Sooriya Records Sooriya Records
Menu

වොලී බැස්ටියන්

Wally Bastiansz
Wally Bastiansz

උපත- 1914 ජුනි 09
විපත- 1985 ජනවාරි 16
ප්‍රභේදය – බයිලා සංගීතය

“මහජන සේවකයා ඔහු පොලිසියෙ ගායකයා- කිව්වම කවුද නොදන්නේ
වයලින් වාදකයා ඔහු බයිලා ගායකයා- මේ බව කවුරුත් දන්නේ”

ඩෙස්මන් ද සිල්වා විසින් ගැයෙන මෙම බයිලා ගීතය පිදෙන්නේ “ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්” වෙතයි. වර්නන් පෙරේරා සහ හේමසිරි හල්පිට විසින් රචිත මෙම ගීතය සංගීතවත් කරන ලද්දේ ස්ටැන්ලි පීරිස් ශූරීන් විසිනි.

1914 වර්ෂයේ ජුනි මස 09 වන දින ගාල්ලේ පියදිගම නම් ග්‍රාමයේදී මෙලොව එළිය දුටු වොලී බැස්ටියන් ගායනය හා වාදනය සඳහා උපතින්ම ලද උරුමයකට හිමිකම් කීවේය. හින්ටන් විල්මට් බැස්ටියන් ඔහුගේ ආදරණීය පියාණන් වූ අතර ඔහු හැදී වැඩුනේ සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලකය.  ඔගස්ටස් මාතීනියස් බැස්ටියන් වොලීගේ බෞතීස්ම නාමයයි. එහෙත් ඔහු සිය නමට එතරම් ප්‍රිය නොකළ බව පැවසෙයි. නෑදෑයින් සහ පවුලේ සමීපතමයන් ඔහුව නිවසේදී අමතන ලද්දේ “ඔලී” නමිනි. පසුකළෙක ඔහු ප්‍රසංග වේදිකාව සඳහා “වොලී බැස්ටියන්” ලෙස සිය නම භවිතා කළේ එහෙයිනි.

කුඩා කළ පටන්ම වොලී ගිටාර්, වයලීන් සහ බැන්ජෝ වැයීමට දක්ෂයෙකු විය. එමෙන්ම මුල් කාලයේ ඔහු ඉංග්‍රීසි ගීත ය ගැයීමටය ප්‍රිය කොට ඇත්තේ. වොලී බැස්ටියන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථ වාහන අංශයේ සැරයන් වරයෙකු වශයෙන් සේවයට බැදී ඇති අතර එහිදී පොලිස් වාදන කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් සම්බන්ධ වීම පසුව සිය සංගීත ගමනට මහත් පිටුවහලක් වන්නට ඇත. 1940 දශකය ඔහු ලංකාවේ “බයිලා චැම්පියන්” කළ දශකයයි.

වරින් වර සිදුවූ විදේශීය ආක්‍රමණ නිසා ලංකාවේ සංස්කෘතියට විවිධ අංගෝපාංග ක්‍රමයෙන් එක් විය. කපිරිඤ්ඤා තාලය ලංකාව දායාද ලද්දේ පෘතුගීසීන්ගෙනි. බයිලා ගීත යනු එහි සිංහල විලාසයයි.ඉතා සරළ වාග් මාලාවක් සහිත මෙම ගීත ගැයුනේ විනෝදාත්මක තනුවලටය. මුල් කාලීනව මෙම ගීත පෘතුගීසීන්ගේ වඩාත්ම බලපෑම ලත් වෙරළබඩ ප්‍රදේශයේ පමණි ප්‍රචලිතව පැවතුණේ. එවකට විදග්ධ යැයි සම්මත වූ සමාජය විසින් එම ගීත පිළිනොගැනුණි.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ මුඛ්‍ය ධාරාවට බයිලා ගීත එක් කිරීමෙහිලා පුරෝගමී මෙහෙවර සිදු කළේ වොලී බැස්ටියන්ය. බයිලා කලාවේ කෝරස් බයිලා, වාද බයිලා, පපරේ බයිලා සහ කැලිප්සෝ බයිලා ලෙස උප ප්‍රභේද කිහිපයකි.වොලී බැස්ටියන් විසින් ලංකාවට හඳුන්වාදෙන ලද්දේ මින් කෝරස් බයිලා ගීතයි. කෝරස් බයිලා යනු ගීතයේ මුල, මැද හා අගදී සමූහ ගායනාවක් ලෙස ගැයෙන කෝරස් එකක් හෙවත් ස්ථායී කොටසක් අන්තර්ගතවී ඇති බයිලා ගායනයන්ය.

වොලී බැස්ටියන් ගායනා කළ බොහෝ ගීත වල පද රචනා සහ ගී තනුද ඔහුගේමය.ඔහු සතුවූ වාදන දක්ෂතාවයද ඔහුගේ නිර්මාණකරනය සඳහා ඔහු උපකාරීකොට ගත්තේය. “අයරින් ජොසපින් රොසලින් ඇජලින්”, “නෝනා මගෙ නර්ස් නෝනා”, “හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක”, “යමං බණ්ඩො වෙසක් බලන්න”, “මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල”,” මුහුදේ යමු මසුන් මරන්න” වැනි අදටද ඉතා ජනප්‍රිය ගීත වොලී බැස්ටියන්ගේ බව නූතන රසිකයා නොදන්නවා වන්නටද ඇත.

ඔහු මෙම ගීත රචනා කොට ඇත්තේ සමාජයේ සිදුවූ කාලීන සිදුවීම් පාදක කොට ගෙනය. “නෝනා මගෙ නර්ස් නෝනා” ගීතය හෙදියක වශයෙන් සේවය කළ ෆෙලීශියා ෆ්ලෝරන්ස් ජයසේකර සිය සොහොයුරිය වෙනුවෙන් රචනා කොට ඇති අතර “හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක” ලියා ඇත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට නිතර සිදුවූ සිදුවීමක් පාදක කර ගනිමිනි. මුසාවකට රැවටී සුදු වීම සඳහා වදකහ යුෂ පානය කළ කාන්තාවන් හාස්‍යයට ලක් කරමින් ” බිව්ව නේද වද කහ සුදිය” ගීතය ලියා ඇති බවද කියැවේ.

“වීරියෙන් සොයා අප රක්ෂා කළ පියා”, ” රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා”, “රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං”, “ආයා දොම්පෙ ආයා”, “ඝන්ඨා නාදේ අවට ඇසෙන්නේ” වැනි ගීත ඔහු ගැයූ ගීත අතරින් තවත් සමහරක් ලෙස දැක්විය හැක.

වොලී බැස්ටියන් සිය ගායනා සඳහාම පමණක් නොව වෙනත් ගායකයින් සඳහාද පද රචනා සහ ස්වර රචනා නිර්මාණය කර දුන්නේය. සූරිය රෙකෝඩ් ලේබලය යටතේ නිර්මාණිත ඉමහත් රසික ආකර්ෂණය දිනා ගත් “මම බොහොම බය වුණා” ඊ.පී තැටියේ (CHB 027) එන මැක්ස්වෙල් මෙන්ඩිස් ගයන “බඹරා මල් පුබුදා” ගීතය ඊට දිය හැකි කදිම උදාහරණයයි. එහි හරවත් පබැඳුමත් රසවත් තනුවත් වොලීගේය.

ඇන්ටන් ජෝන්ස්, එම්.එස්.ප්‍රනාන්දු, ඩෙස්මන් ද සිල්වා, සමන් ද සිල්වා වැනි ගායකයෝ වොලී බැස්ටියන්ගේ අඩි පාරේ යමින් තවදුරටත් බයිලා කලාව ලාංකික ගීත කලාව තුළ මුල් බැස්ස වූහ.

දශක හයකටත් වඩා පැරණි වුවද වොලී බැස්ටියන්ගේ ගීත අදටද නොඇසෙන එළිමහන් ප්‍රසංග වේදිකාවක්, මංගල සාදයක් දැකිය නොහැක්ක. 1985 වසරේදී මෙලොවින් සමුගත්තද වොලී බැස්ටියන් නාමයත් ඔහුගේ සර්වකාලීන ගුණයෙන් යුක්ත වූ මියුරු බයිලා ගීතත් ශ්‍රී ලාංකික රසිකයා තවත් බොහෝ කල් ආදරයෙන් වැළඳ ගනු ඇත.

යශිනි සේනානායක

error: Content is protected !!

Have a passion to write ?

Join our Team

Subscribe!