
ශ්වේත වර්ණිත ඔසරියෙන් හැඩවී තනි කරලට ගෙතු කොණ්ඩයෙන් සැරසී උපේක්ෂාබර හසරැල්ලක් මුවඟට රඳවා ගත්තී ඈ නන්දා මාලිනියයි. සිය සෞන්දර්යවාදී ආත්මීය විලාපය කෝමළ තාලෙන් ගීතයට මුසු කරන ඇගේ සුමියුරු කටහඬ ශ්‍රී ලාංකික කාන්තා හඬෙහි සළකුණ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. පුරා අඩ සියවසකට අධික කාලයක් සිංහල සංගීතය සුපෝෂණය කළ ඈ හෙළ කලා අඹරෙහි ජනිත වූ ආලෝකය නොසිඳෙන විජ්ජුල්ලතාවකි.
දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ හතරවැනියා ලෙස මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා උපත ලද්දේ 1943 වසරේ අගෝස්තු 23 වන දින අළුත්ගම ලෙවන්දූව ග්‍රාමයේදීය. මේ සුරතල් දියණිය නිවසේදී අමතන ලද්දේ මාලිනී නමිනි. මිරිහන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා සහ ලියනගේ එමිලින් පෙරේරා ඇගේ ආදරණීය දෙමාපියෝ වූහ. ඇගේ පියා දක්ෂ අඳුම් මසන්නෙකු විය. “මේ අඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියෙනවා” කියමින් තාත්තා මැසූ ඇඳුම් විකිණීම තමා කළ බව නන්දා මාලිනිය පවසයි. ආර්ථික දුෂ්කරතා මැද්දේ වුවද සිය දරුවන් හොඳින් රැක බලාගත් තම පියා පසු කළෙක ඇගේ ජීවන පරමාදර්ශය විය.
පසු කළෙක කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයට පදිංචිය සඳහා පැමිණෙන ඇය මූලික අකුරුකරණය සඳහා යොමුවන්නේ කොටහේන ශ්‍රී ගණානන්ද විදුහලටයි . පහසුකම් වලින් හිඟ වූ කුඩා පාසලක් වුවද එහි උගත් සිසුනට නිරතුරුවම කලා කටයුතු සඳහා නිසි මඟ පෙන්වීමක් ලැබුණි . මසකට දෙවරක් පැවති පාසල් සමිතියේදී නිරතුරුව කවි ගායනා කිරීමට කුඩා නන්දාට අවස්ථාව ලැබුණි . එහෙයින් ඈ ” කවි කියන නන්දා ” ලෙස පාසලේ ප්‍රසිද්ධියට පත්ව සිටියාය . අන්තර් පාඨශාලීය පද්‍ය ගායනා තරඟයකින් ඇය සිය පාසල වෙත රන් පදක්කම දිනා දුන්නාය . නන්දාගේ සහජ කුසළතාවය මැනවින් හඳුනාගත්තී ඇගේ ගුරුවරියක වූ මාග්‍රට් පෙරේරා මහත්මියයි . නන්දාව ගුවන්විදුලිය වෙත යොමු කරන ලද්දේ ඇයයි . කරුණාරත්න අබේසේකරයන් විසින් මෙහෙයවන ලද ගායන කුසළතා පූර්ණ දරුවන්ගේ හැකියා එළිදැක්වීමට මහඟු තෝතැන්නක් වූ ළමා මණ්ඩපයේ ගායිකාවක වීමට ඇයට අවස්ථාව උදා වන්නේ එලෙසිනි .

පළමුව අත්වැල් ගායනා කිරීමට දායක වූ ඇය නන්දා මාලිනී නමින් සිය ගායන දිවිය අරඹන්නේ ප්‍රථම ගුවන්විදුලි ගීතය ලෙස ” දුර පවනේ මේ කුළු ගුවනේ ” ගීතය ගයමිනි. කෙසේ වෙතත් ඇය ජනතා ප්‍රසාදය දිනා ගනිමින් රසික සවන්හි නොමැකෙන සළකුණක් තබන්නේ අසෝක කොළඹගේ රචනා කර ඩී.ඩී.ඩැනී විසින් සංගීතවත් කරන ලද ” බුදු සාදූ” ගීතය ගයමිනි. කරුණාරත්න අබේසේකර , සරත් විමලවීර , පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව , මහගමසේකර වැනි ප්‍රවීණ කලාකරුවන් ඇසුරෙහි ඈ එදින් ඇරඹූ ගමන දිගුය , අර්ථවත්ය.


1962 වසරේදී පාසල් දිවිය අවසන් කළ නන්දා මාලිනී සෞන්දර්ය අධ්‍යාපන ආයතනයක් වූ හේවුඩ් හි අධ්‍යාපනය හැදෑරුවාය. පසුව බී.වික්ටර් පෙරේරා සහ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව යටතේද සංගීත දැනුම ප්‍රගුණ කළාය. ඉන්පසු ලක්නව්හි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුළත්වී එහිදී අලි සහිබ් මහතා යටතේ සංගීතය හදාරා ඉන් ඩිප්ලෝමා උපාධියක් ලබා ගෙන නැවත ලංකාවට පැමිණ ද මැසන්ඩ් විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කළාය. ඇය 1984 වසරේදී විශාරද උපාධිය හිමිකර ගන්නේද භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙනි.
1962 වසරේදී අමරදේවයන් විසින් නන්දාව ”රන්මුතුදූව” චිත්‍රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතය නාරද දිසාසේකර සමඟ යුග ගායනය සඳහා තෝරා ගැනීම ඇගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නට ඇත. ” රන්මුතුදූව ” සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි. එය අමරදේවයන්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයයි. ආදරයේ සුන්දරත්වය සොබා සෞන්දර්යය හා මුසු කරන අපූරු පද ගෙත්තමක් සහිත මෙම ගීතය චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් කරන ලද ප්‍රථම චිත්‍රපට සඳහා වන ගීත රචනයයි. සරසවි සම්මාන උළෙල ලාංකීය සිනමාවේ ප්‍රගමනයටත් එහි සිංහල අනන්‍යතාව වැඩිදියුණුවටත් සුවිසල් බලපෑමක් කළෙකි. එහි ප්‍රථම සම්මාන උත්සවය පවත්වන ලද්දේ 1964 වසරේදීය. එම සම්මාන උළෙලේ ප්‍රථම හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ නන්දා මාලිනී විසින් “ රන්මුතුදූව ” චිත්‍රපටයේ “ ගලන ගඟකි ජීවිතේ ” ගීතය සඳහාය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා සඳහා වන සම්මානයත් හොඳම චිත්‍රපට ගී පද රචනය සඳහා වන සම්මානයත් හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයත් එම ගීතය සඳාහාම ලැබීමයි.

ළමා පිටියෙන් ගායන දිවියට අත්පොත් තැබූ නන්දා මාලිනී ළමා ගීත සාහිත්‍යය සුපෝෂණය කළ ගායිකාවකි. චන්ද්‍රරත්න මානවසිංහ, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා, ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි වැනි මෙරට බිහිවූ විශිෂ්ටතමයන්ගේ පද රචනා සැළකිල්ලෙන් තෝරාගත් ඇය කුඩා දරුවන්ගේ අදහස් සහ සංකල්පනා යහපත් ලෙස හසුරවනු සඳහා කරන ලද මෙහෙය අගය කළ මනාය. හඳහාමී (1986), සිංදු හෝඩිය (1990) , පුංචි සිංදු (2002) ලෙස ඇය ළමා ගීත එකතු තුනක් එළි දක්වා ඇත. “ මල් බස් ”, “ හා හා හරි හාවා ”, “ සමන්පිච්ච මල් ඉහිරුණු ”, “ සිරිමත් ”, “ හොඳ ළමයා ”, “ සුරතල් පොඩි හාවා ”, “ අ යන්න කියන්න ”, “ කූචිකුචයියෝ ”, “ මල් මල් හීනේ ”, “ මල් කියන්නෙ කාට කාට ” වැනි කව් ගී කුඩා දරුවන්ට තිළිණ කළාට ඇයට පින්ය.

1968 වසරේදී ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක ලෙස එවකට ගායිකාවකට ළඟාවිය හැකි උපරිම තලයට පිවිසි අතර ඇය ඉන්පසු සංගීත අධ්‍යක්ෂණය සඳහාද යොමු විය. මෙරට ප්‍රථම සංගීත අධ්‍යක්ෂකවරිය වීමේ භාග්‍යය එනිසා ඈ සතු විය. ” හද විල කළඹන “, ” සැඳැ කළුවර ” වැනි ජනප්‍රිය ගීත බොහොමයක සංගීත අධ්‍යක්ෂණය කළ ඇය පළමුව චිත්‍රපටයක් සඳහා එම දායකත්වය ලබා දෙන්නේ නීල් රූපසිංහ නිර්මාණය කළ “සරදියෙල් පුතා ” චිත්‍රපටයේ “වටු වැද්දා” නම් නාට්‍යමය ජවනිකාව සඳහා සංගීතය සපයමිනි. 1981 වසරේදී තිරගත වූ “බඹා කෙටූ හැටි” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ ඇයයි. එය සිංහල චිත්‍රපටයකට කාන්තාවක් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ පළමු අවස්ථාවයි.
80 දශකයේ සිට රූපවාහිනී ටෙලි නාට්‍යය රැසක තේමා ගී හා පසුබිම් ගායනයට ඇය දායක වූවාය. “බැද්දෙ ගෙදර ” ටෙලිනාට්‍යයේ ” අකල් මාරුතෙන් ගිලිහී “, ” අඹු දරුවෝ ” ටෙලි නාට්‍යයේ “ඉපනැළිද රඟයි “, ” ගජමන් පුවත ” ටෙලි කතාවේ “ජීවිතය කවියක් ” සහ ” අග පිපි මල් ” ටෙලියේ ” අහස ගුගුරා ” යන ගීත ඒ අතරින් ප්‍රේක්ෂක මතකයේ රැඳුණ ගීත අතරින් කිහිපයකි.
දශක ගණනාවක් පුරා හිතේ සතුටට, දුක්ඛ දෝමනස්සයන්ට, විප්ලවීය හැඟුමට අසා සැනහෙන්නට ඇගේ කටහඬින් අපමණක් ගී ගයා ඇත. එපමණක් නොව එම ගීත විවිධ වූ තේම ඔස්සේ නිමැවුණු ඒවාය. “අම්මාවරුනේ “, ” මිහිමඬලේ ” ගීත ඔස්සේ මව් ගුණ ගයන ඈ ” මේ සිංහල අපගෙ රටයි “, ” මගේ දේශය ” වනි ගීත ගයමින් රසික ජාත්‍යාලය කුළු ගැන්වූවාය. විවාපත්වීමෙන් පසුව නිවෙසින් බැහැරව ගිය දියණියට සිය සැමියා සහ දරුවන් සමඟ නැවත තමන් වෙතට එන ලෙස කරන ඇරයුමක් වන “රත්තරන් දුවේ”, නිවසේ තනිවුණ අම්මා කෙනෙකු ගැන කියැවෙන “සුදු හාමිනේ”, තනිකම දැනෙන කාන්තාවක දෙස මදක් හාස්‍යය එක්කර දකින ” මන්ද නාව කාරණාව “, පමා වූ යෞවනය ගැන ගැයෙන “හේමන්තයේදී ”, දරුවන් රැකීමට වෙහෙසෙන පියාණන් ගැන කියැවෙන ” රුක් අත්තන මල මුදුනේ “, අධ්‍යාපනය ලැබීමෙන් පසු රට හැර යන මිනිසුන් ගැන කියැවෙන ” සරුංගලේ “, බෞද්ධ ගීත ලෙස ” බොදු කරුණා දෑස තෙමී “, ” වැදේ සුගන්දේ “, ප්‍රේමයේ අසිරිමත් බව ගැයෙන “හද විල කළඹන”, ” ඔබයි රම්‍ය සඳ කිරණ “, ” ඇසේ මධුර ජීවනයේ ගීතා ” සහ ප්‍රේමයේ විරහව වෙනුවෙන් ලියැවුණු ” කුරුටු ගෑ ගී පොතේ “, ” සඳෑ කළුවර ” වැනි ගීත ඇගේ ගීත එකතුවෙන් අල්පයකි.

සංගීතයෙහි සමාජීය අවශ්‍යතාවය හඳුනාගත්තියකි නන්දා මාලිනී. ඇය මිනිසුන් වෙනුවෙන් ගී ගැයුවාය. සමාජ අසාධාරණයට එරෙහිව ගී ගැයුවාය. එවකට පැවති රාජ්‍ය පාලනය කෙරෙහි පැවති බලවත් නොකැමැත්ත නොපැකිළව සිය ගීත වලට එක් කර ගත්තාය. “පවන” ගීත එකතුව මීට කදිම නිදසුනකි. අසූව දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ පැවති භීෂණ සමය එම ගීත රචනා වල වස්තු බීජයයි. “යදමින් බැඳ”, “බමුණා වුණත්”, “කේතුමතී නුවර “, අවුරුදු 2500 “, ” සීතල පොළොවම “, “උපාසකම්මා “, “දනන් රුහිරු ” සහ ” නිදහස් බයිලා ” එහි ඇතුළත් වූ ගීත වලින් සමහරකි. මෙය එම වකවානුවේ මතභේදයට තුඩුදුන් ගීත එකතුවකි. කෙසේ වෙතත් තරුණ පිරිස් මෙම ගීත වටා රොඳ බැඳුණි. මෙම ගීත වල ජාතිවාදී වර්ණයක් ඇති වූ හෙයින් නන්දාටද, එම ගීත රචනා කළ සුනිල් ආරියරත්නටද ඒ සඳහා විවිධ අංශ වලින් දායක වූ කලාකරුවන්ටද මරණීය තර්ජන පවා එල්ල විය. ” සුකිරිබටිල්ලන්ගේ ගීතය ” සහ ” සකුරා මල් පිපිලා” වැනි ඇගේ ඇතැම් ගීත ගුවන්විදුලියෙහි ප්‍රචාරය කිරීමද ප්‍රතික්ෂේප වුණි. එම ගීත පිළිබඳ විවේචනය කුමක් වුවත් එවන් ගීත ගැයීමට ඈ සතුව තිබූ ශක්තිය හා නිර්භීත බව අගය කළ යුතුය. “උඩඟු ලියන් “, ” මිරිවැඩි සඟළක් “, “පූජාසනයේ ” යනු තවත් සමාජය වෙනුවෙන් ගැයුණු ගීත කිහිපයකි.

නන්දා මාලිනී සිය ප්‍රථම කැසට් පටය 1974 වසරේදී නිකුත් කරන ලද අතර කැසට්පට 25කට අධික ප්‍රමාණයක්ද සංයුක්ත තැටි ගණනාවක්ද නිකුත් කර ඇත. 1979 වසරේදී සූරිය රෙකෝඩ් ලේබලය යටතේ “හංස ගීතය ” නමින් LP ඇල්බමයක් (කැටලොග් අංක CHB LP 14) එළි දැක්වූවාය. ” පිපුණු මලේ රුව “, ” කඩමණ්ඩිය “, ” අරුණාලෝකය අතරේ ” සහ “පෙම් ලොවදී දුටු ” වැනි රසික ආකර්ෂණය දිනූ ගීත 12ක් අන්තර්ගත විය.

නන්දා මාලිනී සිය ගායන ජීවිතයේ තවත් එක් කඩ ඉමක් පසු කරමින් 1972 වසරේදී තම ප්‍රථම ඒක පුද්ගල ගීත ප්‍රසංගය ඉදිරිපත් කළාය. එය “ශ්‍රවණ ආරාධනා” නම් විය. “සත්‍යයේ ගීතය” (1982), “පවන” (1988), “ශ්වේත රාත්‍රිය” (2010) ලෙස ප්‍රසංග වාර විශාල සංඛ්‍යාවක් වේදිකාගත වුණු අති සාර්ථක ඒක පුද්ගල ගීත ප්‍රසංග ඇය ඉදිරිපත් කළාය.

මෙම ගීත ප්‍රසංග ඇය විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහාද ගෙන ගියාය. ලන්ඩන් නුවරදී සිය ප්‍රථම විදේශ ප්‍රසංගය ඉදිරිපත් කළ ඇය ඉන්පසු අබුඩාබිය, රෝමය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, බහරේන්, මාලදිවයින වැනි දේශ දේශාන්තරයන්හිද ඇය ගී ගැයුවාය.

නන්දා මාලිනිය වනාහි හද පුරා ප්‍රසාද දීය හැකි ගායිකාවකි. ජනතා ප්‍රසාදය මෙන්ම ඇගයීම් සම්මානද ලබා ගැනීමට ඇගේ ගීත පොහොසත් විය. ඇය සරසවි සම්මාන 12කට හිමිකම් කියන අතර සරසවිය ” අභිමානී ” සම්මානයෙන්ද හරසර ලැබුවාය. ඇගේ සම්මාන ගොන්නට ජනාධිපති සම්මාන 8ක්ද අන්තර්ගතය. 1995 වසරේදී ඇය හොඳම ගුවන්විදුලි ගායිකාවට හිමි සම්මානය තමන් සතු කර ගත්තාය. ඇය විසිදෙවතාවක් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වීමේද සය වතාවක් ජනප්‍රියම ගායිකාව වීමේද වාසනාව ලද්දාය.
සුනෙත් ගෝකුල හා විවාහයෙන් ඇය වරුණි සරෝජා සහ අමා සාරදා යන දියණියන් ලද්දාය. දැන් ඇය ආදරණීය මිත්තණියකද වන්නීය.
1984 වසරේදී ඇය ” සංගීත ආශ්‍රමය ” නමින් සංගීත පන්තියක් ආරම්භ කළාය. නුගේගොඩ පිහිටි සිය නිවසෙහි ඇය වර්ථමානයේද තම සිසුනට නොමසුරුව දැනුම බෙදා දෙන්නීය.
නන්දා මාලිනිය අති දක්ෂ ගායිකාවකි. වචනාර්ථය ඉස්මතු වන අයුරින් ගී ගයන රසවන්තියකි. දරුවන්ගේ නොමද ආදරය දිනා ගත් අසිරිමත් ළඳකි. ජීවිතයේ විවිධ දුක් කම්කටුලු වලින් ජයගත් ධෛර්යවන්තියකි. රට ජාතියට පෙම් බඳිනා පෙම්වතියකි. අතිශය සරළ කාන්තාවකි. ඇය වනාහි ශ්‍රී ලංකාවේ ගායිකා පරපුරේ මුදුන් මල් කඩකි