කණ්ඩායම් සංගීතය නව මුහුණුවරකින්…

සංගීත කණ්ඩායම් අතර වෙනස් මුහුණුවරක් ගත් “ජිප්සීස් ” සංගීත කණ්ඩායමේ ආරම්භය සනිටුහන් වනුයේ හැත්තෑව දශකයේය. ග්ලූකෝරස සමාගමේ සිය රැකියාව කළ ඇන්ටන් පෙරේරා මහතා පාසල් අධ්‍යාපනය නිම කර සිටි සිය පුතුන් හා ඥාති පුතුන් වූ සුනිල් , නිහාල් , පියල් , නිමල් හා ලාල් යන පස්දෙනා කණ්ඩායම් සාමාජිකයන් බවට පත් කරමින් එදා තැනූ මෙම සංගීත කණ්ඩායම වර්තමානය වන විට දෙස් විදෙස් දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ සිත් තුළ නිධන් ගත වී අවසන්ය. ඇන්ටන් පෙරේරා මහතා සිය පුතුන්ට සංගීත පුහුණුවීම් කටයුතු සඳහා ශබ්දාගාරයක් ලෙස භාවිතා කිරීමට රත්මලානේ පිහිටි සිය නිවසේ කොටසක්ද වෙන් කර දුන්නේය. එපමණකින් නොනැවතුණු ඔහු සංගීත කටයුතු සඳහා අවශ්‍ය වියදම්ද දැරුවේය.

“ ඩාන්ස් විත් ජිප්සීස් ” ගීත එකතු තුලින් මෙම සංගීත කණ්ඩායම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේම අතිශය ජනප්‍රියත්වයට පත් විය. “ජිප්සීස් ” ශබ්දාගාරයේ පටිගත කළ ජී.ටී.003 නාමාවලි අංකය දැරූ එම පළමු ගී තැටිය රසවත් ඉංග්‍රීසි ගීත වලින් යුක්ත විය. “ සොමිය ” කැසට් පටය තුලින් එම ජනප්‍රියතාවයටත් එහා ගිය රසික ආකර්ෂණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. එහි වූ “කුරුමිට්ටෝ ” ගීතය එතෙක් පැවති සරල ගීයට නව හැඩයක් ලබා දීමක් විය. නව තාක්ෂණයක්ද මුසු කරමින් නිර්මාණය කළ මෙම ගීතය තුලින් “ ජිප්සීස් ” සංගීත කණ්ඩායමේ නියමුවා මෙන්ම ගායකයෙකුද වූ සුනිල් පෙරේරා ලොකු කුඩා සැම හඳුනන දැවැන්ත චරිතයක් බවට පත් විය. විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ල වුවද “ජිප්සීස් ” සංගීත කණ්ඩායමේ ජනප්‍රියත්වය දිනෙන් දින වර්ධනය වීම ඉන් වැලැක්විය නොහැකි විය.

වෙනස් ආරක ගීත විවිධාංගීකරණයකින් යුක්තව රස විඳීමට ප්‍රිය කරන්නන්ට නැවුම් ආශ්වාදයක් ලබා දුන් “ජිප්සීස් ” සංගීත කණ්ඩායම සමාජයේ පවතින වැරදි සියුම් ලෙස විවේචනය කරමින් හාස්‍යය හා උපහාසය ආදිය මුසු වූ ගීත බොහෝමයක් නිමැවූ අතර එම සියල්ලම පාහේ අතිශය ජනප්‍රියත්වයට පත් විය. එම ගීත බොහොමයකට හඬ මුසු කළේ සුනිල් පෙරේරාය. “නෝනේ මගේ සුදු නෝනේ ”, “ඔජායේ ”, “අම්මා අම්මා මේ මට ”, “ලුණු දෙහි ”, “ලිඳ ළඟ සංගමය ”, “ලතා ඉතින් ”, “ඇයි ”, “සිඥ්ඥෝරේ ”, “සයිමා කට් වෙලා” හා “ලංකාවේ ලංකාවේ ” ආදී ගීත ඒ අතර වේ. “ලොවේ සැමා” හා “our land ” නම් වූ සාමයේ පණිවුඩය රැගත් ගීතද බෙහෙවින් ඇගයීමට ලක් වූ ඔවුන්ගේ නිර්මාණයන්ය. සමාජයේ හරි වැරැද්ද පෙන්වන “අපට කියන්න” ගීතයද ඔවුන්ගේ නිර්මාණයකි. සුනිල් පෙරේරා වසර හැටක දිවිගමන සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පියල් පෙරේරා විසින් නිර්මාණය කළ ගීතයක්ද ඔවුන්ගේ ගීත ගොන්නෙහි වේ. ඔවුන්ගේ බොහෝමයක් ගීත හාස්‍යෝත්පාදන ගීත වුවද “පෙම් ලොවේ ”, “ලස්සන ලෝකයේ ”, “නිලුපුල් සුවඳ උරා”, “ඔබ දුටු ඒ මුල් දිනේ ” හා “මට අයිතිය කඳුලයි ” වැනි තාරුණ්‍යය අමතන ප්‍රේමාන්විත ගීත කිහිපයක්ද “ජිප්සීස් ” විසින් රසිකයන් වෙත තිලිණ විය. නත්තල් සමයේ නිරන්තරයෙන් ඇසෙන ගීත කිහිපයක්ද ඔවුන් විසින් නිර්මාණය විය. 1977 වසරේ නත්තල් ගීත අන්තර්ගත කරමින් “සූරිය” ලේබලය යටතේ ඉදිරිපත් කළ සී.එච්.බී. 063 vinyl EP 45 rpm ගී තැටියද බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය. මුල් සාමාජිකයන් ඉවත් වී නව සාමාජිකයන් එක් වී එහි වෙනස්කම් සිදු වුවද “ජිප්සීස් ” වෙත එදා පැවති රසික ආකර්ෂණය තවදුරටත් වැඩි වුණා විනා ඔවුන්ගේ ජනප්‍රියත්වය බිඳකුදු අඩු වූයේ නැත.

