නිවේදනය වනාහි හුදෙක් වචන හරඹයක් නොව, ඉන් ඔබ්බට ගිය මහා සමාජ සත්කාර්යයකි. ඒ බව මැනවින් වටහාගත් අතිදක්ෂ නිවේදන පෞරුෂයකි ඔහු. එමෙන්ම සිංහල පොප් සංගීතයේ “ගෝඩ් ෆාදර්” ලෙසද නම් ලැබූ ඔහු පසු කලෙක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙසද සුවිශාල මෙහෙයක් ඉටුකළේය.
ආචාර්ය සී.වී.එස් කොරයාගේ හා ඇමිබෙලා කොරයා මහත්මියගේ පුතු ලෙස උපත ලබන විජය කොරයා “අ”යනු “ආ”යනු කියවීමටද මත්තෙන් මොසාර්ට්, චොපින්, බිතෝවන් වැනි අතිවිශිෂ්ට සංගීතඥයන්ගේ ස්වර රටා වලට සවන්දීමට තරම් භාග්‍යවන්ත වූවේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව වරලත් ගණකාධිකරණ අංශයෙන් ස්වකීය දිවියේ පදනම ගොඩනගාගැනීම අරමුණු කරගත් විජය දිනෙක සිය ඥාති සොහොයුරා වූ වර්නන් කොරයා හමුවීමට ලංකා ගුවන්විදුලියට පිටත්ව ගිය අතර ඒ ගමන නොසිතූ නොපැතූ පරිදි විජයගේ දිවිය උඩු යටිකුරු කරනලදි. දෙයක් වේ නම් සුදුස්සාටමය. විජයටද “කිඩීස් කෝර්නර්” හි නිවේදන කටයුතු කිරීමේ අහඹු අවස්ථාව, සුවිසල් අනාගත කාර්යකට මාවත විවරකරදුන් අපූර්ව අහම්බයක්ම විය.
නමුත් ඔහුටද නොදැනීම ඔහු ස්වකීය නව රැකියාවට ඇළුම් කරන්නට විය. එයට හොඳම සාක්ෂිය අතිරේක නිවේදකයකු ලෙස කටයුතු කිරීමට ලංකා ගුවන්විදුලියට අයදුම්පත් යොමුකිරීම ලෙස පෙන්වාදිය හැක. ඔහුටද නොදැනීම ඔහු තුළ නිවේදන දක්ෂතාවය දළු ලා වැඩී තිබුණි. එනිසාවෙන් ඔහු සම්මුබ පරීක්ෂණ හරහා පහසුවෙන්ම නිවේදකයකු වීමට සුදුසුකම් ලබන ලදි. ගිණුම්කරණයට නැවතීමේ තිත තබන ඔහු නිර්මාණශීලී නිවේදනයේ අක්මුල් සොයායෑමේ චාරිකාව මෙසේ අරඹන ලදි.
ඔහුගේ අපූර්ව නිර්මාණශීලිත්වයද, අපරිමිත උනන්දුවද ලංකා ගුවන්විදුලියේ “සැටර්ඩේ ස්ටාර්”, “ද සවුන්ඩ් ඔෆ් ද සික්ස්ටීස්”, හා “ලංකා’ස් ටැලන්ට් ඉන් ෆෝකස්” යනාදී වැඩසටහන් ලැබූ සුවිශාල ජනප්‍රියත්වයට හේතුවූ බව නොරහසකි. ඒ හරහා නන්නාඳුනන බිමක උපන් පොප් සංගීත ශෛලිය ලාංකේය රසයන්ට හැඩයන්ට අනුගතවූ නූතන පොප් කලාව කරා ගෙන ආ මාර්ගයේ එයට ජීවය දීමට සුවිශාල මෙහෙයක් ඉටුකළේය.
“ද මූන් ස්ටෝන්ස්”, “ද ධර්මරත්න බ්‍රදර්ස්”, “ලොස් ෆ්ලැමෙන්කෝස්”, “ලොස් කැබලෙරෝස්” යනාදී සංගීත කණ්ඩායම් රාශියක්ම සොයා ගිය ඔහු ඒවා ශ්‍රී ලාංකේය රසිකයාට නිරාවරණය කිරීමේ වගකීම තම දෙඋරමතට පටවාගත් අතර ඔවුන් සාර්ථකත්වයට යන ගමන තුළ සෙවනැල්ලක් සේ රැඳී සිටියේ පටිගතකිරීම් ආදී කටයුතු සඳහා නොමඳ සහයක් ලබාදෙමිනි.


වර්ෂ 1969දී “ද චිල්ඩ්රන්’ස් බුක් ෂොප්” හි ජෙරාල්ඩ් වික්‍රමසූරිය විජය අමතන්නේ සංගීතයට හිතැත්තන් සඳහා ප්‍රීතිමත් පුවතක් සමඟිනි. ඒ නැවුම් “සූරිය” ලේබලය හා ඒ යටතේ සිදුවන නවතම පටිගතකිරීම් සම්බන්ධ පුවතය. කලාවට හිතැති ඔහු දෙවරක් නොසිතාම සී.එච්.බී.001 ගුවනට මුදාහරින්නේ ජෙරාල්ඩ් සමඟින් වෘත්තීය සම්බන්ධයකට එහා ගිය හෘදයාංගම හිතවත්කමක් ඇතිකරමිනි. සී.එච්.බී.001 එක් රැයින් මෙරට රසික රසිකාවියන් අතර ජනප්‍රිය වූ අතර මේ නොබිඳි මිත්‍රත්වය වසර ගණනාවක් පුරාවටම සංගීත ක්ෂේත්රය තුළ නවමු හඬවල් සැබෑ දක්ෂතාවයන් සොයායෑමේ සොඳුරු චාරිකාවක නිරතවිය.
මේ අපූර්ව මිත්‍රත්වයේ තවත් සන්ධිස්ථානයකි, “ද සූරිය ෂෝ”. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට පටිගතකිරීම් ආයතනයක් විසින් තමාගේම අනුග්‍රහය යටතේ තමාගේම වැඩසටහනක් ගුවනට මුසුකළ ප්‍රථම අවස්ථාව එය වූ අතර හඬ විජයගෙනි. පිටපත ජෙරාල්ඩ්ගෙනි. “ද සූරිය ෂෝ” කෙතරම් ජනප්‍රිය වූයේද යත් බ්‍රහස්පතින්දා රාත්‍රී 9.45 වනවිට බොහෝ රසික රසිකාවියන් නිතැතින්ම ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවය සුසරකරන ලදි. විජයගේ සහයෙන් තොර “සූරිය” ලේබලය සිහිනයකැයි ජෙරාල්ඩ්ගේ වචනයෙන්ම විජය “සූරිය” සඳහා කළ මෙහෙවර මැනවින් වටහාගත හැක.




පළමුව ඔහු අංකුර වරලත් ගණකාධිකාරිවරයෙකි. දෙවනුව අතිරේක නිවේදකයෙකි. පසුව නිවේදන ක්ෂේත්රයේ අතිවිශිෂ්ටයෙකි. වරෙක තාරුණ්‍යයේ නව්‍ය දක්ෂතා සොයාගිය ලංකා ගුවන්විදුලියේ හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයෙකි. ලාංකේය රූපවාහිනී කලාවේ කුළුදුල් නිවේදකයාය. විටෙක රංගන ශිල්පියෙකි. වරෙක සංගීත නිෂ්පාදකයෙකි. “වික්ටරි” සංගීත ලේබලයේ හිමිකරුවාය. “මීඩියා 9” මාධ්‍ය හා දැන්වීම් ආයතනයේ මූලාරම්භකයාය. “ද ගෝල්ඩන් චයිම්ස්” හා ගී ගැයූ ගායන ශිල්පියෙකි. දේවධර්මය පිළිබඳව ජාත්‍යන්තර බැප්ටිස්ට් විද්‍යාලයෙන් පුදදුන් ආචාර්ය පදවියක හිමිකරුය.



පසුකලෙක ඔහු අභාග්‍ය සම්පන්න ලෙස පිළිකා රෝගයට ගොදුරු වූවේය. නමුත් ඉතා භාග්‍ය සම්පන්න ලෙස පිළිකාව පරදා ජයගත්තේය. ඔහු අදටද පාස්ටර්වරයෙකු ලෙස ජීවිතයේ අධ්‍යාත්මික සුවය හා ආලෝකය සොයායෑමට සිය කාලය හා ශ්‍රමය නිර්ලෝභීව වැයකරන්නේය.
වර්ෂ 2014දී මාධ්‍ය ක්ෂේත්රයේ ස්වර්ණ ජයන්තිය සැමරූ ඔහුගේ අපූර්ව සිනහව අපට ඉතාමත් සරලව කියාපාන්නේ ගමන තව දිගු බවය.

පරිවර්තනය : නවෝදා දයාකාන්ත