
බයිලා ගී රසවින්දනයට නව මානයක් එක්කරමින් ගායන අඹරේ පෑයූ, තමාටම අවේණික වූ ශෛලියකින් ගීතය තම රසික දෙනෙත් අබියස මවා පෑ , වේදිකාවේ නිර්මාණාත්මකම ඉදිරිපත් කිරීමේ හැකියාවක් හිමි ගායන ශිල්පියෙක් ලෙස ඔහුව හැඳින්වීම වඩාත් නිවැරදිය. රියපත් හිලරි මෙන්ඩිස් ලෙස 1939 වසරේ ජනවාරි පළමු වන දින මොරටුවේ දී උපත ලබන ඔහු පසුකාලීනව මැක්ස්වෙල් මෙන්ඩිස් නමින් වේදිකාවේ ජය කෙහෙළි නංවන්නේය. ශාන්ත සෙබස්තියන් පිරිමි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබන ඔහු කුඩා අවධියේ සිටම සිය ගායන කුසලතාවය මැනවින් විදහා දැක්වීමට සමත් වුවේය. ඒ අනුව එකොලොස් වියැති කුඩා මැක්ස්වෙල් දිවයිනේ ප්‍රසිද්ධ විරිඳු තරගයකින් ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් අනාගතයේ බිහි වීමට නියමිත ජනප්‍රිය ගායකයෙකු පිලිබඳ ඉඟි පල කළේය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් අනතුරුව “සුපිරින්ටෙන්ඩන්ට්” වරයෙකු ලෙස රැකියාවකට පිවිසුනද සංගීතය ඔහුගේ සිතින් ඈත් වුයේ නැත.
කණ්ඩායම් සංගීතයේ ඇරඹුමත් සමඟ ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නැගී ආ ” මෙන්ඩිස් ෆෝසම් ” සමඟ එක් වෙමින් මැක්ස්වෙල් සිය දීර්ඝ සංගීත චාරිකාවේ මූලාරම්භය සනිටුහන් කළේය. ” සූරිය ” ආදී කතෘ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ සහයෝගයෙන් “ඩෙඟ ඩෙඟ පරි ”, “ ස්වර්ණා හමුවුයේ ” , “ පාස්ට් ලව් ” හා “ බී හැපී ” යන ගීත පටිගත කිරීමට හැකි වූ අතර ඒ අතරින් ” ස්වර්ණා හමුවුයේ ” ගීතයත් සමඟ තරුණ මැක්ස්වෙල් හැත්තෑව දශකය ආරම්භයේදී නැගී එන ගායන තරුවක් බවට පත් වන්නේය. අනතුරුව තමාගේම අනන්‍යතාවයකින් බයිලා සංගීත ක්ෂේත්‍රය තරණය කරමින් දහස් සංඛ්‍යාත රසික පිරිසක් ඇද බැඳ ගැනීමට ඔහු සමත් වන්නේය. මැක්ස්වෙල් හා කරුණා මෙන්ඩිස් යුවලගේ කැදැල්ලට එක් වූ දියණිය වෙනුවෙන් ගායනා කල ” මගේ සුරතල් දුව ” ගීතයත් සමඟ තවදුරටත් ජනාදරයට පාත්‍ර වීමට ඔහුට හැකි විය.



