• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

පෝල් ප්‍රනාන්දු

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

මොරටු පුරේ – බයිලා ස්වරේ

එම.එච්.ලියොන් ප්‍රනාන්දු හා කුසුමාවතී ප්‍රනාන්දු යුවළගේ පුතුන් පස් දෙනෙකුගෙන් යුත් කැදැල්ලේ බාලයා ලෙස 1951 වසරේ නොවැම්බර් 24 වන දින මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු මොරටුවේදී උපත ලැබුවේය. සංගීතයට උපන් හපන් කම් දැක්වූ ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලෙන් සිප් සතර හැදෑරුවේය.

පසු කලෙකදී  ” මාලා “, ” සුපුන් සඳක් අහසේ පා වුනා “, ” තොප්පි වෙළෙන්දා “, ” නෙලුම් කුමාරී “, ” දෝන කතිරිනා “, ” වියෝලේ නාදේ “, ” ගොළු හදවත ” හා ” එගොඩ ගොඩේ ” වැනි ගී ඇතුළුව ගීත ගොන්නක් සමඟින් සංගීත ක්ෂේත්‍රය සාර්ථකව තරණය කරමින් හැත්තෑව අසූව දශක වලදී අතිශය ජනප්‍රියත්වයට පත් වීමට තරම් උපතින්ම ගෙනා ගායන කුසලතාවයක් ඔහු සතුවිය. කුඩා අවධියේදීම ගීත ගායනයට ඇලුම් කළ ඔහු ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනකට මං පෙත් විවර කර ගන්නේ 1969 වසරේදී මොරටුවේ බෞද්ධ මන්දිරයේ පැවත්වුන ” ටැලන්ට් 69 ” ගායන තරඟයේදී එම්.එස් ප්‍රනාන්දු මහතාගේ  ” අසෝක මල් මාල නෙළාලා ” ගීය ගයමින් එහි ජයග්‍රහණය අත්පත් කර ගනිමිනි.

ඔහුටම ආවේනික හඬ පෞරුෂය හඳුනා ගන්නා ප්‍රියා පීරිස් මහතා මෙම තරුණයාට ගායන ක්ෂේත්‍රයෙහි තරුවක් වීමට අත්වැල සපයන්නේ  ” මාලා ” සහ ” තොප්පි වෙළෙන්දා ” ගීත දෙක ලබා දෙමින් හා ” සූරිය ” හි නිර්මාතෘ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාට ඔහුගේ දක්ෂතාවය හඳුන්වා දෙමිනි. එලෙසින් 1970 වර්ෂයේදී තරුණ පෝල්  ” සූරිය ” සමඟ ” මාලා ” ,  ” තොප්පි වෙළෙන්දා “, ” සුදු රෝස මල ” හා ” රන් සමනලයා ” ගීත තැටිගත කිරීමේ භාග්‍යය හිමි කර ගන්නේය. ඒ නිස්සංක විමලසූරිය මහතාගේ සංගීත අධ්‍යක්ෂණයත් සමඟය. මෙම ගී හරහා තරුවක් බවට පත් වන ඔහු එවකට බයිලා ක්ෂේත්‍රයේ වූ දැවැන්තයන් අතර යෞවනයෙකු වූ හෙයින්  ” බයිලා කුමරු ” ලෙස විරුදාවලි ලබන්නේය.

1971 වසරේදී නැවත ” සූරිය ” ලේබලය යටතේ ”  කිටි අක්කා “, ” සුපුන් සඳ “, ” පාන් මාමා ” හා අනුලා ප්‍රනාන්දු ගායන ශිල්පිනිය සමඟ ගැයූ ”  ආවේ වන බඹරෙක් වාගේ ” යන ගී ඔහුගේ නිර්මාණයන්ට පෙම් බැඳි රසික රසිකාවියන්ගේ වින්දනය උදෙසා එක් කිරීමට ඔහුට හැකි විය. එහිදී එලි දැක්වුණු  ” පාන් මාමා ” ගීතය ලොකු කුඩා සැවොම එක ලෙස වැළඳගත් ගීතයක් බවට පත්විය. ” සූරිය ” සමඟ තම ගායන දිවියේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1973 දී මෙල්රෝයි ධර්මරත්නයන්ගේ සංගීත අධ්‍යක්ෂණය සමඟින් ජනප්‍රිය ගීතයක් වන ” එගොඩ ගොඩේ ” ගීය ඇතුළුව තවත් ගී එකතුවක් තම ප්‍රියාදර රසික රසිකාවියන් උදෙසා තිලිණ කිරීමට ඔහුට හැකිවිය.

P2
61

” සූරිය ” සුසංයෝගයෙන් 1977 වසරේදී ඉන්ද්‍රානි පෙරේරා ගායන ශිල්පිනිය සමඟද , 1978 වසරේදී එම ගායන ශිල්පිනිය හා ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා සමඟද වාද බයිලා ගයමින් එම විෂයෙහි තම නිපුණත්වය තවදුරටත් විදහා දැක්වීමට ඔහුට හැකියාව ලැබුණි.

අනූව දශකයේ ගුවන් විදුලි සරල ගී ගායනයෙන්ද රසිකයන් වෙත තවත් සමීප වීමට පුළුල් පරාසයක ගී ගැයීමේ හැකියාව දැරූ ඔහුට හැකිවිය. එපමණකින් නොනැවතුණු ඔහු “රුවන් මාලිගා නැත මා හට “, ” මගේ පාසල් කාලය “, ” අරුනලු පැතිරෙන ” හා ඔහු විසින්ම තනු නිර්මාණය කළ ” සමන්මලී කොහේ සිටන් ඔබ ” වැනි අදටත් ගුවන් විදුලියේ නිතර ඇසෙන ජනප්‍රිය ගීත හා තවත් එසේ ප්‍රචාරය නොවූ ගීත ඇතුළුව ගීත 150කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත.

129

” වානරයෝ “, ” හරියනකොට ඔහොම තමයි “, ” නැව ගිලුනත් බෑන් චූන් ” හා ” අපායේ තත්පර එක්දහස් අටසියයක් ” ආදී නිර්මාණයන්ට පසුබිම් ගායනයෙන් එක් වීමට ඔහුට අවස්ථාව ලැබුණි. ” වානරයෝ ” සිනමා නිර්මාණයේ  ” තරු මුතු සැණකෙළියේ ” ගීය එලෙස ගැයූ ගීත අතුරින් වඩා ජනප්‍රියතාවයට ලක් වූවකි.

පෝල් ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ ගැඹුරු හඬ හා රැඟුම් ශෛලිය පමණක් නොව එක් රාමුවකට සීමා නොවී සරල ගී, පොප් හා බයිලා ලෙසින් පුළුල් පරාසයක ගැයීමේ තිබු දක්ෂතාව ඔහුගේ සංගීත ගමන් මගෙහි සාර්ථකත්වයට පිටුවහලක් විය.

192-1

එමෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන, සුනිල් ධර්මසේන, ප්‍රියා පිරිස් හා නිස්සංක විමලසුරිය වැනි සංගීත ශිල්පීන්ගේ තනු නිර්මාණයද, හේමසිරි හල්පිට, ප්‍රියා පිරිස්, සින්ටන් ප්‍රනාන්දු හා රවී රණසිංහ වැනි පද රචකයන්ගේ ගී පද ද ඔහු ආ ගමන් මගෙහි අත්වැල සැපයුවේය.

මොරටුව කලා එකමුතුවේ ප්‍රභල සාමාජිකයෙකු වන මෙම ආදරණීය ගායන ශිල්පියා වර්තමානයේ තම වැඩිමහල් සොහොයුරු රන්ජිත් ප්‍රනාන්දු මහතා සමඟ දිවි ගෙවන්නේය. හැටහය වන වියෙහි පසු වුවද අදටත් එදා මෙන්ම තාරුණ්‍යයෙන් හෙබි ඔහුගේ හඬින් ඔහු ජීවිත කාලයටම රැස් කළ ධනයක් ඇත. ඒ ඔහුගේ මියුරු ස්වරයට එදා මෙදාතුර ප්‍රේම කරනා දහස් සංඛ්‍යාත රසික හදවත්මය.

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

Previous Artist
පැට්‍රික් දෙනිපිටිය
Next Artist
මරියසෙල් ගුණතිලක

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved