Sooriya Records Sooriya Records
Menu

අයිවෝ ඩෙනිස්

Ivor Dennis
Ivor Dennis (archives.sundayobserver.lk)

උපත : 1932 මැයි මස 28 වන දින
විපත : 2018 ජුනි මස 18 වන දින
ප්‍රභේදය : සම්භාව්‍යය

දොන් ෆ්‍රැන්සිස් ඇලෝසියස් මහතාට සහ විතාරණගේ මරියා රොද්‍රිගෝ මහත්මියට දාව නමසිය තිස්දෙක වසරේ මැයි මස 28 වන සෙනසුරාදා දින පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ සීදුවේදී ජන්මය ලබන්නේ රටක් සනහාලන කටහඬකට හිමිකම් කියමිනි.වැඩිමහලු සහෝදරයන් දෙදෙනෙක් සහ බාල සොහොයුරියකට සහෝදරයා වූ ඔහු අකුරු සාස්තරයට දක්ෂයෙක් වුහ. පිළිවෙලින්  සීදුව “රෝමානු කතෝලික පාසල”, මීගමුව “මාරිස්ටෙලා විද්‍යාලය” සහ උසස්පෙළ සඳහා “ලොයලා විද්‍යාලය” මගින් අකුරු කරවීය.

1952 වසරේ දවසක සුපුරුදු පරිදි සුනිල් ශාන්තයන් විවේකිව බම්බලපිටියේ “සිරිසඳ” හෝටලයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් ප්‍රචාරය වූ ගීතයන්ට සවන් යොමු කරන්නට විය, මහා පුදුමයකි ඔහුගේ “වරෙන් හීන් සැරේ” ගීතයේ මධ්‍යයේ සියුම් වෙනසකි, එය විය නොහැකි. තම කටහඬේ ස්ථාවරත්වය සහ තම කනෙහි සංවේදනයට අභියෝගයක් වූ එම තත්පර කිහිපය ගෙවී ගියේ ඉතාමත් සෙමිනි. ගීතය අවසානයේ නිවේදකගේ හඬින් කියැවුනේ “අයිවෝ ඩෙනිස්” නමැති ආධුනිකයා, ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ආධුනික පැය” සඳහා මෙම ගීතය ගායනා කල බවයි.

සුනිල් ශාන්තයන් එම කටහඬ ගැන කෙතරම් උනන්දු වුවේද යත් මරදානේ නිව්ටන් ගොඩනැගිල්ලේ(ස්ටුඩියෝ) පවත්වාගෙන ගිය “ෆෝවඩ් ඇකඩමි” නම් වූ  සංගීත පන්තියේදී අයිවෝ ඩෙනිස් නමැති ආධුනික ගායකයා මුණගැසෙන්න කැමති යැයි සුනිල් ශාන්තයන් කියා තිබෙනවා, එහිදී “පැට්‍රික් දෙනිපිටිය” ශිෂ්‍යයා තමන් අයිවෝ ඩෙනිස් අඳුනන බව සහ ඔහුව සුනිල් ශාන්තයන් මුණගැස්සවීමට  රැගෙන පැමිණෙන බවත් කියා තිබෙනවා. එකල පැට්‍රික් දෙනිපිටිය ජා ඇල පදිංචිව සිටි අතර අයිවෝ ඩෙනිස් පදිංචිව සිටියේ සීදුවේ ය.

පැට්‍රික් දෙනිපිටිය ඔහුව බම්බලපිටියේ “සිරිසඳ” හෝටලය වෙත ගෙන යන්නේ සුනිල් ශාන්තයන් මුණගැස්විමටය. එහිදී අයිවෝගේ ගායනය පිළිබඳ ප්‍රසංශා කල එතුමන් ඔහුගෙන් සංගීතය හැදෑරීමට කැමතිදැයි විමසීය. එකල ඔහුගේ දෙමවුපියන් අයිවෝ සංගීතය හැදෑරීමට යොමු කිරීමට කැමැත්තක් නොදැක්වුවත් සුනිල් ශාන්තයන්ගේ කීම අහක දැමීමට නොහැකි හෙයින් මරදානේ සංගීත පන්තියට එවීමට කැමැත්ත පල කරවීය. තම  සංගීත ජිවිතයේ හැරවූම් ලක්ෂය මෙය බව ඔහු සඳහන් කලේ ඉමහත් නිහතමානීත්වයෙනි. ඔහු පසු කලෙක බී. වික්ටර් පෙරේරා සංගීතවේදියාගෙන්ද සංගීතය හැදෑරිය. මේ වන විටත් සුනිල් ශාන්තයන්ගේ අක් මුල් ඔහු තුලට කිදා බසින්නට පටන්ගෙන තිබුණි.

ඔහුගේ කියැවීම අනුව, ඔහුගේ කටහඬ පෞරුෂත්වය සඳහා බලපෑ ඇත්තේ කතෝලික පල්ලියේ ගායනා කණ්ඩායමේ කටයුතු කිරීමයි. ඔහුගේ ආදරණිය පියාණන් එකල පල්ලියේ ගායනා කණ්ඩායම මෙහයවා ඇති අතර, පල්ලිය සමග කුඩා කල තිබු බැඳීම මනුෂ්‍යත්වයෙන් පිරි යහපත් මිනිසෙකු බිහිවීමේ අඩිතාලම බව ඔහු පැවසීය.

සිංහල චිත්‍රපට වංශ කථාවේ මෙන්ම අනන්‍ය සිංහල චිත්‍රපට සංගීතයේ  සුවිශේෂී සන්ධිස්ථානයන් වූ “ආචාර්‍යය ලෙස්ටර් ජේම්ස් පීරිස්” මහතාගේ “රේඛාව” සහ “සංදේශය” යන චිත්‍රපටයන්හි ගී තනු නිර්මාණය කලේ ගුරුදේව සුනිල් ශාන්තයන් වන අතර ගී තනු පටිගත කිරීම සඳහා ඉන්දියාවට යාම ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාවේ “වාහිනී ශබ්දාගාරයට” ගොස් තනු පටිගත කොට නැවත රැගෙන ඒමේ රාජකාරිය අවස්ථා දෙකේදීම පැවරෙන්නේ අයිවෝ හටය.

තම ප්‍රථම සිනමා පසුබිම් ගායනය ලෙස “රේඛාව” චිත්‍රපටයේ ආරම්භක ගීතය වන “අනුරාපුර පොළොන්නනරුව” විරිදු ගීතය ගායනා කල අතර “ගරු මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ” පද රචනාවට “සුනිල් ශාන්තයන්ගේ” ගී පද වැලින් වර්ණවත් වූ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කලේ බී.එස්. පෙරේරා සංගීතවේදියා ය. චිත්‍රපටයේ අනෙකුත් ගීතයන් සෙසු ශිල්පිට ඉන්දියාවේදී පුහුණු කිරීමද ඔහු විසින් සිදු කල තිබු අතර, සංදේශය චිත්‍රපටයේ වාදය වෘන්දය මෙහෙයවීමේ භාග්‍ය අයිවෝට හිමි විය. 1958 වසරේදී A ශ්‍රේණියේ ගායකයකු ලෙසින් ඔහුව තේරී පත්විය.

1959 වසරේදී තම ප්‍රථම ගුරු පත්වීම ලැබ රත්නපුරයේ “ගැටන්ගම විද්‍යාලයට” සංගීත ගුරුවරයා ලෙස අනුයුක්ත වෙන අතර වසර තුනක කාලයක සේවයෙන් අනතුරුව, මීගමුව “තිරිඹිගස්කටුව මහා විද්‍යාලයට” පැමිණ වසර දෙකක කාලයක් සේවය කරන ඔහු ඉන් අනතුරුව මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට අනුයුක්ත විය.1968 වර්ෂයේ නවසීලන්තයේ පැවති ඒෂියන් බ්‍රෝඩ්කාස්ටින් යුනියන්(Asian Broadcasting Union) ජාත්‍යන්තර තරඟාවලියේදී “චන්ද්‍ර කීර්ති කුලරත්නයන්” විසින් රචිත “ඒ තමයි ආදරේ” ගීතය සඳහා ඔහු ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ ය. මේ සඳහා ඔහු පිටත්ව යන්නේ ඇන්ජලීන් ගුණතිලක සමගින් ය.

ප්‍රථමයෙන් සුනිල් ශාන්තයන් හා ගුවන් විදුලි සංගීත වැඩසටහනකට එක් වන්නේ 1972 වර්ෂයේ “රන්වලාව” සඳහා වන අතර “මධුර මධු”, “පංච මධුර” ආදී සංගීත වැඩසටහන් වලටද ඔහුගේ දායකත්වය ලබා දුනි.1975 වසරේදී තම ප්‍රථම ගීතය ලෙසින් “තිලක සුදර්මන්ද සිල්වා” ගී පද රචනා කල සුනිල් ශාන්තයන් සංගීතය මුසු වූ “කුරුළු පාරාදීසයේ කුරුළු සිහින සාගරේ” ගීතය “රන්වලාව” සංගීත වැඩසටහන හරහා ගුවනට මුසුකල අතර එසැනින් ඔහුව රටක් හඳුනන, ප්‍රියකරන නමක් විය.

1974 වසරේදී සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ(රජයේ සංගීත විද්‍යාලයේ) ජන සංගීතය පිළිබඳ උපදේශකවරයෙක් ලෙස පත්වන ඔහු එවක රජයේ ප්‍රධාන සංගීත පරීක්‍ෂක ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා සමගින් ජන සංගීතයේ අක්මුල් සොයා ගියහ. මකුලොලුව මහතාගේ “හෙළ මිහිර”, “පහනින් පහන” ආදී ජන ගී වැඩසටහන් වලට සහභාගී වූ ඔහු ‘හෙළ මිහිරේ ප්‍රධාන ගායකයා වන්නේ “ලයනල් රන්වල”, “රෝහණ බැද්දගේ” ආදී සමකාලීනයන් අතුරෙනුයි. 1985 දක්වා එහි කටයුතු කරන ඔහු 1989 වර්ෂය දක්වාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කළේය.හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජන සංගීත උපදේශකවරයා ලෙසත් කටයුතු කල ඔහු, නැවතත් ගුරුවරයෙකුගේ භූමිකාවට පණ පෙවූයේ වත්තල “ශාන්ත ආනා මහා විද්‍යාලයේනි. වසර හතරක සේවයෙන් අනතුරුව 1993 වර්ෂයේදී රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. දේශීය සංගීතයට උපන් හපන්කම් දැක්වූ ඔහු තම ශිෂ්‍යයන්ට එය කා වැද්දවුවා .ඔහුගෙන් ගුරුහරුකම් ලද ශිෂ්‍යයන් අතර එඩ්වර්ඩ් ජයකොඩි, මාලිනී බුලත්සිංහල, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර ආදී ලාංකීය ගී අඹරෙහි දිදුලන තාරකාවන් රැසකි.

මකුලොලුව මහතා නිෂ්පාදිත ගීත නාට්‍ය වලට සම්බන්ද වූ ඔහු තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ අවස්ථාවනුයේ “දෙපානෝ” ප්‍රධාන භූමිකාව, “සක් හඬ”, “පහනින් පහන” ආදීන්ය. සතිස්චන්ද්‍රයන්ගේ ‘තහංචි’ ගීත නාට්‍යයේ ද ප්‍රධාන චරිතයට පණ පෙවීමට ඔහුට හැකි වූ ඔහු “රසාංජලී කිතුණු” කලා සංවිධානයේ “එසේ ය අපි ඔහු මැරුවෙමු” නාට්‍යයටද දායක විය.

1984 දී “අභිමාන ගී” නමින් කැසට් පටයක් නිකුත් කල අතර එය ඔහුගේ නමට ඉදිරියෙන් ඇති එකම ගී නිකුතුවයි. ‘මියැසිය’ ඔහුගේ සරල ගී වැඩසටහන් වලින් රසික සිත් වඩාත් සොරාගත් වැඩසටහන බවට පත් විය.

“රේඛාව”, “සංදේශය” චිත්‍රපටයන්ට මෙන්ම “බඹරු ඇවිත්” චිත්‍රපටයට “උදුම්බරා හිනැහෙනවා” ගීතය, “හිම කතර” චිත්‍රපටයට “කන්ද එහා වැස්ස  වසින්නා” ගීතය, “අවරගිර” චිත්‍රපටයට “බමරුද බමරුද” ගීතය, “ආදර හසුන” චිත්‍රපටයට සුනිල් එදිරිසිංහයන් සමගින් “රන් දෙවොලින් බස එන දෙවියෝ” ගීතයත්, “පාරදිගේ”, “දෙවැනි ගමන” ආදී චිත්‍රපටයන්ට ද පසුබිම් ගායනයෙන් තම දායකත්වය සැපයු ඔහුට “හිම කතර” චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල “කන්ද එහා වැස්ස වසින්නා” ගීතයට 1985 වර්ෂයේ හොඳම චිත්‍රපට ගීතය සඳහා වන ජනාධිපති සම්මානය හිමි විය. ඔගස්ටස් විනයාගරත්නම් රචිත මෙම ගීතයේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

ගුවන්විදුලියේ “ප්‍රබුද්ධ ගී” වැඩසටහන සඳහා කටහඬ සොයා ගිය කේමදාසයන් ටී.එම්. ජයරත්නයන්ට පවසන්නේ තමන්ට ගැඹුරු බර කටහඬක් තිබෙන්නෙක් අවැසි බවයි. එවිට අයිවොගේ නම ටී.එම්. සඳහන් කල විගස කේමදාසයන් ඔහු විශිෂ්ටයෙක් බව පවසා ඔහුව මුණගැසීමට ගොස් ඇත. ඔහුගේ තිබු ගැඹුරු කටහඬ සහ විවිධ පරාසයන්ගෙන් ගායනය කිරීමේ හැකියාව සුනිල් ශාන්තයන්ගෙන් පසුව මනාව හඳුනාගත් කේමදාසයන් තම පරික්ෂණාත්මක සංගීතය සඳහා අයිවෝ යොදාගැනීම අති සාර්ථක විය. “අඳුරු කුටිය තුල”, “උදුම්බරා හිනැහෙනවා” ගීතයනුත් ටී.එම්. ජයරත්නයන් සමගින් ගායනා කල ඔහු ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව ලෙසින් සැලකෙන “පිරිනිවන් මංගල්‍ය බෞද්ධ කැන්ටාටාවටද” සම්බන්ද විය. “කේමදාස පදනම” තුල ජන සංගීතය පිළිබඳව සහ කටහඬ පෞරුෂය පිළිබඳ ඉගැන්වීම් ඔහු සිදු කර තිබුණා.

සුනිල් ශාන්තයන්ගේ “හෙළ හවුලත්” සමග තිබු මිත්‍රත්වය අයිවෝගේ ගීතයන්ට බලපෑමක් එල්ල කලේ ඒ හරහා “අරිසෙන් අහුබුදු” ශුරින්, “ජයන්ත වීරසේකරයන්ගේ” ඇසුර පදනම් වූ බැවිනි. ඒ තුලින් දේශාභිමාන ගීත ගායනයට ඔහුට වැඩි ඉඩකඩක් සැලසීය.

ගරු මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ කිතුණු සාහිත්‍ය පෝෂණයට උරදීම හරහා මෝසෙස් පියතුමන්ගේ අතිරමණීය වචනයන් සහ සුනිල් ශාන්තයන්ගේ සුරම්‍ය ගී තනු එක්ව “ඔබට පසස ගී” නමින් 1964 වර්ෂයේදී ස්තෝත්‍ර සංග්‍රහයක් නිකුත් කල අතර, තම ගුරු දේවයන්ගේ කාර්‍යභාරය ඉදිරියට ගෙනයමින් මෝසෙස් පියතුමන් හා එක්ව “ඔබට පසස ගී” 2 සහ 4, 1968 සහ 1973 වර්ෂයන්හි නිකුත් කරන ලදී. 74 වර්ෂයේදී “පුබුදුව” සමගින් එකතුවන ඔහු ඔවුන්ගේ කැසට් පට දෙකකට ගී තනු නිර්මාණය කල දුන් අතර, ඔහුගෙන් කිතුණු ගී සාහිත්‍යයට සිදුවූ සේවාව සලකා OCIC සම්මානයෙන් පිදුම් ලැබීය. “රසාංජලී කලා කවයේ” පුරෝගාමියෙක් වූ ඔහුගේ කවය වටා ලාංකීය සුවිශේෂී චරිතයන් සුවිශාල ප්‍රමාණයක් විය. ටෝනි රණසිංහයන්, ලෙස්ලි බොතේජු, ජැක්සන් ඇන්තනි ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.

මත්පැනින්, මස් මාංශ ආහාරයෙන් පවා වැළකුණු ඔහු පන්සිල් ආරක්ෂා කල ලාංකීය කිතුණුවෙක් විය. නිතරම තම ගුරුවරයා ලෙස සුනිල් ශාන්තයන් පිදු ඔහු තම ගුරුවරයාගේ අඩි පාරේ යමින් සිංහල ගීත කලාව තුල “අයිවෝ ඩෙනිස්” මුද්‍රාව සුනිල් ශාන්තයන්ගේ හුරුවට තැබීය.

සටහන – සුරිය අපි

error: Content is protected !!