මෙන්ඩිස් ෆෝසම් හා ” සූරිය ” සුසංයෝගයෙන් 1972 දී සී.එච්.බී. 021 නාමාවලි අංකය යටතේ නිකුත් කළ vinyl EP 45rpm වර්ගයේ ගීත එකතුවෙහි ” විනෝද මිහිර “, ” ඩෙඟ ඩෙඟ පරි ” හා ” ස්වර්ණා ” යන ජනප්‍රිය ගීත 3 එක් කිරීමට මැක්ස්වෙල් මෙන්ඩිස් නම් වූ මෙම දක්ෂ ගායන ශිල්පියාට හැකිවිය. එමෙන්ම සී.එච්.බී. 027 දරණ ” මම බොහොම බය වුණා ” , vinyl EP 45rpm ගී තැටිය 1972 දී නිකුත් කිරීමේදී එම්.එස්. ප්‍රනාන්දු මහතා මුලින් ගායනා කළ ” මම බොහොම බය වුණා ” ගීතයත් වොලී බැස්ටියන් මහතා නිර්මාණය කළ ” බඹරා ” ගීතයත් ගායනයෙන් ඔහු සිය දක්ෂතාව විදහා දැක්වුවේය. 1973දී සී.එච්.බී.036 යටතේ “සූරිය ” සමඟ එක්ව නිකුත් කළ vinyl EP 45rpm ගීත එකතුවේ ඔහු විසින් ගායනා කළ ” මගේ පණ බේරුණා “, ” මහදැන මුත්තා “, ” පරවියා ” හා ” සැඩ සුළං “යන ගීත ඇතුලත් විය. ” සූරිය ෂෝ 2 ” නමින් නිකුත් වුන vinyl LP 33 1/3rpm වර්ගයේ සී.එච්.බී. LP 3 නාමාවලි අංකය දරණ ගීත එකතුවටද ඔහුගේ ” මම බොහොම බය වුණා ” ගීතය එක් විය. 1974 දී සී.එච්.බී. LP 5 යටතේ නිකුත් වුණ vinyl LP 33 1/3rpm වර්ගයේ ” බයිලා සෙෂන් ඉන් ශ්‍රී ලංකා ” යන ගී එකතුවට ” මහදැන මුත්තා “, ” මව්පියෝ දෙන්නා ” හා ” යක්ස පැටියා ” ගීත තුලින් තම හඬ දායක කිරීමට ඔහුට හැකි විය. තවද ජී.ඩී.එන්.යූ.18 යටතේ නිකුත් වුණ ” සූරිය ගෝල්ඩන් ඕල්ඩීස් ” කැසට් පටයේද ඔහුගේ ජනප්‍රිය ගීතයක් වුණ ” මම බොහොම බය වුණා ” ගීතය අන්තර්ගත විය. 1969 වසරේ සිට වසර ගණනාවක් අති සාර්ථකව පැවැත්වුන , ” සූරිය ” ආදි කර්තෘ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කෙරුණු , සුවහසක් රසික රසිකාවියන්ගේ ජනාදරයට පාත්‍ර වූ ” සූරිය ෂෝ ” ප්‍රසංගය ලංකාවේ බොහෝ ස්ථාන වල වේදිකා ගත වන විට තම බයිලා ගීතයෙන් ප්‍රසංගයට තවත් ආකර්ශනීය බවක් එක් කිරීමට මෙම ගායන ශිල්පියාගෙන්ද ලැබුනේ නොමද සහයකි.



ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකෙන්ම ගී ගැයූ ඔහුගේ නිර්මාණ සංඛ්‍යාව 350 ඉක්මවන්නේය. විසල් පරාසයක පැතිරුණ ගායන හැකියාවත් , තමා සතුව පැවති අතිශය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමේ හැකියාවත් ඔහු වටා රොද බැඳ ගත් රසිකයන්ගේ ආකර්ෂණයට හේතු සාධක විය. විටෙක මිනිස් හිස් කබලක ආකෘතියක් , සජීවී සතුන් හා බෝනික්කන් වැනි දේ භාවිත කරමින් කළ ඉදිරිපත් කිරීම් හරහා වේදිකාව මතදී තම ගීත තව තවත් රස ගැන්වීමට ඔහු සමත් වුවේය. අංග චලනයෙන් හා සාත්වික අභිනයෙන් ගීතයේ රසය දෙගුණ තෙගුණ කර රසිකයන් පිනවීමට සහජ හැකියාවක් ඔහු සතුවිය.



ගායනයෙන් පමණක් නොව ඔහුගේ පුළුල් ඉංග්‍රීසි දැනුම බෙදා දෙමින් දොඩන්ගොඩ නගරයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස විශාල සේවයක් කළ ඔහු ” මැක්ස් මාස්ටර් ” ලෙසින්ද ප්‍රචලිත වුවේය. ඉතා සුහදශීලී , කාරුණික හා නිහතමානි මිනිසෙකු ලෙස ක්ෂේත්‍රය තුල සැම සිත් දිනා ගැනීමට ඔහුට හැකිවුයේ නිරායාසයෙනි. බයිලා සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අමිල දායකත්වයක් ලබා දුන් ඔහු 2001 වසරේ අගෝස්තු 17 වන දින තම ජීවන ගමන අවසන් කළ ද ඔහුගේ හඬ , ඔහුගේ නාමය සදා ජීවමානය.