
1941 වර්ෂයේ ජුනි 12 වැනිදා මහනුවර ප්‍රදේශයේ දී උපත ලද මොහු ගේ සම්පූර්ණ නම වූවේ වීරසිංහ ආරච්චි ගේ එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් වේ.සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කුඩා ස්ටැන්ලි පීරිස් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුලු වූවේය.කුඩා කල පටන්ම කලාවට උපන් හපන්කම් දැක්වූ ස්ටැන්ලි පීරිස් පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරැව සංගීත අධ්‍යාපනය සඳහා M.C.G ආයතනයට ඇතුලු වූවේය.
අනතුරුව ස්ටැන්ලි පීරිස් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක් වූ අතර පසුව ඉන් ඉවත් වී චිත්‍ර ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට එක් විය.එතුමා සිය ප්‍රථම පත් වීම ලබාගත්තේ සිය පාසල වූ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයටමයි.එහි දී ස්ටැන්ලි පීරිස් මහතාගෙන් ගුරුහරුකම් ලබාගත් ශිෂ්‍යන් අතර පසුකාලීනව කලා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ කුඩා රූකාන්ත ගුණතිලක ද විය.මුල් කාලයේ දී චිත්‍ර ගුරුවරයෙකු ලෙස කුඩා රූකාන්ත ගුණතිලක සමඟ කටයුතු කළ ද පසුව රූකාන්ත ගුණතිලක සංගීත ලෝකයේ දිදුලන තරුවක් කිරීමට ස්ටැන්ලි පීරිස් මහතා සිදු කළ සේවය අතිමහත්ය.ඒ ගැන මෙම ලිපියේ ඉදිරි කොටස් වලදී සඳහන් කරමි.මෙලෙස චිත්‍ර ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදෙන අතරම ස්ටැන්ලි පීරිස් මහතා විවාහ වන්නේය.ඇයව අප හඳුනාගන්නේ මාගරීටා පීරිස් ලෙසයි.
අනතුරුව ශ්‍රී ලාංකේය ගීත කලාවට නව මානයක් හඳුන්වා දෙමින් ‘fortunes’ වාදක කණ්ඩායම මෙතුමා විසින් ආරම්භ කෙරුණු අතර මොහු එහි නායකයා ද වූවේය.පසු කලෙක විජය කොරෙයා මහතා හමු වීම ‘fortunes’ වාදක කණ්ඩායමට මහා ඉදිරි පිම්මක් විය.තවද 1973 දී සූරිය ලේබලය යටතේ ‘dance to the sooriya hits with fortunes ’ ඇල්බමය ඉදිරිපත් කලේය.තවද ස්ටැන්ලි පීරිස් මහතා සූරිය ලේබලය යටතේ තවත් කැසට් පටයක් නිකුත් කළ අතර එහි ‘දිල්හානි’ , ‘ඕලු නෙලුම්’ , ‘සුදු සඳ එළියේ ‘ , ‘කලු කෙල්ලේ ‘ , ‘දිළිඳු පෙළේ’ ආදී ගීත රැසක් අඩංගු විය.
වරක් ‘ fortunes ‘ වාදක කණ්ඩායම ‘රන් තරු පායන’ ලෙස ගීයක් ඉදිරිපත් කළ මුත් එය පටිගත කිරීමට ඔවුනට හැකි වූවේ නැත.පසුව ‘fortunes’ වාදක කණ්ඩායමේ ගිටාර් වාදකයා වූ පද්මසිරි පැස්කුවෙල් මහතා ගේ සොහොයුරා වූ කීර්ති පැස්කුවෙල් මහතා එම ගීතය ස්ටැන්ලි පීරිස් මහතාගෙන් ඉල්ලා සිටි අතර ස්ටැන්ලි පීරිස් මහතා එම ‘රන් තරු පායන’ ගීතය නිර්ලෝභීව නවක ගායකයා වෙත ලබාදුන්නේය. කීර්ති පැස්කුවෙල් මහතා ගේ ප්‍රථම ගීත ඇල්බමයේ මෙම ‘රන් තරු පායන’ ගීතය අඩංගු වූවේ එහි ප්‍රථිඵල ලෙසයි.තවද ජෝතිපාලයන් ගායනා කළ අවසාන සංගීත ප්‍රසංගය වූ 1987 කතරගම ‘ගම්උදා’ සංගීත ප්‍රසංගයට සංගීතය සැපයීම ‘fortunes’ වාදක කණ්ඩායම සිදු කිරීම ඔවුන් ගේ සාර්ථකත්වය මනාව පැහැදිලි කරයි.
පසුව ස්ටැන්ලි පීරිස් මහතා රූකාන්ත ගුණතිලක, මහින්ද බණ්ඩාර හා කීර්ති පැස්කුවෙල් සමඟ එක්ව ‘ගැලැක්සීස් ‘ සංගීත ගීත කණ්ඩායම පිහිට වූවේය.මෙය ස්ටැන්ලි පීරිස් මහතා ගේ චිත්‍ර ශිෂ්‍යයා වූ රූකාන්ත ගුණතිලක මහතා ගේ කලා දිවියේ ආරම්භක පියවරකි.



ස්ටැන්ලි පීරිස් මහතා 1981 දී සිය ප්‍රථම චිත්‍රපට ගීතය සඳහා දායක වූවේය.මෙහි දී එතුමා රෙක්ස් කොඩිප්පිලි මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘බයිසිකලය’ චිත්‍රපටයේ ‘තරු යායේ ඈතින් ඈතට දිදුලන’ ගීතයට සංගීතය සැපයුවේය.මෙම ගීතයේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගේ වන අතර ගායනය කළේ ග්‍රේෂන් ආනන්ද මහතායි.තවද මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක වූවේ ඩබ්.පතිරාජ මහතායි.එයින් නොනැවතුණු ස්ටැන්ලි පීරිස් මහතා සාරාංගා, දූ දරැවෝ, සූර සරදියෙල්, ජූරිය මමයි යන චිත්‍රපට සඳහා ද සිය දායකත්වය දැක් වූවේය.
1976 දී එතුමා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් ‘baila in sythar style’ යන නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේය.තවද ශ්‍රී ලංකාවේ වැඩිම කැසට් පට ගණනකට සිය දායකත්වය ලබාදුන් පුද්ගලයා ලෙස ද එතුමා හැඳින්වේ.තවද එතුමා ශ්‍රී ලංකාවේ මුල්ම ගීත කැසට් පටය ලෙස හැඳින්වෙන විජය රාමනායක මහතා නිෂ්පාදනය කළ ‘anytime anywhere ’ කැසට් පටයේ ගීත 6ක් සඳහා ද සිය දායකත්වය ලබා දුන්නේය.



තවද ස්ටැන්ලි පීරිස් මහතා දක්ෂ පද රචනයෙක් හා තනු නිර්මාණය කරන්නෙක් ද වූවේය. එතුමා ගේ ප්‍රථම ගී තනු නිර්මාණය ලෙස කේ.ඩී.කේ ධර්මවර්ධන මහතා විසින් රචිත මිල්ටන් මල්ලවාරච්චි මහතා විසින් ගායනා කළ ‘අමා රන් හැඟුම්’ ගීතය සැළකේ. මීට අමතරව එතුමා සිය දායකත්වය දැක් වූ ගීත රාශියකි. ඒ අතර ටී.එම් ජයරත්න මහතා ගායනා කරන ‘සිතින් මා නොසැලී ‘ , ‘කුරහන් යායේ ‘ යන ගීත ද ජෝතිපාලයන් ගායනා කරන ‘හංගා ගල් ලෙනේ ‘ ගීතය ද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ගායනා කරන ‘රෑ තාරකාවෝ ‘, ‘රණබිම මැරුණේ ‘ , ‘ඉගිල්ලී යන්න යං’ යන ගීත ද වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ‘ගෑණු ළමයිනේ ‘, ‘මල් පොකුරු පොකුරු’ යන ගීත ද නන්දා මාලිනියන් විසින් ගායනා කරන ‘කුරුටු ගෑ ගී පොතේ ‘ , ‘ජේසු ස්වාමී දරුවනි ‘ යන ගීත ද මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන ‘හද පතුලේ ‘, ‘අතීතයේ පවා’ , ‘තරිඳු නැගෙන යාමේ ‘ යන ගීත ද ප්‍රියා සූරියසේන මහතා විසින් ගායනා කරන ‘ඇසුරින් මිදීලා’ ,’ මගේ ළමැද’ ,’ හදවත ඉල්ලා’ , ‘සඳ තාරකා’ යන ගීත ද ඒ අතරින් ඉතා ජනප්‍රිය විය. ඊට අමතරව එතුමා අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක, ග්‍රේෂන් ආනන්ද, කීර්ති පැස්කුවෙල්, නිරංජලා සරෝජිනී, රාජ් සෙනෙවිරත්න, රූකාන්ත ගුණතිලක, ක්ලැරන්ස් විජේවර්ධන, සනත් නන්දසිරි, W.D.අමරදේව, නිරෝෂා වීරාජිනී, රෝහණ බෝගොඩ, රාජු බණ්ඩාර, ජයනාත් දිසානායක, අතුල අධිකාරි, නෙලූ අධිකාරි වැනි ගායක ගායිකාවන් රැසක් ගායනා කරන ගීත සඳහා දායක වී ඇත.
මෙලෙස ගීත ඇල්බම 700කට වඩා විශාල ගණනකට එතුමා දායක වී ඇති අතර එලෙස දායක වූ ගීත ගණන 6600 කට අධිකයි. මෙලෙස ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අපරිමිත සේවයක් සිදු කළ ස්ටැන්ලි පීරිස් මහතා 2002 වර්ෂයේ ඔක්තෝම්බර් 13 වැනිදා සදහටම නෙත් පියාගත්තේය.ඒ පිළිකාවකට ගොදුරු වීම නිසායි.















