
වර්ෂ 1938ක් වූ මැයි මස 18 වන දින , බස්නාහිර පළාතේ , මොරටුවේ පුවකරඹ හි දී සිය පවුලේ එක ම දරුවා ලෙස , හල්පෙ ලියනගේ මොරිස් ජෝෂප් ද සිල්වා යන බෞතීස්ම නාමයෙන් උපත ලද හේ , ජනතාව අතරට ගියේ ෆ්‍රෙඩී සිල්වා යන නමිනි. ඔහුගේ පියා එවකට මොරටුව නගර සභාවේ කංකානම්වරයෙකු වූ අතර , මව ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි ආගම විසින් පවත්වාගෙන ගිය පුණ්‍යායතනයක් වූ ( Salvation Army) ගැලවීමේ හමුදාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් වුවා ය.
කුඩා කල සිට ම රෝමානු කතෝලික ආගමික වටපිටාවක හැදී වැඩුන ද ඔහු ආගම දහමට එතරම් නැඹුරු වූවෙකු නොවී ය. කුඩා අවධියේ සිට ම ඔහු ප්‍රිය කළේ ගීත ගැයීමට හා නැටීමටයි. විශේෂයෙන් ම සාදවල දී නැටීම හා ගැයීම ඔහු වඩාත් ප්‍රිය කළේ ය. ඒ සඳහා ඔහු තුළ තිබූ සහජ දක්ෂතාවය මෙන් ම නොනිමි ආශාව නිසා , පාසල් යාම ද මග හැර සාදවලට සහභාගී වීමට පෙළඹුණු අතර , පියාගෙන් නිතර ම දඬුවම් ලැබීමට ද සිදු විය. සිනමාවේ උසස් නළු භූමිකාවක් දක්වා ඔහු ව ඔසවා තැබීමට අවැසි බලය සැපයූයේ ඔහුගේ එම පුරුද්දයි.
මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ හෙතෙම , එකල ගායනයෙන් හා නර්තනයෙන් නරඔන්නන් වශී කළේ ය.
“මම පුංචි කාලෙ ඉඳල ම රඟපාන්න ආසයි. ඉස්සර ගමේ කොල්ලො එක්ක එකතු වෙලා පොඩි පොඩි නාට්‍ය කරනවා. බලන්න එන අයගෙන් සත විසිපහ ගානෙ ගන්නවා. සමහර වෙලාවට අපිට ” හූ ” කියනකොට අපි උන්ට කුකුල් සායම්වලින් ගහනවා. අන්තිමේ දී ගෙදර ගිහින් දඬුවම් විදිනවා.” මෙසේ ඔහු සිය අතීත මතකයන් නිතර සිහිපත් කළේ ය.
කලා දිවියේ ආරම්භය
ෆ්‍රෙඩී කලා ලොවට පිවිසියේ ගායකයෙකු ලෙසයි. ඒ සඳහා මග හසර එළි වන්නේ ද සාදයකට සහභාගී වී සිටින අතරතුර දී ය. එක්දහස් නවසිය පනස් ගණන්වල දී ෆ්‍රෙඩී , ඇලියන් පෙරේරා ද කැටුව , එවකට මෙරට අගමැති ශ්‍රිමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ උපන්දින සාදයකට ගියේ ය. එම සාදයේ දී ඔහු ඇලන්සන් මෙන්ඩිස් ලියූ ගීතයක් වන ” බාර් බාර් බාර් එකෙන් බීලා” ගීතය ගයමින් ” රොක් ඇන්ඩ් රෝල් ” ශෛලියේ නැටුමක් ද ඉදිරිපත් කළේ ය. එයින් ඉමහත් ආනන්දයට