Sooriya Records Sooriya Records
Menu

ඩික්සන් ගුණරත්න

උපත : දෙසැම්බර් 9 වන දින 

සාමාජිකත්වය දැරූ කණ්ඩායම් : “ද පයනියර්ස්”, “ද ගෝල්ඩන් චයිම්ස්”, “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්”

ප්‍රභේදය : සිංහල පොප් සංගීතය

ඔහු පිරිමදින ගිටාර තතෙන් නැගෙන රාවය යමෙකුට සිහි කැඳවන්නේ 70 දශකය නම් එය අවිවාදාත්මක ය. සිංහල පොප් සංගීත වංශකතාවේ ඩික්සන් ගුණරත්න නාමයට හිමිවන්නේ සුවිශේශී ස්ථානයකි. ඔහු සංගීතයට අත්පොත් ත්බන්නේ සිය නිවසෙනි. වයලීනය හා මැන්ඩලීනය වැයීමට හැකියාව තිබූ ඔහුගේ පියා කලාකාමී රසවතෙකු වූ හෙයින් සංගීතය ඔහුගේ ජීවිතයට අහඹුවක් නොවන්නේය.

කෙසේ වෙතත් ඔහු සංගීතය හැදෑරීම අරඹන්නේ ඊට පසුකාලීනව ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදීය. ප්‍රථමයෙන් වයලීන් වාදනය ඉගෙන ගන්නා ඔහු එය එක් අවුරුද්දක් පමණක් හැදෑරීමෙන් පසු සිතාර් වාදනයට යොමු වන්නේය. නමුත් ගිටාර් වාදනය නම් ඔහු තමා විසින්ම ඉගෙන ගත්තකි. කුඩා කළ පටන්ම සංගීතය ඇසුරු කළ ඔහු තුළින් දක්ෂ ලීඩ් ගිටාර් වාදක ශිලියෙකු බිහිවීම එනිසා පුදුමයට කරුණක් නොවන්නට ඇත.

සංගීත ගමනේ ආරම්භය

ඩික්සන් ගුණරත්න ලංකාවේ සංගීත කර්මාන්තයට අවතීර්ණ වන්නේ “පයනියර්ස්” (The Pioneers) නම් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙසය. එය මෙහෙයවන ලද්දේ එවකට බොහෝ සෙයින් ජනප්‍රියව තිබූ “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ශ්‍රී කාන්තගේ සොහොයුරු රාජ් දසනායක විසිනි.

ඔහුට ක්ලැරන්ස් විජේවර්ධන හමුවන්නේ මේ අවධියේදීය. ඒ සිය මිතුරෙකුගේ මංගල සාදයකදීය. “ඒ කාලෙ ක්ලැරන්ස් මූන්ස්ටෝන්ස් වලින් අස්වෙලා හිටියෙ. එයාට අලුත් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න ඕනැයි කියලා මගෙන් ඇහුවා ඒකෙ සාමාජිකයෙක් වෙන්න කැමතිද කියල” සිය මතකයන් අවදි කරවන ඩික්සන් පවසයි. ඒ වන විට ඔහුගේ පියා මෙලොව හැරගොස් සිටියේය. එනිසා නිවසේ පියාගේ වගකීම් පැවරී තිබිණේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මතය. සහෝදරයගෙන් ලද අවසරයෙන් ඔහු ක්ලැරන්ස් ප්‍රධාන “ගෝල්ඩන් චයිම්ස්” සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය ලද්දේය. චානක පෙරේරා (බේස් ගිටාරයෙන්) සහ විජිත් පීරිස් (ඩ්‍රම්ස් වාදනයෙන්) එහි සෙසු සාමාජිකයෝ වූහ. ඔවුන් සිය ප්‍රථම ගීත පටිගත කිරීම් සිදු කොට ඇත්තේ ජෙරල්ඩ් වික්‍රමසූරිය සමඟ සූරිය ලේබලය යටතේය.

