අභිමානවත් නර්තන සම්ප්‍රදායක ස්වර්ණමය සළකුණ..

රජ දවස පටන් රාජ රාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ පැසසුමට බඳුන් වූ ඓතිහාසික කලා පරපුරක් වූ අල්ගම ශිල්ප පරපුරට තවත් ශක්තිමත් පුරුකක් එක් විය. ඒ 1920 වර්ෂයේ පෙබරවාරි 24 දින සිදු වූ පාණිස් අල්ගම බිලිඳුගේ උපතත් සමඟය. පසු කාලීනව පණීභාරත ලෙස දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වන්නේ මෙම පාණිස් අල්ගම බිළින්දාය.සිත්‍රාචාරී නැකතිගේ පබානිස් ගුරුතුමාද ඌරුවල නයියන්ඩිකාර ගණිතයාලාගේ ඩිංගිරි උක්කු මාතාවද කුඩා පණීභාරතගේ වාසනාවන්ත මව් පිය දෙපළ වුහ. නක්ෂත්‍ර ශාස්ත්‍රය දත් පවුලේම වැඩිහිටියන් විසින් කුඩා බිලිඳුගේ වේලාපත්කඩය පරික්ෂා කරනු ලදුව කලා ශිල්පයන්ගෙන් තම පරපුරට විශාල අභිමානයක් එක් කළ හැකි අනාගතයක් ඔහුට හිමි බව අනාවැකි පල විය.
නමුත් පාරම්පරික වෘත්තියෙන් බැහැරව සමාජයේ පිළිගැනීමට ලක් වූ වෙනත් වෘත්තියකට තම පුතනුවන් යොමු කිරීමට සිහින දුටු කුඩා පණීභාරතගේ දෙමාපියන්ගේ තීරණය මත දේශීය වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ඔහුව තිබ්බටුවාවේ ගුණානන්ද හිමිට බාර වුනි. එසේ වුවද රත්නපුරේදී දේවාල පෙරහැරක දුටු තම සුළු පියා ඇතුළු නෑදෑ ශිල්පීන්ගේ අතිශය මනස්කාන්ත නර්තනය ඔහුට තම උරුමය වෛද්‍ය විද්‍යාව නොවන බව පසක් කර දීමට තරම් ප්‍රභල විය. එහි ප්‍රතිඵලය වුයේ දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙනීම පසෙකලා තම ආරයෙන්ද පරිසරයෙන්ද උරුම වූ නර්තන ශිල්පය හැදෑරීමට මෙම දරුවාගේ ප්‍රවේශ වීමය.
පාසල් ගමන ආරම්භයට ප්‍රථමව අල්ගම මැදගම විහාරස්ථානයෙන් අකුරු ශාස්ත්‍රය හැදෑරීමට කුඩා පණීභාරතව යොමු කෙරිණි. ඉතා දක්ෂව ශාස්ත්‍රය හදාල ඔහුට ගාථා හා ශ්ලෝක කට පාඩමින් කීමේ හැකියාවක් විය. රත්නපුරයේ සිටි කාලයේ භාෂා ශාස්ත්‍රය හැදෑරීමට බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි හා කිරිඇල්ලේ ඥානවිමල හිමි සමීපයට යාමේ භාග්‍යය ඔහුට හිමි විය. 1926 දී අල්ගම ගමේ පාසලට ඔහුව ඇතුලත් කෙරිණි. ඉගෙනීමෙහි අති දක්ෂයෙකු වූ ඔහුගේ පාසල් ගමන හතර වන ශ්‍රේණිය සමත් වීමෙන් පසුව නිමා වන්නේ තමන් වැඩුන සංස්කෘතික වටපිටාවේ ස්වභාවය අනුවය.

අවුරුදු 5ක් තරම් කුඩා වයසකදී නර්තන ශිල්ප හැදෑරීමට ඔහුගේ පළමු පියවර තැබෙන්නේ අල්ගම සිරියා ගුරුතුමාගේ පුරෝගාමිත්වයෙන් අල්ගම මහ ගෙදර පවත්වාගෙන ගිය නැටුම් කලායතනයෙන් දණ්ඩියමේ සරඹ හැදෑරීමට යොමු වීමත් සමඟිනි. ශිල්පය හැදෑරීමේදී ඔහු වඩාත් සමීප වන්නේ එහි ප්‍රවීනයෙකු වූ තම සුළු පියා, අල්ගම කිරිගනිතා වෙතය. ගුරුමුෂ්ටියක්ද නොමැතිව තම ගෝලයාට තමා දත් සියලු ශිල්ප ලබා දීමට ගුරුතුමා උත්සුක වුවේය.
එපමණකින් නොසන්සිඳුණ ශාස්ත්‍ර පිපාසයකින් පෙළුන පණීභාරත එක් එක් ගුරු පරම්පරාවන්ට උරුම වූ වෙනස් ශිල්ප ශාස්ත්‍රයන් තම හැකියාවට ඈදා ගැනීමට විවිධ ගුරුවරුන් යටතේ තව තවත් ශිල්ප ප්‍රගුණ කරන්නේය. කොන්පලේ ගුරුතුමා හා මුද්දනාව ගුරුතුමා යටතේ බෙර වාදනයද, මංගලතිරියේ සියදෝරිස් හා තිබ්බටුවේ සිමන්ඩි යන ගුරුවරුන් යටතේ තම්මැට්ටම් වාදනයද, තම පියාගෙන් දවුල් වාදනයද මැනවින් හැදෑරීමට ඔහුට හැකිවිය. තරුණ කාලයේ කෝලම් නැටුම් සංදර්ශනයක් නැරඹීමෙන් ඒ කෙරෙහි ඇති වූ ඇල්ම ඔහු පහතරට නර්තනය හැදෑරීම සඳහා යොමු වීමට හේතු විය.ඊට ගුරුහරුකම් ලැබෙන්නේ දොම්පේ වෙල්ගම ගිරිතේරිස් ගුරුතුමාගෙනි. සබරගමු නර්තන සම්ප්‍රදාය හැදෑරීමට ඔහු යොමු වන්නේ පරන්ගිවත්තේ පුංචි මහත්තයා ලෙසින් හැඳින්වුන ගුරුතුමා වෙතය. එමෙන්ම රන්නගල සීමා ගුරුතුමාගෙන් බලි ශාන්ති කර්ම පිලිබඳ ශිල්ප හැදෑරීමට ඔහුට හැකිවිය.
නර්තන ශිල්පියෙකු වශයෙන් ලැබිය හැකි ඉහලම ගෞරවය මහනුවර දළදා පෙරහැරේදී තම ශිල්ප දැක්වීමට අවස්ථාව ලැබීමයි. එම භාග්‍යය ඔහුට හිමි වන්නේ අවුරුදු 10ක් තරම් ළාබාල වයසේදීමය.එහිදී තනිකච්චියේ නැට්ටුවෙක් ලෙස රංගම ගුණමලා හා අල්ගම කිරිගනිතා වැනි ප්‍රවීනයන් සමඟ කරට කර නර්තනයේ යෙදීමට ඔහුට හැකි වෙන්නේ වෙස් බැඳීමටත් ප්‍රථමය. ශාස්ත්‍ර පිපාසය වඩවන අයුරින් අල්ගම මහගෙදර පරිසරය සැකසී තිබීමද ඊට බලපෑ එක් සාධකයක් වුවා නිසැකය. කලායතනයේ වැඩ නිම වී පිරිස නිවෙස් බලා ගිය පසුව වුවද පවුලේ වැඩිහිටියන් එක්ව කවි ශ්ලෝක කියමින් වාද්‍ය භාණ්ඩ වයමින් විනෝදයෙන් රාත්‍රී කාලය ගත කරන විට කුඩා පණීභාරතද ඔවුන් හා එක් වන්නේ බලවත් ආශාවකිනි.එමෙන්ම රාත්‍රී නින්දට යාමේදී පවා ශාස්ත්‍රයට ඇති ඇල්ම ඔහුගෙන් ගිලිහුනේ නොවේ. තම නිදන කොට්ටය යටින් තම්මැට්ටම් කඩුප්පු තියා ගන්නා මෙම කුඩා දරුවා හිරු උදාවීමත් සමඟ පිබිද මුව සෝදා තම දිනය ඇරඹුවේ තම්මැට්ටම් වාදනය ඉගෙන ගනිමින්ය. මෙලෙස ඇල්මෙන් හා දැඩි කැපවීමෙන් ශිල්ප හැදෑරූ මේ යෞවනයා අවුරුදු 15ක් 16ක් පමණ වන විට සමන් දේවාලය ඇතුළු දිවයිනේ ප්‍රධාන දේවාලයන්හි පෙරහැර රාශියකට දක්ෂ නර්තන ශිල්පියෙකු ලෙස තම දායකත්වය සැපයුවේය.
මරදානේ ලෝරන්ස් ආයතනයේ නර්තනය ඉගැන්වීම භාරව කටයුතු කළ අල්ගම කිරිගනිතා ගුරුතුමාගේ සහයකයෙකු ලෙස 1937 වසරේදී කොළඹට පැමිණීමට ඔහුට හැකියාව ලැබුණි. එහිදී කොළඹ කාර්මික විද්‍යාලයේ චිත්‍ර අංශය භාරව කටයුතු කළ ජේ. ඩී.ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වූ චන්ද්‍රලේඛා මහත්මිය නර්තනය හැදෑරීමට එහි පැමිණි විට ඇයගේ බෙර වාදකයා ලෙස කටයුතු කරන්නේ තරුණ පණීභාරතය. 1940 වර්ෂයේදී ගිහි පැවිදි පිරිස, ප්‍රභූන් හා සතර කෝරලය නියෝජනය කරමින් පැමිණි කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස ඔහුගේ හිස වෙස් තැබීමේ මංගල්‍යය පැවැත්විණි.

1944දී භාරත සිහිනය සැබෑවක් කරගනිමින් ශාන්ති නිකේතනයට ඇතුලත් වීමට ඔහුට හැකි වෙන්නේ ජේ. ඩී .ඒ. පෙරේරා, ඩී. බී. ධනපාල හා මහාචාර්ය මලලසේකර යන මහත්වරුන්ගේ නොමද සහයෝගයත් සමග ශිෂ්‍යත්වයක් හිමි වීමෙනි. එහිදී ඔහු කථක්, කථකලි,භරත හා මනිපුරි යන සිවුවැදෑරුම් නර්තන සම්ප්‍රදායන්ද තබ්ළා හා මද්දල වැනි වාද්‍ය භාණ්ඩ වාදනයද මනා සේ හදාරන්නේය.
භාරතයේදී රබීන්ද්‍රනාත් තාගෝර් කවියාණන්ගේ “චිත්රංගදා” හා “ශාමා”ගීත නාටකවල ඉන්දීය ශිල්පීන්ට නොදෙවැනි ලෙස තම හැකියාව ප්‍රදර්ශනය කරමින් ලාංකේය අභිමානය විදහා දැක්වීමට ඔහුට හැකිවිය. එමෙන්ම ඔහු ශිල්ප දක්ෂතාවයෙන් පොහොසත් වූ හෙයින් 1947 වසරේ ආසියාතික මහා සම්මේලනය නියෝජනය කළ ශාන්ති නිකේතන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස තම සහභාගිත්වය ලබා දීමට අවස්ථාව ලබාගත්තේය.

මනා කැපවීමකින් හා ආශාවකින් ශාස්ත්‍ර හදාරන්නා පහසුවෙන් විඩාවටත් සෑහිමකටත් පත් වන්නේ නැත. එලෙසින්ම මේ දක්ශයාද ශාන්ති නිකේතනයට පමණක් සීමා නොවී කේරල කලා මණ්ඩලයෙන් කථකලි නර්තනයත් , ශ්‍රී ගෝපිනාත් කලායතනයෙන් භරත නර්තනය හා මෘදංගම් වාදනය තව දුරටත් උගත්තේය. ඔහුගේ දක්ෂතාව කොතෙක්ද යත් , වරෙක ඔහු කේරලයේ මහා කවියා ලෙස සම්මානයට පාත්‍ර වූ වල්ලිතෝල් නාරායන මෙනන් පඬිතුමාගෙන් ලද පැසසුම්ද, එතුමාගේ සොයුරියට නර්තනය ඉගැන්වීමට දුන් ඇරයුමද මගින් පැහැදිලිවේ.
1948දී ශිල්ප ශාස්ත්‍රයෙන් අගතැන්පත්ව ලක්දිවට නැවත පැමිණෙන ඔහු එතැන් පටන් සැම හඳුනන නමින්, එනම් “පණීභාරත” යන ගෞරව නාමයෙන් හැඳින්වෙන්නේය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ගුරු වෘත්තියට අවතීර්ණ වන පණීභාරතයන් පසුව මීරිගම ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නැටුම් ගුරුවරයා ලෙස සේවය කළේය. එහිදී අර්ධකාලීනව මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නර්තන කථිකාචාර්යවරයෙක් ලෙසද ඔහු කටයුතු කළේය. එපමණක් නොව මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය, ලෝරන්ස් විදුහල හා පොලොන්නරුවේ ඉර හඳ කෙටු වැව විද්‍යාලයේද ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම ශිල්ප ශාස්ත්‍ර ඥානය තිලිණ කිරීමට ඔහුට හැකිවිය. 1952 වසරේ ජුලි පළමුදා හේවුඩ් මන්දිරයේ නර්තන හා සංගීත පාඨමාලා ආරම්භ වූ අතර නර්තන අංශයේ ප්‍රධාන ආචාර්ය තනතුරට පත් වන්නේ පණීභාරතයන්ය.
1954 වසරේ ඔක්තෝම්බර් මාසයේ දිනක ප්‍රේමලතා මෙනවිය සමඟ අතිනත ගත් ඔහු පසුකාලීනව තම අඩිපාරේ යමින් පරම්පරාවෙන් රැගෙන ආ ශිල්ප සුරක්ෂිත කිරීමට හැකි දියණියන් දෙදෙනෙකුගේ දයාබර පියතුමන් විය. දියණියන් දෙදෙනාගෙන් උපුලී පණීභාරත මහත්මිය නුතන නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන කලා ශූරී චන්න විජේවර්ධනයන් සමඟ විවාහ වී ඔවුන් දෙදෙනාගේ චන්න-උපුලී රංගායතනය හරහා තම ශාස්ත්‍රය නුතන පරම්පරාවට දායාද කරමින් සිටින්නීය. අනෙක් දියණිය වන ජයවන්ති මහත්මියද තම පියාගෙන් උරුම වූ ශිල්පය තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීමෙහි නිරතවන්නීය.

රජයේ කලායතනයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ එය විධිමත්ව පවත්වාගෙන යාමටත් එහි ගුරුවරුන් වූ සාම්ප්‍රදායික ශිල්පීන්ගේ දක්ෂතා ශිෂ්‍යයන්ගේ ශිල්ප හැදෑරීම සඳහා මනා සේ කළමනාකරණයටත් ඔහුට සුවිශේෂී හැකියාවක් විය. එම කලායතනය විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන ආයතනයක් බවට පත් වීමෙන් පසුවද විශ්‍රාම යනතෙක් එහි අංශ ප්‍රධානි තනතුර හෙබවීමට ඔහුට හැකි විය.
සාම්ප්‍රදායික නර්තනාංග එහි සුවිශේෂී අංග ලක්ෂණ වලට හානි නොකොට නුතන වේදිකාවට උචිත අයුරින් නිර්මාණයට ඔහු සතුව තිබු හැකියාව ඉමහත්ය. “සත්පත්තිනි”, “මහවැලි” ,”ගම්මානේ මල් පිපිලා” හා “පොරපොල් පිටිය” වැනි නෘත්‍ය නාටකද, “නාරිලතා නැටුම”ද, “ග්‍රහ අපලය”, “ග්‍රහ බලය”,”දිට්ට මංගලිකා”, “සුරත් විස්කම්”, “කාලගෝල”, “ගමට ඉර පායයි”, “අමාවතුර” හා “මහදැනමුත්තා” වැනි මුද්‍රා නාට්‍යද දේශීය නර්තන කලාවේ අභිමානය ආරක්ෂා කරමින් ඔහු අතින් නිමවුන කලා කෘති වේ. එමෙන්ම “බතේ උපත”, “ගොයම් කැපීමේ නැටුම” හා “පන් නෙලීමේ නැටුම” ආදී අග්‍රගන්‍ය නිර්මාණ සිංහල ජන ජීවිතය ඇසුරින් බිහිකිරීමට ඔහුට හැකි විය.
ශ්‍රී ලාංකේය හෙළ සංගීතයට අනන්‍ය වූ පංච තූර්ය වාදනයන් පිලිබඳ ගවේෂණාත්මක මගක ප්‍රථම වරට යමින් පණීභාරතයන්ගේ බෙර සංධ්වනිය හා “සූරිය” සුසංයෝගයෙන් 1972දී “සිංහල ගී සහ බෙරවාදන” තැටිය නිර්මාණය විය. එමෙන්ම “සිංහල බෙර පද” හා අලංකාර බෙර මාත්‍රා ඇතුලත් කැසට් පට දෙකක් නිකුත් කිරීමට “සූරිය” හා නැවතත් එක් වූ පණීභාරතයන්ට හැකිවිය. 1982දී තම බෙර නාද රටා නැවතත් ශ්‍රාවකයන්ට තිලිණ කිරීමට හැකිවෙන්නේ “සූරිය” ලේබලය යටතේ නිකුත් කළ “සිංහල ගී සහ බෙර වාදන” කැසට් පටය හරහාය.



“සිකුරු තරුව” හා “කුරුළු බැද්ද ” චිත්‍රපට වල සංගීත අධ්‍යක්ෂණයද “හස්තිකාන්ත මන්තරේ”, “වෙස්සන්තර”, “මහ හේනේ රීරි යකා” හා “සිරිසඟබෝ” වැනි වේදිකා නාට්‍ය වල නර්තන නිර්මාණයෙන්ද හෙළ නිර්මාණයන්ට තම ශිල්ප ඥානය දායාද කළ ඔහුගේ දක්ෂතාව එම ක්ෂේත්‍ර වල පමණක් රැඳුනේ නැත. දක්ෂ චිත්‍ර ශිල්පියෙකුද වූ ඔහු ඇඹීම, නෙලීම හා කැටයම් වැනි ක්ෂේත්‍ර ගණනාවක දක්ෂයෙක් වුවේය.
යුරෝපීය රටවල, රුසියාව, එංගලන්තය, කැනඩාව, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවල් ගණනාවක සංචාර වල නිරත වෙමින් දේශීය නර්තන කලාව විදේශයන්ට ගෙන යාමට ඔහු සමත් වුවේය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් “දර්ශන ශූරී” සම්මාන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීමට හෙළ නර්තනයේ රජු ලෙස හැඳින්විය හැකි ඔහුට හැකි විය. මාදින්නාගොඩ විහාර භූමියේදී සහෝදර ශිල්පීන්ගේ හා තම අඩිපාරේ ගමන් කළ ශිෂ්‍යයන්ගේ සහභාගිත්වයෙන් ඔහුට සෙත් පතා පැවති ගම්මඩු ශාන්තිකර්මය තමා ජීවත්ව සිටියදී දුටු අවසාන නර්තනාංගය වූ අතර ලක් දෙරණේ භාග්‍යයට පහල වූ පණීභාරතයන් අවුරුදු 85ක් ආ තම දිවි ගමන නිමා කර 2005 වසරේ සැප්තැම්බර් 20 වන දින දැයෙන් සමුගත්තේය.