පත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳු , ” ඒයි කොල්ලෝ , උඹේ කකුල්වලට ස්ප්‍රීන් හයි කරලා ද ? ” යැයි අසා ඇත. ඒ වන විට ෆ්‍රෙඩී රස්සාවක් සොයමින් සිටි බව දැනගත් සර් ජෝන් , එසැණින් ලිපියක් ලියා ෆ්‍රෙඩී අත තැබුවේ , ලිවි විජේමාන්නගේ මාර්ගයෙන් ‘ රේඩියෝ සිලෝන් ‘ නොහොත් එවකට ගුවන් විදුලි සංස්ථාවට ගොස් ගීත ගයන්නට ඉඩ හසර ලබා දෙමිනි. එතරම් ඉක්මනින් ඔහු ෆ්‍රෙඩීගේ රසිකයෙකු බවට පත් ව සිටියේ ය.
ඔහුගේ පළමු පටිගත කළ ගීතය ” මොට්ටපාල ” ය. සිරිල් ඒ. සීලවිමල මහතා විසින් ලියනු ලැබූ මෙම ගීතය , ” බාර් බාර් බාර් ” ගීතයට පසු ගීත කලාවේ දොරගුළු හැර දෙන්නට සමත් විය. ඉන්පසු ව ඔහු නැවතත් ” බාර් බාර් ” ගීතය නැවුම් මුහුණුවරකින් පී.ඇල්.ඒ. සෝමපාල සමඟ ගායනා කළේ ය. එය ඉතා ම සාර්ථක විය.
ෆ්‍රෙඩී සංගීත ක්ෂ්‍රේත්‍රයට මෙන් ම, සිනමාවට ද පා තැබීමට මං පෙත් විවර කර ගන්නේ සාදයක් අතරතුර දී ම වීම අපූර්ව සිදුවීමකි. එක්දහස් නවසිය හැට ගණන්වල ඔහුගේ තාවකාලික නවාතැන්පල පිහිටියේ දෙහිවල ‘Quarry Road‘ හි ය. එහි ඔහුගේ සගයන් වූයේ එච්.ආර්.ජෝතිපාල හා රෝයි ද සිල්වා ය. මරදානට පැමිණීමෙන් පසු ෆ්‍රෙඩී , ජෝති හා මිල්ටන් සමඟ සාදවල ගී ගැයීමට ගියේ ය. එහි දී දැන හඳුනාගත් මිතුරන් දෙදෙනෙකු වූ සිරිල් ඒ. සීලවිමල හා ලාල් හීනටිගල විසින් ෆ්‍රෙඩී ව , එල්. බී. රාමචන්ද්‍රන් සමඟ ” සුහද සොහොයුරෝ ” චිත්‍රපටයට සම අධ්‍යක්ෂණයෙන් දායක වූ , කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට හඳුන්වා දෙනු ලැබී ය. එමඟින් සිය ප්‍රථම චිත්‍රපටයට දායක වීමේ වරම් ලබා ගත් ෆ්‍රෙඩීගේ මංගල සිනමා දර්ශනය වූයේ , විජිතා මල්ලිකා සමඟ ” දිය රැල්ල වෙරළේ හැපි හැපී ” යන ගීතය ගායනා කරමින් , මුහුදු වෙරළේ නටමින් ඉදිරිපත් කළ රංගනයයි. එය ඔහු විසින් ඉදිරිපත් කළ විශිෂ්ට විකට රංගනයකි. ඔහුගේ විකට නළු දිවියේ සමාරම්භය සනිටුහන් කිරීමටත් , එයට අවශ්‍ය උද්ගාමක බලය සැපයීමටත් , එම ගායනය හා රංගනය ප්‍රමාණවත් විය.
මෙසේ ගීත ගායනයෙන් කලා ලොවට පා තැබූ ෆ්‍රෙඩී , ” සුහද සොහොයුරෝ ” චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසියේ ය.



