
ලංකිකා පෙරේරා ඉපදී හැදී වැඩුනේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව වෙරළබඩ නගරයේය. ඩික්සන් පීරිස් මහත්ම මහත්මීන් ඇගේ දෙමවුපියෝ වූහ. ශාස්ත්රාලීය අ ධ්‍යාපනය සඳහා වේල්ස් කුමරි විද්‍යාලයට ඇතුළත් වන ඇය සංගීතය හැදෑරීමට අත් පොත් තබන්නේ මෙහිදීය. වයස අවුරුදු නවයේදී පාසලේ බටහිර සංගීත තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ඇය ඉන් සිය සංගීත දිවියට සාර්ථක මූලාරම්භයක් ලබා ගනී. කඩලාන මෙතෝදිස්ත දෙව් මැදුර ඇය දහම් පාසල් ගිය දේවස්ථානයයි. ඇය එහි ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක්ව සිටියාය. ඇගේ කුළුඳුල් ගීත පටිගත කිරීම සිදු වන්නේ එවකට රේඩියෝ සිලෝන් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සිංහල සේවයේ ක්‍රිස්තියානි වැඩසටහනකටය.
ලංකිකාගේ සොහොයුරු විජිත් “මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හෙයින් 70 දශකයේ මුල් අවදියේදී ක්ලැරන්ස් ලංකිකා විසූ නිවසෙහි නැවතී සිටියේය. එවකට ලංකිකා සමඟ විවාහ ගිවිසගෙන සිටි “මූන්ස්ටෝන්ස්” හි බේස් ගිටාර් වාදක චානක පෙරේරාද එම නිවසට නිතර ගොඩ වැදුණේය. බොහෝ සැන්දෑයාම වල ලංකිකා ඔවුන් සමඟ ගී ගැයුවාය.
“මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගේ විසිර යාමෙන් පසුව ක්ලැරන්ස්, චානක සහ විජිත් එකතුව නව සංගීත කණ්ඩායමක් ඇරඹීය.
සංගීත ගමනේ ආරම්භය
ඔවුහු “ගෝල්ඩන් චයිම්ස්” නම් වූ මෙම කණ්ඩායමට කාන්තා හඬක් සොයමින් සිටියහ. ලංකිකාගේ ප්‍රශස්ථ ගායනයන් දැක තිබූ ක්ලැරන්ස් ඇයට එම සංගීත කණ්ඩායමට එකතුවන ලෙස ඇරයුම් කළේය.ඉතා සතුටින් ඇය එම ආරාධනාව පිළිගත්තේ දෙමාපියන්ගෙන් අවසර ලැබීමෙන් පසුවය.



“ගෝල්ඩන් චයිම්ස්” සමඟ ඇගේ පළමු පටිගත කිරීම සිදු වන්නේ සූරිය ලේබලය යටතේ CHB 022 දරන කැටලොග් අංකය සහිත “ද ඩයිනමික් නිව් සවුන්ඩ් ඔෆ් ගෝල්ඩන් චයිම්ස් –දෙවන වෙළුම” (The Dynamic New Sound of the Golden Chimes- Volume 2) නම් වූ ඊපී ඇල්බමය (EP Album) සඳහාය.
සංගීත ගමන
1970 දී චානක සිය පෙම්වතිය වූ ලංකිකාට විවාහ යෝජනා කළ අතර ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුනේ 1971 දෙසැම්බර් 1 වැනිදාය. ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් “රන් සීනු හැඬවී” ගීතය ලියා සංගීතවත් කරන්නේ චානක – ලංකිකා විවාහය නිමිතිකොට ගෙනය.

1972 දී ක්ලැරන්ස් විසින් “සිහින පැතුම් විමානේ” ගීතය නිර්මාණය කෙරෙන්නේ ඔවුන් දෙපළගේ කුළුඳුල් පුතණුවන් වෙනුවෙනි.

1973 වර්ෂයේ මැයි මාසයේදී ක්ලැරන්ස් විජේවර්ධන සහ ඩික්සන් ගුණරත්න “ගෝල්ඩන් චයිම්ස්” හැර යන මුත් ලංකිකා චානක එකමුතුවෙන් සංගීත කණ්ඩායම ප්‍රතිසංවිධානය කොට දිගටම පවත්වාගෙන යන්නේය. “මොලකැටි පුතුනි”, “මලයි වැලයි”, “සඳයි තරුයි”, “බෙත්ලෙහෙම් පුරේ”, “පුතු නිදියයි”, “සිහින සාගරේ” සහ “හිරු නැගිලා” යන ගීත ලංකිකා “ගෝල්ඩන් චයිම්ස්” වෙනුවෙන් ගායනා කළ ගීත අතරින් සමහරකි.
70 දශකයේ අග භාගයේදී චානක පෙරේරා විදෙස් ගත වන්නේය. එහෙත් ලංකිකා සංගීත කණ්ඩායම සමඟ එකතුව නව නිර්මාණයෙහි යෙදෙන අතර ඔවුන් අලුත් ගීත හතරක් එළි දක්වයි. “ගුවන් යානය” ඉන් එක් ගීතයකි. මෙය කරුණාරත්න අබේසේකරගේ පද රචනයක් වන අතර තනු නිර්මාණය ප්‍රියා පීරිස් අතින් සිදු විය. එමෙන්ම ඇය “ජේසුගෙ ගීත” සහ “ජේසුස්මෙන් මිතුරෙක්” නමින් කිතුනු ගීත අඩංගු සීඩී තැටි දෙකක්ද නිකුත් කළාය.



ඇය “ගෝල්ඩන් චයිම්ස්” හි නිත්‍ය ගායිකාව වුවද 1972 සිට ලංකා බැංකුවේ නිළධාරිනියක ලෙසද රැකියාව කළාය. 2011 වර්ෂයේදී ඇය ඉන් විශ්‍රාම ගන්නේ ලංකා බැංකු මූලස්ථානයේ සංවිධාන හා ක්‍රමසම්පාදන අංශයේ කළමණාකාර ධූරයක් දරමින් සිටය.
ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ මවක වූ ලංකිකා දැන් සෙනෙහෙබර මිත්තණියකි. වර්ථමානයේ ඇය සංගීත කටයුතු සඳහා සහ සිය කුටුම්භය වෙනුවෙන් කාලය කැප කරන්නීය.




චානක පෙරේරාගේ කලා දිවියට වසර පනහ සපිරීමත් “ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායමට වසර 45 සපිරීමත් යෙදී තිබුණේ 2015 වසරේදීය. එම හේතූන් නිමිති කොටගෙන 2015 අගෝස්තු 23 වන දින රමාඩියා රන්මල් නිවාඩු නිකේතනයේ “සෙලිබ්‍රේශන් සින්ග් අලෝන්ග්” (Celebration Sing Along: සැමරුම් එකමුතු ගී ගැයුම) නමින් ප්‍රසංගයක් පැවැත් වුණි. විජය කොරයාගේ කථනයෙන්ද අනිල් භාරතී සහ රුක්ෂාන් පෙරේරාගේ සහභාගීත්වයෙන්ද පැවති මේ ප්‍රසංගය මිහිරි මතක සැමරුම් සපිරි අති උත්කර්ෂවත් සැමරුමක් විය.
