“ධීවරයෝ”, “දෙවියනි ඔබ කොහිද”,” රෑ මනමාලී” වැනි සිනමාපටවල සංගීත අධ්‍යක්ෂක වරයාය; අති දක්ෂ වයලීන් ශිල්පියාය: ඔහු සිංහල සංගීත අසපුවේ මුණිවරයෙකි; ඒ වනාහි දෙව් වරම් ලත් විරල ගණයේ හැකියාවකි..
ඔහු නමින් එම්.කේ. රොක්සාමිය. ‘රොක්සාමි මාස්ටර්‘ අප ඔහුව හන්දුනන ආදරණීය නාමය ය. “රොක් අයියා” සහ “රොකී” ලෙස සමීපතමයෝත් පවුලේ උදවියත් ඔහුව ඇමතූහ. මෙම අසහාය සංගීතවේදියා මෙලොව එළිය දකින්නේ 1932 වර්ෂයේ සැප්තැම්බර් 13 වැනිදාය. ඔහුගේ දෙමාපියන් දකුණු ඉන්දීය සංක්‍රමණික යුවළකි. දෙමාපිය සංගීත ලෝලීත්වය ඔහුව සංගීතය කෙරෙහි නැඹුරු කරවූවා වන්නට ඇත. ඔහුගේ මව වෘත්තීය මට්ටමේ වයලීන වාදනය කරන්නියක වන අතර සර්පිනාව වැයීමේද හැකියාව තිබිණි. පියාටද සංගීතය පිළිබඳ මනා දැනුමක් තිබී ඇත. රොක්සාමි මාස්ටර්ගේ බිරිඳ ඉන්ද්‍රානි මහත්මියට අනුව ඔහුගේ ක්ෂේත්‍රයේ නම වන එම්.කේ රොක්සාමි යන්නද මවගේ නම මරියා සහ පියාගේ නම කෝලන්දේ යන නම් එකතුවෙන් සාදාගත්තකි.
ඉතා ළාබාල අවදියේ සිටම ඔහු වයලීනය හා සර්පිනාව වැයීමට දක්ෂයෙකු විය. වයස අවුරුදු 17ක් වන විට පාසල හැරයන ඔහු එවකට රේඩියෝ සිලෝන් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දයට සැක්සෆෝන වාදකයෙකු ලෙස සම්බන්ධ විය. එහි පෙරදිග වාද්‍ය වෘන්දයට සැක්සෆෝනය හඳුන්වා දුන්නේද ඔහු විසිනි. මෙහිදී ඔහුට ආර්.ඒ.චන්ද්‍රසේනයන් මුණගැසෙන අතර ඒ ඔස්සේ ඔහුගේ මහත් ජනාදරයට පත් “දස බලධාරී බුදුරජු පෙරකල” ගීතයට වයලීන වාදනයට මං සළසා ගති.

මේ කාලයේදීම ඔහුගේ දෛවෝපගත සංගීත ගමන එළිපෙහෙලි කරදෙන්නෙකු ඔහුට මුණගැසුණි. ඔහු නමින් රාමයියා මුත්තුසාමි හෙවත් අප කවුරුත් හඳුනන ආර්. මුත්තුසාමිය. ඔහුගේ මගපෙන්වීම යටතේ රොක්සාමි ඔහුගේ කඳානේ පිහිටි ‘නායගම්‘ චිත්‍රපට ශබ්දාගාරයේ වාදක මඩුල්ලේ දක්ෂ සංගීතඥයෙකු විය.
වයලීන වාදකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය හැඩගස්වමින් සිටි ඔහු සිංහල සහ දමිල චිත්‍රපට සඳහා පසුබිම් සංගීතය යෙදීම පිළිබඳවද අධ්‍යයනය කරමින් සිටියේය. සිංහල සිනමා සංගීතයේ ජනප්‍රිය චරිතයක් වූ එස්.බී පෙරේරා හදිසි හෘදයාබාධයකින් මිය යන්නේ මේ අතරතුරයි. ඔහුගේ වාද්‍ය වෘන්දයේ සිටි රොක්සාමිට පෙරේරා මහතා නිමවමින්න් තිබූ චිත්‍රපට සංගීත ස්වර රචනය අවසන් කිරීමට පැවරුණි. චිත්‍රපට සංගීතය සඳහා ක්ෂේත්‍රයෙ ප්‍රවීනයන් ඔහුගේ දක්ෂතාවය හඳුනා ගන්නා අතර ඒ සඳහා ඔහුට මංපෙත් විවර වුණි.
දිවා රෑ නොබලා සිදු කෙරුණු පටිගත කිරීම් නිසා රාජ්‍ය චිත්‍රපට ඒකකයත් සිලෝන්, එස්.පී.එම්, විජය සහ සරසවි ශබ්දාගාරත් ඔහුගේ නිවස්න මෙන් විය.
1972 සිට සූරිය රෙකෝඩ් ලේබලය හා සම්බ්න්ධව කටයුතු කළ ඔහු එහි වාදක මඩුල්ලේ ආරම්භක සාමාජිකයෙකි. එහි සංගීතය මෙහෙයවීම මුල් කාලයේ ක්ලෝඩ් ප්‍රනාන්දු විසිනුත් පසුව වින්ස්ටන් ජයවර්ධන විසිනුත් සිදු විය. ක්ලෙම් ක්‍රෝනර්, ලැටිෆ් මුස්කින්, රැල්ෆ්, ටොම් සහ මිකී මෙනේසිස්, රොක්සාමි, ඩන්කන් ක්ලයිඩ්, පැට්‍රික් දෙනිපිටිය, ගසිල් අමිත් සහ සරත් ප්‍රනාන්දු එහි සෙසු සාමාජිකයෝ වූහ.