කලා දිවිය
විවිධ දක්ෂ ගීත රචකයන් හා සංගීත නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ගීත රාශියක් ෆ්‍රෙඩී සිල්වා ගායනා කර ඇත. ඒ අතරින් ” ආරොං මාමා ” , ” පාං කිරිත්තා ” , ” ඇටසැකිල්ල වාගේ” , ” ලෙච්චමී ” , ” බොරු කකුල්කාරයා ” , ” ගිගිරි ජගරි හඬවනා ” , ” රාජ මාලිගේ ” , ” වතුරේ ගින්දර ගෙනියනවා ” , “නෑදෑයෝ ” , ” හඳ මාමා ” , ” ගිනි බෝල බෝල ” , ” බල්ලා ” වැනි ගීත රසිකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. මේවා අතුරින් බොහොමයක ගී පද රචනා ලියවුණේ ප්‍රේමකීර්ති ද අල්විස් අතිනි. මෙම ගීත සිංහල සංගීතයට උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දුන් අතර , විකට ගී ගායන කලාවේ නව පෙරළියක් කිරීමට සමත් විය.
යාපා පටුනේ ආවේනික ලක්ෂණ ගැන කියවෙන ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගී පද රචනාවක්, වික්ටර් රත්නායකයන්ගේ සංගීතය සමඟ මුසු කර ෆ්‍රෙඩීගේ හඬින් රසික සවන් වෙත ගෙන ආ “කුණ්ඩුමණී ” ගීතය , වඩාත් ම රසික-විචාරක ප්‍රශංසාවට පාත්‍ර වූ ගීතයක් විය.
ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වූ සමයේ නිර්මාණය වූ “මහත්තයෝ NCC ” ද සුවිශේෂී ගීතයකි. ක්ලැරන්ස් විජේවර්ධනයන් ලියා සංගීතවත් කළ මෙය , ෆ්‍රෙඩී විසින් ක්‍රිකට් ගැන ගායනා කළ එක ම ගීතයයි.
ෆ්‍රෙඩී චිත්‍රපටයක රඟපාන්නේ නම් , ඊට ඔහු ගායනා කළ ගීතයක් ද බොහෝ දුරට ඇතුලත් විය. 1972 දී තිරගත වූ ” සුජිවා ” චිත්‍රපටයේ “අලුත් කලාවක් සොයාගත්ත මං ” එවැන් ගීයකි. එය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ප්‍රථම ‘ විකට ‘ ගී පද රචනාවයි.
1976 දී තිර ගත වූ ” වාසනා ” චිත්‍රපටයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පද රචනාවක් වූ ” පණ පලයන් ලබන සුමානේ ” ගීය ද එලෙස ෆ්‍රෙඩීගේ ගායනයෙන් මෙන් ම රංගනයෙන් ද විචිත්‍රවත් වූ ගීයකි. එහි සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
1974 දී තිරගත වූ ” දුලීකා ” චිත්‍රපටයේ කේමදාසයන් ම සංගීත නිර්මාණය කළ , ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනාවක් වූ ” ජැක් සහ ජිල් ” , 1977 දී තිරගත වූ , රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, “ටොම් පචයා ” චිත්‍රපටයේ , වික්ටර් දලුගම සංගීත නිර්මාණය කළ, ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනාවක් වූ ” සුපුන් චන්ද්‍රයා ගෙනත් මිදුලෙ තියාලා ” එවැනි ගීත වේ.
” ලොකු ම හිනාව ” චිත්‍රපටයට ෆ්‍රෙඩී ගැයූ ” පරණ කෝට් ” ගීතය සඳහා පෙනී සිටියේ , එල්.එම්.පෙරේරා ය. ශාස්ත්‍රීය ගායකයෙකු ලෙස ආමන්ත්‍රණය නෙකළ ද , ෆ්‍රෙඩීගේ ගායන හැකියාව අත් විශිෂ්ට ය. ජනප්‍රිය විකට නළු එල්.එම්.පෙරේරා පසුබිම් ගායනා කළ අවස්ථා දෙකක් හැරුණු කොට , සෙසු සෑම අවස්ථාවක දී ම ෆ්‍රෙඩීගේ ගායනා වෙනුවෙන් පෙනී සිටියේ ද ඔහු ම ය.
ෆ්‍රෙඩී නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ ජෝ දේව් ආනන්දන්ගේ චිත්‍රපට ඔස්සේ ය. විශේෂයෙන් ම ” සුජීවා ” චිත්‍රපටයෙන් ඔහු ඉමහත් ප්‍රසිද්ධියක් අත් කර ගත්තේ ය. මේ හේතුවෙන් ෆ්‍රෙඩී සිය නිවස ” සුජීවා ” යැයි නම් තබා ඇත.
ෆ්‍රෙඩීගේ රංගන කුසලතාවයෙන් ඵල නෙලාගත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වූයේ , ” සුහද සොහොයුරෝ ” චිත්‍රපටයෙන් ඔහු සිනමාවට හඳුන්වා දුන් කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ය. ඔහුගේ “ළසඳා” (1974) චිත්‍රපටයේ , ෆ්‍රෙඩී විකට රංගනයෙන් මිදුන චරිතයක් නිරූපනය කරයි. එහි ” ජරමර අස්සේ මම නටමි ” ගීතය ෆ්‍රෙඩී විසින් ඉදිරිපත් කළ ද , එය ගායනා කළේ එච්.ආර්.ජෝතිපාල ය.
” සැකය ” (1965) , ” සූකිරි කෙල්ල ” (1975) චිත්‍රපටවල ද ෆ්‍රෙඩී ඉතා බැරෑරුම් චරිත රඟපා ඇත. ” සූකිරි කෙල්ල ” චිත්‍රපටයේ දී අංග විකල මෝඩ තරුණයෙකු ලෙස ඔහු ඉදිරිපත් කළ රංගනය , ඒ අතරින් සුවිශේෂ වෙයි. මේ සඳහා ඔහු , කොරළවැල්ලේ විසූ එවන් පිරිමි ළමයෙකුගේ හැසිරීම ද අධ්‍යයනය කොට ඇත .
චිත්‍රපටයක තිර නාටක පිටපත දමා සැණෙකින් හාස්‍යය උපදවන්නට ෆ්‍රෙඩීට තිබුණේ දුර්ලභ හැකියාවකි. ෆ්‍රෙඩී සිල්වාගේ ජනප්‍රියත්වය තීව්‍ර වූ විට , ඔහුව සෑම ප්‍රධාන නළුවෙකුටම සහය නළුවෙක් කරගත් අතර , ඇතැම් නළුවන්ට වඩා ෆ්‍රෙඩී ඉස්මතු වූ අවස්ථා බොහෝ ය. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් , පොදු ස්ථානවලට යාමට ෆ්‍රෙඩී පසුබෑවේ , රසිකයන් ඔහුව වට කර ගන්නා නිසා ය .



