• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

මියැසි අසපුවේ අමර සර…

Pandith W.D.Amaradeva

මධුර මනෝහර හඬ පෞරුෂයකින් හෙබි ගායකයෙකු, දක්ෂ ගීත නිබන්ධකයෙකු, සංගීත අධ්‍යක්ෂකවරයෙකු හා වාද්‍ය ශිල්පියෙකු වශයෙන් විවිධ වූ දිශානතීන් ඔස්සේ ලාංකේය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ඔහු හෙළයේ මහා ගාන්ධර්වයාණෝ වෙති.

අතැර නොයන සෙවනැල්ලක් සේ රැඳෙන

නිතර සදාලන සුව සෙත රැකවරණ

කවිය තුලින් ජන ආරේ රස මවන

සවිය ඔබයි විමලාවනි මන නදන

එම ගාන්ධර්වයන්, එනම් විශාරද පණ්ඩිත් අමරදේවයන්ගේ මෙම පද ලාලිත්‍යය අන් කවරෙකු හෝ වෙනුවෙන් නොව නිබඳ ඔහුගේ දිවි ගමනට අත්වැල වූ විමලා අමරදේව නම් වූ පෙම්බර භාර්යාවටය. එකී ප්‍රතිභාසම්පන්න කලාකරු දෙපළ සංගීතයෙන් ලොවක් සැනහූ අයුරු,ලොවක් දිනූ අයුරු ගෙන හැර පෑමට මෙම වදන් පෙළ නොසෑහෙන බව නම් සැබෑය.

මොරටුවේ කොරළවැල්ලේ වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉතා සියුම් වඩු ශිල්ප දත් වඩු මහතෙකු වූවේය. වයලීන අලුත්වැඩියාවද ඔහුට නුහුරු නුපුරුදු දෙයක් නොවීය. ඔහුගේ බිරිඳ වූ බලාපු වඩුගේ මැගී වෙස්ලිනා මැන්දිස් මහත්මිය මෙතෝදිස්ත ආගම ඇදහූ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකත්වයද දැරූ කාන්තාවක් වූවාය. 1927 වසරේ දෙසැම්බර් මස පස් වන දින මෙම දෙපළට උපන් පවුලේ බාල පුතු වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නම් ලද්දේය. සංගීතය හුරු පුරුදු පවුලක උපන් ඔහුගේ මුල්ම ගුරුවරයා ඔහුගේම වැඩිමහල් සොහොයුරු ඩබ්ලිව්.ඩී චාල්ස් පෙරේරා ලෙස හැඳින්වීම බොහෝදුරට නිවැරදිය. චාල්ස් මරදානේ එම්.ජී. පෙරේරා ගුරුතුමාගෙන් සංගීතය හැදෑරූ අතර කමාජ්, බිලාවල් – යමන් ආදී රාග රැය මුළුල්ලේ පුහුණු වීම් කටයුතු වල නිරත වන විට එය රස විඳි ශ්‍රාවකයා වූයේ කුඩා ඇල්බට් ය. සිය මලණුවන්ගේ ආශාව දැන හඳුනා ගත් චාල්ස් තමා උගත් දේ නිවසේදී ඔහුට ඉගැන්වීමට පෙළඹුණේය.

කුඩා ඇල්බට්ගේ ගායන හැකියාව දුටු ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ ඔහු ලවා දොරකඩ අස්නක් කියවූහ. එමෙන්ම පල්ලියේ පියතුමා ඔහුව කැරොල් කණ්ඩායමකට බඳවා ගත්තේය. මෙලෙස කුඩා ඇල්බට් සංගීත ක්ෂේත්‍රය වෙත සිය මූලික පියවර තැබුවේය.

නිසි වයස පැමිණි කල්හි සිප්සතර හැදෑරීම පිණිස මෙම කුඩා දරුවා කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුලත් කෙරිණි. එම පාසලේ මුල් ගුරුතුමා වූ හෙළ හවුලේ සාමාජික, කු.ජෝ. ප්‍රනාන්දු මහතා හෙළ හවුලේ උත්සව හා කවි ගායනාවන් සඳහා ගායනයට දක්ෂ ඇල්බට් සිසුවාද තමා සමඟ සහභාගී කරවා ගැනීම කුඩා ඇල්බට් හට කුමාරතුංගයන්ගේ පැසසුම් සඳහාද හිමිකම් කීමට ලැබූ මහඟු අවස්ථාවක් විය. හත්වැනි උපන් දිනයට මෙම කුඩා දරුවාට තම පියාණන්ගෙන් තෑගී ලැබුණු වයලීනය එතැන් පටන් ඔහුගේ සුරතලා බවට පත්විය. එය ඔහු හෙළයේ මහා ගාන්ධර්වයා බවට පත් වීම තෙක් වූ සිය දීර්ඝ සංගීත චාරිකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූවා නිසැකය. ඔහු පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ පාසලට පැමිණි ඩබ්ලිව්.ජී. ප්‍රනාන්දු සංගීත ආචාර්යවරයා ඔහුගේ දස්කම් මැනවින් හඳුනා ගෙන සංගීතය ඉගැන්වීමෙහි යෙදුණේය. කොළඹ කලා සංගමය මෙහෙය වූ ගායනා තරඟයෙන් ඇල්බට් ශිෂ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පාසල නියෝජනය කළ ගායක කණ්ඩායමට රන් පදක්කම හිමි විය. සංගීතය මැනවින් උගත් මෙම දක්ෂයාගේ හැකියාවන් පිළිබඳව ගමෙන් ඔබ්බට බොහෝ දෙනාගේ සවනෙහි වැකුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය හා මොරටුව විද්‍යාලය යන පාසල් කිහිපයකින්ම ඔහුට ශිෂ්‍යත්ව රැසක් හිමි විය. ඒ අනුව පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළු වීමට ඔහුට හැකි විය. පසුව එම පාසලින් සමුගත් ඔහු මොරටු විද්‍යාලයට ප්‍රවේශ වුවේය. ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රථම වරට කවි ගායනා කර තම දක්ෂතා රටටම විදහා දැක්වීමට ඔහුට හැකි වූයේ එහිදීය. එම විද්‍යාලය වරක් ඉදිරිපත් කළ “කිරිහාමි” නාට්‍යය සඳහා ඇල්බට් සිය සංගීත ජීවිතයේ පළමු සංගීත සම්පාදනය සිදු කළේය. මොරටු  විද්‍යාලයේ එවකට විදුහල්පති ධූරය දැරූ සමරවීර මහතා කළුතර විද්‍යාලයට අනියුක්ත කෙරුණු පසුව ඇල්බට් ශිෂ්‍යයාද එහි ගෙන්වා ගැනීමට එම මහතා කටයුතු කළේය. පසුකාලීනව එම පාසලින්ද සමුගත් ඇල්බට් බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුලත් වූවේය.

ශාන්ති කුමාර්ගේ අධ්‍යක්ෂකත්වය යටතේ ඇරඹුණු ශාන්ති කලා නිකේතනයේ සංගීතාංශය භාර මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත ජෙරාඩ් ජේ. පීරිස් මහතා විසින් ඇල්බට් ව හඳුන්වා දීම සංගීත ක්ෂේත්‍රය තුල අමරදේව නාමය ගොඩනැගීමෙහිලා වූ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ආධුනිකයා ප්‍රථම වරට සම්පූර්ණ වාදක මඩුල්ලක් දුටු අවස්ථාවද එය විය. ඔහුගේ හැකියාවන් දුටු ගවුස් මාස්ටර් සිය වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලින් ශිල්පියා ලෙස ඔහුව පත් කර ගත්තේය. ඔහුගේ හඬින් තැටිගත කළ මුල්ම ගීතය වූ මාලනී වෙත්තසිංහ මහත්මිය සමඟ ගැයූ බෙංගාලි ගීයක තනුවකට සැකසුනු “රසයි කිරී නෑ දියාරු”ගීයෙහි සංගීත සම්පාදනයද ගවුස් මාස්ටර් විසින් සිදු වූවකි. “අශෝක මාලා” චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණ කටයුතු ගවුස් මාස්ටර් වෙත භාරව තිබුණි. ඒ සඳහා ගවුස් මාස්ටර් සමඟ ඉන්දියාවට යාමට වරම් ලද අවුරදු දාහතක යෞවනයෙකු වූ ඇල්බට් සිය පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීවේය. ඉන්දියාව බලා පිටත්ව යන දිනයේ උදෑසන සුනිල් සාන්තයන්ගේ “ආදර නදියේ” හා “මෙතරම් සුන්දර මල්” යන ගීත පටිගත කිරීමේදී ඔහු වයලීනය වාදනයෙන් එක් වූවේය. “අශෝක මාලා” චිත්‍රපටයේ “ඇයි කළේ යමෙකු ආලේ” හා “භවේ භීත හැර දේශිත” යන ගීත සඳහා තම හඬ මුසු කිරීමට ඔහු වරම් ලැබුවේය. එපමණක් නොව එහිදී තාපසවරයෙකුගේ චරිතය නිරූපණය කිරීමටද ඔහුට අවස්ථාව ලැබුණි. එමෙන්ම ගවුස් මාස්ටර් නිර්මාණය කළ ගීත වල ඇතැම් අතුරු වාද්‍ය ඛණ්ඩ නිර්මාණය වූයේද ඔහු අතිනි. එය තිරගත වන අවස්ථාවේ සහය සංගීත අදියුරු ලෙස ඩබ්ලිව්.ඩී ඇල්බට් පෙරේරා යන නාමය සඳහන් වීම ඔහුගේ සංගීත දිවියේ එක් සුවිශේෂී අවස්ථාවක් විය. එයින් පසුවද ගවුස් මාස්ටර් සමඟ ගුවන් විදුලියේ වැඩසටහන් වල වයලින් වාදකයා ලෙස ඔහුට සහභාගී වීමට ලැබීම සිය හැකියාවන් වර්ධනය කරගැනීමට මනා පිටුවහලක් විය.

“සැළලිහිණි සංදේශය” නම් වූ ප්‍රේමකුමාර එපිටවෙලයන්ගේ මුද්‍රා නාට්‍යයේ කවි ගායනයට ඇල්බට් තරුණයාද එක්ව සිටියේය. එය නැරඹීමට පැමිණි එදිරිවීර සරත්චන්ද්‍රයන් හා ලංකාදීප පත්‍රයේ ඩී. බී. ධනපාල මහතා මෙම තරුණයාගේ ගායන හැකියාව දැක බෙහෙවින් පැහැදුනෝය. ඉන් අනතුරුව භාරතීය සංගීතය හැදෑරීමට ඔහුට දොරටු විවර වන්නේ ලංකාදීප පුවත්පත ඔස්සේ ඔහුව ඉන්දියාවට යැවීමට අරමුදලක්ද පිහිටුවමින් ඔවුන් දෙදෙනා ගත් උත්සාහය මල් ඵල දරමිනි. භාරතයට යාමට පෙර ලොවම ඔහුව හඳුන්වන “අමරදේව” යන අමරණීය නාමයෙන් ඔහුව අභිෂේක ගන් වන්නේද මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය.

භාත් ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති මහාචාර්ය ශ්‍රී රත්නජන්කර් පඬිතුමා වරෙක ලක්දිවට පැමිණියේ ගුවන් විදුලියේ සංගීත ශිල්පීන් වර්ග කිරීමේ කටයුත්ත උදෙසාය. එහිදී පඬිතුමා විසින් අමරදේවයන් හා කෝකිලදේවී වීරතුංග ගායන ශිල්පිනිය ඉහලම ශ්‍රේණියට නම් කරන ලදි. පසුව චන්ද්‍රරත්න මානවසිංහයන් හා ප්‍රේමකුමාර එපිටවෙලයන් ප්‍රධාන වී කලා උළෙලක්ද පැවැත්විණි. එහිදී එක් නර්තනාංගයකින් අනතුරුව අමරදේවයන්ගේ ගෙල පැළඳ වූ මල් දම් අතුරින් එක් මල් දමක් සුවිශේෂී විය. එය පළඳවන ලද්දේ නර්තනයේ යෙදීමට පැමිණි පාසල් සිසුවියක වූ කැලණියේ විමලා ගුණරත්න මෙනවියයි. ඔවුන් දෙදෙනාගේ හමුවීම නැවත සිදු වන්නේ 1959 වසරේදී ඉන්දියාවට ගිය ප්‍රථම නිල සංස්කෘතික දූත ගමනේදීය.

1953 වසරේ සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවට ගිය අමරදේවයන් භාත් ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් සංගීතය උගත්තේය. ඉන්දියාවේදී ඔහු වයලීන වාදනය හැදෑරුවේ පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ජෝග් ගුරුතුමාගෙනි. එම ගුරුතුමා තම වැඩිමහල් පුතුගේ කුළුඳුල් පුතුටද අමරදේව යන නාමය තැබීමට තරම් සිය ගෝලයා කෙරෙහි පැහැදුණේය. උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලී, ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් හා රත්නජන්කර් පඬිවරුන්ගෙන්ද ඔහු සංගීතය උගත්තේය. 1954 වසරේ ලක්නව් හි පැවැත්වූ විශ්ව විද්‍යාලයාන්තර සංගීත තරඟයේ තත් භාණ්ඩ සඳහා වූ ශූරතාවය ලබා ගැනීමටද අමරදේවයන් සමත් වූවේය. 1956 වසරේ භාත් ඛණ්ඩේ අනුබද්ධායතනය හා සබැඳි අති දක්ෂයන් 10 දෙනා අතරේද ඔහු වූවේය.

අමරදේවයන් වරෙක ගුවන් විදුලියේ ස්ථිර වාදක මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද, වරෙක රජයේ ලලිත කලා කලායතනයේ කථිකාචාර්ය හා එහි විදුහල්පති ධූරය ආදී වශයෙන් විවිධ තනතුරු ඔස්සේ සංගීත ක්ෂේත්‍රයේ සුවිසල් මෙහෙවරක නිරත වූවේය. තවද පේරාදෙණිය සරසවියේ එදිරිවීර සරත්චන්ද්‍රයන් හා “මේලා” හි එක්ව කටයුතු කිරීමටද ඔහුට හැකියාව ලැබුණු අතර එය අමරදේවයන් විවිධ සංගීත පර්යේෂණ කටයුතු සඳහා යොමු කරවීමට හේතු වූවක් විය. එයින් නිපැයුණු “සුනේත්‍රා” නාට්‍යයට ගීතයක් ලියා සංගීතවත් කිරීමට ඔහු සමත් වූවේය. සිය පියාගෙන් ලද ආභාෂය උපයෝගී කර ගනිමින් ඔහු නවතම වාද්‍ය භාණ්ඩයක් තනිවම සකසා ගැනීමටද සමත් වූවේය. එය මැන්ඩලීනය හා හාපය සුසංයෝග කර තැනූ මැන්ඩෝහාපය යි. ඉන්දියාවෙන් සංගීතය හදාරා ලක්දිවට පැමිණි අමරදේවයන් හින්දි හා දෙමල අනුකාරක සංගීත සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරමින් ගුවන් විදුලියේ දේශීය අංශයට සම්බන්ධ වීමටත්, සුනිල් සාන්තයන් හා ආනන්ද සමරකෝන් වැනි දේශීය සංගීතයේ ප්‍රවීණයන්ගේ අභාෂය ලබා ගැනීමටත් කටයුතු කළේය. “මධුවන්ති”, “රසමියුරු”, “විජය ගීත” හා “ස්වර්ණ වර්ණ” වැඩසටහන් හරහා සිය මියුරු ගීත දේශීය සංගීත ක්ෂේත්‍රයට එක් කිරීමට ඔහු සමත් වූවේය. “මධුවන්ති” වැඩසටහන හා සම්බන්ධ වූවායින් පසුව ගී පොතයි- මී විතයි ලෙස මහගමසේකරයන්ගේ හා අමරදේවයන්ගේ සුසංයෝගය බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලැබීය. මන්ද මහගමසේකරයන්ගේ පද ලාලිත්‍යයට අමරදේවයන්ගේ හඬ පෞරුෂය තරම් ගැලපෙන්නක් තවත් නොවූ හෙයිනි. එලෙස බිහි වූ අග්‍රගන්‍ය නිර්මාණයන් අතර “කන්ද උඩින් එන”, “සත්කුළු පව්”, “පායන් රන් සඳ”, “ඔබේ නමින් සෑය බඳිම්”, “වසන්තයේ මල්”, “මා මළ පසු සොහොන් කොතේ” හා “සන්නාලියනේ” වැනි ගීත ගොන්නකි.

ජන ගායනා වැඩසටහන තුලින් නැවත ඔහුට විමලාවන් හමු විය. එතෙක් වයලීනයට පමණක් පෙම් බැඳි අමරදේවයන්ගේ සිත නැවත පෙමින් බැඳුනේ ඈ කෙරෙහිය. ඇයද සුමධුර හඬක හිමිකාරිනියක් වූ අතර ඇයගේ ජන ගී ආර රැගත් දේශීය හඬ “රන්වන් කරල් සැලෙයි” වැනි නිර්මාණ බිහි වීමට හේතු විය. ඇය ගායනා කළ “ගොයම් ගී” දේශීය සංගීතය වෙනුවෙන් තිලිණ වූ එක් මිහිරි නිර්මාණයක් විය. එය “සූරිය” විසින් “සිංහල ගී සහ බෙර වාදන” ලෙස 1972දී  නිකුත් වුණ සී.එච්.බී LP 2 නාමාවලි අංකයෙන් යුත් vinyl LP 33 1/3 rpm ගී තැටිය  ඔස්සේද, 1982 දී නිකුත් වුණ ජී.ඩී.එන්.යූ.31 දරණ “සිංහල ගී සහ බෙර වාදන” කැසට් පටය ඔස්සේද සංගීත ක්ෂේත්‍රයට දායාද වුනි. පණීභාරතයන් සමඟ කළ “හිමගිරි කුල මුදුනේ” නිර්මාණයටද ඇගේ සුමියුරු හඬ මුසුවිය. එමෙන්ම ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1979දී කළ ගීත නිර්මාණ එකතුවක විමලා අමරදේවයන්ගේ ප්‍රශස්ති ගී ගායනයක්ද ඇතුලත් විය. “දෑතේ කරගැට” ගීතය අමරදේවයන් හා ගැයීමටද ඇයට හැකි විය. විවාහ වීමෙන් අනතුරුව කලා කටයුතු වලින් ඈත්ව තම සැමියාගේ දිවියට ශක්තියක් වීමට ඇය සිය කාලය වැය කළාය. මෙම දෙපළ සුභානි, ප්‍රියන්වදා යන දියණියන්ගේ හා රංජන පුතණුවන්ගේ ආදරණීය මවුපියන් වූහ. සුභානි අමරදේව ද තම දෙමාපියන් මෙන්ම ගායනයෙහි දක්ෂතා දක්වන්නීය.

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි..

නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි //

ඇසූ සැණින් අභිමානයක් දනවන මෙම ගීයෙහි පද පෙළ ද, හඬ පෞරුශයද අමරදේවයන්ගේ ය. මෙම ගීතය මෙන්ම “පීනමුකෝ කළු ගඟේ” , “වඳිමු සුගත ශාඛ්‍ය සිංහ”, “ශාන්ත මේ රෑ යාමේ” හා “සීගිරියේ සිතුවම් රමණි” ආදී නිර්මාණ තුලින් ඔහුගේ ගායන හැකියාව පමණක් නොව ගීත රචනා කිරීමට ඇති හැකියාවද මනා සේ විද්‍යමාන වේ. එපමණක් නොව සංගීත අධ්‍යක්ෂණයෙන්ද ඔහු සුවිසල් මෙහෙවරක් සිදුකර ඇත. “ගම්පෙරලිය”, “රන්මුතු දූව”, “මඩොල් දූව”, “අක්කර පහ” හා “පරසතු මල්” ඇතුළු  චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂණය එලෙස ඔහු අතින් සිදු විය. එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ පබාවතී නාට්‍යයේද සංගීත සම්පාදනය සිදු සිදුකරන ලද්දේ අමරදේවයන්  විසින්ය. චිත්‍රපට පසුබිම් ගායනයෙන්ද ස්වර්ණමය සලකුණක් තැබූ ඔහු “මුවන්පැලැස්ස”, “ආරාධනා” හා “සිරිබෝ අයියා” වැනි චිත්‍රපට වල ගායනයෙන් දැක්වූ දක්ෂතාවය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

“සූරිය” හා එක්ව සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගීත රැසක් තිලිණ කිරීමටද ඔහුට හැකි විය. ජී.ඩී.එන්.යූ. 21 දරණ කැසට් පටයේ හා ජී. ඩී.එන්.යූ.  33 “ජයමංගල ගාථා” කැසට් පටයේ ඔහු විසින් ගායනා කළ “දන්නෝ බුදුන්ගේ” ගීය ඇතුලත් විය. 1972දී  සී.එච්.බී LP 2 යටතේ “සූරිය” ලේබලයෙන් නිකුත් වූ vinyl LP 33 1/3 ගී තැටියේ හා ජී.ඩී.එන්.යූ. 20 “සරල ගී” කැසට් පටයට ද “දන්නෝ බුදුන්ගේ”, “එරන්දතිය එනවා” හා “මින්දද හී සර” යන ගීත එක් කිරීමට “සූරිය” සුසංයෝගයෙන් ඔහුට හැකි විය. 1973දී “සූරිය” ලේබලය යටතේ නිකුත් වුනු සී.එච්.බී. 034 නාමාවලි අංකය දරණ vinyl EP 45 rpm  ගී තැටියෙහිද අමරදේවයන්ගේ “හරිමි රජ සැප” හා “සෝකෙන් පල නෑ” ගීත අන්තර්ගත වුනි. සූරිය නිකුත් කළ 1976දී  සී.එච්.බී. 045 දරණ vinyl EP 45rpm ගී තැටියෙහි ද අමරදේවයන්ගේ “දන්නෝ බුදුන්ගේ” හා “මගේ මන්ද්‍රි නම් බිසෝ” යන ගීත විය. ජී. ඩී.එන්.යූ.31 නාමාවලි අංකයෙන් 1982දී  “සූරිය” නිකුත් කළ “සිංහල ගී සහ බෙර වාදන” කැසට් පටයේද “එරන්දතිය එනවා”  හා “මින්දද හී සර” යන ගී  ඇතුලත්ය. “දන්නෝ බුදුන්ගේ”, “හරිමි රජ සැප”, “සෝකෙන් පල නෑ”, “වෙස්සන්තර රාජ පුතා”  හා “මගේ මන්ද්‍රි නම් බිසෝ” ගීත 1974දී  සී.එච්.බී. LP 6 දරණ vinyl LP 33 1/3 “නෘති ගී” ගී තැටියට හා ජී.ඩී.එන්.යූ. 61 කැසට් පටයට ද ගැයීමට “සූරිය” හා එක් වූ පණ්ඩිත් අමරදේවයන්ට හැකි විය.

අමරදේව යන නාමය ලක්දෙරණට පමණක් සීමා වූවක් නොවේ. ඔහු  බොහෝ විදේශයන්හිද ගෞරව බහුමානයට පාත්‍ර වෙමින් ලක්දිවට කීර්තියක් ගෙනා යුග පුරුෂයෙකු වූවේය. 1958දී සෝවියට් රුසියාවේ මොස්කව් නුවර පැවති තරුණ සම්මේලනය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඔහු එහිදී රංගගත කළ “සාම විජය” නාට්‍යය තම සංගීතයෙන් විචිත්‍රවත් කළේය. 1967දී මැනිලා නුවර ජාත්‍යන්තර සංගීත සම්මන්ත්‍රණයෙහි ඔහුගේ දේශනයක්ද විය. 1971 වසරේ මාලදිවයින් රජයේ ආරාධනයෙන් එහි ගොස් පර්යේෂණ සිදු කර මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කිරීමටද මෙම ගාන්ධර්වයන්ට හැකි වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටද මහත් අභිමානයකි. 1995 වසරේ සමස්ත ඉන්දීය වයලීන තරඟයෙන් ප්‍රථමස්ථානය හිමි කරගත්තේද  ඔහුය. ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයෙන්ද, මැග්සසේ සම්මානයෙන්ද, ප්‍රංශ රජයේ ගෞරවයෙන්ද පිදුම් ලැබීමට මෙම ප්‍රතිභාසම්පන්න සංගීත ශිල්පියාට හැකි විය. භාරතයෙන් සංගීත හා වාද්‍ය විශාරද උපාධිය පමණක් නොව “පණ්ඩිත්” යන ගෞරව උපාධියද හිමි වූ අමරදේවයෝ රුහුණු විශ්ව විද්‍යාලයේ සම්මාන ආචාර්ය උපාධියෙන්ද, ලක් රජයේ කලා ශූරී හා දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූහ. “අමර ගී සර” ප්‍රසංගය තුලින් විශාල කීර්තියක් ලැබූ විශාරද පණ්ඩිත් අමරදේවයන් 2016 වසරේ නොවැම්බර් තුන්වන දින දේශයක් හඬවමින් සමුගත්තද, මෙම කලාකරුවාණන් හෙළ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉමහත් සේවයක් කළ දැවැන්තයෙක් ලෙස එදත් අදත් හෙටත් එක සේ ගෞරවයට පාත්‍ර වන අමරණීය යුග පුරුෂයෙකුම වන්නේය.

පින් කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට… හේතු වාසනා වේවා….

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව

උපත – 1927 දෙසැම්බර් 05

විපත – 2016 නොවැම්බර් 03

ප්‍රභේදය – ගැමි සංගීතය

 

Previous Artist
නීලා වික්‍රමසිංහ
Next Artist
පණීභාරත

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved