ඒවා ස්‌වර ලිපි ගත කරන්නට පටන් ගත්තේය

හා පුරා ඔහු ගේ ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණයක්‌ ලෙස එළිදුටුවේ ඉහත සඳහන් සීත දිය වැල් සලා ගීතයේ තනුවයි ඔහු විසින් එය තම සොයුරිය ට මනාව පුහුණුකරවා ඇයගේ ගුවන් විදුලි සරළ ගීයකට යොදා ගන්නට උපදෙස්‌ දී තිබිණි

තමන්ගේ ශීල්පීය නිපුණතාවය වඩාත් පුඵල් කරගැනීමට හා එය  ඔප මට්‌ටම් කරගන්නට නම් අගනුවර ඇසුරේ ජීවත් වීමේ වැදගත්කම වැටහී ගියද ඔහු උපන් ගම් පියස වූ තෙලිජ්ජවිල හැරදමා නොගියේය වැඩසටහන් හා වෙනත් වෘත්තිය කටයුතු සඳහා අගනුවර පිවිස අදාළ කටයුත්තේ නිමාවේදී යළිත් නිවස කර පියමං කලේය

මාධ්‍යය ඇසුර හා ප්‍රසිද්ධිය පිළිකෙව් කල මේ සංගීතවේදියාණෝ නිහඩවම තම නිර්මාණකරණයේ නිම් වළලු පුඵල් කරගනු ලැබීය

බෝගෝඩ පරපුරට උරුම සංගීත කලාව ඉදිරියට පවත්වා ගනිමින් චන්ද්‍රදාසයන්ගේ පුතුන් වූ ජානක ද ඔහුගේ සුඵපියා වූ රංජිත් අනුව යමින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදකයෙකු ලෙස ද දිනේෂ් සංගීතය පිළිබඳව උපාධි ලැබ එහිම සංගීත පාලකවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි

Janaka Bogoda
Dinesh Bogoda
Dinesh Bogoda

වසර 30 ක ගුරු දිවියෙන් ඉසිඹුලැබ 1986 පමණ නිල්වලා අධ්‍යාපන විද්‍යා පිඨයේ සංගීත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබිය

ප්‍රවිණ සංගීතවේදි චන්ද්‍රදාස බෝගෝඩ හැදූ ඉන්ද්‍රාණි බෝගෝඩ ගැයු ගී පෙළ අතරින්

සීත දියරැල් සලා (ධර්මදාස පරණගම) – 1974

මගේ නීල නෙතු සගලින් (ඩෝල්ටන් අල්විස්‌) – 1975

ථූපවංශ භූමියේ (ඩෝල්ටන් අල්විස්‌) – 1975

මා ප්‍රිය හිමියනි (ක්‍රිස්‌ටි ගුණසේකර) – ටී ෂෙල්ටන් පෙරේරා සමග – 1975

නීල වර්ණ නීල කොබෙයියෝ – (ජ් එච් කේ රත්නසිරි) – 1976

සීරිමා බෝපත් චාමර (ධර්මදාස පරණගම) – 1976

පෙම් කල වරදට (දයා ද අල්විස්‌) – 1979

පූජාසනයේ (පුෂ්ප තරංග රණතුංග) – 1981

සිගිරි නාරිලතා (රත්නකුමාරි අමරසූරිය) – 1981

================================
ළබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ ………………

මල ඊයේ යළි නැත එළඹෙන්නේ…………….


කඳුලින් කවුරුද ජය පැන් බොන්නේ………………..


දහදිය බිඳු මත ලොව ඉදිවන්නේ ………………………….


නිෂ්පාදනය  – ජී එස්‌ බී රාණි පෙරේරා


වැඩසටහන  – ප්‍රබුද්ධ ගී


අරමුණ – වගා සංග්‍රාමය – ප්‍රවර්ධනය – දේශාභිමානී ගී නව නිර්මාණ 


වසර – 1974 ?


පද සංකල්පනාව – ප්‍රවිණ පුවත්පත් කලාවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ


තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදන ශිල්පී එච් එම් ජයවර්ධන

(මුලාශ්ර පරිශීලනය – මියැසි හරසර- ලාල් අනන්ද අබේධීර
විශේෂ ස්තුතියි – ඉන්ද්‍රාණී බෝගෝඩ මහත්මිය වෙත)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved