ගුවන රන්වන් සිතුවමක් මෙනි. සයුර රන් හුයෙන් හැඩකළ පලසක් මෙනි. සුවබර පවන් රැළි එකිනෙක පැමිණ විඩා නිවයි. ඒ අතරතුර සවන් පත් අතර දැවටෙන සොඳුරු ගී කළඹකි. මේ රසවත් ගී ගයන තරුණ කැල ස්පාඤ්ඤයෙන් පැමිණි සංගීත කණ්ඩායමකැයි බොහෝදෙනා වරදවා වටහාගනී. ඒ ඔවුන් ස්පාඤ්ඤ බසින් ගී ගයන හුරු පුරුදු විලාශය නිසාවෙනි. මේ හැටේ දශකයයි. ගායන කණ්ඩායම “ලොස් ෆ්ලැමෙන්කෝස්” ය.
මේ ගායන කණ්ඩායම තුළ තවත් එක් කඩවසම් තරුණයෙකි. ඔහු ස්ටැනිස්ලස් ප්‍රනාන්දුය.
වර්ෂ 1944 අප්‍රේල් 10 වැනිදා කැළණිය සිංහරමුල්ල ප්‍රදේශයේ උපන් ඔහුගේ මව ඔලිවියා බර්නිස් ද සිල්වාය. පියා මැනුවෙල් ෆ්රැන්සිස් ජෝසප්ය. පාසල් දිවියේ පළමු වසර පහ ශාන්ත ඇලෝශියස් සෙමිනරියේද (කොළඹ 08 පිහිටි), ඉතිරිය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේද ගතකරන ඔහුගේ සංගීත දිවියට අඩිතාලම වැටෙන්නේ ශාන්ත සෙබස්තියන් දේවාස්ථානයේ ගායන කණ්ඩායම හරහාය.
ශාන්ත ඇලෝශියස් සෙමිනරියේ පැවති ගායන තරඟයකින් ජයග්‍රහණය කළ හෙතෙම ස්වකීය අනාගත සිහිනය වෘත්තීය ගායන ශිල්පියෙකු වීමයයි වටහා ගන්නේ ජයග්‍රහණයේ ප්‍රීතිය මධ්‍යයේමය. ජයග්‍රහණයෙන් ලද නව ජීවයත් සමඟම ඩොමිනික් කන්දප්පා පියතුමාගෙන් ගායනයද වාදනයද මැනවින් උගත් හෙතෙම ස්වකීය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පාසල් මිතුරු දුලීප් ද සිල්වා සමඟ එක්වූයේය. ඒ ලතින් ඇමරිකානු හා ස්පාඤ්ඤ ගීත ගායනය හා වාදනය පුරුදු පුහුණු වීම සඳහාය. කල්යත්ම මේ දෙපළට තවත් මිතුරන් එකවූ අතර “ලොස් ෆ්ලැමෙන්කෝස්” සංගීත කණ්ඩායමේ ආරම්භය මෙසේ සනිටුහන් විය.
බොහෝ ජනප්‍රිය ගීත රසික රසිකාවියන්ට තිළිණ කළ ඔවුන්ගේ ජනප්‍රියතම ගීතය “කළු කෙල්ලේ” වූ අතර, එය වර්ෂ 1967දී ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්‍රථම වේදිකා සම්ප්‍රාප්ති ගී අතරින් එකක් වීමද විශේෂත්වයකි. ඉන්පසු සිය ප්‍රථම පටිගතකිරීම පිලිප්ස් ලේබලය යටතේ සිදුකිරීමට ගෞරි සංස්ථාව හරහා අවස්ථාව ලබාගැනීමට “ලොස් ෆ්ලැමෙන්කෝස්” සමත්විය.
එවකට ස්ටැනිස්ලස් සේවය කළේ කොටුව “ද චිල්ඩ්‍රන්ස් බුක් ෂොප්” අසල “ග්‍රින්ඩ්ලේස්” බැංකුවේය. ඒ වනවිට කලාකරුවන්ගේ හා රසික රසිකාවියන්ගේ හමුවීම් ස්ථානයක් ලෙස “ද චිල්ඩ්‍රන්ස් බුක් ෂොප්” ජනප්‍රිය ව තිබූ අතර ස්ටැනිස්ලස්ද එහි නිරන්තර ආගිය රසවතෙක් වීය. මේ ගමන් ජනප්‍රිය ගායිකාවක වූ ඉන්ද්‍රානි මෙන්ම ජෙරාල්ඩ් ගේ පුතු වූ නෙතාජි සමඟද හිතවත්කම් ඇතිවීමට හේතුවිය.
වර්ෂ 1969 දී ජෙරාල්ඩ් “ලොස් ෆ්ලැමෙන්කෝස්” සංගීත කණ්ඩායමට “සූරිය” ලේබලය යටතේ පටිගතකිරීම් සඳහා පැවැත්වූ යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඇරයුම් කළ අතර ඔවුන් ඉන් සමත්ව තම ඊළඟ පටිගතකිරීම් ත්‍රිත්වයම “සූරිය” ලේබලය යටතේ දැයට තිළිණ කළෝය.

එවකට හෝටල් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ “ලොස් ෆ්ලැමෙන්කෝස්” තම නිර්මාණ වලට අමතරව ස්පාඤ්ඤ හා ස්වාහිලි භාෂා වලින්ද ගී ගැයූ අතර නිරන්තර පුහුණුවීම් හේතුවෙන් ඔවුන්ගේ උච්ඡාරණය ස්පාඤ්ඤ බසට ආසන්නතම විය. මීට හොඳම උදාහරණය “බ්‍රවුන් බීච්” හෝටලයේදී මෙම සංගීත කණ්ඩායමට සැබවින්ම ස්පාඤ්ඤ බස හැසිරවිය හැකියැයි ස්වකීය මිතුරියක හා ඔට්ටු දැමූ විදේශීය කතකි.
ඇන්ටන්, මිල්රෝයි, හා මොහාන් නමින් ඔහුට සොයුරන් තිදෙනෙකි. සොයුරියන්ද තිදෙනෙකි. කෝනි, මාග්‍රට් හා මොයිරා යනු ඒ තිදෙනාය. පසු කලෙක ශ්‍රියානි නම් වූ ඇගේ අතගෙන සුලෝචනී හා ශිවන්ත නම් සිය දරු දෙදෙනාට ආදරණීය පියෙකු වන්නේද ඔහුමය.



වර්ෂ 1978න් පසු “ලොස් ෆ්ලැමෙන්කෝස්” බොහෝ සාමාජිකයන් රට හැර ගිය අතර එය හුගේ කලා දිවියේ අභාග්‍යයට හේතුවිය. පසුව වර්ෂ 1980දී හෙතෙමද එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර වර්ෂ 1994දී නැවතත් මෙරට බලා පැමිණ “සෙලාන් මර්චන්ට් “ බැංකුව සමඟ එක්විය. මේ වනවිට සිය බිරිඳ පවත්වාගෙන යන පෙර පාසලේ කුඩා දරු දැරියන් සමඟ විනෝදයෙන් කල්ගත කරන හෙතෙම අදටද එදා ඔහුගේ කලා දිවියට “ග්‍රීන්ඩ්ලේස්” හා “සෙලාන්” යන ආයතන හරහා ලැබුණු අපරිමිත සහයෝගය මහත් කෘතඟතාවයෙන් යුතු ව සිහිපත් කරයි.
පරිවර්තනය : නවෝදා දයාකාන්ත



Kandayam Gee (Hits In Harmony)
