එය 1987 වර්ෂයේ ඇසළ මාසයේ දිනයකි. නමුත් එදින මුලු දිවයින තලයම මළානික පැහැයකින් වෙලාගෙන තිබුණි. රසික ජනතාවගේ සිත් දැඩි වේදනාවකින් පෙළෙමින් පැවතුණි.ආදරණීය ජෝති සිය අවසන් හුස්ම වා තලයට මුසු කොට තිබුණි. එකම පුද්ගලයෙකුගේ අත් අකුරින් නොවන පෝස්ටර සෑම බිතියකම පාහේ දැක්ක හැකි විය. “අපට ඔබ කිසිදා අමතක නොවේ; ඔබ අප අතර සදා අමරණීයයි” ඒ සෑම පොස්ටරයකම එකම අදහසක් ගැබ්වී තිබුණි. සැතපුම් ගණනින් පේළි ගැසෙමින් ලක්ෂ සඛ්‍යාත ජනකායක් ඔහුට අවසන් උපහාර දැක්වීමට පැමිණියහ.එදා මෙදා තුර ශ්‍රාවකයන් වැඩිම පිරිසක් ප්‍රිය කළ හඬ ජෝතිපාලයන්ගේ බව පැවසීම අතිශයෝක්තියක් නොවන්නේය.

දියණියන් සතර දෙනෙකු සහ පුතණු කෙනෙකුගෙන් සමන්විත මධ්‍යම පාන්තික පවුලක පළමු දරුවා ලෙස හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල ජන්මලාභය ලබයි. එච්.ආර්.ජෝතිපාල හෙවත් ‘ජෝති‘ ලෙස ඔහුව ජනසම්මත වෙයි. ඔහුගේ පියා එච්.ආර් ජේම්ස් අඳුම් මසන්නෙකු වූ අතර මව ඇහැලියගොඩ එච්.කේ. පොඩිනෝනා පෙරේරා හෙදියකි. උපන් ගම දකුණුලක වෙරළබඩ මාතර ප්‍රදේශයේ වුවද පසු කාලීනව ඔහු කොළඹ ප්‍රදේශයට සංක්‍රමණය වෙයි. පළමුව මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙනුත් පසුව දෙමටගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙනුත් ඔහු අධ්‍යාපනය හදාරයි. කුඩා ජෝතිපාලගේ නිවසෙහි ගුවන්විදුලි යන්ත්‍රයක් නොවිණි. එහෙත් සංගීතය ශ්‍රවණය කිරීමට ඔහුට වූ දැඩි කැමැත්ත නිසා ඒ සඳහා නිරතුරුවම මරදානේ තේ කඩ ආසන්නයේ ගැවසීමට ඔහුපුරුදුව සිටියේය. ඔහු හරුන් ලන්ත්‍රාගේ සහ මොහොමඩ් රාෆිගේ විශ්වාසවන්ත රසිකයෙක් වූයේය.
ජෝතිපාල ගායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වසන්තා සන්දනායක සහ ජී.එස්.බී. රාණි පෙරේරා සමඟ යුග ගීත ගායනා කිරීමෙනි. තරුණ නවක ගායකයෙකු ලෙස වුවද ඉතා විශිෂ්ට හඬ පෞරුෂයක් ඔහු සතු වූ නිසා බොහෝ ඉක්මණින් චිත්‍රපට පසුබිම් ගායන කලාවේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය.
සංගීත ගමනේ ආරම්භය
කෙසේවෙතත් ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට ආගමනය එතරම් ශුභදායී ලෙස ඇරඹුනේ නැත. ඔහු මුලින්ම චිත්‍රපට ගීතයක් ගායනා කරන්නේ නැසී ගිය සිරිසේන විමලවීරගේ “පොඩි පුතා” චිත්‍රපටය වෙනුවෙනි.එහෙත් එහි ඉන්දියානු චිත්‍රපට රචකයා ජෝතිපාලගේ හඬ ගැන සතුටු නොවීය. එහෙයින් එම ගීතය චිත්‍රපටය සඳහා භාවිතා නොවිණි. ඔහුගේ ප්‍රථම චිත්‍රපට ගීතය සිරිල් අබේරත්න ශූරීන්ගේ “සුරතලී” චිත්‍රපටයේ (1956) “සිරියාමෙ සාරා” ගීතයයි. එම චිත්‍රපටයේ නිෂ්පාදක ජබීර් ඒ. කාදර් මහතාට ඔහුව චිත්‍රපටයට යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. නමුත් ගීතයක් පටිගත කිරීම සඳහා ජෝතිපාල සතුව මුදල් නොතිබුණි. එහෙත් ප්‍රකට සංගීතඥ ස්ටැන්ලි ඕමාර් මහතා එම මුදල ඔහුට පරිත්‍යාග කළේය. එය ටී.ආර්. පාපා යටතේ ඉන්දියාවේ ‘වාහිනී’ ශබ්දාගාරයේදී පටිගත කෙරිණි.
අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “සන්දෙශය” ච්ත්‍රපටය සඳහා “පෘතුගීසිකාර” නමින් ගීයක් ගැයීමට ඔහුට අවස්ථාව හිමිවුණි.එම ගීතය කෘතහස්ථ ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනයක් වන අතර සංගීතවත් කරන ලද්දේ ප්‍රවීණ සංගීතඥ සුනිල් ශාන්තයන් විසිනි. එම ගීතය ගැයීමත් සමඟ ඔහු චිත්‍රපට පසුබිම් ගායනයේ හිණිපෙත්තටම පැමිණියේය. 60 දශකය අග භාගයේ සිට 80 දශකය පුරාවටම චිත්‍රපට සඳහා ජෝතිපාල නම අවිවාදයෙන් පිළිගැනුණි.. මේ කාලය වන විට ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ ගී නොගැයූ අතර ඔහු සැවොම හඳිනුවේ චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස පමණි. එකළ රිදී තිරයේ පතාක යෝධයන් බඳු වූ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක සහ තවත් බොහෝ රංගනවේදීන්ට ඔහු හඬ මුසු කළේය.
එකළ ඔහු ගැයූ චිත්‍රපට ගීත ජනප්‍රසාදය දිනූ හින්දි ගීත තනු වලට සිංහල පද යොදා නිර්මාණය කෙරුණු ඒවාය.මෙරට විචාර කලාවට අනුව ඔහු ජීවත්ව සිටි කාලයේ ඔහුගේ ගීත ප්‍රබුද්ධ ගණයේ ගීත ලෙස නොසැළකුණි.ඔවුන් විසින් ඔහුව “පදික වේදිකාවේ ගායකයා” ලෙස සහ “පීචං” ගායකයෙකු ලෙස හැඳින්විණි. එහෙත් රසික ජනයා ජෝතිපාලගේ වසඟයෙන් මුදා ගැනීමට නම් එම සැහැසි විවේචන පැහැදිලි ලෙසම අසමත් වූ සෙයකි. 60 දශකයේ සිට 80 දශකය දක්වාම ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයා වීමේ වාසනාව ජෝතිපාල හැරගියේ නැත. “කස්තුරි සුවඳ”, “තුෂාරා”, “ස්වීප් ටිකට්”, “හිත හොඳ මිනිහෙක්”, “කවුද රජා”, “වාසනා”, සහ “සංගීතා” යන චිත්‍රපට ඔහුගේ හඬින් පණ ලද්දෝය. ඔහු පණ්ඩිත් ඩබ්ලිවු.ඩී. අමරදේව, පී.වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවආරච්චි යන සුවිශේෂී සංගීතඥයන්ගේ අධ්‍යක්ෂණය යටතේද ගීත ගැයුවේය.
ජෝතිපාල ජනප්‍රිය සංගීත මාවතට පිවිසෙන්නේ සූරිය ලේබලය යටතේ ගීත ඇල්බයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. සූරිය රෙකෝඩ් ලේබලයේ නිර්මාතෲවරයා වන්නේ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාය. ඔහු ගුණාත්මක සංගීතය නිෂ්පාදනය කිරෙමෙහිලා සුවිශේෂී ප්‍රතිපාදකයෙකු වීමේ කීර්තිය ඉසිලූ අතර ඔහු විසින් නිෂ්පාදිත ගීත,සතිපතා ගුවන්ගත වූ සූරිය රේඩියෝ වැඩසටහන් සහ සූරිය සජීවී ප්‍රසංග ඉමහත් ජනාදරයට ලක් විය.
වරක් මෙම සූරිය සජීවී ප්‍රසංගයක් සඳහා ජෝතිපාල ඇරයුම් ලැබුවේය.එහිදී ඔහුට නිවේදක විජය කොරයා මුණගැසුණි. ඔහුගෙන් කළ ඉල්ලීමකට අනුව ජෝතිපාලයන් ජෙරල්ඩ් වික්‍රමසූරිය හට හඳුන්වා දෙනු ලැබුණි. සූරිය ලේබලය යටතේ 1973 වර්ෂයේදී ඔහුගේ ගීත ඇල්බමයක් නිකුත් වන්නේ ඒ ඔස්සේය. එය “ෆිල්ම් අයිඩල් එච්.ආර් ජෝතිපාල ගෝස් පොප්” (Film Idol H.R. Jothipala goes Pop) නම් වුණු අතර එම ඊපී ඇල්බමයේ “දුරකතනය”, “ආයුබෝවන්”, “මල් පිබිදෙන”, “ඉරට මුවා වෙලා” යන ගීත සතර ඇතුළත් විය.



චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ එච්.ආර්. ජෝතිපාල පසුව සිංහල ජනප්‍රිය සංගීතයේ උන්මාදනීය සුපිරි තරුව බවට පත් විය.
ජෝතිපාලයන් සිය රංගන කුසළතාවය මුල්වරට සිනමාවට එක් කළේ 1963 වසරේදී තිරගත වූ රොබින් ටෙම්පෝගේ “සුදු සඳේ කළු වලා” චිත්‍රපටයෙන් වුවත් 1958දී තිරගත වූ “දස්කම” චිත්‍රපටයේ ඔහු කුඩා කණ්ඩායම් දරශනයකට පෙනී සිට ඇත. “ඔබයි මමයි”, “ඇතුල්වීම තහනම්”, “සුලළිත සොබනී”, “සූකිරි කෙල්ල” සහ “බෝනික්කා” යන චිත්‍රපට වල ඔහු මතකයේ රැඳෙන චරිත නිරූපණය කළේය. රෝයි ද සිල්වාගේ සිනමා සිත්තමක් වූ “සුමිතුරෝ” ඔහු විසින් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රධාන චරිතයටද පණ පෙවුවේය.
ජෝතිපාලයන් මිනිසුන්ගේ සිත් දිනා ගත්තේ තම කටහඬින් පමණක්ම නොවේ. ඔහු මියුරු ගීතයත් හොඳ හිතත් සමාජයට මුසු කළේය.එනිසා ඔහුව “හදවත රත්තරන් ජෝතිපාල” ලෙස හඳින්විණි.එය ඔහුගේ නමෙහි මුලකුරු වන එච්.ආර්. යොදාගනිමින් සැකසුනකි.



ජෝතිපාලයන්ගේ ගායන දිවියේ උච්චතම අවස්ථාව “ජෝති ගී රාත්‍රිය” නම් ප්‍රසංග මාලාවෙහි ඇරඹුමයි. පළමු ප්‍රසංගය 1980 දී පැවැත්වූ අතර එතැන් පටන් ඔහු ජීවත්ව සිටි සමයේ වසර හතක් පුරාවට පැවැත්විණි.ඔහු ගායනයටත් ඔහුගේ රසිකයන්ටත් ආදරය කළේය. එක් දිනක් එක් ප්‍රසංගයක් සඳහා ගීත දෙකක් ගැයීමට සංවිධායක මණ්ඩලයකින් ආරාධනා ලැබුණි. මුදල් ලබන්නේ ගීත දෙකක් ගැයීම සඳහා පමණක් වුවත් සිය රසිකයන් පිනවීම සඳහා ඔහු තවත් ගීත ගායනා කළේය.






























ඔහු අවසාන වශයෙන් වේදිකාවට නගින්නේ මිය යෑමට දින දෙකකට පෙරය. ඒ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම් උදාව ව්‍යාපෘතිය සඳහා වූ කතරගම ගම්උදා ගී ප්‍රසංගය සඳහාය.
එදා මෙදා තුර ලංකාවේ ගීත ඉතිහාසයේ වැඩිම ගීත ප්‍රමාණයක් ගයා ඇත්තේ ජෝතිපාලයන් වන්නට ඇත. ඔහු චිත්‍රපට සියයකට වඩා පසුබිම් ගායනයෙන් දායක වී ඇත. 1982 දී තිරගතවූ “මිහිදුම් සිහින” චිත්‍රපටයේ “සරා සඳේ” ගීතය ගායනය සඳහාද 1985 දී තිරගතවූ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ “පාළු සුසානය” ගීතය ගායනය සඳහාද ඔහු හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය ලද්දේය.
එච්.ආර්. ජෝතිපාල අප අතරින් සමුගෙන දැනට දශක ගණනක් ගතවී ගොස්ය.එහෙත් ජෝතිපාල නාමය තවමත් රසික ජනතාවගේ හදවත් තුළින් මියගොස් නැත. ප්‍රසංග වේදිකාවෙන් ඔහුගේ නාමය තවමත් බැසගොස් නැත.තවත් බොහෝ නාමධාරී ගායකයන්ගේ ගීත අභිබවා ඔහුගේ ගීත ගුවනට මුසු වීම තවමත් නැවතී නැත. මරණයෙන් පසුව වුවද ජෝතිපාල රසික සමාජය පුළුල් වීම තවමත් නැවතී නැත. සිංහල ගායන අඹරේ අමරණීය සළකුණක් වන මෙම අසහාය ගායකයාගේ සරුසාර කීර්තිය යුග යුග ගණන් ගත වුවද අප හැර යනු ඇතැයි කිසිඳු සළකුණක් පෙනෙන තෙක් මානයකවත් නැත.
සංස්කරණය : මලින්ද සෙනෙවිරත්න
පරිවර්තනය : යශිනි සේනානායක