ඔහු සූරිය රෙකෝඩ් ලේබලය යටතේ නිකුත් වූ ඒ.ඊ. මොනෝහරන්ගේ CHB 043 දරන ඊපී ඇලබමය (1975) සහ ප්‍රියා සූරියසේනගේ CHB 050 දරන ඊපී ඇල්බමය (1976) සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේය. “කෆ්‍රිඤ්ඤා ඉන්ස්ටෘමන්ටල් ට්‍රැඩිෂනල් ස්ටයිල්” (Kaffringa Instrumental Traditional Style) නම් සූරිය කැසට් පටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ අතර එහි වාද මඩුල්ලේද සිටියේය.

1974 වර්ෂයේ නොවැම්බර් 24 වන දින ඔහු විවාහ දිවියට පිවිසුණේය. ඔහු අතගත් මනාලිය ඉන්ද්‍රානි එස්. ද එලායස් විය. ඔහුට ඇයව හමුවන්නේ “සැකය” චිත්‍රපටයේ අත් වැල් ගායනා සඳහා ඇය කුසළතා පරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.


මෙරට බිහිවූ ප්‍රථම ස්වතන්ත්‍ර හින්දි ගීතයේ තනුව හා සංගීත නිර්මාණය කළ සංගීතවේදියා රොක්සාමිය. “සිරිල් මල්ලී” චිත්‍රපටයට රවිලාල් විමලධර්ම රචනා කළ “ඒක කලී කී” හින්දි ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චි විසිනි. එම චිත්‍රපටයේ එම ගීතයෙ පරිවර්තනය “මල් කැකුලී ගෝමරී මනාලී” ගීතය ගායනා කළේ එච්.ආර්. ජෝතිපාලය. මේ ගීත දෙකෙහිම තනුව හා සංගීතය රොක්සාමිගේය.

යමෙකුට ආදරය දැනෙන විටත්, විරහව දැනෙන විටත්, ව්‍යාකූල බවක් දැනෙන විටත් රොක්සාමි මාස්ටර්ගේ ගීත රසික හදවත් තුළ ලැගුම් ගනී. ජීවිතයේ විවිධාකාර පැතිකඩ ගැන ලියවුනු ගීත බොහෝමයකට ඔහු තනු නිර්මාණය කොට ඇත. “ඔබගේ රුව මාගේමයි”, “සතුට ශෝකේ ජය පරාජේ”, “ජීවන විල මැද”, “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ”, “මදු මල ලෙස” වැනි ගීත සඳහා සත්සර එක්කොට මැවූ මිහිරියාව අදටද කිසිවෙකුටත් අමතක කළ නොහැකිය.
රොක්සාමි සංගීතවත් කළ චිත්‍රපට බොහොමයක් අතරින් කිහිපයක් ලෙස “රන් රස”, “ධීවරයෝ”, “හාරලක්ෂය”, “දෙවියනි ඔබ කොහිද”, “රෑ මනමාලී”, “චණ්ඩාලී”, “මහ රෑ හමු වූ ස්ත්‍රී”, “සංසාර”, “ශ්‍රී පතුල”, “මගෙ අම්මා”, “රත්තරන් කඳ‘, “රතතින් රතම් මනියාර් වීඩු”, ” නාන් උංගල් තෝලන්” ලියා තැබිය හැක.

ජෑස් උත්සව වලදීද පෙරදිග සංගීත සාජ්ජ වලදීද රොක් සංගීත ප්‍රසංග වලදීද ඔහු සිය සංගීතය පිළිබඳව තිබූ බහුශ්‍රැත භාවය විදහා පැවේය. රොක් ප්‍රසංග වලදී ඔහු ගිටාර් වාදක කුමාර් නවරත්නම් සමඟ ඉදිරිපත් කිරීම් කළේය.


ඔහුගේ වයලීනයෙන් නැගි නාද මාධූර්යයත් ඔහුගේ තනුවලින් නැගි දිව්‍යමය සෞන්දර්යයත් අප සවනත ඉතිරි කරමින් 1988 වසරේ නොවැම්බර් 30 වනදින ඔහු අපෙන් සදහටම සමු ගත්තේය. ඒ වන විට එම කාලය තුළ නිෂ්පාදිත චිත්‍රපට 650 කින් 500කට ඔහු සිය වයලීනයෙන් සංගීතය සපයා තිබුණි.
පරිවර්තනය : යශිනි සේනානායක


