• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සුනිල් එදිරිසිංහ

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

සඳකඩ පහණක කැටයම් ඔපලා….

Sunil Edirisinghe

සඳකඩ පහණක කැටයම් ඔපලා….

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැලතුනු රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුළක් මැලවෙද්දී..  සියුමැලි කැකුළක් මැලවෙද්දී…

 

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” චිත්‍රපටයේ අන්තර්ගත වූ රසික හදවත් සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් වූ මෙම ගීතයට ඔහුගේ හඬ මුසු වීම එම නිර්මාණයේ සාර්ථකත්වයට ඉවහල් වූයේ යම් සේද, එය එම හඬේ හිමිකරුගේ ජීවිතයටද ඒ අයුරින්ම සාර්ථකත්වය ලඟා කර දීමට ඉවහල් විය. එකී නිර්මාණය හරහා සාර්ථකත්වයේ රන් දොරටු විවර කරගත් හේ සුනිල් එදිරිසිංහ නම් වූ සුවහසක් රසික සිත් වෙලාගත් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියාය.

1949 වසරේ දෙසැම්බර් 19 වන දින පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ නමින් ඔහු කොළඹදී  උපත ලැබුවේය. පැටිකිරිගේ එදිරිසිංහ මහතා ඔහුගේ පියා වූ අතර මව වූයේ උස්හෙට්ටිගේ එලිසබෙත් පෙරේරා මහත්මියයි. පුතුන් තිදෙනෙක් හා දියණියන් සිවු දෙනෙකුගෙන් යුත් එම දෙපලගේ කැදැල්ලේ බාල පුතු වූයේ සුනිල් එදිරිසිංහය.

කැලණියේ හැදී වැඩුන කුඩා සුනිල් 1955 වසරේදී ශ්‍රී ධර්මපාල විද්‍යාලයෙන් තම පාසල් අධ්‍යාපනය අරඹන ලදී. පසුව සපුගස්කන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙන් සෙවණේදීය. පාසල් සමයේ සිටම ගායනයේ විවිධ දස්කම් ඔහු කෙරෙන් මතු විය. උසස් අධ්‍යාපනයේ නිමාවත් සමඟ 1969දී ඔහු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රැකියාවකට යොමු වූවේය.

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ එදිරිසිංහයන්ගේ දෛවය වෙනස් කළ “සඳකඩ පහණක” ගීතයට තම හඬ මුසු කිරීමට ඔහු වරම් ලබන්නේ එය ඇතුලත් වූ “මාතර ආච්චි” චිත්‍රපටයේ අධ්‍යක්ෂක සිය වැඩිමල් සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මග පෙන්වීම යටතේය. එයින් පසු සුනිල් එදිරිසිංහයන් විශාරද පී.වී.නන්දසිරි සංගීත ශාස්ත්‍රාලයෙන් සංගීතය හැදෑරූ අතර ඉන්දියාවේ බාත් ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන්ද සංගීත අධ්‍යාපනය ලැබ පළමු පෙළ ගෞරව උපාධියක්ද හිමි කරගත්තේය.

විශාරද උපාධිය ලබාගෙන පැමිණීමෙන් අනතුරුව ඔහු ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වූවේය. 1977දී වෙළඳ ගී තැටියක් සඳහා ගී ගායනයෙන් සහභාගී වූ ඔහු 1980දී “චන්ද්‍ර මඩල”, තම ප්‍රථම කැසට් පටය එලි දැක් වූවේය. එහි “චන්ද්‍ර මඩල”, “පාට දේදුනු”, “කවුරුන්ද ඔබ මගේ”, “අද දීගෙක”, “නුඹේ සිතට” හා “සන්තාප මාවතේ” වැනි ඔහුගේ ගීත අතරින් ඉහලම ජනප්‍රියත්වයක් ලත් රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් ජීවය ලැබූ නිර්මාණ ඇතුලත් විය. එපමණකින් නොනැවතුණු රෝහණ-සුනිල් සුසංයෝජනයෙන් බිහි වූ අග්‍රගන්‍ය ගීත නිර්මාණ අතර “අහස පොලව වටපිටාව”, “තිරය ඇරෙනවා”, “මලක් වෙලා ඔබ පිපෙන්න”, “ශිල්ප සොඳින්”, “ඇසුවේද කවුරුන් හෝ නුඹෙන්”, “සොර දෙටුවෙක්” හා “මිනිසා සුවඳයි මල සේ” වැනි ගීත රාශියකි. ඒ සියල්ලම දහස් සංඛ්‍යාත රසික සිත් සොරා ගත් නිර්මාණයන් විය. රෝහණ-සුනිල් සුසංයෝගය ඉන් ඔබ්බට විහිදී සුනිල් එදිරිසිංහයන් දෙස් විදෙස්හි සිය ගායන මහිමය ප්‍රකට කළ ඉතා ජනප්‍රිය “සඳකඩ පහණ” ප්‍රසංග මාලාවේද නැවුම් රස මැවීමට සමත්ව ඇත.

“සඳකඩ පහණ”  මුල් වරට වේදිකා ගත වන්නේ 1985 වසරේදීය. දැනට එය යුරෝපීය රටවල් ඇතුළු බොහෝ විදේශ රටවලද, මෙරටදී 150 වතාවකට අධික වාර ගණනක්ද පැවැත්වීමට ඔහුට හැකි වී තිබේ. “මගේ සෙනෙහස”, “පිනිබර යාමේ”, “පාරු පාලමෙන්”, “සඳකඩ පහණ” හා “අලුත් වැස්සක්” ආදී නිර්මාණ එකතු රැසක් හරහාද ඔහු සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළේය.

1980දී විශිෂ්ඨ ශ්‍රේණියට ඇතුලත් වෙමින් ගුවන් විදුලි ක්ෂේත්‍රයේ සාර්ථකත්වය කරා පියමැන්න එදිරිසිංහයන්  අවස්ථා ගණනාවකදීම සම්මානයටද පාත්‍ර වූවේය. “හුලවාලි” හා “ශ්‍රී මදාරා” වැනි චිත්‍රපට ගණනාවක පසුබිම් ගායනයෙන් එක් වූ ඔහු 1983දී “අධිෂ්ඨානය” චිත්‍රපටයේ “අන්ධ අඳුර” ගීතය ගයමින් විදහා දැක්වූ සිය නිපුණත්වය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. “මංගල තෑග්ග” චිත්‍රපටයේ “තුරුලක හුරතල්” හා “සහරාවේ සිහිනය” චිත්‍රපටයේ “වලාකුලක් ගෙන” යනාදී ගීත වලට සිය හඬ පෞරුෂය මුසු කළ ඔහුට ස්වර්ණ සංඛ සම්මානය හිමි විය. එමෙන්ම “සඳකඩ පහන” හා “පොරොන්දුව” චිත්‍රපට වල පසුබිම් ගායනය වෙනුවෙන් ඔහු සරසවි සම්මාන හිමි කර ගත්තේය. 1986 වසරේ “වින්දන ප්‍රසාද ප්‍රණාම” සම්මානයෙන් ඔහුට ගෞරව දැක්වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍රය කටයුතු කළේය. 1992 දී කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී “විසි වසරක ගායන මග හා විකාශය” ලෙසින් ඔහුට උපහාර දැක්වීම පිණිස උපහාර උත්සවයක් පැවැත්විණි.

සුනිල් එදිරිසිංහයන්ට තම ජීවන සහකාරිය මුණ ගැසෙන්නේ තම සොයුරිය බැලීම සඳහා මහනුවරට ගිය අවස්ථාවකදීය. ඇය මිරන්ජි ආරච්චිලාගේ දෝන නන්දනී මුණසිංහ නම් වූවාය. ඔහු එම තරුණිය හා විවාහ දිවියට එළඹෙන්නේ 1979 වසරේදීය. 1980 හා 1985 වසර වල ඔවුන්ගේ කැදැල්ලට සංඛ හා සංඛානි එක් වූහ. තම පියාගේ “සඳකඩ පහණ” ප්‍රසංග සඳහා සංඛානි දියණියද සහභාගී වූවාය.

දුවේ නුඹ මගේ ප්‍රාණයයි

සැබෑ වුන සුභ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ

සනුහරේ අභිමානයයි..

 

ඒ ඔහුටම අනන්‍ය වූ ප්‍රභල හඬ පෞරුෂයෙන් ගැයුණු ආදරණීය ගීතයකි.

යෞවන ප්‍රේමය පමණක් නොව, මව් පිය සෙනෙහස, සහෝදර සෙනෙහස, ගුරු ගෝල බැඳීම, විරහව, ආගමික භක්තිය හා දේශාභිමානය වැනි පුළුල් පරාසයක විහිදෙන හැඟීම් සමුදායන් කැටි වූ ඔහුගේ ගීත රසික සන්තානය විනිවිද යාමට සමත් විය. “රෝස කුසුමක් පිපී”, “රුදුරු තුරු වදුලේ”, “දුවේ නුඹ මගේ ප්‍රාණයයි”, “මේ තරම් සියුමැලිද කළුගල්”, “රජෙකු වුණත්”, “බෝසත් කුල ඇතාණෝ”, “පැන මඩ කඩිති”, “චන්ද්‍ර මණ්ඩලේ”, “දෙවැනි බුදුන් ලෙස”, “පලංචියේ”, “පුරන් අප්පු කන්දට වැඩි”, “නිම්තෙරක් නොදුටු”, “අද දීගෙක යන” හා “ඇසුවේද කවුරුන් හෝ” වැනි ගීත තුලින් එය මනාව විද්‍යමාන වේ. එවන් වූ විවිධ අර්ථයන් රැගත් ගීතයන් රසිකයාගේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරන අයුරින් ගැයීමෙහි ලා ඔහුගේ පවතිනුයේ සැබෑ දක්ෂතාවයකි.  මෙවැනි චිත්තාකර්ෂණීය ගායන පෞරුෂයකින් හෙබි නිහතමානි සුන්දර කලාකරුවෙකු වූ සුනිල් එදිරිසිංහයන් ඇගයීම සඳහා මෙම වදන් පෙළ නොසෑහෙන බව දනිමි.

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

සුනිල් එදිරිසිංහ

උපත – 1949 දෙසැම්බර් 19

 

Previous Artist
සී. ද ඇස්. කුලතිලක
Next Artist
සුනිල් මාලවන

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved