අද වනවිට දශක ගණනක් ගතවී හමාරය. නමුත් “දුන්හිඳ මනමාලි”, “දිල්හානි” වැනි ගීත හරහා මැවුන මිහිරියාව අදටද අප අතරය.
වර්ෂ 1966දී ශ්‍රී සඟ බෝ කොරයාට ඇසුණු මිහිරි ගී හඬකි. හෙතෙම තම දෙනෙත පියා නැවතත් සිතෙන් පරීක්ෂා කළේය. ඔව්, සැකයක් නැත මේ ඒ හඬමය. ක්ලැරන්ස් විජේවර්ධනගේ හා මොහුගේ (ඇනස්ලි මාලවනගේ) සුසංයෝගය බොහෝ කලක් මෙරට රසික රසිකාවියන් පිනවනු ඇත.
ඔහු එදා සිතූ පරිද්දෙන්ම ක්ලැරන්ස් (රිදම් ගිටාරය), ඇනස්ලි (ගායනය) මෙන්ම මොන්ටි වත්තලදෙණිය (කොංගෝ හා කියුබන් ඩ්‍රම්) හා ධම්මික විජේසිරිද (මැරකස්) රන් රස සේ සුසංයෝග විය. ශ්‍රී සඟ බෝ කොරයා ඉන් නොනැවත මේ සංගීත කණ්ඩායමට නමක්ද යෝජනා කළේය. ශ්‍රී ලංකාවේ රුවන් පුරය ලෙස නම් දැරූ රත්නපුර සමඟ මේ කලාකරුවන්ට ඇති සබඳතාවය සලකා බලා “ ද මූන් ස්ටෝන්ස්” නම තැබූවේය.
“ද මූන් ස්ටෝන්ස්” සැබවින්ම මිණි කැටයකැයි කීම අතිශයෝක්තියක් නම් නොවේ. සිංහල පොප් සංගීතයේ අද්විතීය ස්ථානයක් හොබවමින් හැටේ දශකයේ අග භාගයේ මෙන්ම හැත්තෑව දශකයේ මුල් භාගයේද මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතළොස්ස අතරට පැමිණීමේ භාග්‍යය දිනාගන්නා ලදි. කණ්ඩායමේ නායකත්වය හෙබවීමට අමතරව වාග්ගේය (ගී පද, හඬ හා තනුව) ශිල්පියෙකු ලෙස කටයුතු කළ ක්ලැරන්ස්, ඇනස්ලි වැනි විශිෂ්ටයන්ගේ දක්ෂතාවය මෙකී ජනප්‍රියත්වයට හේතු වූ බව නිසැකය.







වර්ෂ 1967 වනවිට මංගල රොද්‍රිගු (ලීඩ් ගිටාරය), සුනිල් මාලවන (ලීඩ් ගිටාරය), උපාලි උබේසේකර (සිතාරය) හා ෆෙරෝස් අස්මන් (බේස් ගිටාරය) යනාදී ශිල්පීන්ගේ දායකත්වයද “මූන් ස්ටෝන්ස්” සතුවූ අතර වර්ෂ 1967දී මංගලෝත්සවයකදී “බීකන්ස්” කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් නැරඹීමෙන් පසු ඉලෙක්ට්‍රික් ගිටාරය සිය කණ්ඩායමට හඳුන්වාදීමට ක්ලැරන්ස් උත්සුක වූයේය. ඉන්පසුව “බීකන්ස්” ශිල්පීන් වූ චානක පෙරේරා (බේස් ගිටාරය), විජිත් පීරිස් (ඩ්‍රම්) හා අජිත් සිවනන්දද (පියානෝව) “ද මූන් ස්ටෝන්ස්” හා එකවූවෝය.
ඔවුන්ගේ ප්‍රථම පටිගතකිරීම ගෞරි සංස්ථාවේ “පිලිප්ස්” ලේබලය යටතේ සිදුවූ අතර ඒ කැටලොග් අංක ජේ.වී.පී.සී. 007 යටතේය. එයට “මංගො නැන්දා”, “සුදු මැණිකේ”, “සීත උදේ”, හා “රුවන් පුරය” වැනි පසුකාලීනව ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි ගීත අඩංගු විය.
පළමුවෙන්ම ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවාවන් හරහාද දෙවනුව ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහාද ඔවුන්ගේ ගීත ප්‍රචාරය වූ අතර ලාංකේය ඉංග්‍රීසි හා සිංහල ගීත දර්ශක ද්විත්වයේම ප්‍රථම ස්ථානය ප්‍රථම වරට දිනාගැනීමේ භාග්‍යය “ද මූන් ස්ටෝන්ස්” සතුවිය. ඒ “මංගො නැන්දා“ ගීතය හරහා වූ අතර, රජු ලෙස විරුදාවලි ලැබූ “එල්විස් ප්‍රෙස්ලි” පවා ගීත දර්ශකයේ දෙවන ස්ථානය දක්වා පසුබෑමට ලක්කළේය.
කණ්ඩායමේ සාමාජිකයකු වූ මංගල රොද්‍රිගු ජෙරාල්ඩ්ගේ පුතු වූ නෙතාජිගේ මිතුරකු වූ අතර, මේ මිත්‍රත්වය වර්ෂ 1968දී ජෙරාල්ඩ් වික්‍රමසූරිය සමඟ ඇතිවූ ගිවිසුමට හේතුවිය. මෙය “සූරිය” ලේබලය යටතේ දොරට වැඩි ප්‍රථම ඊ.පී. පටිගතකිරීම ලෙස “මෝර් හිට්ස් බයි ද මූන් ස්ටෝන්ස්” වීමට හේතු සාධක විය. ගිවිසුමට අනුව මුල් පටිගතකිරීමට යෝජනා වූයේ “දිල්හානි”, “ගොන් වස්සා”, “කුසුමලතා” හා “සුමුදුමල්” යනාදී ගීත වූ නමුත් “දිල්හානි” ගැයීමට සුදුසු කාන්තා හඬක් එවකට සොයාගත නොහැකි වූ හෙයින් සැලසුම වෙනස්විය.



“දිල්හානි” ගැයීමට සුදුසු හඬ වූ ඉන්ද්‍රානි පෙරේරාගේ හඳුනාගැනීම සඳහා නොසිතූ තරම් කාලයක් ගතවූ අතර ඉන්ද්‍රානි කණ්ඩායමට හඳුන්වාදෙන ලද්දේ ඇනස්ලි විසිනි. මේ පමාව “ද මූන් ස්ටෝන්ස්” “සූරිය” සමඟ දෙවැනි පටිගතකිරීමට, වසරක් ගතවීමට හේතුව විය. පමාව කෙසේ වුවද ඒ කාල පරාසය තුළ උපැයූ ඉහළම ආදායම මේ ඇල්බමයට හිමිවූයේ ඉතිහාස පොත රනකුරින් ලියවෙමිනි. මේ වනවිට ඇන්ටන් ගුණතිලකද ලීඩ් ගිටාරය වාදනයෙන් නොමඳ සහයක් ලබාදුන්නේය.






“ද මූන් ස්ටෝන්ස් විත් ඉන්ද්‍රානි පෙරේරා” නැවතත් “සූරිය” නිෂ්පාදනයක් ලෙස එළිදකින්නේ “ඩෙකා” ලේබලය යටතේය. “සීගිරිය” නම්වූ මේ පටිගතකිරීම එහිවූ “වන දෙව්ලිය තුරුලේ” යනාදී ගීත සමඟ අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍රවිය. එය ගයන ලද්දේ ඉන්ද්‍රානි වූ අතර, “පෙම් කතාව” ඇනස්ලි හා ඉන්ද්‍රානි ගැයූ අතර “රාළහාමි” හා “සුමුදු මල්” ඇනස්ලි ගයන ලදි.
වර්ෂ 1970දී ක්ලැරන්ස් කණ්ඩායමෙන් ඉවත්වූ අතර ඇනස්ලිට මයික් ගුණසේකර සමඟින් කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද නව නිර්මාණ එළි දැක්වීමේ වගකීමද උරමත පැටවිණි. එවකට කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූයේ සුනිල් මාලවන (බේස් ගිටාරය), මංගල රොද්‍රිගු (ලීඩ් ගිටාරය), ලොරන්ස් මෞරික්ස් (කී බෝර්ඩ්), ස්ටැන්මෝර් ද ජොන්ක් (ඩ්‍රම්ස්), හා ලලිත් ප්‍රනාන්දුය (ගායන).
ස්වකීය පටිගතකිරීම් හැරුණු විට “සූරිය” පටිගතකිරීම් වූ මෙන්ඩිස් ෆෝර්සම්ගේ “මම බොහොම බය වුණා” (සී.එච්.බී. 027) හා පෝල් ප්‍රනාන්දුගේ “එගොඩ ගොඩේ” (සී.එච්.බී.031) යනාදී පටිගතකිරීම්වලට “ද මූන් ස්ටෝන්ස්” වාදන සහයෝගය ලබාදුන් අතර බොහෝ ජනප්‍රිය “සූරිය” ප්‍රසංගවල ආකර්ෂණීය සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කිරීම් වල නිරත විය.









“දුන්හිඳ මනමාලි”, “තොටියා” වැනි අපූර්ව ගී සමඟින් අතිශය ප්‍රාසාංගික සංගීත කණ්ඩායමක් ලෙස මෙරට කලා ක්ෂේත්‍රය අතික්‍රමණය කළ “ද මූන් ස්ටෝන්ස්” ලංකා ගුවන්විදුලිය හරහා සිංහල පොප් ගීත ගුවනට මුදාහැරි මුල් කණ්ඩායම් අතළොස්සෙන් එකක් වීමේ දුලබ අවස්ථාව දිනාගැනීට සමත්විය. එමෙන්ම සිංහල පොප් සංගීතයේ ඉලෙක්ට්‍රික් ගිටාරයෙන් හා සිතාරයෙන් විප්ලවීය වෙනසක් ගෙන ආවේද මොවුන්ය.
ක්‍රම ක්‍රමයෙන් “ද මූන් ස්ටෝන්ස්” දස දෙස විසිරී ගියද ක්ලැරන්ස් හා ඇනස්ලි නැවත එක්වන්නේ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” පිහිටුවමිනි.



සංස්කරණය : මලින්ද සෙනෙවිරත්න
පරිවර්තනය : නවෝදා දයාකාන්ත











Dilhani











Sooriya Golden Oldies











Moonstones Original Recordings 1967-75










