Sooriya Records Sooriya Records
Menu

ලොස් ෆ්ලෙමින්කෝස්

ආරම්භක වර්ෂය                    : 1967

කණ්ඩායම විසිරී ගිය වසර  : 1978

ආරම්භක සාමාජිකයන්       : දුලීප් ද සිල්වා, ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු, ඩෙල්රිකස් පීරිස්, නිහාල් ද මෙල්, ජෝර්ජ් ලුඩවයික්

ප්‍රභේදය                                       : කණ්ඩායම් සුසංගති සංගීතය

ශ්‍රී ලංකාවේ වෙරළබඩ මොරටුව ප්‍රදේශයෙන් ඇරඹෙන “ලොස් ෆ්ලෙමින්කෝස්” ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු, දුලීප් ද සිල්වා සහ ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් සෑදෙන්නකි.

මොවුන් ප්‍රථමයෙන් තම සංගීත කෞශල්‍යය පොදු ජනයා වෙත නිරාවරණය කරන්නේ 1967 වසරේ වේල්ස් කුමර විද්‍යාලයේ “ලැගූන් ඩිලයිට්ස්” (Lagoon Delights) නම් උළෙලේදීය. කණ්ඩායම් නායකයා ලෙස දුලීප් ද සිල්වා ගිටාරය වැයූ අතර ස්ටැනිස්ලෝස් මුඛ්‍ය ගායකයා විය. ඩෙල්රිකස් පීරිස් බේස් ගිටාරයෙන්ද මැල්කම් කොරයා රිදම් ගිටාරයෙන්ද තාලය එක් කළහ. ස්ව නිර්මාණයක් වන “කළු කෙල්ලේ” ගීතයත්, ප්‍රසිද්ධ ස්පාඤ්ඤ ගීතයක් වූ “චිකීටා ලින්ඩා” ගීතයත් සී.ටී. ප්‍රනාන්දුගේ ගීතයකුත් ඉදිරිපත් කළ ඔවුහු ප්‍රේක්ෂකයන් තම වසඟයට නතු කර ගත්හ.

කණ්ඩායමේ ඇරඹුම එලෙස සටහන් වන අතර ස්පාඤ්ඤ ගීත වලට මහත් සේ ඇල්මක් දැක්වූ ඔවුන් තම කණ්ඩායමට “ලොස් ෆ්ලෙමින්කෝස්” ලෙස නම් තබන්නේ ෆ්ලෙමින්කෝ නම් ස්පාඤ්ඤ කලාව නිසාය. ස්ටෙනිස්ලෝස් ප්‍රනාන්දුට අනුව ඔවුන් නෙවිල් ප්‍රනාන්දුගේ සහ “ලොස් කැබලරෝස්” සංගීත කණ්ඩායමේ ආභාෂය බෙහෙවින් ලබා ඇත.

සංගීත ගමනේ ආරම්භය

ලොස් ෆ්ලෙමින්කෝස් සංගීත” කණ්ඩායමට තම ගීත පටිගත කිරීම සඳහා පළමු අවස්ථාව හිමිවන්නේ ගෞරි සංස්ථාව සමඟ ෆිලිප්ස් ලේබලය යටතේය. “කළු කෙල්ලේ”, “සුදු මැණිකේ”, “හිනහවෙලා”, “පොඩි මල්ලියා” යන ගීත එම ඊපී ඇල්බමයට (EP Album) ඇතළත් විය. මේ සඳහා දුලීප් ගිටාරය වැයූ අතර ස්ටැනිස්ලෝස් මරාකස් සහ ගුයිරෝව වාදනය කළේය. ඩෙල්රිකස් බේස් ගිටාරයෙන්ද නිහාල් කොන්ගා වාදනයෙන්ද ජෝර්ජ් රිදම් ගිටාරයෙන්ද දායක විය.

මොවුන්ගේ දක්ෂතා ඇසූ සූරිය රෙකෝඩ් ලේබලයේ නිර්මාතෲ ජෙරල්ඩ් වික්‍රමසූරිය කුසළතා පරීක්ෂණයක් සඳහා ඔවුනට ඇරයුම් කළේය. ඒ අනුව ඔවුන්ගේ දෙවන ඇල්බමය ලෙස “ලොස් ෆ්ලෙමින්කෝස් ඔන් ද මූව්” (Los Flamencos On The Move) සූරිය ලේබලය යටතේ නිකුත් කිරීමට මග පෑදිණි. එම ඊපී ඇල්බමය පටිගත කෙරුණේ “ඩෙකා” වෙළඳ නාමය සඳහාය. ජෙරල්ඩ් එවකට එහි ලංකාවේ එකම නියෝජිතයා විය.