1992 දී ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපට විසි හයෙන් , පහලොවකට ම ෆ්‍රෙඩී සිය රංගන දායකත්වය සැපයීම පෙර නොවූ විරූ වික්‍රමයකි.






එක්තරා යුගයක රෝයි ද සිල්වා හා ෆ්‍රෙඩී මෙන් ම , පසු කලෙක දී විජය කුමාරතුංග හා ෆ්‍රෙඩී , මෙරට ජනප්‍රිය සිනමාවේ තාරකා දෙකක් විය. විජය වීරයාගේ චරිතයට පණ පොවද්දී , වට්ටෝරු සිනමාවට අයත් විකටයාගේ චරිතය කළේ ෆ්‍රෙඩී ය. කිසියම් චිත්‍රපටයක ඔවුන් එක් වී ද , එම චිත්‍රපටයේ බොක් ඔෆිස් සාර්ථකත්වයට එය ප්‍රධානත ම සාධකය වූයේ ය.



ෆ්‍රෙඩී , විජය කුමාරතුංගයන් සමඟ ජවනිකාවක
ෆ්‍රෙඩී , විජය හා එක් ව රඟපෑ චිත්‍රපට ගණන දහයකට ආසන්න විය. “නොම්මර 17 ” , “ අංජානා “ ඒ අතර වෙයි. ඔහු විජය සමඟ රඟපෑ අවසන් චිත්‍රපටය වූයේ , 1987 දී තිරගත වූ “ යුක්තිය ද ශක්තිය ද “ චිත්‍රපටය යි.



ලව් ඉන් බැංකොක් චිත්‍රපටයේ අවස්ථාවක්
එක්දහස් නවසිය හැට , හැත්තෑව , අසූව දශකවල ලාංකේය සිනමාවේ ජනප්‍රියත ම විකට නළුවා වූ ඔහු , උක්ත සඳහන් වූ චිත්‍රපටවලට අමතරව , ” දිනුම් කණුව ” , ” ඔබයි මමයි ” , ” රන්වන් රේඛා ” , ” රජ ගෙදර පරෙවියෝ ” , ” කොළඹ සන්නිය ” , “හිතුවක්කාරයෝ “, ” නිලූකා “, ” සිතක සුවඳ”, “කොලංකාරයෝ ” , “ඒක දිග කතාවක් ” , ” මිනිසුන් අතර මිනිසෙක් ” , ” ඇර සොයිසා”, “ජය සිකුරුයි ” , ” කැකිල්ලේ රජ්ජුරුවෝ ” , ” ප්‍රාර්ථනා “, “දිනුම “, “රස රහසක් ” , ” නැව ගිලුනත් බෑන්චූන් ” , ” බදුලු කෝච්චිය ” , “සටන ” , ” දේදුන්නෙන් සමනළියක් ” , ” ආසයි බයයි ” , ” රජ කොල්ලෝ ” , ” ලව් ඉන් බැංකොක් ” , ” අලිබබා සහ හොරු හතළිහ ” , ” මල්සර දෝණි ” , ” සිංහයන්ගෙත් සිංහයා ” , ” සූරයන් අතර වීරයා ” , ” පිස්සු පූසෝ ” , ” ජොලි හලෝ ” ආදී හාරසීයකට අධික චිත්‍රපට සංඛ්‍යාවකට සිය දායකත්වය සපයා ඇත.



