• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සුනිල් ශාන්ත

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

මුළු ලොවම කිරි සයුරක නැහැවී ඇත්තාක් මෙනි. හමා එන මද මුදු සුළඟකි. අතරින් පතර වවුලන්ගේ හා බකමූණන්ගේ නාදයද ඇසේ. සුරතල් දරු දැරියන් පමණක් නොව ළමාවිය ඉක්මවූ වැඩිහිටියන්ද මේ කිරි සයුරේ, ඔව් ඒ රස සයුරේ කිමිදවූයේ ඔහුගේ හඬය. “හඳපානේ”, “ඕළු පිපීලා” යනාදී සුමිහිරි ගී ගැයූ ඔහු වාග්ගේය ශිල්පියෙකු ලෙස රසික හදවතේද, “ගුරුදෙවි” යන නමින් සිය සිසු දරුවන්ගේ හදවතේද ලැගුම් ගත්තේය. සිංහල සංගීතයට වචනයෙන් කියා නිම කළ නොහැකි මෙහෙයක් කළ මේ ආදරණීය මිනිසා, සුනිල් ශාන්ත නම්වීය.

වර්ෂ 1915 අප්‍රේල් 14 වැනිදා බද්දලියනගේ දොන් ජෝසප් ජෝන් නමින් ජා ඇල දෙහියගත ප්‍රදේශයේ උපත ලද ඔහු මව්පිය තුරුලෙන් මිදෙන්නේ මොළකැටි බිළිඳු වියේදීමය. මව්පියන්ගේ සදාකාලික සමුගැනීමෙන් පසු අත්තම්මාගේ හා මාමාවරුන්ගේ සෙනෙහෙ කැදැල්ලේ ඇති දැඩි වූ ඔහුගේ ප්‍රථම පාසැල දෙහියගත පාසලයි. ඉන්පසුව ඔහු ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය,  ගාල්ල ශාන්ත ඇලෝශියස් විද්‍යාලය, තුඩැල්ල විද්‍යාලය යනාදී පාසැල් වලද අකුරු කරන්නේ අතිදක්ෂ සිසුවකු ලෙසය.

ඔහු අධ්‍යාපනයෙහි කෙතරම් දක්ෂයෙකුවීදයත් පාසල් හැරයාමේ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයාව වීරරත්න ත්‍යාගයද දිනාගත්තේය.  වර්ෂ 1933දී ගුරු විද්‍යාලයේ අවසන් විභාගයෙන් සමත්ව සිය ගුරු සිහිනය සැබෑ කරගත් හෙතෙම සිය කුළුදුල් පත්වීම ලැබ මවුන්ට් කැල්වරි  විද්‍යාලයට යන්නේ තවත් සිහින ගොන්නක් සමගිනි. ඒ සිහිනද සැබෑ කරගනිමින් වර්ෂ 1936 සිට වර්ෂ 1939 යන කාල පරාසය තුළ දකුණු පළාත් සංගීත තරඟයේ ජයග්‍රහණය තෙවරක්ම හිමි කරගැනීමට හා අභියෝගතා ශූරතාවය දිනා ගැනීමට සිය සිසු සිසුවියන් යොමු කරන්නේ ඔහුය.

Sunil Shantha

හාමෝනියම් වැයීමට සිය මාමාණ්ඩිය වූ එම්.ජේ. පෙරේරාගෙන් පැටි වියේදීම උගත් මොහු අන්තර්මධ්‍ය ගාන්ධාර්ව විභාගයෙන් සමත් වන්නේ ශාරීරික පුහුණුව සඳහා වන සහතිකයද සමගිනි. පියානෝව, එකෝඩියනය මෙන්ම ගිටාරයද උගත් හෙතෙම ඉන් නොනැවත ඌරාපොළ බණ්ඩා ගුරුන්නාන්සේගෙන් සිංහල ජන ගී හා වන්නම්ද උගත්තේය. වර්ෂ 1939දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් හා වර්ෂ 1941දී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන්ද සිවුවසරක අධ්‍යාපනය ලබන ඔහු සංගීත විශාරද උපාධිය දිනාගන්නේ ගායන හා වාදන (සිතාර්) අංශ දෙකෙහිම ප්‍රථම අංශයේ ප්‍රථමයා වූ එකම ලාංකිකයා ලෙසය.

