Sooriya Records Sooriya Records
Menu

එරංගා සහ ප්‍රියංග

ප්‍රභේදය – සිංහල පොප් සංගීතය, ජන සංගීතය

ඔහු වයන ගිටාර රිද්මයත් ඈ ගයන සුමිහිරි ලතාවත් සංගීත ලෝලී රසිකයන්ට සොඳුරු රස ගුලාවකි. මේ එරංගා ප්‍රියංග යුවළයි.

එරංගා සහ ප්‍රියංග දෙපළම පැවත එන්නේ සංගීතය සමඟ ජීවත් වූ පවුල් පසුබිම් දෙකකිනි. එරංගාගේ පියා ලෙනාඩ් වීරසිංහ ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගැයූවෙකු වූ අතර මව දක්ෂ ලෙස පියානෝව වාදනය කළාය. ඇගේ සොහොයුරු සොහාන්ද සංගීතඥයෙකි. කුඩා කළ සිටම සංගීතයට නැඹුරු වූ එරංගා ගිටාර් වාදනය ප්‍රගුණ කළාය. එරංගා සහ ප්‍රියංග ගේ හමු වීම සිදු වන්නේ 60 දශකයේදීය. වියළි කලාපයේ භූමි දර්ශන චිත්‍රයට නැගීම සඳහා හම්බන්තොට ගිය අවස්ථාවේදී  ප්‍රියංගව එරංගාගේ පවුලට හඳුන්වා දෙනු ලැබෙයි. දෙදෙනා තුළම වූ සංගීතයට ඇති ඇල්ම ඔවුන්ව එක් කළා වන්නට ඇත. විවාපත්වී එම දෙපළ අවුරුදු තුනක් මඩකලපුවේ රූගම් ප්‍රදේශයේ විසුවෝය. අදටද ඔවුන් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන ගී සුසංගතිය බිහිවන්නේ මෙම ග්‍රාමීය ප්‍රදේශයේ ශාන්ත සවස් යාමවල දෙදෙනා එක්ව ගී ගයා ලැබූ ආරම්භයෙනි.

1965 වර්ෂයේ එක් දවසක එරංගා සහ ප්‍රියංග ලුවිස් බ්‍රවුන් වෙත යන්නේ එහි වූ වූ ශබ්දාගාරයේ සිට ගීත කිහිපයක් කැසට් පටයකට පටිගත කරගැනීමටයි. ඒ ලංකාවේ සිට නැවත එංගලන්තයට යන ඔවුන්ගේ මිතුරෙකුට තිළිණ කිරීම සඳහායි. ඔවුන් ගීත පටිගත කරනු අසා සිටි ටෝනි ප්‍රනාන්දු මහතා මෙම තරුණ යුවළගේ හැකියාව ගැන පැහැදී ඔවුන්ට ගාලු මුවදොර හෝටලයේ කොකනට් ගෲව්‘(Coconut Grove) හි ගී ගැයීමට ආරාධනා කළේය. එදා සිට ඔවුන් දෙදෙනා සැම ඉරිදාවකම එහි බටහිර ගීත සහ සිංහල ගීත ගයමින් කළ අලංකාර ඉදිරිපත් කිරීම් වලින්  රැස්ව සිටියවුන් පිනවූහ.

ඉන් අවුරුදු තුනකට පසු එම දෙපළ මහා බ්‍රිතාන්‍යයට යාමට තීරණය කළහ. ඒ යන අතරමග මුම්බාය, කරච්චිය, ටෙහෙරාන්, ඉස්තාන්බුල්, ඇතන්ස්, ජර්මනිය සහ පැරීසියේදී ගී ගයා මුදල් ඉපැයූහ. ඉංග්‍රීසි බසින් පමණක් නොව ග්‍රීක, ජර්මන් සහ ප්‍රංශ භාශාවෙන්ද ගීත ගැයිණි. පෙරදිග වැසියන් යුවළක් තම මවු භාශාවෙන් ගී ගයනු ඇසූ සංචාරකයෝ බොහෝ සතුටට පත්වන්නට ඇත. ඔවුන් සැබවින්ම නිර්භීත යුවළකි. අප්‍රිකානු ආදර ගීත, හවායන් රිද්මයට ගීත, ඉතාලි බැලඩ් කාව්‍ය, කලිප්සෝ ගීත, ඇමරිකන් බ්ලූස් (American Blues) වැනි ඕනෑම ශෛලියක ගීතයක් ගායනයට ඔවුනට හැකියාව ඇත. අද වන විට ඔවුන්ට භාෂා පහළොවකින් ගී ගැයීමේ හැකියාව ඇත.බලගතු ඔපිසරගේ දුවට වුණු ඇබැද්දියක් ගැන ගැයෙන “පොඩි නෝනා” ගීතය මොවුන් දෙපළ ගැයූ ලංකාවේ ඉමහත්  ප්‍රසිද්ධියට පත්වූ ගීතයකි. ඔවුන් ගයන “මවක් මෙලොවෙහි” ගීතය පටිගත කරන ලද්දේ සූරිය රෙකෝඩ් ලේබලය යටතේ 1976 දීය.   

එක්සත් රාජධානියට පැමිණි ඔවුහු බීබීසී සේවය යටතේ ගිවිසුම් අත්සන් කළෝය.ලන්ඩනයේ සහ ඉන් පිටතදීත් ඔවුන්ගේ සංගීත ප්‍රසංග පැවැත්වුණි.ඔවුන්ගේ එකම පුතා වන දිනුක ලැබීමෙන් පසු ඔවුහු ලොස් ඇන්ජලීස් නුවරට පදිංචියට ගියහ. එරංගා සහ ප්‍රියංග ලන්ඩනයේ ඊ එම් අයි ලේබලය යටතේද පටිගත කිරීම් සිදුකර ඇත. ඔවුන් නොඑල් ගේ සමාගමේ (Noel Gay Association) ඩේවිඩ් ෆ්‍රොස්ට් ඒජන්සිය යටතේද කටයුතු කළද ඔවුන්ගේ ශෛලිය වෙනස් කිරීම පිළිබඳව කළමණාකාරීත්වය සමඟ ඇතිවූ මතගැටුම් නිසා එම ගිවිසුම වැඩිකල් ක්‍රියාත්මක නොවුණි.

පසුකාලීනව ඔවුහු නිවුයෝක් නුවරට සංක්‍රමණය වන අතර හෝටල් සංගීතය සඳහා යොමුවෙති. වර්ථමානයේදී ඔවුන් ගී ගැයීමට ලැබෙන ආරාධනා වලට සහභාගී වන්නේය.නිරතුරුවම ලංකාවටද පැමිණෙන්නේය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආභරණයක් සේ සළකා ශ්‍රී ලංකා නාමය එතෙරට ගෙනගිය එරංගා- ප්‍රියංග යුවළ අප ආදරෙන් සිහිපත් කළ යුතුය. ආදරයත් නිර්භීත බවත් එක් කළ විට තම සිහින කරා ළඟාවීම පහසු කටයුත්තක් බව ඔවුන් අපට කියාදෙන ජීවන දර්ශනයයි.

Performing at a Washington Concert, 2006

සටහන : තාරක රංචිගොඩ

සංස්කරණය : නදීෂා පෝලිස්

පරිවර්තනය :  යශිනි සේනානායක

ගීත ඇල්බම

Eranga & Priyanga
Sooriya Show Vol 3
error: Content is protected !!