The Golden Chimes Top L to R: Clarence, Anil, Dixon, Wijith, Lankika, Chanaka (with Gerald Wickremesooriya's melodica & a coral from South reef) Bottom -L to R: Dixon, Wijith, Lankika, Chanaka, Clarence, Anil

අවුරුදු කිහිපයකට පසු ක්ලැරන්ස් සහ ඩික්සන් “ගෝල්ඩන් චයිම්ස්” හැර ගියහ. “අපි ඇනස්ලි මාලවනගෙන් ඇහුවා අලුත් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න කැමතිද කියලා. ඔහුගේ කැමැත්ත ලැබුණ නිසා අපි සුපර් ගෝල්ඩන් චයිම්ස්කියලා නව සංගීත කණ්ඩායමක් ආරම්භ කළා” ඩික්සන් පවසයි. එහි ප්‍රථම පටිගත කිරීම සිදුවූයේද 1973 වසරේදී සූරිය ලේබලය යටතේය. මෙය සුපර් ගෝල්ඩන් චයිම්ස් ඇට් කතරගම” (Super Golden Chimes at Katharagama) ලෙස නම් වූ ඊපී ඇල්බමයකි(EP album). “කඳ සුරිඳුනි”, සීත සුළඟක්”, “සතුට සැනසුම” සහ “පෙන බුබුල” යන ගීත එහි අන්තර්ගතයන් විය.

The Super Golden Chimes at Katharagama, 1973 L to R: Srikantha, Clarence, Dixon, Annesley, Conrad
Dixon with Clarence backing Milton Mallawarachchi

සිය ප්‍රථම පටිගත කිරීම ඩික්සන් සතු ආදරණීය මතක සැමරුමකි.එය 1970 වසරේදී “ත්‍රී සිස්ටර්ස්” (The Three Sisters) ලෙස ප්‍රකට ඉන්ද්‍රානි, මල්ලිකා සහ අයිරාංගනී පෙරේරා යන තිදෙනා සමඟ සූරිය රෙකෝඩ් ලේබලය යටතේ සිදුවන්නන්කි.ද සෙන්සේෂනල් ත්‍රී සිස්ටර්ස්” (The Sensational Three Sisters) ලෙස නම් ලද මෙම ඊපී ඇල්බමයේ “සිහින් සිනිඳු”, “මම කිරිල්ලියක්”, “පිපෙන පියුම්” සහ “මී ගීය” යන ගීත ඇතුළත් විය.

කොටුවේ පිහිටි ජෙරල්ඩ් වික්‍රමසූරියගේ ළමා පොත් සාප්පුවේ  ගත කළ සොඳුරු අවධිය ගැනද ඔහු සිහි කරන්නේ සොම්නසිනි. ” ඒ කාලේ එතන අපිට අපේ ගෙදර වගේ වුණා. බොහෝ විට ක්ලැරන්ස්, ඇනස්ලි සහ මම දිවා විවේකය එහි ගත කළා. කොල්ලුපිටියේ පිහිටි ජෙරල්ඩ් වික්‍රමසූරියගේ නිවසේද අපි නිතරම හමුවීමට පුරුදුව සිටියා. අපි එහිදී පුහුණුවීම් වගේම පටිගත කිරීම්ද සිදු කළා.” ඔහු අතීතාවර්ජනයක යෙදෙයි.   

ඩිකසන් ලංකාවේදී අවසානයට සාමාජිකත්වය දැරුවේ “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සංගීත කණ්ඩායමේය. “1980 වෙනකොට සුපර් ගෝල්ඩන් චයිම්ස් වල සාමාජිකයන් විසිරුණා.ස්විට්සර්ලන්තයට යන්න මට අවස්ථාව ලැබුණ නිසා මම එහේ පදිංචියටම ගියා” ඔහු පවසයි. ඉන්පසු තවත් වසර හතක කාලයක් ඔහු ස්විට්සර්ලන්තයේ සංගීත වෘත්තියේ නියැලුනේය.

The Super Golden Chimes L to R: Front - Clarence, Annesley, Dixon, Back - SriKantha, PaulP
L to R: Indrani Perera, Chandral Fonseka, Dixon Gunaratne, Chanaka Perera, Lankika Perera, Chitral Somapala, Kirthie Abeywickreme, Raymond Fonseka

1987 වසරේදී සංගීතය නවතා ඔහු තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් ඇරඹුවේය. 2003 වසරේ සිටම ඔහු ඇනස්ලි මාලවන සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්සාමාජිකයන් එක්වන ප්‍රසංග වලට සහභාගී වෙයි. “විදේශ ප්‍රසංග නිසා මට ලෝකයේ බොහෝ රටවල් වල සංචාරය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි දැන් මම ගෙවන ජීවිතය” අවසානයේදී ඔහු එසේ පවසයි. 70 දශකයේ සිංහල සංගීතය රස බැලූ සෑම ශ්‍රී ලාංකිකයෙකුම ඩික්සන් ගුණරත්නයන්ගේ ගිටාර වාදනයට තවමත් ප්‍රිය කරන බව නොරහසකි.

Dixon with Lankika & Chanaka Perera

පරිවර්තනය :  යශිනි සේනානායක

error: Content is protected !!

Have a passion to write ?

Join our Team

Subscribe!