එසේ ඉන්දියාව බලා පිටත්ව ගිය ඔහු වර්ෂ 1944 උඳුවප් මස නැවත ලංකාවට පෙරළා එන්නේ “සුනිල් ශාන්ත” නම් වූ සුදුසුකම් ලත් කලාකරුවා ලෙසිනි.

සංගීත ගමනේ ආරම්භය

රජයෙන් සංගීත පරීක්ෂක ලෙස නව තනතුරක් හඳුන්වා දුන්නෙන් නැවතත් ගුරු වෘත්තියට නොපැමිණි ඔහු ජාඇල කණුවන ප්‍රදේශයේ සංගීත පන්තියක් ඇරඹුවේය. මුනිදාස කුමාරතුංග, රැපියෙල් තෙන්නකෝන් වැනි විශිෂ්ටයන්ගේ පත පොතින් ලද ආලෝකය ඔස්සේ සිංහල සංගීතයේ අක්මුල් සොයායෑමේ සොඳුරු චාරිකාව ඇරඹූ ඔහුට නවාතැන් දෙන්නේ බම්බලපිටියේ සූරියශංකර් මොල්ලිගොඩය. හින්දුස්ථානි රාගධාරී සංගීතයේ හා අපරදිග සංගීතයේ කෙළ පැමිණි සුනිල් ශාන්ත විවිධාකාර වූ සංගීත ශෛලීන් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට අමතකව ගිය සැබෑ සිංහල සංගීතයේ උල්පත සොයායෑම මෙසේ අරඹන ලදි.

ඕළු මලින් පිරී සැදී ගිය විලකි. ඒ විලෙන් මල් නෙලා මාලා ගොතන්නට කෙරෙන සෙනෙහෙබර ඇරයුමකි. දෙනෙත් පියාගෙන ගීතය ඇසූ කළ රූපය සැණෙකින් සිතෙහි චිත්‍රණය වේ. මේ ඔබ මා ළමා වියේදීත් වැඩිහිටි වියේදීත් එකසේ ප්‍රිය කළ “ඕළු පිපීලා” ගීතයයි. ලංකාවේ ප්‍රථම වරට පටිගතවූ ගීයයි. ඒ ලංකා ගුවන්විදුලියේදීය. ඒ සුනිල් ශාන්තගේද කුළුදුල් පටිගතකිරීමයි. එම ගීතය ඔහු මුල් වරට ගයන්නේ වර්ෂ 1946 මාර්තු දෙවැනිදා පැවති කුමාරතුංග අනුස්මරණ උළලේදීය. “ඕළු පිපීලා” ගීයෙන් පසුව ඔහු ගයන “හඳපානේ”, “කෝකිලයන්ගේ”,”ලංකා ලංකා”, “ජේසු උපන්නේ”, “බෝවිටියා දං පළුකං වාරේ”,  වැනි සුමධුර ගීතද ජනප්‍රිය වන්නේ නොසිතූ නොවිරූ තරම් වේගයකිනි. ඔහු ගැයූ තවත් සංවේදී ගීතයක් වන “ඉමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවූයේ” ගීය ගැයෙන්නේ සහෘද සූරියශංකර් මොල්ලිගොඩ වෙනුවෙනි.

ගී ගැයීමෙන් නොනැවතුණ හෙතෙම දැයක නෙත් පාදනු වස් පොත් ලිවීම ඇරඹුයේය. ඒ “රිදී වළාව” ලියමිනි. ඉන් නොනැවත “හෙළ රිදී වළාව”, “මිහිරියාව මල් මිහිර”, “හෙළි මිහිර”, “සුනිල් හඳ”, “සෝන්ග් ෆෝලියෝ”, “සෝන්ග් ඔෆ් ලංකා”, “ගුවන් තොටිල්ල”, “දේශීය සංගීතය”, “සංගීතයේ අත්තිවාරම” වැනි අනගි පතපොත ලීවේය.

