
වර්ෂ 1944ක් වූ අප්‍රේල් මස 07 වන දා ල උපසේන මල්ලවාරච්චි සහ මැණිකේ වික්‍රමාරච්චි යුවලගේ පුත්‍රයා ලෙස ල කෝට්ටේ දී මිල්ටන් මල්ලවාරච්චි මෙලොව එළිය දුටුවේ ය.ඔහුට සිය කුඩා අවධියේ දී ම පිය සෙනෙහස අහිමි විය. සිය මව සමඟ එම දරිද්‍රතාවයෙන් පීඩා විඳි මොහු, බාල වියේ දී ජීවිතයට නොබිය ව මුහුණ දුන් දිරිය දරුවෙක් විය. සිය දුෂ්කර කටුක බාල විය ගැන සංවේදී කතාව මිල්ටන් පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ” මතක සටහන් ” නම් වැඩ සටහනක දී මෙසේ පවසා ඇත .
” කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩා ගන්න අම්මා සෑහෙන්න දුක් විඳල තියනවා. ඒ දවස්වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක් තිබුණෙ නෑ . ඒ නිසා උදේ පාන්දර ම අම්ම නැගිටල ලිපේ ගිනි කකා , කඩවල්වලට ඉඳිආප්ප , ආප්ප වගේ කඩයප්පන් හදනවා.ඒවා කඩවල්වලට අරන් යන්නෙ මමයි.ඉඳලා හිටලා ඒ අතීතය මතක් වෙන කොට මට මහා දුකක් ඇති වෙනවා.”
කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු , අධ්‍යාපන කටයුතු නිම වීමෙන් පසු , වැලිකඩ සමූපකාරයේ බිල් ලිපිකරුවෙකු ලෙස සිය ප්‍රථම රැකියාව කළේ ය. පසු ව මිල්ටන් නව ලෝක ව්‍යාපාරයේ මුදල් අයකැම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
සංගීත ගමනේ ආරම්භය
ප්‍රසිද්ධ ගායකයෙකු වීමට ප්‍රථම මිල්ටන් , වාදනයට බොහෝ සෙයින් ප්‍රිය කළේ ය. ඩොල්කිය , ගිටාරය , තබ්ලාව , සැක්සෆෝනය ඔහුගේ සමීපතම වාද්‍ය භාණඩ අතර විය. සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මුල් අවධියේ දී , ඔහු හින්දි ගීත ගායනයට යොමු විය . එකල මිල්ටන් , හර්බට් රංජිත් පීරිස් ඇතුළු සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ එකතු වී නිර්මාණය කොට ගත් වාදක කණ්ඩායම “ශාක්‍යන්ස් ” නම් විය. ඒ 1965 දී ය. මෙලෙස ” ශාක්‍යන්ස් ” සංගීත කණඩායමේ වාදකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි මිල්ටන් , එම සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස ද කටයුතු කළේ ය.
ඒ අතර ම “ලා සිලනියන්ස් ” සංගීත කණ්ඩායමට ද එක් වූ ඔහු , එහි නොයෙල් රණසිංහ සහ අනෙකුත් සගයන් සමඟ සමූහ ගායනයෙහි නිරත විය . ” දහ දුක විඳලා ” , ” තරුණ ජීවිතේ අපේ විනොදයෙන් ” ආදිය එකල ප්‍රසිද්ධ වූ එවැනි සමූහ ගීතයන් ය.

මේ කාලයේ දී මිල්ටන්ගේ අනාගත දිවියේ ඉරණම විසඳෙන සිදුවීමක් සිදු විය . එම දෛවෝපගත සිදුවීම මිල්ටන් , ගුවන් විදුලි වැඩසටහනකට සිය වචනවලින් ම විස්තර කර ඇත්තේ මෙලෙසිනි.
” මට ගායකයෙක් වෙන්න අත හිතදුන්න අයගෙන් මුලින් ම මට මතක් වෙන්නෙ මර්වින් රුද්‍රිගු මහත්තයවයි . ඒ කාලයේ දක්ෂ ශබ්ද පරිපාලකයෙකු වූ ඒ මහතා වැඩ කළේ ගීත තැටිගත කරන ගෞරි කොපරේෂන් එකේ . ඔය දවස්වල මම ” ලා සිලනියන්ස් ” කණ්ඩායම සමඟ නිතර ම ගෞරි එකට ගිහින් ගීත තැටිගත කරනවා . ඒවා කණ්ඩායම් ගීත . මර්වින් රැද්‍රිගු මහත්තයා ගීත තැටිගත කරන විට, විශේෂයෙන් ම මගේ කටහඬට උනන්දුවක් දැක්වූවා. ඒ මහත්තයා දවසක් මාව තනියම පැත්තකට අඬගහල කිව්වා , ” මිල්ටන්, කණ්ඩායම් එක්ක ගීත ගයන්න එපා . ඔයාට හෙඳෙ හැකියාවක් තියනවා. තනියම ගායකයෙක් වෙලා ඉදිරියට එන්න. මම ඒකට අවස්ථාවක් අරන් දෙන්නම් ” කියලා . එදාට පසුදා ම පැට්‍රික් කොරේරා මහත්මයා ළඟට මාව එක්ක ගිහින් ඉන්නකොට පැට්‍රික් මහත්තයට, කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් කෝල් එකක් ආවා. ඒ කතාව ඉවර වුණ ගමන් ම මර්වින් රුද්‍රිගු මහත්තයා රිසීවරය අරන් කිව්වා . ” අපිට හදල ගන්න පුළුවන් ගායකයෙක් ඉන්නවා මිල්ටන් මල්ලවාරච්චි කියලා . එයාට කියලා ගීයක් දෙකක් තැටිගත කරන්න අපේ අදහස . ඒකට අබේසේකර මහත්තයා ගීත ටිකක් ලියල එවන්න ” කියලා . වැඩි දවසක් ගියේ නැහැ . අබේසේකර මහත්තය ගීත හතරක් ම ලියල දුන්නා . “

මෙසේ මිල්ටන් ගායකයෙකු ලෙස ඇරඹූ ගමනේ ශක්තිමත් ප්‍රථම පියවර තැබුයේ ” ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ ” ගීතයෙනි .ඒ 1969 දී පමණ ය . ඒ සමඟ අබේසේකරයන් අතින් රචිත අනෙක් ගීතයන් වනුයේ , ” මංගලේ නෙත් මංගලේ ” , ” රන් කූඩුව ඔබ සැදූ ” , ” සංසාර සෙවනැල්ල ” යන ගීතයි . එම ගීත හතරට ම සංගීතය සැපයුවේ මොහොමඩ් සාලි ය . මෙම ගීත ඇතුලත් කොට ගෞරි ලේබලයෙන් නිකුත් වූ කුඩා LP තැටිය , පළමු තොගය ම උණු කැවුම් සේ අලෙවි විය.
එසේ ප්‍රථම වරට ගායකයෙකු ලෙස රසික ජනයාට සමීප වූ මිල්ටන්, ජීවත් ව සිටි දශක හතරක පමණ කාලයක් තුළ සිය මධුර මනෝහර හඬින් ගැයූ දහස් ගණනක් වූ ගී වලින් රසික සවන් නළවාලීය.

සංගීත ගමන
ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පා තැබූ ඔහුගේ ගීත ගුවන් විදුලිය හරහා රසිකයාට සමීප විය . 1970 පමණ වන විට මිල්ටන් ක්‍රමයෙන් රසික ප්‍රසාදයට ලක් වූ අතර , එවකට ගුවන් විදුලියේ සිටි ප්‍රේමකීර්ති ද අල්විස් සහ ආරියතුංග පීරිස්ගේ මැදිහත් වීමෙන් ඔහු ව හඬ පරීක්ෂණයකට යොමු කරන ලදී . එයින් මිල්ටන් A ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සමත් වෙන්නේ , සිය ජන්ම උරුමය වූ ගීතවත් කටහඬේ මිහිරියාව මනාව පසක් කරමිනි .

හැත්තෑව දශකයේ මිල්ටන් ( පසුපසින් පැට්‍රික් දෙනිපිටිය මහතා )
ඉන්පසු දක්ශ ස්වර රචකයෙකු වූ පැට්‍රික් දෙන්පිටිය විසින් මිල්ටන්ට සාදා දුන් නවතාවයකින් යුත් සුමධුර ස්වර රචනා ඔස්සේ මිල්ටන් තව තවත් රසික සිත් දිනා ගැනීමට සමත් විය . ” ඉවුරු තලා ” , ” මා හා එදා” , ” මා නිසා ඔබ ” , ” සයුරු තෙරේ දී ” එසේ රසික සිත් පැහැරගත් ගීත කිහිපයකි .
හැත්තෑව දශකයේ මුල් භාගයේ දී මිල්ටන් පෙරදිග හුරුවක් සහිත ගී ගායනා කළ අතර , ස්ටැන්ලි පීරිස් හා ක්ලැරන්ස් විජේවර්ධනගේ හමුවීමත් සමඟ බටහිර සංගීතමය ස්පර්ශයක් ලද ගීත මිල්ටන්ගේ ස්වරයෙන් ගායනා විය . ” අඬන්නෙපා දැන් ” , ” අවසර නැත මට ” , “සිහිනෙන් ඔබ මට ” එවැනි ගී කිහිපයකි.
වික්ටර් රත්නායකගේ සංගීතයෙන් රසවත් වූ ගීත රැසක් ගායනා කිරීමට මිල්ටන් මල්ලවාරච්චි භාග්‍ය සම්පන්න විය . 1975 පමණ වන තෙක් ගුවන් විදුලියේ සරල ගී ලෙස ඇසුණු ” සීතල ලන පිණි ” , ” මගේ නෙත් එපා ” , ” ඔබ වේදනා ” වැනි ගීත ඔස්සේ , එවකට යෞවන වියේ සිටි මිල්ටන් පහසුවෙන් රසික සිත් ඇද බැඳ ගත්තේ ය .
චිත්‍රපට සංගීත ක්ෂේත්‍රෙය් මිල්ටන්ගේ මංගලාවතරණය සිදු වූයේ 1971 දී තිරගත වූ ඩබ්ලිව්. ඒ . බී . ද සිල්වා අධ්‍යක්ෂණය කළ ” පූජිතයෝ ” චිත්‍රපටයෙනි . එහි දී ඔහු එම් . එස් . ප්‍රනාන්දු සමඟ ” සක්වල රත්වන පුළිඟු තලාවක ” යන ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් විය. එයින් පසු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මිල්ටන් පසුබිම් ගායනයෙන් දායකත්වය සැපයීය .

හැත්තෑව දශකය මෙරට සංගීත වංශකතාවේ අපූර්වත්වයේ යුගයයි. එයට ප්‍රධානත ම හේතුව වූයේ ඒ වන විට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කර තිබූ හින්දි තනු ඒකාධිකාරය බිඳහෙළීමයි. මිල්ටන් මෙන් ම ඔහුගේ සමකාලීනයන් වූ වික්ටර් රත්නායක , ටී. එම් .ජයරත්න, ක්ලැරන්ස් විජේවර්ධන , ප්‍රියා සූරියසේන ,සනත් නන්දසිරි වැන් සංගීතඥයන් විසින් අපට ම අනන්‍ය වූ සිංහල සංගීතයක් ලංකාවට දායාද කිරීමට ආරම්භක පියවර තැබූ යුගය එය විය . එමෙන් ම හැත්තෑව දශකය මිල්ටන්ගේ ද ස්වර්ණමය යුගය විය .

1973 දී තිරගත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ ” මාතර ආච්චී ” චිත්‍රපටයට සිරි කුලරත්න රචනා කළ ” රන් දේදුනු රන් පාටින් ” යන තේමා ගීතය වික්ටර් රත්නායකගේ මෙහෙයවීම යටතේ ගායනා කිරීමට මිල්ටන්ට අවස්ථාව සැලසුණි . එහි දී රෝහණ වීරසිංහ ලක්ෂමන් වීරසිංහ , ආනන්ද වීරසිරි හා ලක්ෂමන් රුද්‍රිගු යන ශිල්පින් මුල් වරට පසුබිම් ගායනයෙන් ඔහුට සහය දැක්වීය .
1974 දී තිරගත වූ ” සැණකෙළිය ” චිත්‍රපටයේ ප්‍රධාන පසුබිම් ගායකයා වූයේ මිල්ටන් ය . සිනමා නළු ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් මිල්ටන් ගැයූ , ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගී පද රචනයක් වූ ” රැයක් උපද්දා ” ගීතය මෙන් ම කරුණාරත්න අබේසේකරගේ ගී පද රචනයක් වූ , ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගායනා කළ , ” සමනල රෑනක් සේ ” ගීතය ද එක සේ රසික ප්‍රසාදයට පත් විය . මේ නිසා ම එම ච්ත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් විය . එම ගීතයන්හි සංගීත අධ්‍යක්ෂණය කළේ පැට්‍රික් දෙනිපිටිය මහතා ය .
1975 වසරේ දී තිරගත වූ ” සිරිල් මල්ලි ” චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකාගේ රංගනය වෙනුවෙන් ගායනා කළ ” ඒක කලි ති ” ගීතය මෙරට ප්‍රථම ස්වතන්ත්‍ර හින්දි ගීතය විය . එම් .රොක්සාමි විසින් සංගීතය සැපයූ එම ගීතය රචනා කළේ සිරිලාල් විමලධර්ම ය .
මෙල්රෝයි ධර්මරත්නයනගේ සුමිහිරි තනු ද මිල්ටන්ගේ ගායන පෙළහර තවත් වර්ණ ගැන්වීය . මෙල්රෝයි ධර්මරත්නගේ නිෂ්පාදනයක් වූ ” මේ මැයි ගහ යට ” ගීතය මෙන් ම ” රන් මුදු ” හා ශිරෝමිණී ප්‍රනාන්දු ගැයූ ” අඬන්නෙපා ” , ” මා සමනලයෙක් ” යන ගීත ඇතුලත් ව 1976 දී Silver ලේබලයෙන් නිකුත් වූ EP තැටිය ද ඉතා හොඳින් අලෙවි විය .
මිල්ටන් මල්ලවාරච්චි සිය ප්‍රථම යුග ගීතය ගායනා කළේ චිත්‍රා සුරවීර (ආර්. චිත්‍රා) සමඟිනි . ඒ ” බිංදු බිංදු අම මී බිංදු ” ගීතයයි . ඉන්පසු ලතා වල්පොල , නීලා වික්‍රමසිංහ , අමිතා වාදිසිංහ , රුක්මණී දේවි, ඇන්ජලීන් ගුණතිලක , ඉන්ද්‍රානි පෙරේරා , මාලනී බුලත්සිංහල , සුජාතා අත්තනායක , චන්ද්‍රිකා සිරිවර්ධන , දමයන්ති ජයසූරිය, චන්ද්‍රලේකා පෙරේරා , දීපිකා ප්‍රියදර්ශනී , සංජීවනී වීරසිංහ වැනි ගායිකාවන් රැසක් සමඟ මිල්ටන් යුග ගී ගායනා කර ඇත . 1974 දී රුක්මණී දේවී සමඟ ගායනා කළ ” පෙම් රජ දහනේ “ගීතය එදා මෙන් ම අදට ද එකසේ සිත් ගත් ගීයකි .

1974 ද පමණ ක්ලැරන්ස් විජේවර්ධනයන් රචනා කර මිල්ටන්ට ලබා දුන් “ඝන අඳුරේ ” , ” එදා රෑ ” , ” මට මෙන් ඔහුට ද ” , ” මග තොට දී ” යන ගීත EP තැටි ඔස්සේ රසික සවනට ළඟා විය . ඊට අමතර ව ” අවසර නැත මට ” , ” සුළගේ පාවී ” , ” තනි වී සිටින්නයි මා ” , ” පෙමි රජ දහනේ ” ආදිය ද විජේවර්ධනයන් මිල්ටන්ට ලියා දුන් රසවත් ගීත වේ .
ග්‍රැමෆෝන් යුගයේ අවසාන ගීතය මෙන් ම කැසට් යුගයේ මුල් ම ගායනය ද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම මිල්ටන් මල්ලවාරච්චි ලද භාග්‍යකි . ලංකාවේ ප්‍රථම කැසට් පටය වනුයේ 1978 දී තරංගා ලේබලයෙන් නිකුත් වූ මිල්ටන්ගේ හඬින් ගැයුණු ” සඳෙන් එහා ” ගීතාවලියයි . එය අලෙවි වාර්තා පිහිටුවීමට ද සමත් විය .

මිල්ටන්ගේ කැසට්පට
1976 දී ” ගංගා ” චිත්‍රපටයට ගැයූ ” සිනහව අතරින් කඳුලක් උපන්නා ” , 1978 දී ” අපේක්ෂා ” චිත්‍රපටයට ඇන්ජලින් ගුණතිලක සමඟ ගායනා කළ ” සඳ තනි වෙලා ” , ” කලක් ඇවෑමෙන් ” , 1978 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ” අහසින් පොළොවට ” චිත්‍රපටයට ගැයූ ” උපුල් නුවන් විදහා ” , 1976 දී ” දුහුල් මලක් ” චිත්‍රපටයට ගැයූ ” රෝමියෝ ලෙස ” , 1982 දී ” ආරාධනා ” චිත්‍රපටයට මාලනී බුලත්සිංහල සමඟ ගායනා කළ ” සීත අරණේ ” , 1996 දී ” මිහිදුම් සිහින ” චිත්‍රපටයට චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ ගායනා කළ ” ගුම් ගුම් බිඟුන්ගේ ” , ” නිල්ල සොයා ” චිත්‍රපටයට ගායනා කළ ” මියුරු පෙම් මදිරාවේ ” හා ඇන්ජලින් ගූණතිලක සමඟ ගායනා කළ ” කෙල්ලේ මා ආදර ” යන ගීත ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායන ගමන් මගෙහි රන් සලකුණු වේ .
එකල ගාමිණී-මිල්ටන්-සරත් සුසංයෝගයෙන් බිහි වූ චිත්‍රපට ගී රැල්ලක් රසිකයා වශී කිරීමට සමත් විය . 1978 දී ” ආශා දෑසින් ” චිත්‍රපටයට මිල්ටන් ගැයූ ” මුව මදහාසේ ” , ” අනංග රන් හීයෙන් ” , ” විකසිත පැතුමන් ” , 1981 දී ” චංචල රේඛා ” චිත්‍රපටයට නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ ” මී අඹ අත්තේ ” , ” කීන දම් මිටක් ” , 1980 දී ” යළි හමු වෙන්නයි ” චිත්‍රපටයට ගැයූ ” ඔබයි මමයි ” , 1980 දී ” මල් කැකුළු ” චිත්‍රපටයට ගැයූ ” ලස්සන දෑසක් ” යන ගීත ද ශ්‍රාවක උන්මාදයට හේතු වූ බව කිව යුතු ය .
සේන සමරසිංහයන් අධ්‍යක්ෂණය කළ ” ඈතින් ඈතට ” චිත්‍රපටයට ගැයූ ” කැන්දන් යන්නං ” ගීතය වෙනුවෙන් 1984 දී පැවැති සරසවි සම්මාන උළෙලේ දී මිල්ටන් මල්ලවාරච්චි හොඳ ම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස අභිෂේක ලැබීය .
රඟපෑම ප්‍රතික්ෂේප කළ මිල්ටන් සිය රංගන දායකත්වය ලබා දී ඇත්තේ සේන සමරසිංහයන්ගේ ” මල් කැකුළු ” හා ” යළි හමුවෙන්නයි” යන චිත්‍රපට දෙකට පමණි .
එමෙන් ම නේපාල , බංගලාදේශ චිත්‍රපට රැසක් සඳහා ද සිංහල ගීත මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කිරීම සුවිශේෂී වෙයි .

මිල්ටන්ගේ සංගීතමය පිළිබිඹුවේ සුන්දරත ම ආභරණය ඔහුගේ ලයාන්විත කටහඬයි . සුපෙම් හදවත් නැළැවූ , බිඳුණු හදවත් සැනසූ , ඒ මධුර මනෝහර හඬෙන් ගැයුණු රසාලිප්ත ගී දහස් ගණනක් එදා මෙන් ම අදටත් රසික සවන් පිනවයි .
රූප පෙට්ටියේ ලංකාගමනය සිදු වීමට පෙර අවධියේ පවා මිල්ටන් ගුවන් විදුලි රසික පිරිස අතර මෙන් ම , සජීවී ප්‍රසංගවල ද එක සේ ජනප්‍රිය විය .
මිල්ටන්ගේ හඬ වඩාත් ම උචිත වූයේ ප්‍රේම ගීත සඳහා වුව ද ඉන් බාහිර ගීත රාශියක් ද ඔහුගේ හඬින ගායනා විය . ” පැණි කුරුල්ලනේ “, “සැන්දෑවේ රන් වලා ” , ” පලතුරු විකුණන මලණුවනේ ” , ” පුංචි මල්ලියේ ” , ” පුංචි කාලේ ” ආදී ලෙස විවිධ තේමා මෙන් ම ” දරා ගන්න බැරි කරදර ” වැනි මව්ගුණ ගීත ද , ” මරු කතරේ මිනිස් පුරේ ” , “ඇසල සඳට ” වැනි බුදුගුණ ගීත ද , ” ලංකා හෝ ලංකා ” වැනි දේශාභිමානී ගීත ද ඔහුගේ ශබ්ද මාධූර්යයෙන් රසික සවන් වෙත පැමිණියේ ය .

ඊට අමතර ව සිය දරුවන් සිවු දෙනා වෙනුවෙන් ගැයූ ” රනිල් පුතේ ” , “දුවේ හර්ෂණී ” , ” නදී දූ හිනැහෙනවා ” , ” තාරක පුතේ ” යන ගීත ද සිය ප්‍රිය බිරිඳ වෙනුවෙන් ගැයූ කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “ඈත එපිට දුර ආකාසේ ” යන ගීතය ද රසික හදවත් අමන්දානන්දයට පත් කළේ ය. ඉන් ” රනිල් පුතේ ” ගීය කේ . ඩී . කේ . ධර්මවර්ධනගේ පද රචනයක් වූ අතර , ” තාරක පුතේ ” හා ” දුවේ හර්ෂණී ” ගීත රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස් ය .
සිංහල සංගීතය , චිත්‍රපටය මෙන් ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ඔහු දායක වූයේ ” හිම කැදැල්ල ” ටෙලි නාට්‍යට ” සඳ සුළඟේ පාවී ” ගීතය ගායනා කරමිනි .
මිල්ටන්ගේ සංගීතය සරල සංගීතය වීය . ඔහුගේ ගීත බොහොමයක ස්වර රචනා ඔහුගේ ම වූ අතර , ඒවායේ ගිටාරය හා සැක්සෆෝනය සුලබ වාද්‍ය භාණ්ඩයන් විය . මිල්ටන්ගේ ගීතවල අනෙක් විශේෂත්වය වූයේ , ගීතය කතාවක රූපරාමු පෙළක් ශ්‍රාවක මනසේ විකාශනය කිරීමට සමත් වන පරිදි මනහර ලෙස ගලා යෑමයි . ” එදා රෑ ” , ” මධු මල ලෙස මුදු ” , ” පැණි කුරුල්ලනේ ” , ” මේ මැයි ගහ යට ” ආදිය එසේ රසික සිත් පිනවූ ගීත විය.
මිල්ටන් වෙනුවෙන් ගීත ලියූ පද රචකයන් ගණන 40කට වැඩි ය. කරුණාරත්න අබේසේකර , ප්‍රේමකීර්ති ද අල්විස් , කේ . ඩී . කේ . ධර්මවර්ධන , අජන්තා රණසිංහ , ක්ලැරන්ස් විජේවර්ධන , බණ්ඩාර කේ. වික්‍රමසිංහ , හේමපාල ලීලානන්ද , උපාලි ධනවලවිතාන , ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල ,ෂෙල්ටන් වීරරත්න , කුලසේන ආරියවංශ , ආනන්ද පද්මසිරි , ව‘නෝන් පෙරේරා , චිත්‍රානන්ද අබේසේකර , බණ්ඩාර විජේතුංග හා විජය රාමනායක ඒ අතරින් ප්‍රමුඛ විය .

ආනන්ද පද්මසිරි සමඟ මිල්ටන් , පටිගත කිරීමක දී
මිල්ටන්ට ගී තනු නිර්මාණය කළ සංගීතඥයන් ද 30 කට අධික විය. ක්ලැරන්ස් විජේවර්ධන , මොහොමඩ් සාලි , රොක් සාමි , පැට්‍රික් දෙනිපිටිය , සරත් දසනායක , ස්ටැන්ලි පීරිස් , වික්ටර් රත්නායක , මෙල්රෝයි ධර්මරත්න , රෝහණ වීරසිංහ ඉන් ප්‍රමුඛ ය .

1977 දී ව‘නෝන් පෙරේරා විසින් රචිත , මිල්ටන් ගැයූ ” ඇරයුම් පතා ” , “පෙම්වතෙක් ” , ” සඳළුතලාවේ ” , ” සුකොමලියේ ” යන ගීත ඇතුලත් EP තැටිය අසන්නන් වෙත පැමිණියේ සූරිය ලේබලය හරහා ය . එම ගීතවල සංගීත නිර්මාණය මයික් ගුණරත්නගෙන් වූ අතර , තැටියේ ශබ්ද පරිපාලකවරයා ඩොනල්ඩ් අයිවන් ය .

1979 දී ” Sooriya Show Vol 3 ” නමින් සූරිය ලේබලය ඔස්සේ රසිකයන් හමුවට ආ LP තැටියේ මිල්ටන් මල්ලවාරච්චිගේ ” ඇරයුම් පතා ” ගීය ඇතුළු තවත් ගීත 14ක් විය .
LP හා EP ග්‍රැමෆෝන් තැටි සඳහා ම මිල්ටන්ගේ හඬින් ගැයුණු ගීත ගණන 113ක් පමණ ය . මෙයින් ස්ටැන්ලි පීරිස් නව සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස දොරට වැඩියේ ය. ඒ ” අමා රන් හැඟුම් ” ගීතයෙනි .

මිල්ටන් , කේ. ඩී. කේ. ධර්මවර්ධන සමඟ
ගුවන් විදුලි ශිල්පී කේ. ඩී . කේ. ධර්මවර්ධන , ගීත රචකයෙකු ලෙස දොරට වැඩියේ ද මිල්ටන් මල්ලවාරච්චිගේ බලවත් ඉල්ලීම පරිදි ය. “ආදරයේ මිහිර රැඳි ” එම ගීතයයි.
සංගීතඥ රෝහණ වීරසිංහ , ලක්ෂ්මන් වීරසේකර , ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් රුද්‍රිගු යන කලාකරුවන් ද දොරට වැඩියේ මිල්ටන් මල්ලවාරච්චි “මාතර ආච්චි ” චිත්‍රපටය සඳහා ගැයූ “රන් දේදුනු“ ගීතය සමඟ වීම ද විශේෂත්වයකි.
150කට අධික චිත්‍රපට සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ මිල්ටන් ගැයූ ගී ගණන දහසකට අධික ය. ඔහුගේ මියුරු ගීතාවලියේ අවසන් රූප රාමු පෙළ සටහන් වූයේ අනූව දශකයේ දී ය. ඒවා නම් , 1994 දී තිරගත වූ “සඳමඩල“ චිත්‍රපටයට ලතා වල්පොල සමඟ ගැයූ “මද්දුම බණ්ඩාර පුත්තු“ , 1998 නොවැම්බර් 20 දා තිරගත වූ “මොහොතින් මොහොත“ චිත්‍රපටයට ගැයූ “ඔබ දෙවූ ඒ ගීතයේ “ හා 1999 පෙබරවාරි 19 දා තිරගත වූ ජයසේකර අපොන්සු අධ්‍යක්ෂණය කළ “රෑ රූ “ විකට නාට්‍ය චිත්‍රපටයට ගැයූ “සුදු සේල මුතු මාල “ යන ගීතයන් ය.
එමෙන් ම ඔහු පටිගත කළ අවසන් ගීතය වූයේ , “ සෙනෙහස බිඳුවක් “ ඇල්බමයේ “අග රැජිණිය“ ගීතයයි.


මිල්ටන්ගේ මංගල ඡායාරූප
1973 දෙසැම්බර් 23 වන දා ස්වර්ණමාලා මාලනී මෙනවිය සමඟ අතිනත ගත් මිල්ටන් මල්ලවාරච්චි සාර්ථක යුග දිවියක් ගත කළේ ය. රනිල් , හර්ෂණී , නදීජා , තාරක යන දරුවන් සිව් දෙනාට දයාබර පියෙකු වූ ඔහු, සිය බිරිඳ ස්වර්ණාට ආදරණීය සැමියෙකු ද විය.

මිල්ටන්ගේ බිරිඳ ස්වර්ණා


මිල්ටන් සිය පවුල සමඟ
එමෙන් ම සිය මවට දැඩි සේ ආදරය කළ ඔහු , ජීවත් ව සිටින කාලයේ දී ඇයව ඉතා හොඳින් රැක බලා ගත් අතර , ඇගේ අභාවයෙන් පසු සෑම මසකම ඇය සිහි කොට සංඝයා විෂයෙහි දානයක් පිරිනැමූ කළගුණ දන්නා පුතෙකු විය .

සිය සාර්ථකත්වයට අත හිත දුන් සෑම පුද්ගලයෙකු ම මතක තබා ගත් ඔහු , චාම් බව ගරු කළ උදාර මිනිසෙක් විය . සිය යුතුකම් වගකීම් නොපිරිහෙළා ඉටු කළ මිල්ටන් , තමා කරන කාර්යය හැකි උපරිමයෙන් කළේ ය . ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින් සාර්ථක ගමනක් ගිය ඔහු , වරක් මුදලට ජෝතිපාලයන්ගේ ගී ගයන ලෙස ලැබූ ඇරයුමක් තරයේ ප්‍රතික්ෂේප කළේ ද , එම යහගුණය ලොව හමුවේ සපථ කරමිනි .

ප්‍රතිපත්තිගරුක මිනිසෙකු වූ මිල්ටන් , කිසි විටෙකත් ගුවන් ගමන් සඳහා යොමු නොවූව ද, සිය පවුලේ සාමාජිකයන් ඒ සඳහා උනන්දු කරවීය .
සංගීතයට අමතර ව සෆාරි යෑමට හා ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දැක්වූ ඔහු , එකල සෑම ක්‍රිකට් තරගයක් ම නැරඹීමට උත්සුක වූ උද්යෝගීමත් ක්‍රිකට් ලෝලියෙකු විය . සිය දෙටු පුත් රනිල් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරීමට ආසා කිරීමට තරම් ඔහු ක්‍රිකට් රසිකයෙකු ව සිටියේ ය. එමෙන් ම එකල ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මිල්ටන්ගේ සුහද මිතුරන් ව සිටියෝ ය .


සිය ජන්ම උරුමය වූ කටහඬ කෙරෙහි ඉමහත් විශ්වාසයක් තබා , ඉන් ජීවිතය ද ජය ගෙන , රසික ලොව ද ජය ගන්නට සමත් වූ මිල්ටන් මල්ලවාරච්චි නමි සුන්දර මිනිසා , පනස්හතර වැනි විය සපිරීමට ආසන්න ව තිබිය දී 1998 මාර්තු 10 වෙනි දා කොළඹ දී අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝ වූයේ , දියවැඩියා කෝමා තත්ත්වයක් හේතුවෙනි . අවුරුදු දහයක් පමණ දියවැඩියා රෝගයෙන් පීඩා විඳි ඔහු , සිය දිවියේ අවසාන මාස තුනක පමණ කාලය ගෙවූයේ රෝහල්ගතව ය. සිය කාර්යබහුල ජීවන රටාව නිසා ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වයකින් ද ඔහු තරමක් දුර්වල ව සිට ඇතගවියෝ වීමට කලකට පෙර ඔහු සිය බිරිඳ ස්වර්ණාට යෝජනා කර ඇත්තේ ” දිවියේ සැඳෑ සමය කැලෑබද ඈත ප්‍රදේශයකට ගොස් නිස්කලෙංක ව ගෙවා දමමු ” යනුවෙනි .


මිල්ටන්ගේ දෙටු පුත් රනිල් මල්ලවාරච්චි , සිය පියාගේ ස්වර්ණමය අතීතයට සාධාරණය ඉටු කරමින් , වර්තමානයේ ඔහුගේ නිර්මාණවල අයිතිය සුරකින අතර , ඒ උරුමය අනාගතයට ද ගෙන යමින් සිටී.

මිල්ටන්ගේ දෙටු පුත් රනිල්
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ රනිල් මෙන් ම මිල්ටන්ගේ කණිටු පුත් තාරක මල්ලවාරච්චි ද සිය පියාගේ අඩි පාරේ යමින් , සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත.
පාසලේ දි මෙන් ම , නන්දා මාලනියගෙන් ද සංගීතය හැදෑරූ රනිල්, උසස් පෙළින් පසු වෘත්තීමය සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ ය . රනිල් මුලින් ම ගායනා කළ සිය පියාගේ ගීතය වූයේ ” මේ මැයි ගහ යට ” ගීතයයි . 1996 දී තම පියා සමඟ මුල් වරට ගීත ඇල්බමයකට ගී ගැයූ ඔහු , පසු කාලීන ව ස්වනිර්මාණයන් වූ ගීත ඇල්බම 17ක් පමණ එළි දක්වා ඇත .

මල්ලවාරච්චි පරපුරේ තුන්වන පරම්පරාවේ සංගීතමය පුරුක වනුයේ , රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි ය .සීයාගේ හඬට අතිශයින් ම ආසන්න වූ හඬකට උරුමකම් කියන පවන් , මිල්ටන්ගේ පුනරාගමනය යැයි ඇතැමුන් අර්ථ ගන්වයි.
රනිල් මල්ලවාරච්චි 2010 දී සිය බිරිඳ නිරාශා , පුත් පවන් හා දුව සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචියට ගිය අතර , ගුවන් නියමුවෙකු වන්නට ද පවන් අදහස් කරගෙන සිටී. එනමුත් සංගීතමය වැඩ කටයුතුවලට නිතර ම ලංකාවට පැමිණෙන ඔහු , මිල්ටන් සමරමින් ලංකාවේ පැවැත් ප්‍රසංගවල මිල්ටන්ගේ ගී ගයමින් රසිකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්නට අමතක නොකරයි .

යුගයක රසික සවන් සිය මියුරු ගී නදින් සන්තර්පණය කළ මිල්ටන් මල්ලවාරච්චි , ලාංකේය සිනමාව හා සංගීතය යන ද්වෛතයෙහි අද්විතීය සලකුණකි . එහි වර්තමානය රනිල් විසින් ගොඩනගන අතර , අනාගතය පවන් විසින් සිතුවම් කරනු ඇත .