සංගීත ගමන

සංගීත කණ්ඩායමේ සියළුම සාමාජිකයෝ විවිධ වෘත්තීන්හි පූර්ණ කාලීන වශයෙන් නිරත වන්නන් වූහ. සංගීතය ඔවුන්ගේ විනෝදාංශය පමණක් විය. ස්ටැනිස්ලෝස් ග්‍රින්ඩ්ලේ මූල්‍ය ආයතනයේ රැකියාව කළ අතර දුලීප් ආපිකෝ ව්‍යාපාරයේ ගණකාධිකාරී තනතුරක් දැරීය.ඩෙල්රිකස් සිංගර් වෙළඳ සමාගමේත්  ජෝර්ජ් බාටා සමූහ ව්‍යාපාරයේත් සේවය කළ අතර නිහාල් වෘත්තියෙන් ඉංජිනේරුවෙකු විය.

කෙසේවෙතත් සංගීතය කෙරෙහි දැක්වූ මහත් ලැදිකමත් ආශාවත් නිසා ඔවුහු රාත්‍රී හතෙන් පසු දුලීප්ගේ නිවසෙහි පුහුණුවීම් කටයුතු කළහ. සති අන්ත නිවාඩුවේදී දුලීප්ගේ එල්පී ගී තැටි එකතුවට සවන්දෙන ඔවුහු නව සංගීත නාද රටා හදාරමින් ස්පාඤ්ඤ සහ ස්වාහිලි වැනි වෙනත් භාශා වලින් වූ ගී වල වචන උගත්හ.

ලොස් ෆ්ලෙමින්කෝස්” නිරන්තරයෙන්ම “චිකීටා ලින්ඩා”, “අදෙලීතා” වැනි ස්පාඤ්ඤ ගීතද ඉතාලි භාෂිත ගීතද “අන්නා”,” මලයිකා” වැනි අප්‍රිකානු ගීතද ගායනා කළහ. ස්පාඤ්ඤ ගීත කෙරෙහි ඔවුන් දැක්වූ කැමැත්ත ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ද ඇතැම් සිංහල ගීත ගායනා කළ ශෛලියෙන්ද පිළිබිඹු විය. ස්පාඤ්ඤ් බස නිවැරදිව උච්චාරණය කළ සංගීත කණ්ඩායමක් ලෙසද ඔවුන් ප්‍රචලිත විය.

මෙම කණ්ඩායමේ මීළග පටිගත කිරීම සිදුවූයේ ගීත දෙකක් අඩංගු ගී තැටියක් සඳහාය. ඒවා “අනුරාධපුර” (වඩාත් ප්‍රසිද්ධ “දන්නෝ බුදුන්ගේ” ලෙසය) සහ “සුදු නෑනා” නම් වූ ජන සංගීතයෙන් නිමැවුනකි. මෙහි කැටලොග් අංකය CHB SP 1001 විය. එය SP යටතේ සූරිය ලේබලය විසින් නිකුත් කළ ප්‍රථම ගී තැටියයි. මෙම ඇල්බමය නිකුත් වූයේ කවර නිර්මාණයක් රහිතවය.

ජෙරල්ඩ් වික්‍රමසිංහ “දන්නෝ බුදුන්ගේ”  ගීතය ගායනය සඳහා ජෝන් ද සිල්වාගෙන් අවසර ලබාගෙන තිබුණද නැසී ගිය වින්ස්ටන් ජයවර්ධනගේ සංගීත අධ්‍යක්ෂණයක් වන එම ගීතය කිසිවිටෙක රේඩියෝවෙන් ගුවන් ගත වූයේ නැත. ඊට හේතුව එහි යොදා තිබූ සුසංගති ගායනා නිසා බටහිර ඌරුවට වූ නාද සංකලනයක් ඉස්මතු වීමයි.

ලොස් ෆ්ලෙමිකෝස්” හි කණ්ඩායම් සාමාජිකයන්ගේ වෙනස්කම් විටින් විට සිදුවුණි. දීපාල් පීරිස් කණ්ඩායම වෙනුවෙන් කලක් වීණාව වාදනය කළද වැවිලිකරුවෙකු වීම සඳහා ඔහු කණ්ඩායම හැර ගියේය. “කළු කෙල්ල” ගීතය නිර්මාණය කළ මැල්කම් කොරයා යුද හමුදා වාද්‍ය වෘන්දයට බැඳුණි. මල්සිරි විජේසූරිය සහ ස්ටැනිස්ලෝස්ගේ සහෝදරයෙකු වන මිල්රෝයි ප්‍රනාන්දු අවශ්‍ය වූ විට පමණක් කණ්ඩායම හා එක් වූහ.

1973 දී ඔවුහු සිය අවසන් ඊපී ඇල්බමය වන “සිල්කි කෙයාරෙසින්ග් වොයිසස් ඔෆ් ලොස් ෆ්ලෙමින්කෝස්” (Silky Caressing Voices of Los Flamencos) නිකුත් කළහ. “බොළඳ කතා”, “මිණි මිණි”, “ආදරේ සුරතල් දුවේ” සහ “ගීයක් ගයා” යන ගීත එහි ඇතුළත් විය.

සූරිය ලේබලය හරහා ලබාදුන් මනා ප්‍රචාරය නිසා “ලොස් ෆ්ලෙමින්කෝස්” ඉක්මණින් කීර්තිය ළඟාකර ගත්හ. කෘතහස්ථ සංගීතඥයෙකු වන නිශ්ශංක විමලසූරියගේ නාද සංකල්පනා වලින් හැඩවුණ ඔවුන්ගේ බොහෝ ගීතවල වූ රසබර සුසංගත ගායනා නිසා ඒවා රසික සිත් සොරා ගත්තේය.

“Original Charm”, Oberver Magazine, April 31, 1971

70 දශකයේ මුල් භාගයේදී මෙම සංගීත කණ්ඩායම සඳහා විශාල ඉල්ලුමක් පැවතිණි. සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනයකම ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේද ගල්කිස්ස මහා හෝටලයේ බාබකියු සාද සඳහා සිකුරාදා දිනයන්හිදීද ඔරියෙන්ටල් බුෆේ සඳහා ඉරිදා උදෑසන 11.00 සිට දහවල් 2.00 දක්වාද ඔවුන් සිය ගායනා ඉදිරිපත් කළහ. සිලෝන් දුම්කොළ වෙළඳ සමාගම ඇරයුම් කළ මහියංගනයේ සංගීත ප්‍රසංගයක් සඳහා යෑමට “සැෆර් 6″ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ඔවුන් සපයා දුන් බව අතීතය ආවර්ජනය කරමින් ස්ටැනිස්ලෝස් පවසන්නේ සතුටිනි.

1978දී රැකියා කටයුතු සඳහා දුලීප් මලාවි දේශයටත් නිහාල් සැම්බියාවටත් යාම සමඟ “ලොස් ෆ්ලෙමින්කොස්” විසුරුවා හැරුණි. ස්ටැනිස්ලෝස්ද 1980 දී අබුඩාබිය බලා යන අතර නැවත මව් රටට පැමිණෙන්නේ වසර දහතරකට පසුවය. දුලීප් වර්ථමානයේ නවසීලන්තයේ ජීවත්වන අතර ඔහුගේ සොයුරිය හා විවාහ වූ නිහාල් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරයි. ජෝර්ජ් සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටින්නේ ඩෙල්රිකස් සහ ස්ටැනිස්ලෝස් පමණි.

ලෝකයෙ විවිධ දිශාවන්හි සිටින බැවින් ඔවුන්ට නැවත එකතු වී යළි එක්වීමේ ප්‍රසංගයක් පැවැත්වීමට හැකියාව තවමත් ලැබී නැත. පසුකාලීනව ස්ටැනිස්ලෝස්ගේ සොහොයුරු මිල්රෝයි විසින් “ලොස් ෆ්ලෙමින්කෝස්” නමින්ම නව සාමාජිකයන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පිහිටවනු ලැබිණි.

ගීත ඇල්බම

Silky Caressing Voices Los Flamencos
The Sooriya Show : Vol 2
Los Flamencos
The Los Flamencos on the move
error: Content is protected !!

Have a passion to write ?

Join our Team

Subscribe!