• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ටී.එම්.ජයරත්න

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

හඬකි සිත් පහන් කළ…

” සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා – දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා ” සිත් පහන් කරන ශාන්ත ගී නාදයකි . දැන් ඔහු කවරෙක්දැයි හඳුන්වා දිය යුතු නැත . ” පවනට සැලෙනා ”, ” සියක් ආයු ලැබ ”, ” අඳුරු කුටිය තුළ ” යනාදී ගීත ගොන්නක් සමගින් දන මන දිනූ ඔහු තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න හෙවත් ඔබ මා දන්නා පරිදි ටී.එම්. ජයරත්නය.

බක්මහේ රබන් සුරල් හඬ මධ්‍යයේ ඇසුණු කිරිකැටි හැඬුමකි . ඒ වර්ෂ 1944 අප්‍රේල් මස 13 වැනිදාය . ගම නුවර දොඩංවලය . ටී.එම්. කිරිකැටි බිළිඳෙකු ලෙස මෙලොවට පැමිණියේ එදාය . ඒ සුබසිංහ ආරච්චිලාගේ මේරි නෝනා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ආදරණීය යුවලගේ මා පිය සිහිනය සැබෑ කරමිනි .

දරුවන් අට දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා ලෙස උපන් ඔහු සඳුන් හර මිටින් ගෙන උපන් අයෙකු නොවීය . ඉතින් කෙළිලොල් ළමාවිය කඳුලෙන් , සුසුමෙන් , දහදියෙන් පිරී තිබුණු බව සැබෑය . නැඟණිය සරෝජීනී මෙලොව හැරයන්නේ වැඩිමහල් සොයුරාගේ ගායන කෞශල්‍යය , ජනප්‍රියත්වය නොදැකමය . නමුත් ටී.එම්. අටලෝ දහමට අකම්පිතව මුහුණ දුන්නේය .

හා හා පුරා අකුරු කරන්නට දොඩංවල කනිෂ්ඨ විද්‍යාලයට පිවිසෙන ටී.එම්.  දෙවනුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයටද අනතුරුව කුරුණෑගල මලියදේව විද්‍යාලයටද අකුරට ආගිය අතර මලියදේවය ඔහුට ස,රි,ග,ම අපූර්වත්වයද කියා දුන්නේය. ටී.එම්ගේ සංගීතයට වූ හැකියාව හා ලැදියාව හඳුනාගන්නේ මලියදේවයේ ඔහුගේ සංගීත ගුරුවරයා වූ සමරබන්ධු එදිරිමාන්නය. මේ හැකියාව තවත් ඔප්නැංවීමට විද්‍යාලීය සංගීත උපදේශකවරයා වූ කේ.එම් දයාපාලද  ලබාදුන්නේ  සුළු  පටු සහයක් නොවේ.

වර්ෂ 1966 සැප්තැම්බර් 7 වනදා ස්වකීය ගුරු සිහිනය සැබෑ කරගනිමින් කොළඹ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයට ගිය ගමන ඔහුගේ සුපෙම් සිහිනයද සැබෑ කර දුන්නේය. ඇය එවකට හිරිමල් යෞවනයේ පසුවූ ශිෂ්‍යාවකි. පසුකලෙක මාලිනී ජයරත්න ලෙස  “ පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි ” යනාදී සොඳුරු පදවැල් ලියාදෙමින් දුක සැප බෙදා හදා ගනිමින් ඔහුට “ දෙවැනි අම්මා “ වන්නේ ඇයය.

සංගීත ගුරුවරයෙක්ව සිටියදීම වයලීන් ශිල්පියෙකු ලෙසද කටයුතු කළ ඔහු ඒ හරහා මුදලට අමතරව අපූර්ව වින්දනයක් හා තෘප්තියක්ද ලබාගත්තේය. ඔහුගේ ගායන දිවියට අඩිතාලම් වැටෙන්නේද ඒ හරහාය . මහරගම ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලයේ පැවති “ ස්වර රංග ” ප්‍රසංගයට ඔහු කැඳවා ගෙන යන්නේ ජයතිස්ස අලහකෝන්ය . ඒ ගමන දෛවෝපගත ගමනක් වන්නේ කිසිදාක ටී.එම් නොසිතූ ලෙසය . එක් ගායකයකු නොපැමිණීමෙන් හිස්වූ හිස්තැන පුරවන්නට ටී.එම් ඉදිරිපත් වන්නේ දෙවරක් නොසිතාය . ඔහුගේ හඬ ඔහුට එතරම් විශ්වසනීයය . මේ හඬ හා පුද්ගලයා දෙස බලමින් හොඳින් සිතේ සටහන් කරගත් පුද්ගලයකු මෙහි වූ බව ටී.එම් පවා නොදත්තේය .

ඔහු සී. ද ඇස්. කුලතිලක නම් සංගීතඥයා විය. වර්ෂ 1965දී ගුවන්විදුලි දෙපාර්තමේන්තුවෙන් උපන් ගුවන්විදුලි සංස්ථාවේ ජන ගීත ආශ්‍රිත පර්යේෂණ ගීතාවලියේ පුරෝගාමියා වූ ඔහු “ ගාන තෙල් සඳුන් වරලස “ ගැයීමට ටී.එම් ට ලබාදෙන්නේ අනගි අවස්ථාවකි . ඉනික්බිති නීලා වික්‍රමසිංහ සමග ටී.එම් “ දෑතට වළලු ” හා “ බැද්ද වට සුදු මොර ” යනාදී ගී ද ගයන්නේය . ඔහුගේ සුමධුර හඬ ජන ගීයට මුසුවන්නේ රන් රස සේමය .

මේ සොඳුරු හඬේ ඇති විභවතාවය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ට දැනීම ,  හැඟීම ඇරඹෙන්නේ මේ අවධියේදීමය . ටී.එම් ට ප්‍රේමසිරි කේමදාසයන්ගේ  ” ප්‍රබුද්ධ ගී ” වැඩසටහනට දොරටු විවර වන්නේ එලෙසටය . ” ප්‍රබුද්ධ ගී ” හරහා ඔහු මෙරට රසික රසිකාවියන්ට තිළිණ කළ සුප්‍රබුද්ධ ගී රැසකි . ඒ අතර ” අඳුරු කුටිය තුළ ” , ” වැව් ඉස්මත්තේ දාගැබ ” ආදී අපූර්ව ගී ගොන්නක්ම විය .

ගුවන්විදුලියෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට පා තබන ටී.එම් පළමුව ගී ගයන්නේ සරත් දසනායක සංගීත රටා මැවූ  ” සිතිජය ” සිතුවම්පටයටය . නමුත් එය එතරම් ජනප්‍රිය චිත්‍රපටයක් නොවූ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ  ” දෑස නිසා ” චිත්‍රපටයට ඔහු ගැයූ  ” ළාහිරු දහසක්  ” ගීතය නොමද ජන ප්‍රසාදයට ලක්විය . මේ ගීයට සොඳුරු ගී පද මාලාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි . සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි . මෙසේ ඇරඹි චිත්‍රපට පසුබිම් ගායනය ” ජනක සහ මංජු ”, ” හංස විලක් ”, ” නෑදෑයෝ  ” , ” පරිත්‍යාග ”, ” වසන්තයේ දවසක් ” යනාදී අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් ඔස්සේ අපේ සවනට පමණක් නොව හදටද සමීප විය . ඒ ගී අතර ” හෙමින් සැරේ පියා විදා ” ආදී අද්විතීය ගී බොහෝමයකි. ” හෙමින් සැරේ ” ඔහු ගයන්නේ සුනිලා අබේසේකර සමගය . ඒ  “හංස විලක් ” චිත්‍රපටයට . ගී පද ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගෙනි . සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි .

චිත්‍රපට පසුබිම් ගායනයේ ඔහු තැබූයේ ස්වර්ණමය සලකුණකි. ඒ වෙනුවෙන් ඔහුට වර්ෂ 1979 දී පැවැත්වූ ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සම්මානය දිනාගත්තේය .  එය අවසානය නොව ආරම්භය පමණකැයි සනාථ කරමින් වර්ෂ 1980, 1982, 1986 යනාදී වසරවලද චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන ජනාධිපති සම්මාන වලින් පිදුම් ලැබුවේය.

වර්ෂ 1977 දී සී.එච්.බී. 051 යටතේ,  “ පොඩි මල්ලි ” චිත්‍රපටයට ගැයූ “ උපුල් නුවන් ” ගීය ගයමින් “ සූරිය ” සමග සිය ගමන අරඹන ඔහු වර්ෂ 1979 දී  “ සූරිය ” ලේබලය යටතේ නැවත “ බෙස්ට් ඔෆ් නීලා ඇන්ඩ් ටී.එම් ” පටිගත කිරීමට සහභාගී වන අතර එහි ගැයුණු “ කෝ මා පැතූ ” , “ පවනට සැලෙනා ” වැනි ගීත දශක ගණනාවකින් පසුව අදටද එකසේ ජනප්‍රියය . වර්ෂ 1979 දී නැවතත්  “ සූරිය ” සමග සුසංයෝගයෙන් සී.එච්.බී. එල්.පී. 16 යටතේ ශ්‍රී ලාංකේය අභිමානය ජාතික ගීයට මුසුකිරීමේ  වාසනාවද ඔහු සතුවූ අතර නැවතත්  “ 18 වන්නම් 1 ” , “ 18 වන්නම් 2 ” , ” රත්නවල්ලි ” , “ ට්‍රැඩිෂනල් මියුසික් ෆ්‍රොම් සවුත් ශ්‍රී ලංකා ” යනාදී පටිගත කිරීම් වලට ද එක්විය .

වර්ෂ 1980 දී තරංගා ලේබලය යටතේ වෙළෙඳ පොළට පැමිණි කැසට් පට පහෙන් එකක ගී ගැයීමේ භාග්‍යය ඔහුට උදාවූ අතර ඉන්පසු  “ නිව් සවුන්ඩ් ”, “ සින්ග් ලංකා ”, “ ජෙම් ටෝන් ” යනාදී ලේබල ගණනාවක් යටතේම සුමධුර ගී ගැයුවේය .

ටී.එම් නම්වූ අතිවිශිෂ්ට ගායකයා දක්වා ඔහු පැමිණි ගමන සුවිශාල එකකි. නමුත් මේ නිහතමානි සෞන්දර්යවේදියා ඉන් හිස උදුම්මා ගත්තෙකු නම් නොවේ. උණ පදුර වැඩෙත්ම ක්‍රම ක්‍රමයෙන් නැවෙයි. ඉතින් එමනිසා කිසිදු සැඩ සුළඟකින් බිඳී යන්නේ නම් නොවේ. ටී.එම් ජයරත්න නම්වූ සොඳුරු මිනිසා විස්තර කිරීමට ඒ වදන් පෙළ සෑහේයැයි සිතමි.

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

Previous Artist
ජෝර්ජ් මනතුංග
Next Artist
ඩික්සන් ගුණරත්න

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved