අපි ජීවිතයේ විවිධ මාර්ග ඔස්සේ ගමන් කරන්නන් වෙමු. ඒ අතරතුර කිසිදාක නොසිතූ නොපැතූ මාවත්වලට හැරී ගමන් කරන්නෝද වෙති. අධ්‍යාපනය කෙරෙහි දැක්වූ සහජ දක්ෂතාවය හා තීක්ෂණ බුද්ධිය නිසාවෙන් දිනක වෛද්‍ය ක්ෂේත්‍රය බබළවනු ඇතැයි දෙමාපියන්, ගුරුවරුන් අතිවිශාල බලාපොරොත්තු දල්වා සිටියද; ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසුනේ කිසිවකුත් නොසිතූ නොපැතූ ලෙසටය. ඔහු සැවොම බලාපොරොත්තු වූ ලෙසටම දෙරණ බැබළවූවේය. නමුත් වෙනස්ම ක්ෂේත්‍රයකිනි. ඒ සංගීත ක්ෂේත්‍රයෙනි.

වර්ෂ 1934 අගෝස්තු 11 වනදා මෙලොව එළිය දුටු ඔහු පැට්‍රික් දෙනිපිටියයි. වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්‍රය බබළවන සංගීතඥ මහේෂ් දෙනිපිටියගේ ආදරණීය පියාණන්ය. දස දෙනෙකුගෙන් යුත් පවුලේ නොමඳ සෙනෙහස රැකවරණය මැද හැදී වැඩුණු ඔහුගේ පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙකි. අධ්‍යාපනය ලැබූයේ ශාන්ත බෙනඩික්ට් හා ශාන්ත ඇලෝශියස් විද්‍යාලවලිනි.
විෂය දැනුමෙහි ඔහු දැක්වූ හැකියාවට නොදෙවැනි හැකියාවකි ඔහුගේ සංගීතමය දක්ෂතාවය. විවිධ වූ වාද්‍ය භාණ්ඩ වාදනයෙහි අතිදක්ෂයෙකු වූ ඔහුගේ ප්‍රියතම සංගීත භාණ්ඩය වූයේ හවායන් ගිටාරයයි. යනෙන තැන සෙවණැල්ලක් සේ ඔහු හා බැඳී ආ හවායන් ගිටාරය ඔහුට අතැඹුලක්ම විය. එපමණක් නොව ඕනෑම ගීයක් අපූරුවට සිවුරුහන් කිරීමේ හැකියාවද ඔහු සතුවිය. කිසිම වාද්‍ය භාණ්ඩයක් වාදනය නොකරමින් සංගීත ඛණ්ඩ ඉතා වේගවත්ව පෙරදිග මෙන්ම අපරදිග සංගීතයට අනුකූලව ප්‍රස්ථාරගත කිරීමේ හැකියාවද ඔහුගේ බැබළීමට හේතුවිය.
චිත්‍රපට දෙසියයකට අධික ප්‍රමාණයකට සංගීත අධ්‍යක්ෂණයෙන්, තනු නිර්මාණයෙන්, වාදනයෙන් මෙන්ම ගායනයෙන්ද එක්වූ ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයේ මහිමය වර්ෂ 1967 දී තිරගත වූ “සැඟවුණ මැණික”, 1974දී තිරගත වී බොක්ස් ඔෆීස් වාර්තා පවා පිහිටවූ “සැණකෙළිය”, 1976දී තිරගත වූ “ලෝක හොරා” යනාදී චිත්‍රපට මනාවට කියාපායි. ඒ හැරුණු විට තවත් චිත්‍රපට ගණනාවකම සහය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියාකළේය.



“උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ” යනු ලාංකේය කණ්ඩායම් සංගීත ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මක්නිසාදයත් එය සංගීත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ ප්‍රථම සිංහල ගීතය ලෙස ඉතිහාසගත වීමයි. සී.ඩී.ෆොන්සේකා, රසීනා යසීම්, ඇනජලීන් ගුණතිලක, හා ෂෙල්ටන් මෙන්ඩිස් යනාදී ගායක ගායිකාවන් විසින් ගැයූ එම ගීයට මනහර තනුව ගෙත්තම් කළේ හෙතෙමය. ඒ හැරුණු කොට “ඈත කඳුරැළි සිඹ සිඹ”, “උමයංගනියෝ සුරලාලිනියෝ”, “නෙළුම් මලේ පෙති කඩලා”, “ඉවුරු තලා”, “මා නිසා ඔබ “, “ශ්‍රීනි විභූෂිත ලංකා බැබළේ” වැනි සුප්‍රසිද්ධ ගී රැසකටම තනු නිර්මාණයෙන් දායකවූයේය.
සී.ටී. ප්‍රනාන්දුගේ බොහෝ ගීතවල සාර්ථකත්වයට පැට්‍රික්ගේ අද්විතීය සංගීතය හේතු වූ බව නොරහසකි. ඒ හැරුණු විට තවත් ගීත රැසකට ගායන දායකත්වයද ලබාදුන්නේය. ඊට උදාහරණ ලෙස සී.ටී ගේ “සිහින ලොවේ” හා ක්‍රිස්ටෝපර් පෝල්ගේ සමහර ගීතද ගෙන දැක්විය හැක. ලංකා ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දය හා එක්ව තවත් බොහෝ දස්කම් දැක්වූවෙකි ඔහු. මෙරට ජනප්‍රිය වූ බොහෝ සංගීත ප්‍රසංගවල සංගීත අධ්‍යක්ෂණයෙන් ඔහු තැබූ සළකුණ අමරණීය එකකි. ඒ අතරින් අතළොස්සක් ලෙස මොහිදීන් බෙග්ගේ “බෙග් ගීතිකා”, සී.ටී. ප්‍රනාන්දුගේ “වන බඹරු”,රුක්මණී දේවි හා හෙලන් ඩැනියල්ගේ “රුක්මණී දේවි” චිත්‍රා හා පී.එල්.ඒ සෝමපාල යුවළගේ “රන්වන් ගී” හා ටියුඩර් ජයශාන්ත ගේ හින්දි ගී එකතුව වූ “සුන්දර් ගීත්” ගෙනහැර දැක්විය හැක.
ඔහු කිසියම් කර්තව්‍යයක් ඇරඹූවිට හැමවිටම එහි නිවැරදිතම අයුරින් නියැලීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස හවායන් ගිටාරයෙන් රටක් වසඟ කළේය. 1960 වර්ෂයේ පළමු භාගයේදී පොප් සංගීතයේ රසය අඩුවක් නොමැතිවම මුළු මහත් ලක්දිවටම පෙන්වා දුන්නේය. යුරෝපයට සංචාරය කළ පළමු ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඉතිහාස පොතට එක්වූයේය. ඒ 1969 දී සී.ටී. ප්‍රනාන්දු සමඟිනි. එහිදී සුප්‍රසිද්ධ “බීට්ල්ස්” කණ්ඩායමේ සාමාජික ජෝසප් හැරිසන් හමුවීමේ භාග්‍යයද උදාකරගත්තේය. ඒ හැරුණු විට එච්.ආර්. ජෝතිපාල සමග කැනඩාවට හා ඇමරිකා එක්සත් ජනපදයටද, සෝමපාල යුවළ සමඟ ලන්ඩන්, පැරිස් හා සූරිච් යන නගර වලටද, එම්. එස්. ප්‍රනාන්දු සමඟ තවත් රටවලටද සංචාරය කළේය.
“සූරිය” ලේබලය යටතේ සී.ටී. ප්‍රනාන්දු ගැයූ ගී වලට අමතරව මර්සලීන් ජයකොඩි පියතුමා හා වික්ටර් සිල්වා නිර්මාණය කළ සීතල උඳුවප් මස උණුසුම් කළ නත්තල් ගී ද නිර්මාණය කළේය.
වර්ෂ 1960දී “කොම්බෝ” සංගීත කණ්ඩායම පිහිටුවමින් , වසර විසි හතක් පුරවට අපූර්ව නිර්මාණ බිහිකළේය. බී.බී.සී. සංදේශයට පළමුවෙන්ම එක්වූ සංගීත අධ්‍යක්ෂවරයා වූයේද ඔහුය. ඒ එම්.එස්. ප්‍රනාන්දු සමඟිනි. ඉන් නොනැවත රූපවාහිනී කලාවටද අවතීර්ණ වූයේය.





වර්ෂ 1961 දී තම ජීවන ගමනේ නවතම පිටුවක් පෙරළමින් සෙල්සි ප්‍රනාන්දු සමඟ විවාහපත් වූ ඔහු පුතුන් දෙදෙනෙක් හා දියණියක දැයට දායාද කළේය.
ඉතා අභාග්‍යය සම්පන්න ලෙස 1997 වසරේදී ආඝාත තත්ත්වයකට ලක්ව රෝගී වූ ඔහු සිය බිරිඳගේ දැඩි රැකවරණය හා සෙනෙහස මධ්‍යයේ 2013 වසරේ මාර්තු 23 වනදා දක්වා ජීවත්වීමේ වරම් ලැබුවේය.
ජාතියේ අවශ්‍යතාවය හුදෙක් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් බිහිකිරීම නොව; කවර ක්ෂේත්‍රයක වුවද නිවැරදිව නියැලෙන දක්ෂයන් බිහිකිරීම යැයි තම ජීවිත කතාවෙන් සනාථ කළ ඔහු අපූර්ව නිර්මාණ රැසක් දැයට දායාද කළේය.



සටහන : අමායා සූරියප්පෙරුම
සංස්කරණය : නදීෂා පෝල්
පරිවර්තනය : නවෝදා දයාකාන්ත