
ශ්‍රී ලංකීක ජනමාධ්‍ය ක්ෂේත්‍රයට හා සාහිත්‍යයයට අනුපමේය මෙහෙයක් ඉටු කළ කරුණාරත්න අබේසේකර මහතා 1930 ජුනි 03 දා මාතර දිස්ත්‍රික්කයේ රත්මලේ ප්‍රදේශයේ දී උපත ලැබුවේය. ඔහු ගේ පියා පොඩිඅප්පුහාමි අබේසේකර වූ අතර මව ප්‍රේමවතී මල්ලිකාරච්චි නම් වූවාය. අනතුරුව ඔහු සිය අධ්‍යාපනය සඳහා කොළඔ නාලන්දා විද්‍යාලයට ඇතුලු වූවේය. කොළඔ නාලන්දා විද්‍යාලයේ දී ඔහු ගේ සිංහල ගුරුවරයා වූවේ මාධ්‍යවේදී සිරි පෙරේරා මහතාය. තවද නාලන්දා විද්‍යාලයේ ඔහු ගේ සමකාලීනයින් අතර ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ආචාර්ය හෙන්රි ජයසේන, ආචාර්ය හඩ්සන් සිල්වා වැනි ප්‍රවීණයන් රාශියකි.
1940 දී කුඩා කරුණාරත්න අබේසේකර හා හා පුරා කියා සිය ප්‍රථම ඉදිරිපත් කිරීම Radio Ceylon මඟින් විකාශය කළ ‘සිරි අයියාගේ ළමා පිටිය’ සඳහා සිදු කළේය. මෙහි දී ‘සිරි අයියා’ ලෙස හැඳින් වූවේ යූ.ඒ සිරි පෙරේරා මහතාම බව සඳහන් වේ. තවද මෙම Radio Ceylon ආයතනය දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් ව්දුලි විකාශන ආයතනය වීම ද විශේෂත්වයකි. මෙලෙස කුඩා කරුණාරත්න අබේසේකර කවි ගායනයක් සිය ප්‍රථම ඉදිරිපත් කිරීම ලෙස සිදු කරන විට ඔහු ගේ වයස යාන්තම් අවුරුදු 10ක් වූවා පමණි.
කරුණාරත්න අබේසේකර මහතාට වයස අවුරුදු 20ක් වන විට එනම්, 1950 දී ඔහු Radio Ceylon සමඟ එක්වූවේය. 1958 දී එතුමා මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත් වූවේ BBC ය මඟින් විශේෂඥ සන්නිවේදන පුහුණුවක් ලබාගැනීමටයි. යළිත් ශ්‍රී ලංකාවට පැමිණි එතුමා විවාහ වන්නේය. ඇය අප හඳුනාගන්නේ එරනි අබේසේකර මහත්මිය ලෙසයි. එම යුවලගේ එකම පුතු වූවේ දිලීප අබේසේකරයි. කරුණාරත්න අබේසේකර මහතා පසු කලෙක රචනා කළ ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කළ ‘දිලීප පොඩි පුතු ගීතය’ ගැයුනේ ඔහු වෙනුවෙන් බවට සැකයක් නැත.

ගුවන් විදුලි නිවේදකයෙක් ලෙස එතුමා වර්නන් කොරෙයා මහතා සමඟ ඉදිරිපත් කළ වැඩසටහන් ප්‍රේක්ෂක ජනතාව වැළඳගත්තේ ඉතා ආදරයෙනි. ළමා කතා රචකයකු ලෙස කටයුතු කළ අතරම එතුමාට ළමා මනසට ගැළපෙන ආකාරයට වැඩසටහන් නිර්මාණය කිරීමට හා එවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට තිබුණේ මනා හැකියාවකි. තවද කුඩා දරුවන් ගේ හැකියාවන් ඔප් නැංවීමට ද එතුමා ගේ මෙවැනි වැඩසටහන් උපකාරී විය. පසුකාලීනව කලා ලොවේ දැවැන්තයන් වූ නන්දා මාලිනියන් වැනි කලාකරුවන්ට එම ළමා වැඩසටහන් තිඹිරි ගෙයක් විය. ශ්‍රී ලාංකීක දරුවන් තුළ සාහිත්‍ය රසාස්වාදය නොදියුණු මට්ටමකට පත්වීමට මූලික හේතුව රූපවාහිනියේ ආගමනය බවත් එයින් කරුණාරත්න අබේසේකර මහතා වැනි ප්‍රවීණයන් ගේ ගුවන් විදුලි වැඩසටහන් වලින් දරුවන් ඈත් වීම එයට බලපෑ බවත් ප්‍රවීණ ගීත රචක මහින්ද අල්ගම මහතා ප්‍රකාශ කිරීම කරුණාරත්න අබේසේකර මහතාගේ ළමා වැඩසටහන් වල සාර්ථකත්වය මනාව පැහැදිලි කරයි.

තවද මුල්ම ක්‍රිකට් විස්තර විචාරය සඳහා ද එතුමා සිය දායකත්වය දැක්වූවේය. මෙමඟින් ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල් අතර ශ්‍රී ලංකාවේ දී පැවති තරඟ ආවරණය කෙරිණි. එසේම ශ්‍රී ලංකාවේ දී පැවති දේශීය තරඟ ද ආවරණය කෙරිණි. මෙවැනි ක්‍රිකට් විස්තර විචාර එවකට ශ්‍රී ලාංකීකයන්ට නවමු අත්දැකීමක් වූ අතර ක්‍රිකට් විස්තර විචාර සඳහා භාවිතා කරන පාරිභාෂික වදන් නිර්මාණය කිරීමට ද එතුමා දායක වූවේය.

තවද ප්‍රවීණ ගායක ගායිකාවන් ගැයූ ජනප්‍රිය ගීත රැසක පද මාලා නිර්මාණය කරමින් ගීත රචකයකු ලෙසද එතුමා කළ සේවය විශිෂ්ඨය. මේ ගීත අතර ජෝතිපාලයන් ගැයූ ‘ අද අමුතුම රැයකි ’, ‘අමර පෙම් ලතාවේ ’, ‘දිය පොදක් ’, ‘හද විමන් ’, ‘ඉර හඳ වැඳලා ’ වැනි ගීතද මිල්ටන් පෙරේරා මහතා ගැයූ ‘ඇස රැඳුන රැඳුනු ’, ‘ දෙතුන් වතාවක් ’, ‘කළ්‍යාණියෙ ’ වැනි ගීතද මිල්ටන් මල්ලවාරච්චි මහතා ගැයූ ‘ගමනේ ගිම් නිවූ ’, ‘මධු මල ලෙස මුදු ’, ‘නිල්ල නඟන ’ වැනි ගීත ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගත්තේය. ඊට අමතරව ක්ලැරන්ස් විජේවර්ධන, සුජාතා අත්තනායක, ධනපාල උඩවත්ත, ඇන්ජලීන් ගුණතිලක, සනත් නන්දසිරි, එම්.එස් ප්‍රනාන්දු, නීලා වික්‍රමසිංහ, සිසිර සේනාරත්න, ලතා වල්පොල වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් ගැයූ එතුමා රචනා කළ ගීත ද ජනප්‍රිය විය. වරක් ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා විසින් කරුණාරත්න අබේසේකර මහතා සිය ප්‍රියතම ගීත රචකයෙක් ලෙස හැඳින්වීම ගීත රචකයෙක් ලෙස එතුමා ගේ සාර්ථකත්වය මනාව පැහැදිලි කරයි.

තම ජීවිත කාලය තුළ එතුමා සිදු කළ සේවය දෙවරක් සරසවි සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් විය. තවද 1983 දී එතුමා මිය ගිය පසු එතුමාගේ නමින් අගනුවර මාවතක් නම් කිරීමට පවා රජය ක්‍රියා කළේ කරුණාරත්න අබේසේකර මහතා සිදු කළ සේවයට උපහාර ලෙසයි. එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 5 වන ශබ්දාගාරය එතුමාට උපහාර ලෙස ‘ කරුණාරත්න අබේසේකර ශබ්දාගාරය ’ ලෙස නම් කෙරිණි.
ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දවීමට අනුපමේය සේවයක් කළ මෙතුමා 1983 අප්‍රේල් 15 දින සදහටම මෙලොවින් සමුගත්තේය.