එදා පටන් අද දක්වාම “ජිප්සීස් ”හි සොඳුරු ආඥාදායකයා වූයේ සුනිල් පෙරේරාය. 1952 වසරේ උපන් ඔහු ශාන්ත සෙබස්තියන් විදුහලෙන් හා ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ තම පාසල් දිවිය නිම කරමින් කණ්ඩායමට සම්බන්ධ වී එහි ගිටාර් වාදකයෙකු ලෙසත් ගායකයෙකු ලෙසත් එදා පටන් වර්තමානය තෙක් කටයුතු කරන්නේය. සුනිල් පෙරේරාගේ සොහොයුරු පියල් පෙරේරා 1959 වසරේ උපත ලැබූ අතර ඔහුද අධ්‍යාපනය හැදෑරුවේ ශාන්ත පීතර විද්‍යාලයෙනි. “ජිප්සීස් ” සංගීත කණ්ඩායම පිහිටුවීමෙන් අනතුරුව ඩ්‍රම්ස් වාදක ලෙස ඔහු කටයුතු කළ අතර ගීත ගායනයෙහිද දක්ෂතා දැක්වූවේය. දෙස් විදෙස් සංගීත කණ්ඩායම්හි වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති ඩෙරෙක් “ජිප්සීස් ” හා එක් වූයේ 1995 වසරේදීය. ගීත ගායනයෙන් හා ගිටාර් වාදනයෙන් සිය දක්ෂතා දක්වන ඔහු උපත ලැබුවේ 1956 වසරේය. ඔහු කොළඹ වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ගිටාර් වාදනයෙන් හා ගායනයෙන් “ජිප්සීස් ” හා සම්බන්ධ වී සිටින රනිල් වාස් 2005 වසරේ කණ්ඩායමට එක් වූවෙකි. 1965 වසරේ උපන් ඔහු අධ්‍යාපනය ලැබුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි. 2008 වසරේ කණ්ඩායමට එක් වූ ජෝඩන් අතුල එහි ඩ්‍රම්ස් වාදන ශිල්පියාය. 1961 වසරේ උපන් ඔහු දැනට ලංකාවේ සිටින දක්ෂතම ඩ්‍රම්ස් වාදන ශිල්පීන් අතර පෙරමුණෙහි පසුවන්නේය. 1981 වසරේ උපන් දුශාන් ජයතිලක මෙම කණ්ඩායමේ ලාබාලම වාද්‍ය ශිල්පියාය. කීබෝඩ් වාදනයෙන් හා ගායනයෙන් දක්ෂතා දක්වන ඔහු “ජිප්සීස් ” හා සම්බන්ධ වූයේ 2004 වසරේදීය. “ජිප්සීස් ” සංගීත කණ්ඩායමට කාන්තා හඬ මුසු කරන රාදිකා රාජවේලු සිංහල මෙන්ම බටහිර ගීතද ඉතා මිහිරි අන්දමින් ගයන්නීය. කොරීන් අල්මේදා, ශරෝන් හා ජුඩිත් වයිට් මීට පෙර වරින් වර එහි ගායනයෙන් දායක වූහ. “ජිප්සීස්” කණ්ඩායමේ දක්ෂතාවයන් වරින් වර සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1989 වසරේ හොඳම සංගීත කණ්ඩායම ලෙසද, 1990 වසරේ “show biz personality” ලෙසද ඔවුන් සම්මානයට පාත්‍ර විය.

මේ සියලු දෙනාගෙන් සමන්විත වන “ජිප්සීස් ” සංගීත කණ්ඩායම නව අත්හදා බැලීම් හා නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සංගීත ලෝලීන්ට මිහිරි රසවින්දනයක් ලබා දීමට නිරන්තර උත්සාහයක යෙදී සිටී. මෑත කාලයේ නිපද වූ කොත්තමල්ලි ගීතයද එලෙස සාර්ථකව නිමැවූවකි. “ජිප්සී එන්ටප්‍රයිසස් ” ලෙසින් තම නිර්මාණ රසිකයන් හමුවට ගෙනෙන ඔවුන් “ජිප්සීස් ” ලෙසින් ඔවුන්ගේම ශබ්දාගාරයක් පවත්වා ගෙන යන්නේය. “සූරිය” ලේබලය යටතේ ඉදිරිපත් කළ සී.එච්.බී.058 නාමාවලි අංකය දරණ ඩෙස්මන්ඩ් ද සිල්වා හා පෝල් ප්‍රනාන්දු ගයන වාද බයිලා vinyl EP 45 rpm ගී තැටිගත කෙරුණේ ද එහිදීය. දෙස් විදෙස් ප්‍රසංග පවත්වමින් රසිකයන්ට තම නිර්මාණයන්ගේ සුන්දරත්වය විඳගැනීමට අවස්ථාව සලසන “ජිප්සීස් ” සංගීත කණ්ඩායම ලාංකේය සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කරන අයුරු විශිෂ්ඨය.
