ඒ 60 දශකයේ කැලිප්සෝ සංගීතය ගුවනට මුසු වූ සමයයි. “ලා සිලෝනියන්ස්” සහ “ලොස් කැබලරෝස්” වැනි සංගීත කණ්ඩායම් එම ආරේ නිර්මාතෲවරු වූහ.
“ලොස් කැබලරෝස්” සංගීත කණ්ඩායම නිර්මාණය වන්නේ 1961 වසරේදී නෙවිල් ප්‍රනාන්දු විසිනි. ඔහු අති දක්ෂ ගිටාර් ශිල්පියෙකු විය. එමෙන්ම දුර්ලභ ගණයේ සියුම් ලෙස ස්වර ගැයිය හැකි ලගන්නා හඬ පෞරුෂයක් උරුම වූවෙකි. “ලොස් කැබලරෝස්” හි සියලුම සංගීත අධ්යක්ෂණයන් සිදු කළේ ඔහු විසිනි. මෙම කණ්ඩායම පැරගුවේ හි “ලොස් පැරගුවාස්” සංගීත කණ්ඩායමේ ආභාශය ලබා ඇත. එම සංගීතය රසික සිත් සොරා ගත්තේ ක්ෂණයකිනි. “Caballeros” යන්න නිවැරදි ආකාරයට කියවනුයේ “කැබයියරෝස්” ලෙසය. ඊට හේතුව ස්ප්ඤ්ඤ බසින් ‘L’ අකුර කියවනුයේ ‘Y’ ලෙස බැවිනි. නෙවිල් ප්‍රනන්දු ප්‍රථමයෙන් සංගීත කණ්ඩායම අරඹා ඇත්තෙ මෙරිල් ප්‍රනාන්දු සහ බර්නඩින් ප්‍රනාන්දු හා එක්ව “ෆර්නෑන්ඩු ට්රයෝ” (Fernado Trio) නමිනි.

කණ්ඩායම් සාමාජිකයන් පස් දෙනගේ එකතුව රසවත් ගීත නිර්මාණයට මග පෑදීය.සියල්ලෝම නෙවිල් ප්‍රනාන්දු සමඟ අත්වැල් ගායනා කළහ. හැරල්ඩ් පෙරේරා දක්ෂ සමාඝාත භාණ්ඩ වාදකයෙකු වූ අතර ලියෝපෝල්ඩ් පෙරේරා බේස් ගිටාරයද වර්නන් පෙරේරා සහ ක්ලෙමන්ට් රෝලන්ඩ් රිදම් ගිටාරද වැයූහ.
මෙම සංගීත කණ්ඩායමේ කැපී පෙනෙන නිර්මාණයක් වන නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රථම ගීත පටිගත කිරීමද වන “ගයන ගැයුම්” ගීතය පබැඳෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “දෙව්ලොවක් අතර” චිත්‍රපටය සඳහාය. එම ගීතය රසික හදවත් වල රිද්මය හා දැවටී ඇත්තෙකි. ප්‍රීතිමත් සත්සර මුසුවක් සහිත මෙම ගීතය නව හිරු උදාවත් සමඟ යමෙකුගේ දොම්නසත් සන්තාපයත් වියැකී යන අපූරුව පවසයි. කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා දිවෙන සමුද්‍ර දේවී දුම්රියට ළඳකගේ ජීවය දෙන “සමුදුර දේවී” ගීතයද අනගි නිමැවුමකි. එක් පසෙකින් මනස්කාන්ත ඉන්දියන් සාගරයත් අනෙක් පසින් දිස්වෙන හරිත වර්ණ දූපතත් දෙබෑ කර ලැසි ගමන් යන සමුද්‍ර දේවිය එහි ගීත තේමාව වෙයි.



සුප්‍රකට “මාස්ටර් සර්” ගීතය නෙවිල් ප්‍රනාන්දු ගයන්නේ “කළු දිය දහර” චිත්‍රපටය සඳහාය. යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වයත් පංති භේදයත් ගැන කියැවෙන මෙම ගීතයේ ගායනය වචන අතික්‍රමණය කෙරෙයි. ඔහු රුක්මණී දේවී සමඟ ගැයූ “මල් බර හිමිදිරියේ” සහ “සඳක් නැගී සඳක් ගිලෙයි” යන ගීත රස ජනන උල්පත් බඳුය.
නෙවිල් ප්‍රනාන්දු සහ “ලොස් කැබලරෝස්” සංගීත කණ්ඩායාම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සිදු කළ බලපෑම සුවිසල්ය. ඔවුන් බිහිකළ මෙම නැවුම් සංකල්පය පසු කාලීනව “ලා සිලෝනියන්ස්”, “ලොස් ෆ්ලෙමින්කෝස්”, “ලා බම්බාස්”, “මූන්ස්ටෝන්ස්” සහ “ධර්මරත්න සහෝදර්යෝ” වැනි සංගීත කණ්ඩායම් වලද ආදර්ශය විය.



දෙවියන් විසින් දෙන ලද තීන්දුවට පිටු නොපෑ හැකි හෙයින් වයස 38ක් තරම් තරුණ වයසකදී ලියුකේමියා රෝගය වැළඳීම නිසා මේ අමරණීය සංගීතවේදියා අප අතරින් සදහටම සමුගන්නේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට නොපිරවිය හැකි හිඩැසක් ඉතුරු කරමිනි.
රූපවාහිනී මාධ්‍යය සහ නේකවිධ මාධ්‍යයන්ගෙන් විපරීත නොවූ සමයෙක ” ලොස් කැබලරෝස්” වැනි සංගීත කණ්ඩායම් සජීවී සංගීත සංදර්ශන හා රේඩියෝ වැඩසටහන් ඔස්සේ නවමු මාදිලියක සංගීත ආරක් රසික සිත්හි තැවරූහ. ඒ වනාහී හරවත් නොමියෙන සංගීතයකි.
පරිවර්තනය : යශිනි සේනානායක