දේදුන්නෙන් සමනළියක් චිත්‍රපටයේ අවස්ථාවක්
මෙසේ අසූව දශකයේ දී , ලංකාවේ නොම්මර එකේ විකට නළුවා වූ ඔහු , ” විකට රජා “ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීය .



ආසයි බයයි චිත්‍රපටයේ අවස්ථාවක්
විජයගේ ඇවෑමෙන් පසු ෆ්‍රෙඩී එක් වරක් 1991 දී ‘ සරසවිය ‘ සම්මාන උළෙලේ දී ජනප්‍රිය ම නළුවා ලෙස අභිෂේක ලැබුවේ ය.



රංගනයෙන් හා ගායනයෙන් පමණක් නොව , චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස ද ෆ්‍රෙඩී , සිංහල සිනමාවට දායක විය. “සුරේඛා ” (1974) , ” චලිත රංගාලි ” (1985) , ” ඔක්කොම හොඳටයි” (1994) ඔහු අතින් නිෂ්පාදිත සිනමා කෘති වේ.
එමෙන් ම ” දුම්බ්රබාගේ ” , ගරු මර්සලින් ජයකෙඩි පියතුමා ලියූ “රස කකා ” වැනි ගීත ෆ්‍රෙඩීගේ හඬින් , ‘ සූරිය ලේබලය ‘ හරහා රසිකයන්ට සමීප විය.



මීට අමතර ‘ජිප්සීස් ‘ සංගීත කණ්ඩායමේ නිර්මාණයන් වන , “සොමිය” හා “සොමිය 2-අඟහරු ලොවේ දී ” යන කලා කෘතීන් සඳහා ද ඔහු ගායනයෙන් දායකත්වය ලබා දී ඇත . එමෙන් ම ” Kings of comic ” , 1968 දී ” Freddie sings for you -Vol 1 ” සහ 1987 දී “හැන්ඩියා” ලෙස EP වර්ගයේ ගීත ඇල්බම ද ඔහු අතින් නිර්මාණය වී ඇත.
ෆ්‍රෙඩීගේ පළමු චිත්‍රපටය වූ ” සුහද සොහොයුරෝ ” චිත්‍රපටයට ප්‍රථම , ඔහු ඩී.බී.නිහාල්සිංහගේ ” තරුණ විය ” නැමැති මි. මී.16 න් තැනුන කෙටි චිත්‍රපටයක ද රඟපා ඇත.
ඔහු වරක් ” මෛත්‍රී ” නමින් නාට්‍යක් නිෂ්පාදනය කර , එහි ප්‍රධාන චරිතය ද රඟපා ඇත . රඟපෑම යනු කුමක්දැයි විග්‍රහ කළ හැකි ආකාරයේ දැනුමක් ෆේරඩීට තිබුණු බව ඔහු කර ඇති පහත දැක්වෙන ප්‍රකාශයෙන් ස්ඵුට වෙයි. ” රඟපෑම කියන්නේ සුවිශේෂ හැසිරීමක් . අපි හිතමු මම රජ කෙනකුගේ චරිතයක් රඟපානවා කියලා. එතැනදි මට සරමක් ඇඳගෙන කඩේට ආප්ප ගන්න යනව වගේ ඇවිදින්න බැහැ . ගමනෙ බිමනෙ වුණත් තියෙන්න ඕන රාජකීය විලාසයක් . රඟපෑමේදී පොඩි පරලවීමක් අවශ්‍යයි . පොඩි අතිශයෝක්තියක් තිබෙන්න ඕන. “



රඟපෑම උදෙසා කිසි දා සම්මානයක් දිනා නොගත් ඔහු , 1990 දී සරසවිය සම්මාන උළෙලේ දී ‘ රණ තිසර ‘ සම්මානයෙන් පිදුම් ලැබුවේ , නළුවෙකු හා ගායකයෙකු ලෙස සිනමාවට ලබා දුන් දායකත්වය උදෙසා ය .



ෆ්‍රෙඩී , කමලා සිල්වා සමඟ
1960 අප්‍රේල් 3 වන දා කමලා සිල්වා සමඟ අතිනත ගන්නා ඔහු , එතැන් පටන් සිය බිරිඳගේ ද සහයෙන් කලා කටයුතු කරගෙන ගියේ ය . ෆ්‍රෙඩී දෙදරු පියෙකු විය. 1962 ජනවාරි 26 වන දා පවුලේ වැඩිමහල් පුතු ලෙස ජනේෂ් සිල්වා උපත ලද අතර ඊට දස වසරකට පමණ පසු , චාන්දනී සිල්වා දියණිය ෆ්‍රෙඩීගේ පවුලට එකතු විය.
පසුව පළමු විවාහයෙන් වෙන් වන ෆ්‍රෙඩී , චින්තා හේරත් සමඟ දෙවන වරට යුග දිවියට එළඹියේ ය. එයින් ඔහු ප්‍රගීත් සිල්වාට පියා විය.



ෆ්‍රෙඩී , චින්තා හේරත් සමඟ
නමුත් දරුවන් සියලු දෙනාට ම දයාබර පියෙකු වූ හෙතෙම , රැකියාවක් කරන අවධියේ දී පවා ජනේෂ් පුතුට සෙවණැල්ලක් මෙන් විය.



ෆ්‍රෙඩී සිල්වා කෙතරම් ජනාදරයට පත් සිනමා තරුවක් වුව ද , ඔහුගේ දිවියේ සැඳෑ සමය ඉතා ම අමිහිරි ලෙස ගෙවී ගියේ ය . ඔහුගේ නිදන කාමරයත් , සාලයත් , කුස්සියත් වූයේ රාවතාවත්තේ , එම්මානුවෙල් පල්ලිය පාරේ පිහිටි , පැරණි කැඩී ගිය ගරාජයකි . චින්තා හේරත්ගෙන් ද ඈත් වූ පසු , ඔහු සමඟ සිටි මානෙල් චන්ද්‍රලතා ද අවසාන කාලයේ දී ඔහු ව හැර යාමෙන් ඔහු වඩාත් හුදෙකලා විය.



ෆ්‍රෙඩී , මානෙල් චන්ද්‍රලතා සමඟ
යුගයක රසික හදවත් විනෝද සාගරයක ගිල්වූ මිනිසා ට , අවසානයේ දිළිඳු වූ දුක්ඛදායක දිවියක් උරුම වීම දෛවයේ සරදමකි. ඊට අමතර ව අක්මාවේ වූ සිරෝසිස් රෝග තත්ත්වයකින් ද පීඩා විදීම නිසා හෙතෙම කායිකව ද තරමක් දුර්වල තත්ත්වයකට පත්ව සිටියේ ය.



ඔහු පත් ව සිටි අසරණකම කෙතෙක් ද යන්න , ඔහුගේ මෙම ප්‍රකාශයෙන් ම වටහා ගත හැකි ය.
” ඒ දවස්වල මට හරියට චිත්‍රපටි තිබ්බා . ගොඩක් සල්ලි හම්බ කරා . නමුත් මම කවදාවත් ඉතිරි කළේ නෑ . හොඳට වියදම් කළා . යන යන තැන්වල කෑවා බිව්වා . යාලුවොත් එක්ක එකතු වුණාම මත්පැන්වලටත් වැඩිපුර වියදම් වෙනවා. හරිම සැහැල්ලු සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කළේ .
ඒත් දැන් එහෙම නෑ . චිත්‍රපට සංස්ථාවෙන් මාසෙකට හම්බෙන රුපියල් දෙදාහක විශ්‍රාම වැටුප තමයි මට තියන ආදායමගමම කිව්වට විශ්වාස කරන්න , සමහර දවස්වලට හරියට කන්නත් නෑ . මාසික පදනම මත මට සල්ලි දෙන මුස්ලිම් ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා . ඔහු නොසිටිනන් මා මිය ගොස් .
විජය කුමාරතුංග , ජෝතිපාල , ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවත් ව සිටියා නම් , මගේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
මම රට ම හිනැස්සුවා . ඒත් ජීවිතේ අවසාන කාලේ මට අඬන්න වුණා . ජීවිතේ කියන්නේ මේකට ද මහත්තයෝ…”



ඒ කෙසේ වුව ද දරුණු ලෙස රෝගාතුර වී ඉතා ම දුර්වල අඩියකට වැටුණ පසු , සිය දරුවන්ගේ රැකවරණය ලැබීමට තරම් හෙතෙම වාසනාවන්ත විය.
2001 ඔක්තොබර් 29 වන දා කළුබෝවිල රෝහලට රැගෙන යමින් සිටියදී ෆ්‍රෙඩී සිල්වා දැයෙන් සමු ගත්තේ , ඔහු සිනහවෙන් පිරවූ රසික හදවත් කඳුළින් පුරවමිනි .



මිය යන විට 63 හැවිරිදි වියේ පසු වූ ෆ්‍රෙඩී , සිය දායකත්වය සැපයූ චිත්‍රපට ගණන 409කි . ඔහු අවසානයට රඟපෑ චිත්‍රපටය වූයේ , 2002 දී තිරගත වූ “ පිස්සු ඩබල් “ චිත්‍රපටයයි . සිංහල සිනමා වංශ කතාවේ පළමු ශතකය තුළ තිර ගත වූ චිත්‍රපට 850න් 300කට පමණ දායක වෙමින් ඔහු සදා නොමැකෙන ස්වර්ණමය ලකුණක් තබා ඇත .



ෆ්‍රෙඩීගේ වැඩිමල් පුත් ජනේෂ් සිල්වා
ෆ්‍රෙඩී සිල්වාගේ දෙටු පුත්‍රයා වන ජනේෂ් සිල්වා , පියාගේ අඩි පාරේ යමින් විකට නළුවෙකු ලෙස චිත්‍රපට දහයකට පමණ සිය දායකත්වය සපයා ඇත . ඔහු කේරී විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත . හේමමාලා සමඟ විවාහ වූ ජනේෂ් , අවාසනාවන්ත ලෙස , පිළිකා රෝගයක් වැළඳීමෙන් , එයට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2012 ජුනි 10 වන දින අප අතරින් වියෝ විය .



ගායකයෙකු ද වූ ජනේෂ් සිල්වාගේ එකම පුතු ජනිත් සිල්වා ය . සොහොයුරාගේ වියොවෙන් පසු ෆ්‍රෙඩීගේ දියණිය චාන්දනී , සිය පියාගේත් සොහොයුරාගේත් උරුමය ගෙන යමින් සිටින්නී ය .
ෆ්‍රෙඩී සිල්වා , තමාගේ සියලු ම නිර්මාණවල අයිතියත් , අවසාන කාලයේ දී ඔහු සතුව තිබූ දේපලත් සිය අන්තිම කැමති පත්‍රයෙන් උරුම කොට ඇත්තේ , තම බාල පුතු වන ප්‍රගීත් සිල්වාටයි .



ප්‍රගීත් ද පියාගේ ආභාශය හමුවේ චිත්‍රපට කිහිපයකට සිය රංගන දායකත්වය සපයා ඇති නමුත් , මෑතක් වන තුරු ම නිහඬ ව සිටි චරිතයකි .



ෆ්‍රෙඩීගේ බාල පුත් , ප්‍රගීත් සිල්වා
සිය වැඩිමහල් සොයුරා වූ ජනේෂ් මිය ගිය ද , ප්‍රගීත් තම පියාගේ නිර්මාණවල අයිතිය සුරකිමින් , වර්තමානයේ දී සිය පියාට ඉටු විය යුතු යුතුකම ඉටු කරයි.



කමලා සිල්වා සිය පැරණි මතකයන් සමඟ
ගායකයෙකු ලෙස ල විශිෂ්ට රංගධරයෙකු ලෙස හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස මෙරටට අමිල මෙහෙයක් ඉටු කරමින් , යුගයක රසික සභාව ම සිනහවෙන් කුල්මත් කළ ෆ්‍රෙඩී සිල්වා නම් වූ සුන්දර මිනිසා , අප අතරින් නික්ම යාමෙන් තැනුණු හිඩැස අදට ද ශේෂ ව පවතින්නේ , ඔහුගේ අපූර්ව ප්‍රතිභාව පිළිබඳ ඉඟියක් ඉතිරි කරමිනි.