රුවන් පුරයෙන් ගෙන ආ මිණි කැටය “ද මූන් ස්ටෝන්ස්” හැරගිය ක්ලැරන්ස්, “ද ගෝල්ඩන් චයිම්ස්” පිහිටවීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ අතර ඇනස්ලි “ද මූන් ස්ටෝන්ස්” නායකත්වය හොබවමින් එය රැක ගැනීමෙහිලා සුවිශේෂී මෙහෙවරක නිරතවූවේය.
දිනෙක සිය ප්‍රසංගයක් සඳහා ඇනස්ලිට ඇරයුම් කළේ ක්ලැරන්ස්ය. ප්‍රසංගය අවසානයේ කුඩා ප්‍රිය සාදයකි, සොඳුරු පිළිසඳරකි. එය සංවිධානය කරන ලද්දේ ගිටාර් වාදන ශිල්පියා වූ සුමිතුරු ඩික්සන්ය. කලාව වෙණ තත් මෙන්ම හද තත්ද හඬවයි. සාකච්ඡාව අවසන් වූයේ නොසිතූ නොපැතූ ලෙසටය. නමුත් එය අතිශය ප්‍රීතිමත් අවසානයකි. නවතම සංගීත කණ්ඩායමක් බිහිකිරීමේ අඩිතාලම එම සාකච්ඡාවය. වසර 1973ය. “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” ; කණ්ඩායමට මැනවින් ගැලපෙන නමක් පුරුදු පරිදි ජෙරාල්ඩ් වික්‍රමසූරියගෙන් යෝජනා වූ අතර “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” මෙලෙසින් සිය සමාරම්භක පියවර තැබීය.

ඩික්සන් ලීඩ් ගිටාරය වැයූ අතර, රොහාන් ගුණවර්ධන බේස් ගිටාරයද, පෝල් පෙරේරා කී බෝර්ඩයද, ශ්‍රී කාන්ත දසනායක ඩ්‍රම්ස් ද වාදනය කළ අතර සුපුරුදු පරිදි ගායනය ක්ලැරන්ස් හා ඇනස්ලි යුගලයෙනි.
වැඩි කාලයක් ගත නොකරම, “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” වර්ෂ 1973දීම සිය ප්‍රථම ඊ.පී පටිගතකිරීම සිදුකරන ලදි. “සූරිය” ලේබලය යටතේ “ද සුපර් ගෝල්ඩන් චයිම්ස් ඇට් කතරගම” (කැටලොග් අංක සී.එච්.බී.032) කලා ක්ෂේත්‍රයට තිළිණ වූ අතර එහි වූ “කඳ සුරිඳුනි”, “සීත සුළඟක්”, “සතුට සැනසුම”, “පෙන බුබුළ” යනාදී ගීත එක් රැයින් මෙරට ජනප්‍රිය ගීත බවට පත්විය.









අදටද රසික රසිකාවියන් අතර අතිශය ජනප්‍රිය ගීතයක් වන “කඳ සුරිඳුනි” පද හා නාද ගෙත්තම ක්ලැරන්ස්ගෙනි. ඒ ශ්‍රී කාන්තගේ පියාගේ ඉල්ලීමකට අනුවය. ඒ වනවිට හදිසි අනතුරකට ලක්ව සිටි ශ්‍රී කාන්තට ඉක්මන් සුව ඉල්ලා මුරුගන් දෙවිඳුන්ට කරන ඉල්ලීමක් ලෙස ක්ලැරන්ස් එය ගායනා කළේය.
ස්වකීය නිර්මාණ කලා ක්ෂේත්‍රයට තිළිණ කිරීමෙන් නොනැවත “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්”; මිල්ටන් මල්ලවාරච්චි, ඩැල්රීන් සුබි වැනි බොහෝ විශිෂ්ට ගායකයන්ට සංගීතයෙන් ලබාදුන් සහයද අමතක කළ නොහැක්කකි.









හැත්තෑව දශකයේ මධ්‍ය භාගය වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි සේවයන් සියල්ලේම ගීත දර්ශක වල ඉදිරියටම පැමිණි “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” වර්ෂ 1976දී “පොප් ඇන්ඩ් ටීන් ෆෑන්ෆෙයාර්” මඟින් පැවැත්වූ ඡන්ද විමසුමෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පොප් සංගීත කණ්ඩායම බවට පත්වීමේ භාග්‍යයද දිනාගන්නා ලදි.
වර්ෂ 1978 වනවිට නැවතත් “සූරිය” සමඟ එක්ව “දිලීප”, “කෝමල ලතාවෝ”, “විකසිත හදමල්”, “සමාවන්න” වැනි ගීත ලාංකේය කලා ක්ෂේත්‍රයට දායාද කළ අතර 1978 අග භාගය වනවිට ක්ලැරන්ස් ස්වකීය සංගීත ගමනේ ඉතිරිය තනිව යෑමට තීරණය කරනලදි. ඇනස්ලිද මේ වනවිට විවාහපත් වීමට තීරණය කර තිබූඅතර තම ඉදිරි ගමන ඇගළුම් ක්ෂේත්‍රය හරහා සිදුවූයේ නම් මැනවැයි තීරණය කරනලදි. ඒ වර්ෂ 1979දීය. ක්ලැරන්ස්ගෙන් හා ඇනස්ලිගෙන් හිස්වූ ස්ථානය පුරවමින් චන්ද්‍රලාල් ෆොන්සේකා නායකත්වයේ වගකීම තමාගේ උරමතට ගත්තේය.






තම ගමන නොනැවත ඉදිරියට යමින් වර්ෂ 1982දී චන්ද්‍රලාල්, ඩික්සන්, කුමාර්, නිමල් හා මයික් ස්විස්ටර්ලන්තයේදී “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” නාමය “සුපර්” ලෙස කෙටිකරගනිමින් ප්‍රසංග පැවැත්වූවෝය. ගමන ඉන්ද නොනැවතිණි.















වර්ෂ 2015 අප්‍රේල් මස 10 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමුගැනීමේ ප්‍රසංගයකි. හඬ විජය කොරයාගෙනි. විශිෂ්ටයින්, සුවිශිෂ්ටයින් සමඟින් අතිවිශිෂ්ටයින්ද වේදිකාවට ගෙන ආ “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” එලෙස නැවතත් එකට එක්විය.






පරිවර්තනය : නවෝදා දයාකාන්ත














Moratuwa by The Super Golden Chimes














Clarence Wijewardena With The Super Golden Chimes














Clarence Wijewardena With The Super Golden Chimes














Super Golden Chimes & Golden Chimes Original Recordings 1970 – 1975














Sooriya Golden Oldies














Kandayam Gee (Hits In Harmony)














Super Golden Chimes & Golden Chimes Original Recordings 1970 – 1975













