• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

%E0%B6%B8%E0%B7%84%E0%B6%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB

Muhudu Pathula Yata Indala

මූදු පතුල යට ඉඳලා

September 4, 2018 by admin
Gunasena Galappatty, Janaka Boralessa, Mahagama Sekara, ගුණසේන ගලප්පත්ති, ජනක බොරලැස්ස, මහගමසේකර

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණකැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා…
.
දශක ගනනක් අපේ දෙසවනට ඇසුණු මේ ගීතය ඇතුලත් වුනේ ගුණසේන ගලප්පත්ති – මහගමසේකර සුසංයෝගයෙන් බිහිවුන මූදු පුත්තු වේදිකා නාට්‍යයේ. මෙකී නාටකයේ සියලුම ගීත රචනා කරන ලද්දේ මහ‍ගමසේකර ශූරීන් විසින්.
මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ස්පාඤ්ඤ ජාතික කිවිඳු හා ලේඛක ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝකා (Federico García Lorca) ගේ යෙර්මා (Yerma-1934) නාට්‍යය ඇසුරින්. යෙර්මා හි කථා තේමාව වුනේ ස්පාඤ්ඤයේ පිටිසර පෙදෙසක වෙසෙන, දරුවන් නොමැති වීම නිසා සමාජ හා මානසික පීඩනයෙන් පෙළෙන විවාහක කාන්තාවකගේ කටුක ජීවිතයේ ශෝකාන්තයයි.
යම්තාක් දුරට යෙර්මා හි කථා තේමාවට අනුගත වුවත් මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ගුණසේන ගලප්පත්ති නාට්‍යවේදියානන්ගේ සීයා මුහන්දිරම් කෙනෙකු ලෙස ජීවත් වූ ගම්පියස වූ දික්වැල්ල ප්‍රදේශයේ ජනජීවිතය පදනම් කරගෙනයි.
මෙහි කථා නායිකාව ධීවරයෙකුගේ බිරිඳක් (සරා). ඇය දරුවන් නැති සොවින් පෙළෙන්නියක්. අවට සමාජයෙන් සහ ඇගේ හිත තුලින්ම වන පීඩනය ඇයට දරාගන්නට බැහැ. සැමියා (තේගිරිස්) මුහුදු රැකියාවට ගියපසු දැනෙන තනිකම ඇයට දරාගන්නට බැහැ. ඇයට සැමියාගේ ආදරය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඇය දරුවෙකු ලබාගන්නට වෙනත් අයෙකුගේ පිහිට පතනවා. ඒ තමයි ඇගේ සැමියාගේම සොහොයුරා (දියෝනිස්).

“බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ
කුසෙහි පුතුට නිදි යහන සදන්නයි
පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ
නියම කලට තන කිරට පෙරෙන්නයි
නහර පුරා ලේ දහර දුවන්නේ
පුතෙකු නොමැති කල ඒ කිරි ලේමයි
සිරුර දවන විස බවට හැරෙන්නේ”
.
කෙසේ හෝ ඇය ඇගේ බලාපොරොත්තුව ඉටුකරගන්නවා. දැන් ඇය දරු සුරතල් බලන කාලයයි.
.
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
.
යෙර්මා නාට්‍යයේ, සැමියා (Juan) හුදෙක්ම මුදල් ගැන හිතන කෙනෙකු නිසා ඔහුට දරුවන් ගැන කැමත්තක් නෑ. ඒ නිසා යෙර්මා තුල සැමියා පිළිබඳ ඇතිවන්නේ වෛරයක්. ඇගේ හිත හැදීමට වෙනත් අයෙකු (victor) පැමිණියත් ඇගේ බලාපොරොත්තුව තම සැමියා වෙතින්ම දරුවෙකු ලබාගැනීම. ඇගේ බලාපොරොත්තුව ඉටුනොවන බව දැනගන්නා යෙර්මා අවසානයේ තම සැමියා මියයන තුරු ඔහුගේ ගෙල මිරිකනවා. ඇය අවසානයේ විලාප නගනුයේ “කවුරුත් එන්න එපා. මම මගේ පුතා මැරුවා” යනුවෙන්.
.
ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයේ “සරා” දරු සෙනෙහස විඳිනවා. දරුවා ගැන රහස කිසිවෙකු දන්නේ නැහැ. ඇගේ සැමියා හිතන්නේ මේ තමන්ගේ දරුවා බවයි. ඒ නිසා තේගිරිස්ගේ ආදරය දරුවාට ලැබෙනවා. එසේම තම ලෙයින් උපන් දරුවාට සරා ගේ මස්සිනා වූ දියෝනිස් ගෙන්ද ලැබෙන්නේ නොමඳ වූ ආදරයක්.
.
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා..
.
මෙවැනි අසම්මත මාතෘකාවක් වේදිකාවට රැගෙන ඒම ගැන එකල යම් යම් විරෝධතා මතු වුවත් මෙය අසමසම අතිවිශිෂ්ඨ නිර්මානයක් බව අවිවාදයෙන් සඳහන් කල යුතුය. කොන්ස්ටන්ටීන් ස්ටැනිලව්ස්කි හඳුන්වා දුන් තත්විධ රංග ක්‍රමය (Stanislavski’s system) මෙරට වේදිකාවේ අත්හදා බැලූ පළමු අවස්ථාව එය විය.
මුල් අවධියේ නාට්‍යයේ ස්වර මාලා සෝමදාස ඇල්විටිගල සංගීතවේදියානන් විසින් නිර්මානය කල අතර ජයතිස්ස අලහකෝන් විසින් සංගීතය මෙහෙයවන ලදී. මූදු පතුල යට ඉඳලා ගීතයේ මුල් ගායනය නිර්මලා බාලසූරිය විසිනි.

විරහව

February 8, 2018 by admin
Janaka Boralessa, අජන්තා රණසිංහ, ආදරය, කරුණාරත්න දිවුල්ගනේ, ජනක බොරලැස්ස, ජයරත්න ගමගේ, ඩබ්. ඩී. අමරදේව, ප්‍රේමකීර්ති ද අල්විස්, මහගමසේකර, යමුනා විනෝදනී, රත්න ශ්‍රී විජේසිංහ, විරහව, සුනිල් එදිරිසිංහ

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

ගීත සාහිත්‍යය ගැන කතා කිරීමේදී, පද රචකයන්ගේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නෙ ‘ආදරයට’ බව අපට හොඳින්ම පෙනෙන දෙයක්. එසේම ඊට නොදෙවෙනි මාතෘකාව තමයි විරහව. ආදරයයි විරහවයි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇතැම් අයට, ආදරය ගැන ලියවී ඇති ගීත වලටත් වඩා හදවතට දැනෙන්නෙ විරහ ගීතය. ඉහතින් දක්වා ඇති, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන, කරුණාරත්න විජේවර්ධනයන්ගේ තනුවට, ඩිෂාන් නානායක්කාර විසින් රචිත ගීතයත් එවැන්නක්.

විවිධ පුද්ගලයන් විරහවට මුහුණ දෙනුයේ විවිධ අයුරින්. ඇතැමෙක් විරහව සුන්දර ලෙස විඳින අතර තවෙකෙක් විරහවෙන් පීඩාවට පත්වී අවසානයේ ජීවිතයටද සමුදෙනවා. එසේත් නැතිනම් නම් විරහව වෛරයක් බවට පත්වී අවසන් වනුයේ ඛේදාන්තයකින්. ප්‍රේමය හෝ විරහව පුද්ගලයන්ගේ හිත තුල ඇතිවන‍, පුද්ගල හැසිරීම් බොහෝ සෙයින් වෙනස් කල හැකි මනෝභාවයක්.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි

(ප්‍රේමකීර්ති ද අල්විස්- යමුනා විනෝදනී)

විරහව ගීතයකින් ප්‍රකාශ කිරීමේදී ඇතැම් පද රචකයන් බොහෝ සංයමයෙන් කටයුතු කර ඇති බව පෙනී යන දෙයක්. මේවාට උදාහරණ නම් අනන්තයි. විරහව නිසා ජීවිතයෙන් පලායනවා වෙනුවට, විරහව ජීවිතයේ පාඩමක් බවට පත් කරගත් අවස්ථා ගැන ලියැවී ඇති ගීත බොහෝයි.

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

විරහවේ කටුක අද්දැකීම් වලින් පසු ‘තනිකම’ තම පෙම්වතිය බවට පත් කරගත් තරුණයෙකු ගැන මෙසේ ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. මෙවැනි ගීත තුලින් විරහවෙන් පෙළෙන්නන්ට ලැබී ඇත්තේ සහනයක් මිස වේදනාවක් නම් නොවෙයි.

විරහව පදනම් ව ලියැවී ඇති ඇතැම් ගීත තුලින් දැනෙන්නේ සරළ බව පරයා යන සාහිත්‍යමය හැඟීමක්. විප්‍රලම්භ ශෘංගාරය යනු අප ප්‍රකම්පනයට පත්කරන සාහිත්‍යය රසයකි.

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

(පන්ඩිත් අමරදේව- මහගමසේකර)

ඇතැම් විරහ ගීත වලින් අපට අත්හැරීම හුරු කලා.

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

(පන්ඩිත් අමරදේව- අජන්තා රණසිංහ)

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

(කරුණාරත්න දිවුල්ගනේ – රත්න ශ්‍රී විජේසිංහ)

ඇතැම් විට විරහව යනු දරා ගැනීමට නොහැකි වේදනාවක්. විරහවේ අන්තයටම ගිය විට ඉන් පෙළෙන්නා දකින්නේ මරණය උවත් සහනයක් ලෙසයි. ඔවුන්ට නැවතත් ප්‍රේමය උවමනා නැත. ඇතැම් විට ඔවුන් ප්‍රාර්ථනා කරනුයේ තමා හැරගිය පෙම්වතාට හෝ පෙම්වතියට, තමා විඳින මානසික වේදනාව කිසිදිනෙක නොලැබේවා යනුවෙනි. එය බොහෝ විට තමන් සිටිනා මානසික තත්වය අනුව ඇතිවන අහිංසක, අවංක පැතුමකි. ආදරයේ අන්ධ භාවයෙන් කරන පැතුමක් නොවේ. මුලින්ම දක්වා ඇති ගීතයත් එවැන්නකි.

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

(සුනිල් එදිරිසිංහ – ජයරත්න ගමගේ)

විරහව තරම් තමන්ට ලං නොවන දෙයක් තවත් නැති තරම්. ආදරය අහිමි වූ කල, විරහව නිර්මල බව දැනෙන නිසයි ඇතැමෙක් විරහවට පෙම් බඳින්නේ. විරහව ගැන, විරහ ගීත ගැන ලිවිය හැකි දේ අනන්තයි. නමුත් ඉතිරිය ලිවීමට ඔබට භාර කර මේ සටහන මෙතැනින් නවත්වමි.

ලබන්නාවූ 2017 නව වසර සතුට පිරුණු සෞභාග්‍යමත් එකක් වේවායි පතමි.

-ජනක බොරලැස්ස-

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    June 18, 2022
  • An adult is sad but a child smiles

    An adult is sad but a child smiles

    June 12, 2022
  • සරත් දසනායක ගී එකතුව

    සරත් දසනායක ගී එකතුව

    June 5, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    May 28, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved