“ධර්මරත්න සහෝදරයො” යන නාමය ඇසෙත්ම සිහිපත්වන නම් අතර තවත් එක් සුවිශේෂී නාමයකි, මෙල්රෝයි ධර්මරත්න. “ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත” යන කියමන අසත්‍යයක් කරමින් ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් ඔබ්බට නාට්‍ය ක්ෂේත්‍රයේ හා ලේඛන ක්ෂේත්‍රයේද තම අණසක පැතිරවීය.
කුලරත්න හා ස්ටෙලා ධර්මරත්න යුවලට දාව සිව්වැනි දරුවා ලෙස 1947 වර්ෂයේ මාර්තු 12 වනදා කොළඹදී උපත ලැබූ ඔහුට ස්වීටි හා ෂර්ලි යනුවෙන් සොයුරියන් දෙදෙනෙකි. ක්‍රිස්ටි,මැක්ස්වෙල් හා රොනල්ඩ් යනුවෙන් සොයුරන් තිදෙනෙකි.

ඔහුගේ සහජ කලාකාමීත්වය ඔපමට්ටම් කිරීමේ ගෞරවය ඔහුගේ පාසලවූ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලට හිමිවේ.මේ කුඩා දරුවාගේ දක්ෂතාවය හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේදීම ජෝන් සහෝදරතුමාගේ අවධානයට ලක්වීය. එමනිසා ඔහුට සෑම සිකුරාදා දිනකම පාසල් කාලයෙන් පසු විනාඩි 45ක කාලයක් තම පාසලේ සහෝදර ශිෂ්‍යයන්ට ගී ගැයීමේ අවස්ථාව උදාවිය. එවන් දිනක ඔහු ගැයූ “සීත සුනිල් දිය දහරා” ගීතයට සවන්දීමෙන් අනතුරුව විද්‍යාලීය සංගීත අංශයේ ප්‍රධානියා වූ එඩ්වඩ් සහෝදරතුමා කළ ආරාධනයෙන් ඔහු “අවර් ඔව්න් සෝන්ග්ස්” ප්‍රසංගයේ ගී ගැයීම ඇරඹීය.



අකලට ආ මහ වරුසාවක් මෙන් පියාගේ මරණය ළමාවියේදීම සිදුවුනද, දිරිමත් කාන්තාවක වූ ඔහුගේ මව තම දරුවන් සමඟ නැවතත් නැඟී සිටියාය.ඇය තම දරුවන් මෙන්ම ඔවුන්ගේ දක්ෂතාවයන්ද එකලෙස සෙනෙහසින් රැකබලාගත් බව නොරහසකි. මේ දිරිමත් මවගේ දිරිගැන්වීම හා මඟපෙන්වීම යටතේ මෙල්රෝයි හා රොනල්ඩ් දෙසොහොයුරෝ “ධර්මරත්න සහෝදරයො “ සංගීත කණ්ඩායම ඇරඹුවෝය.
වර්ෂ 1966 දී මේ දෙපළ තම ඥාති සොයුරිය වූ ශිරෝමී සමඟ මෙතෝදිස්ත විදුහලේ පැවති ප්‍රසංගයකට ඉදිරිපත් කළ අංගය අවසාන අදියර දක්වා ගමන්කිරීමෙන්ම මොවුන්ගේ දක්ෂතාවය මනාවට පැහැදිලි වේ.ළමා ගී තරුව ශිරෝමි ප්‍රනාන්දුට වාදනයෙන් සහයදීමෙන් නොනැවතුණ හෙතෙම සංගීත අධ්‍යක්ෂවරෙක් ලෙසද ඇයට අතිවිශාල සහයෝගයක් ලබාදුන්නේය. පසුව මැක්ස්වෙල් හා ක්‍රිස්ටි යන වැඩිමහල් සොයුරන්ගේද සහයෝගයෙන් “ධර්මරත්න සහෝදරයො “ තව තවත් සවිමත් විය. මුල් අවදියේදී රොනල්ඩ් තනු නිර්මාණයෙන් දායකවුවද කල්යත්ම මෙල්රෝයි ගී පද හා තනු නිර්මාණය යන ද්විත්වයෙන්ම නොමඳ දායකත්වය ලබාදුන්නේය.



ශාන්ත ලුසියා දේවාස්ථානයේ ගීතිකා කණ්ඩායමේද සාමාජිකයෙක් වූ ඔහු එවකට ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ජනප්‍රිය ගීත ඇසීමෙන් තව තවත් දිරිමත්විය. ඒ ක්‍රිස්ටෝපර් පෝල්, වින්ස්ටන්ට් ද පෝල් පීරිස්, මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා, එච්.ආර්.ජෝතිපාල, සුනිල් ශාන්ත වැනි ජනප්‍රිය ගායකයන්ට ස්තූතීවන්ත වෙමිනි.
ඉන් නොනැවතී කරුණාරත්න අබේසේකරගේ පද වැලට එච්.ආර්.ජෝතිපාල ගැයූ “දුරකථනය”, රවී රණසිංහගේ පදවැලට පෝල් ප්‍රනාන්දු ගැයූ “එගොඩගොඩේ” වැනි ගීත රාශියකටම නාද රටා මුසුකළේය.සංගීත ලොව ඉදිරියටම ගමන් කිරීමට මැල්කම් ඇන්ඩ්‍රි හා ජයතිස්ස හෙට්ටිආරච්චි වැන්නවුන්ගෙන් මොහුට නොමඳ සහයක් ලැබිණි. විජය කොරයා පටිගතකිරීම් සඳහා ලබාදුන් සහයද අමතක කළ නොහැක්කකි.
ජීවිත පොත සුවිශේෂී පිටුවක් පෙරළමින් “සූරිය” ලේබලය යටතේ පටිගතකළ සම්පූර්ණ ළමා ගීත එකතුවකටම තනු නිර්මාණයෙන් හා සංගීත අධ්‍යකෂණයෙන් දායකවිය.






සුගත් සමරකෝන් අධ්‍යක්ෂණයෙන්ද, කේ.ඩී.නිකලස් පිටපත් රචනයෙන්ද දායකවූ නමුත් සම්පූර්ණ කරගැනීමට නොහැකිවූ “පතිනි” චිත්‍රපටයට සංගීත අධ්‍යකෂණයෙන් දායකවිය. ගීත හතරකින් සමන්විත වූ චිත්‍රපටයේ තේමා ගීතය ටී.එම්.ජයරත්නගේ හඬින්, සංඛ්‍යාවෙන් තිස් දෙකක් වූ වාද්‍ය වෘන්දයක දායකත්වයෙන්, වර්ෂ 1978දී ඩොනල්ඩ් අයිවන් විසින් ජෝ නෙත් ස්ටූඩියෝ හි පටිගතකරන ලදි.



එලෙස සංගීත ක්ෂේත්‍රයේ දස්කම් දැක්වූවද එම දස්කම් සංගීත ක්ෂේත්‍රයට ලඝුකොට තැබිය නොහැක. පාසලේ සාහිත්‍ය දිනය සඳහා රඟදැක්වූ නාට්‍යයට පිටපත් රචනයෙන් හා ප්‍රධාන නළුවා ලෙසද දායකත්වය දැක්වීය. වර්ෂ 1960දී ලංකාවේ ප්‍රථම ඒකල නාට්‍යය ලෙස “මායා” රඟදැක්වීය. 1977දී ඔහු ලියා අධ්‍යකෂණයකළ “නව මඟක යන්නෝ” වේදිකා නාට්‍යය සමස්ත ලංකා කෙටි නාට්‍ය තරඟයේ හොඳම නළුවා, හොඳම අංගරචනය හා හොඳම නිෂ්පාදනය යන සම්මාන දිනාගැනීමට සමත්විය. දසවරක් වේදිකා ගතවුණ “සිවිල් යුද්ධය “ වේදිකා නාට්‍යයේ පිටපත් රචකයාද ඔහුය. මේ නිසඟ දක්ෂතාවය හඳුනාගත් සෙසු නිෂ්පාදකයෝ ඔහුට පිටපත් රචනයට හා සංගීත අධ්‍යකෂණයට ඇරයුම් කළෝය.






ඉන් නොනැවත හෙතෙම ලේඛන ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමටද දායකවිය. එම්.ඩී. ගුණසේන සමාගම ඇරඹූ “සවස” පුවත්පතට තීරු ලිපි ලියූ ඔහු, “විසිතුර” පුවත්පතට එහි සංස්කාරක ආතර් යූ. අමරසේනගේ ඇරයුම පරිදි විචිත්‍රාංග ලිපි සැපයීය. “සතුට” පුවත්පතේ “සැපින්න” කාටූනය තුළින් කාටූන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු 1971දී සිය කුළුදුල් නවකතාව ලෙස “මළවුන්ගේ කතාවක්” රචනා කළේය. එය පසුකාලීනව “කවුළුව “ නමින් චිත්‍රපටයට නැඟිණි. නිදහස් මාධ්‍යවේදියකු ලෙස ධර්මසිරි ගමගේ ගේ “යොවුන් ජනතා “ හා ජයන්ත චන්ද්‍රසිරිගේ “නවලිය” ද රසවත් මෙන්ම හරවත් කළ ඔහු 2014 දී “විනීතා රතීෂා” හා “ප්‍රේමය වෛරය” යන කෘතීන්ද එළිදැක්වීය. 2014 දී “පව් සහ පින්” ද සාහිත ලොවට තිළිණ කළේය.
එච්.ආර්. ජෝතිපාල ගැයූ “ආයුබෝවන් “, මිල්ටන් මල්ලවආරච්චි ගැයූ “මේ මැයි ගහ යට” , පෝල් ප්‍රනාන්දු ගැයූ “කළු කණ්ණඩි” යන ජනප්‍රිය ගීත වලට පද ගෙත්තම් කළේද ඔහුමය.
කිසිදිනක විධිමත් සංගීත අධ්‍යාපනයක් නොලැබුවද සංගීත ලොව මධුර සුමධුර රස මවමින් ලේබන කලාව, නාට්‍ය කලාව, චිත්‍රපට කලාව ආදී ක්ෂේත්‍රද අතික්‍රමණය කළ මොහු මුළු මහත් ලක්දිවටම අභිමානයකැයි කීම අතිශයෝක්තියක් නම් නොවේ.
පරිවර්තනය : නවෝදා දයාකාන්ත






























Shiromi Does It Again




















