කාගෙත් හොඳ මිත්‍රයා’ගේ සමුගැන්ම…….
‘රොනී ලීච්’
————————
මෙතුමා පිලිබඳව මතක්කිරීමේදී ලෝක සිනමාවේ මුඩු හිස හේතුවෙන් ඉතා ජනප්‍රියත්වයට පත්වූ රංගනවේදීන් දෙදෙනෙක් මගේ මතකයට පිවිසෙනවා. බටහිර සිනමාව තුල ආන්දෝලනයක් ඇතිකල ඔවුන් ‘යූල් බ්‍රයිනර්’ සහ ‘ටෙලී ශවලාස්’ යන දෙදෙනායි. ඔවුන් 60, 70 යන දශකයන්හි ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නන්ගේ ඉමහත් ආදරයට ලක්වුණා. ශ්‍රී ලාංකීය සිනමාව තුලද එවැන්නෙක් මතුවීම සුවිශේෂී සිදුවීමකි. ‘පූජිත මෙන්ඩිස්’ නම් මේ රංගනවේදියා එකල සිනමාලෝලීන් අතර නොමැකෙන මතක සටහනක් තැබුවේය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වෙනස් ලෙසින් පිහිටා ඇති ඔහුගේ දෙනෙත් හේතුවෙන් බොහෝවිට බිය උපදවන අවස්ථාවන් සඳහා ඔහුව යොදාගැනුනි. ‘ නිහාල් සිල්වා’ නම් ඉතාමත් ජනප්‍රිය නලුවාද මේ මොහොතෙහි මතක්කල යුතුය. මුල්කාලයේ කොණ්ඩය වවා සිටියද පසුව ඔහුගේ ස්වරූපය කාගෙත් සිත් දිනාගත්තේය. හින්දි සිනමාවේද කිහිපදෙනක් මේ මොහොතේ මගේ මතකයට පිවිසෙයි. ‘අනූපම් කෙහෙර්’ ඉන් එක් අයෙකි.
සැබැවින්ම රොනී ලීච්’ගේ කලා දිවියේ ආරම්භයක් ගැන මා හට පැහැදිලි දැනීමක් නොමැත. ඔහු රූපවාහිනී සාකච්ඡාවලදී පවසා ඇති පරිදි ඔහුගේ කලා දිවියේ පිවිසීම බටහිර ගීත ගායනයයි. විවිධ සංගීත කණ්ඩායම් පිහිටුවාගනිමින් සංචාරක හෝටල්වල ඔහු ගීත ගායනයේ යෙදී ඇති බව ඔහු පවසනවා මගේ මතකයේ පවතී.
මා මුලින්ම ඔහුව දකින්නේ ‘ඈතින් ඈතට’ චිත්‍රපටය තුලිනි. විවිධ ප්‍රදේශයන්හි සංචාරය කරනා තරුණ පිරිසක් අතරේ ඔහුද එක් අයෙකි. එහි ඇති ඔහුගේ ස්වරූපය තුල මේ සිටින්නේ රොනී ලීච්’දැයි හඳුනාගන්නට බැරිතරම්ය. ඒ මනාලෙස පිහිටා ඇති ඔහුගේ කොණ්ඩය නිසාවෙනි. පසුකාලෙකදී ඔහු ජනප්‍රියත්වයට පත්වූ පසු ඒ තමා යැයි ඔහුම පවසන තෙක් එය අපට දැනුනේ නැත.
මගේ මතකයට අනුව ඒ 90 දශකයේ ආරම්භය වියයුතුයි. මේ කාලය වනවිට ලෝකයේ මෙන්ම අපේ රටේද හිසකෙස් මුඩු කිරීම යම් තරමකට විලාසිතාවක් බවට පත්ව තිබුණේය. හිසකෙස් අකාලයේ හැලුණු අය මේ විලාසිතාවට යොමුවීමද සිදුවිය. මෙය රොනී සම්බන්ධව වෙනස් එකකි. ඔහු මනාලෙස තිබූ හිස මුඩු කලේ යම් වෙනසක් හේතුවෙනි. එය ඔහුම විවිධ වැඩසටහන් වලදී පවසනවා මතකයේ ඇත. එය කවුරුන් හෝ ඔහුට පැවසූ අදහසක්ද වියහැකියි. කෙසේවෙතත් ‘තට්ටයා’ ගීතය තුළින් රොනී ගායකයෙක් ලෙස මනා ස්තාවරත්වයකට පැමිණියේය. සංදර්ශන වේදිකාව සහ විදේශ සංචාර වලින් ඔහුට අඩුවක් නැතිවිය. ඔහුගේ ආකර්ෂණීය රූපකාය සහ ඉදිරිපත්කිරීම ඉතා සිත්ගන්නාසුලු විය. ඔහු වේදිකාවේ හොඳ ඉදිරිපත්කරන්නෙකු ( Entertainer) ලෙස හැඳින්විය හැක. මේ හුරුබුහුටි ආකර්ෂණීය රූපකාය නිසාම චිත්‍රපට, රූපවාහිනී ටෙලිනාට්‍ය සහ දැන්වීම් බොහෝමයක් සඳහා ඔහුව තෝරාගැනිණි.
වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයෙක් ලෙසින්ද ඔහු කටයුතු කිරීම විශේෂත්වයකි. රූපවාහිනී ළමා වැඩසටහනක් ඔහු ඉතාමත් අගේට ඉදිරිපත්කලේය. මා පෞද්ගලිකව ඔහු හඳුනන්නේ නැතිවුනත් ඔහු සිටිනා රූපවාහිනී වැඩසටහන් නැරඹීම ප්‍රියකලා. එහිදී ඔහුට අතීත සිනමාව සහ දෙස් විදෙස් පැරණි ගීත පිලිබඳව ඉතා හොඳ මතකයක්, රසයක්, දැනීමක් ඇතිබව දුටුවා. එය අපූරු මතකයකි. එමෙන්ම කලා ශිල්පියෙක් තුල තිබිය යුතු වටිනා ගුණයක් ලෙස මා දකිනවා.
පසුකාලෙකදී නිශ්පාදනය වුන ජනප්‍රිය සරළ විනෝදාත්මක චිත්‍රපට ගනනාවකින් අපට ඔහුව දකින්නට ලැබුණා. ප්‍රවීණ චිත්‍රපට නලුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන රෝයි ද සිල්වාගේ චිත්‍රපට ඒ අතර සඳහන් කල හැක. මා ඉතාමත් ගරුකරන හර්බට් රංජිත් පීරිස් කලාකරුවා අවසන් වරට අධ්‍යක්ෂණය කල ‘හායි හූයි බබි ආච්චි’ චිත්‍රපටයේ රොනී එක්කල ‘මාළු කඩේ ජොරා’ චරිතය ඉතාමත් සිත්ගන්නා එකකි. ‘අම්මා’ මතක්කල සැණින් සංවේදී වන, ‘ගැරඩියා’ කියූ විගස සැහැසි වන එම චණ්ඩි චරිතය ඔහු අපූරුවට නිරූපණය කලේය.
ඔහුගේ කතාබහ සහ හැසිරීම දුටුවහම සැබෑ ජීවිතේද ඔහු සැහැල්ලු ලෙස ගතකල අයෙකු යැයි මට සිතේ.
පසුගිය දිනෙක ඔහුගේ සමුගැනීම පිලිබඳව පුවත අසා බෙහෙවින්ම කණගාටුවට පත්වුනෙමි. මේ රටේ මෙන්ම දෙස් විදෙස් වල සිටිනා ඔබ ප්‍රියකල සැමට එසේ දැනෙනු නොඅනුමානය. මෙයයි අප ගෙවනා ජීවිතයේ ස්වරූපය. සැබෑ නියමිත අවසානය. සියල්ල නොසිතූ ලෙසකින් සිදුව ඇත.
දයාබර රොනී ලීච් කලාකරුවාණෙනි., ඔබට ඔබ අදහනා දහමට අනුව මොක් සුව පතනවා.!!
සමාදානයේ සැතපේවා.!!!
ජනක ඉලුක්කුඹුර
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…