මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණකැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා…
.
දශක ගනනක් අපේ දෙසවනට ඇසුණු මේ ගීතය ඇතුලත් වුනේ ගුණසේන ගලප්පත්ති – මහගමසේකර සුසංයෝගයෙන් බිහිවුන මූදු පුත්තු වේදිකා නාට්‍යයේ. මෙකී නාටකයේ සියලුම ගීත රචනා කරන ලද්දේ මහගමසේකර ශූරීන් විසින්.
මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ස්පාඤ්ඤ ජාතික කිවිඳු හා ලේඛක ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝකා (Federico García Lorca) ගේ යෙර්මා (Yerma-1934) නාට්‍යය ඇසුරින්. යෙර්මා හි කථා තේමාව වුනේ ස්පාඤ්ඤයේ පිටිසර පෙදෙසක වෙසෙන, දරුවන් නොමැති වීම නිසා සමාජ හා මානසික පීඩනයෙන් පෙළෙන විවාහක කාන්තාවකගේ කටුක ජීවිතයේ ශෝකාන්තයයි.
යම්තාක් දුරට යෙර්මා හි කථා තේමාවට අනුගත වුවත් මූදු පුත්තු වේදිකා නාට්‍යය බිහිවුනේ ගුණසේන ගලප්පත්ති නාට්‍යවේදියානන්ගේ සීයා මුහන්දිරම් කෙනෙකු ලෙස ජීවත් වූ ගම්පියස වූ දික්වැල්ල ප්‍රදේශයේ ජනජීවිතය පදනම් කරගෙනයි.
මෙහි කථා නායිකාව ධීවරයෙකුගේ බිරිඳක් (සරා). ඇය දරුවන් නැති සොවින් පෙළෙන්නියක්. අවට සමාජයෙන් සහ ඇගේ හිත තුලින්ම වන පීඩනය ඇයට දරාගන්නට බැහැ. සැමියා (තේගිරිස්) මුහුදු රැකියාවට ගියපසු දැනෙන තනිකම ඇයට දරාගන්නට බැහැ. ඇයට සැමියාගේ ආදරය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඇය දරුවෙකු ලබාගන්නට වෙනත් අයෙකුගේ පිහිට පතනවා. ඒ තමයි ඇගේ සැමියාගේම සොහොයුරා (දියෝනිස්).
“බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ
කුසෙහි පුතුට නිදි යහන සදන්නයි
පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ
නියම කලට තන කිරට පෙරෙන්නයි
නහර පුරා ලේ දහර දුවන්නේ
පුතෙකු නොමැති කල ඒ කිරි ලේමයි
සිරුර දවන විස බවට හැරෙන්නේ”
.
කෙසේ හෝ ඇය ඇගේ බලාපොරොත්තුව ඉටුකරගන්නවා. දැන් ඇය දරු සුරතල් බලන කාලයයි.
.
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
.
යෙර්මා නාට්‍යයේ, සැමියා (Juan) හුදෙක්ම මුදල් ගැන හිතන කෙනෙකු නිසා ඔහුට දරුවන් ගැන කැමත්තක් නෑ. ඒ නිසා යෙර්මා තුල සැමියා පිළිබඳ ඇතිවන්නේ වෛරයක්. ඇගේ හිත හැදීමට වෙනත් අයෙකු (victor) පැමිණියත් ඇගේ බලාපොරොත්තුව තම සැමියා වෙතින්ම දරුවෙකු ලබාගැනීම. ඇගේ බලාපොරොත්තුව ඉටුනොවන බව දැනගන්නා යෙර්මා අවසානයේ තම සැමියා මියයන තුරු ඔහුගේ ගෙල මිරිකනවා. ඇය අවසානයේ විලාප නගනුයේ “කවුරුත් එන්න එපා. මම මගේ පුතා මැරුවා” යනුවෙන්.
.
ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයේ “සරා” දරු සෙනෙහස විඳිනවා. දරුවා ගැන රහස කිසිවෙකු දන්නේ නැහැ. ඇගේ සැමියා හිතන්නේ මේ තමන්ගේ දරුවා බවයි. ඒ නිසා තේගිරිස්ගේ ආදරය දරුවාට ලැබෙනවා. එසේම තම ලෙයින් උපන් දරුවාට සරා ගේ මස්සිනා වූ දියෝනිස් ගෙන්ද ලැබෙන්නේ නොමඳ වූ ආදරයක්.
.
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා..
.
මෙවැනි අසම්මත මාතෘකාවක් වේදිකාවට රැගෙන ඒම ගැන එකල යම් යම් විරෝධතා මතු වුවත් මෙය අසමසම අතිවිශිෂ්ඨ නිර්මානයක් බව අවිවාදයෙන් සඳහන් කල යුතුය. කොන්ස්ටන්ටීන් ස්ටැනිලව්ස්කි හඳුන්වා දුන් තත්විධ රංග ක්‍රමය (Stanislavski’s system) මෙරට වේදිකාවේ අත්හදා බැලූ පළමු අවස්ථාව එය විය.
මුල් අවධියේ නාට්‍යයේ ස්වර මාලා සෝමදාස ඇල්විටිගල සංගීතවේදියානන් විසින් නිර්මානය කල අතර ජයතිස්ස අලහකෝන් විසින් සංගීතය මෙහෙයවන ලදී. මූදු පතුල යට ඉඳලා ගීතයේ මුල් ගායනය නිර්මලා බාලසූරිය විසිනි.