Sooriya Records Sooriya Records
Menu

පැට්‍රික් කුරේරා

වර්තමානයෙන් අතීතයට…..

උපත         :1945 ජුලි 19
විපත         : 2009 නොවැම්බර් 24
රැකියාව  : සංගීත තැටි නිෂ්පාදනය

අපේ මේ සූදානම ඔබ චාරිකාවක් රැගෙන යාමටය. ඒ දියළුම ඇල්ලට, ලෝකාන්තයට හෝ පේරාදෙණිය උද්භිද උදය්‍යානයට නම් නොවේ. මේ ගමන අතීතයටය. දශක ගණනාවකට පෙර ලාංකිකයන්ට ගායන ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ හැකියාවන් රසවිඳීමට තිබූ එකම අවස්ථාව වූයේ සජීවී ප්‍රසංගයි. ඉන් අනතුරුව ගුවන්විදුලිය කරළියට පැමිණුනි. සියළුම ශ්‍රී ලාංකිකයන්ට ගුවන්විදුලියක් අත්පත් කරගැනීමේ හැකියාවක් නොතිබුණත්,  ගුවන්විදුලියක් තිබූ නිවසකට එය ශ්‍රවණය කිරීම සඳහා ඇසෙනමානයේ සිටි බාල මහළු සියල්ලන්ගේම එක්රොක් වීම සිදුවූයේ නිතැතින්මය. පළමුවෙන්ම ඉන් ඇසුණේ එල්විස් ප්‍රෙස්ලි, ක්ලිෆ් රිචර්ඩ්ස් වැන්නවුන්ගේ නුහුරු නුපුරුදු හඬවල් වූ නමුත් පසුව හුරු පුරුදු දේශීය හඬවල්වලටද සවන්දීමේ අවස්ථාව හිමිවූයේ පැට්‍රික් කුරේරා වැන්නවුන්ට ස්තූතීවන්තවන්නටය. ඒ වර්ෂ 1960 දී ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට ඊ.පී (EP- Extended Play) පටිගතකිරීම් හඳුන්වාදෙමිනි.

වර්ෂ 1945 ජූලි දහනව වනදා ඉන්දීය ජාතිකයන් වූ ජෝසප් ඇන්තනි සැවියර් කුරේරා හා ඔහුගේ බිරියට දාව උපත ලැබූ පැට්‍රික් කුරේරා පසුකලෙක පිය ඇවෑමෙන් පටිගත කිරීම් ආනයනය කිරීමේ ව්‍යාපාරය අත්පත් කරගත්තේය.

වර්ෂ 1966 සැප්තැම්බර් මාසයේදී පැට්‍රික්ගේ පියා ජනප්‍රිය පටිගතකිරීම් ආයතනයක්වූ “ගෞරි සංස්ථාව” මිලදීගත්තේය. ඒ හරහා පිලිප්ස් පටිගතකිරීම් ලංකාවට ගෙන්වීමේ අයිතියද ලබාගත්තේය. පියාගේ ව්‍යාපාරික භාවිතාව දෙස අවධානයෙන් බලාසිටි පැට්‍රික් තරුණයා,  පියාගේ ව්‍යාපාරයට එක්වන්නේ අවුරුදු 21ක් පමණ වූ හිරිමල් යෞවනයේදීමය. ඉන්පසු පිය පුතු දෙපළ එක්ව හින්දි, ද්‍රවිඩ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පටිගතකිරීම් ලංකාවට ආනයනය ඇරඹුවෝය. කෙටිකලකින්ම ඔහු “ගෞරි සංස්ථාවේ” එකම කළමණාකරු බවට පත්ව සිංහල ගීත බෙදාහැරීමද ඇරඹුවේය.

රේමන්ඩ් ෆොන්සේකා, රෝයි ෆොන්සේකා හා නිහාල් සිල්වා යන ත්‍රිත්වය සමඟ මිත්‍රත්වයේ ප්‍රථම ඵලය ලෙස පිලිප්ස් ලේබලය යටතේ ප්‍රථම ඊ.පී (EP- extended play) කණ්ඩායම් ගී ඉදිරිපත් කළේ “ජේ.වී.පී.සී 1001” නාමයෙනි. ජේ.වී.පී.සී. යනු ජෝසප් වින්සන්ට් පැට්‍රික් කුරේරා යන්නයි. වර්ෂ 1967දී ලෙවිස් බ්‍රවුන් ස්ටූඩියෝවේදී ටෝනි ප්‍රනාන්දු පටිගතකළ “ නැළවෙන මව් උකුළේ, නැටුම් ගුරුවරී, පැද්දෙමි ඔරුවේ, හඳ එළිය” යන ගී හතර මෙලෙස “ජේ.වී.පී.සී 1001” ට මුසුවිය. එවකට ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලිවී ආර්. විජේමාන්න එහි සාම්පලයක් ගුවනට මුදාහළේ කිසිදු ගාස්තුවක් අයකිරීමෙන් තොරවය. ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ ප්‍රථම දේශීය නමක් ඇති සංගීත කණ්ඩායම වූ මේ ත්‍රිත්වයේ “සමනලයෝ” සංගීත කණ්ඩායමට මෙසේ සහය දැක්වූයේ පැට්‍රික් ය. පසුව නොයෙල් රණසිංහගේ ආරාධනයෙන්ද ධර්මරත්න සොයුරන්ගේ අවසරයෙන්ද ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ පැවති ප්‍රසංගයක් පටිගතකළ පැට්‍රික් එහිදී නැගීඑන සංගීත කණ්ඩායම් රැසක් හඳුනාගත්තේය. ඒ ලා සිලෝනියාස්, ද මූන් ස්ටෝන්ස්, ද ධර්මරත්න බ්‍රදර්ස්, ද මී මැස්සෝ, ලොස් මුචාචෝස්, ලොස් ෆ්ලෙමින්ගෝස්, ලා බම්බාස් හා හමින්ග් බර්ඩ්ස් වැනි සංගීත කණ්ඩායම්ය.  මේ හරහා පටිගතකිරීම් නිෂ්පාදන ක්ෂේත්‍රය නවමු මඟකට යොමුවිය.

වර්ෂ 1968 දී නොයෙල් රණසිංහගේ “ලා සිලෝනියාස්” සමඟ ජේ.වී.පී.සී. 1002 හා 1003 ඊ.පී පටිගතකිරීම්ද ලංකාවට හඳුන්වාදුන් ඔහු එවකට එහි සාමාජිකයකු වූ මිල්ටන් මල්ලවආරච්චි සමඟ නවතම පියවරක් තැබුවේය. ඒ පළමු ඒකල ඊ.පී. පටිගතකිරීම ලෙස “ජේ.වී.පී.සී. 1052” හඳුන්වාදෙමිනි. කරුණාරත්න අබේසේකරගේ පද වැලට මොහමඩ් සාලිගේ සංගීතය මුසුකළ “ඔරුවක පාවෙන”, “රන්කූඩුව ඔබ හැදූ”, “මංගලේ නෙත් මංගලේ”, “සංසාර සෙවනැල්ල” වැනි ඉතා ජනප්‍රිය ගීත එහි අඩංගුවිය.

“Sinhala vocal groups launched by Patrick”by Malcolm Vindurampulle, Sunday Observer, November 23, 2014

ඊ.පී පටිගතකිරීම් හරහා සංගීත කණ්ඩායම් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟාවූවා පමණක් නොව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ පැසසුමට ලක්විය. ඔහුගේ ඊ.පී. පටිගතකිරීම්වලට ගී ගැයූවන් අතර වික්ටර් රත්නායක, එම්. එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල හා ඇන්ටන් රොද්‍රිගෝ යනු අතළොස්සක් පමණි.

ඊ.පී. පටිගතකිරීම් සියයකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් අතිවිශාල සේවයක් ඉටුකළ මොහු හැත්තෑව දශකයේදී මෙනින්ජයිටිස් රෝගයට ගොදුරු වූ අතර එය ඔහුගේ ව්‍යාපාර කඩාවැටීමට හේතුවිය. අසූව දශකයේදී නැවත ව්‍යාපාරය ගොඩනැගීමට උත්සාහ කළද කළු ජූලිය නැවතත් ඔහුට අභාග්‍යය ගෙනආවේය. කළු ජූලිය නිසාවෙන් ස්වකීය නිවාසය පවා අහිමිකරගත් ඔහු ඒ නිසාවෙන් ඇතිවූ චිත්ත පීඩාව හේතුවෙන් නැවත කිසිවිටකත් සංගීත ක්ෂේත්‍රයට පා නොතබාම වර්ෂ 2009 නොවැම්බර් 24 වනදා අවසන් සුසුම් හෙලුවේය.

මෙල්රෝයි ධර්මරත්නට අනුව ඔහු සැබෑ කලාකාමී හදවතක හිමිකරුවෙකි. මිල මුදල් හෝ ප්‍රසිද්ධය පසුපස හඹානොගිය මහත්මා ගුණාංග වලින් සපිරි සැබෑ මිනිසෙකි. ඉතින් හෙතෙම එකී සියළු ගුණාංග ඉතිරිකොට තබා අවසන් ගමන් ගියේය.

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

කලාකරුවන්

ඔබේ හඬ

error: Content is protected !!

Have a passion to write ?

Join our Team

Subscribe!