සුනිල් ශාන්ත සිංහල ගීත සඳහා ඉන්දීය තනු යොදාගැනීමට එරෙහිව සටන් කළේය. ඒ සටන ඔහුට ගෙන ආ දුක් කම්කටොළු බොහෝවිය. නමුත් ඔහු ආපසු හැරුණේම නැත. එහි ප්‍රථිඵලයක් ලෙස ලංකා ගුවන්විදුලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ ආනන්ද සමරකෝන් හා පී. ඩන්ස්ටන් ද සිල්වා වැනි කලාකරුවන් සමගය. හේතුව සුනිල්ගේ භාත්කණ්ඩේ ගුරුවරයා වූ පණ්ඩිත් රතන්ජන්කර් විසින් වර්ෂ 1952දී ලාංකේය සංගීතඥයන් ශ්‍රේණිගත කිරීමට පැවැත්වූ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීමයි. ඉන් ඔහුට ලංකා ගුවන්විදුලිය මෙන්ම එහි පටිගතකිරීම් ද අහිමිව ගියේය. ඉන් නොසැලුණු හෙතෙම ඡායාරූපකරණය, ඇගළුම් විකිණීම, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අළුත්වැඩියා කිරීම ආදී විවිධ ජීවිකා මාර්ග අත්හදා බැලුවේය.

Sunil Shantha's Books

ගල්මුල් මැද ගෙවී යන දිවියට හිටිහැටියේ බට මල් වරුසාවකි. පුහුණු ගුරුවරියක වූ බර්නඩෙට් ලීලාවතී ජයසේකර ඔහුගේ අතගන්නේ මේ අනේක විධ බාධක මධ්‍යයේය.

අනේක විධ බාධක කරදර මධ්‍යයේ වුව සැබෑ මිනිසා මිනිස්කම අමතක කරන්නේ නැත. මූල්‍යමය ගැටළු කොතෙක් නම් වූවද මරදාන නිව්ටවුන් ගොඩනැගිල්ලේ පංති අරඹන්නේ සිසුන් දස දෙනෙකුට නොමිලේම අධ්‍යාපනය ලබාදෙමිනි. අද හෙළයේ ගාන්ධර්වයා ලෙස නම් දරන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් එදා නැගී එන වයලීන් වාදකයකු වූ ඇල්බට් පෙරේරා ලෙස හඳුනාගන්නේ මොහුය. ඒ තම ගීත වලට වාදනයෙන් සහය දුන් සමයේය. පානදුර ප්‍රදේශයේ පැවති තම සංගීත පංති වල ඉගැන්වීම් කටයුතු වලට අවස්ථාව ලබාදෙන්නේ මේ ආධුනිකයාගේ අනාගතය එකලු කරන්නටය. ප්‍රසිද්ධ ගායක අයිවෝ ඩෙනිස්ට හා ජනප්‍රිය සංගීතඥ පැට්‍රික් දෙනිපිටියට එවකට “ස,රි,ග,ම” කියාදුන්නේද ඔහුය.

මිතුරු තොමෝ නම් දුක සැප දෙකෙහිදිම පිහිටට එන්නවුන්ය. මූල්‍යමය ගැටළු වලින් මිදීමට සුනිල්ට සහයදුන්නේ ජනමාධ්‍යවේදී ඩී.බී. ධනපාලය. ඒ ලංකාදීප පුවත්පත හරහා විවිධ වැඩසටහන් පවත්වමිනි.

වර්ෂ 1956දී සිංහල චිත්‍රපට වංශ කථාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ “රේඛාව” චිත්‍රපටයට ගී ගැයීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සුනිල් ශාන්තට ඇරයුම් කරන අතර මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ සුලලිත වචනවලට අනුව යමින් ඔහු ගයන “සීගිරි ළඳකගේ”, “ඕළු නෙළුම්”, “වෙසක් කැකුළු”, “සුදු සඳ එළියේ”, “අනුරපුර” වැනි ගී අදටද අග්‍ර ගණයේ නිර්මාණ ලෙස ජනහදේ රැඳී පවතී.

වර්ෂ 1960දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සංදේශය” චිත්‍රපටයට එච් .ආර්. ජෝතිපාල ගැයූ “පෘතුගීසිකාරයා” ගීයේ ස්වර රටාවද ඔහුගෙනි. තරමක් වැඩි වේගයකින් ගැයුණු මේ ගීය රසික රසිකාවියන් අතර එක් රැයින් ජනප්‍රිය වූ අතර “රේඩියෝ මොස්කව්” හි පවා ප්‍රචාරය වුණි. ඉන් නොනැවත වර්ෂ 1964දී “අම්බපාලි” චිත්‍රපටයට රැපියෙල් තෙන්නකෝන් ලියූ “ත්‍රි ලෝක නාථ” ගීයද ගැයුවේය.

Sunil Shantha

නැවත ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටවීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ ජෙනරාල් නෙවිල් ජයවීරගේ ඇරයුමට අනුව සුනිල් ශාන්ත නැවතත් ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වන්නේ සිය සුපුරුදු වැඩසටහන වූ “මධුර මධූ” සමගිනි. ඒ වර්ෂ 1967දී සිය අද්විතීය ශිෂ්‍යයා වූ අයිවෝ ඩෙනිස් හා “ඕළු පිපීලා” ගයමිනි. ඉන් නොනැවත එච්.ඩබ්ලිව්. රූපසිංහ හා ඩබ්ලිව්. ඩී. අමරදේව සමග ලංකා ගුවන්විදුලි සංස්ථාවට කලා ශිල්පීන් තෝරාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වූයේය.

වාද්‍ය භාණ්ඩ වලටත් වඩා ස්වකීය හඬ ගැන පූර්ණ විශ්වාසය තැබූ සුනිල් ශාන්ත “එම්බා ගංගා”, “තෙල් ගාලා හිස පීරන් නෑනෝ” ආදී ගීත හරහා ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළේය. “පෝදා දහම් සරණේ” ගීය ඔහු ගයන්නේ එකම වාද්‍ය භාණ්ඩය ලෙස පසුබිමින් ඇසෙන ඝණ්ඨාර හඬක් පමණක් උපයෝගී කරගනිමිනි. එසේම “අම්බලමේ පිනා” හා “ටිකිරි ලියා” යන ගීත උඩැක්කි පමණක් භාවිතයෙන් ගැයූ අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අනුස්මරණ ගීතයේ සමහර ස්ථාන කිසිදු වාද්‍ය භාණ්ඩයකින් තොරවද ගැයුවේය.

“Disc Date” by Eustace Rulach, Ceylon Observer
“Disc Date” by Eustace Rulach, Ceylon Observer

සරසවි ස්ටූඩියෝහි පටිගතකරන ලද සුනිල් ශාන්තයන්ගේ ගීත සූරිය ලේබලය යටතේ නැවත පටිගත කරන්නේ වර්ෂ  1968දීය.

CHB 002
CHB 002

වර්ෂ 1969දී සිංහල චිත්‍රපටයක් සදහා ගැයුණු ප්‍රථම ඉංග්‍රීසි ගීය වූ” මයි ඩ්‍රීම්ස් ආර් රෝසස්” ගැයීමේ වාසනාවද සුනිල් ශාන්තට හිමිවිය ඒ ජී.ඩී.එල්. පෙරේරාගේ “රෝමියෝ ජූලියට් කථාවක්” චිත්‍රපටයටය. පද පෙළ මර්සලීන් ජයකොඩි පියතුමන්ගෙනි. නාද රටාව ෂෙල්ටන් ප්‍රේමරත්නගෙනි.

සීගිරි කුරුටු ගී විවාදයට පාත්‍ර වූ යුගයක සීගිරි කුරුටු ගීත ආශ්‍රයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා වර්ෂ 1977දී “සුනිල් ගී” පටිගතකරන්නේ ඔහුමය.  

වර්ෂ 1970දී නිවාස හිමිකාරියගේ ඉල්ලුම පරිදි නිවසෙන් ඉවත්ව යන සුනිල් ශාන්තගේ පවුලට සෙවණ සැලසීමට ඉදිරිපත් වන්නේ ඔහුගේ නැසීගිය මාමණ්ඩියගේ බිරිඳ වූ ඇග්නස් පෙරේරාය. මේ සියලු බාධක මධ්‍යයේ පවා සිය දරුවන්ගේ අධ්‍යාපනයටම මුල් තැන දුන් හෙතෙම එහි ප්‍රතිඑල ලෙස ඉංජිනේරුවන් තිදෙනෙක් හා පශු වෛද්‍යවරියක දැයට දායාද කළේය

Sunil with his wife Leela
Sunil with his wife Leela
Sunil with his family
Sunil with his family
Sunil Shantha

වර්ෂ 1981 පෙබරවාරි 28 වැනිදා සිදුවූ සිය ළාබාලතම පුත්‍රයාගේ අකල් වියෝවෙන් කම්පනයට පත් සුනිල් ශාන්තද එම වසරේම අප්‍රේල් 11 වැනිදා මෙරට රසික රසිකාවියන් හැරයන්නේ හෘදයාබාධයක් හේතුවෙනි. ඔහු ලොව හැරගියත් සිය දෙනෙත ලොව දකිනු වස් තවත් දෙදෙනෙකුට තිළිණ කිරීමට තරම් ත්‍යාගශීලී විය.

වර්ෂ 2015 අප්‍රේල් 18 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සුනිල් ශාන්තගේ ශතවර්‍ෂ පූර්ණ ජන්ම සැමරුම වූ “ඕළු පිපීලා” හා වර්ෂ 2015 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වූ සම්මන්ත්‍රණයට සහභාගි වූ රසික රසිකාවියන්ගේ නෙතට නිතැතින් කඳුලක් නැගන්නට හේතුවූයේ ඔහුගේ සොඳුරු ගී සර පමණක්ම නොවේ යැයි කිව යුතුමය. ඔහු සරල මිනිසෙකි. නමුත් ස්වකීය ප්‍රතිපත්ති හමුවේ නොසැලී සිටි නිර්භීත සංගීතඥයෙකි. සරල සිංහල සංගීතයේ අක්මුල් සොයාගිය සොඳුරු මිනිසෙකි. ඉතින් අපි ඔහුට මෙසේ හිස නමා ආචාර කරමු.

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

ගී ඇල්බම

album-art

Sunil Shantha

By Sunil Shantha
Release date: 1968
album-art

Sunil Shantha

By Sunil Shantha
Release date: 1968
album-art

Sunil Shantha

By Sunil Shantha, සුනිල් ශාන්ත
Release date: 1985
album-art

The voice of Sunil Shantha

By සුනිල් ශාන්ත, Sunil Shantha
Release date: 1985
Available now on:
album-art

The Voice of Sunil Santha

By Sunil Shantha
Release date: 1995
album-art

Best of the Light Classics

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ
Release date: 1985
album-art

Best of Light Classics

By Sunil Shantha
Release date: 1995

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

සුනිල් ශාන්ත

උපත      : 1915 අප්‍රේල් 14
විපත      : 1981 අප්‍රේල් 11
ප්‍රභේදය  : සිංහල පොප් සංගීතය

Previous Artist
සුනිල් මාලවන
Next Artist
ෆ්‍රෙඩී සිල්වා

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved