Sooriya Records Sooriya Records
Menu

ඩෙස්මන්ඩ් කෙලි

උපත : 1936 ජුලි 02

සාමාජිකත්වය දැරූ කණ්ඩායම් : “සෙමි- ස්ටෝන්ස්” , “ද මිඩ්නයිට් ෆයිව්”

ප්‍රභේදය : බටහිර පොප් සංගීතය

කෙලී පවුලේ සාමාජිකයන් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයට පැමිණ ඇත්තේ 1940 වර්ෂයේදීය. ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය 1941 වසරේ සිට මාගේ පියාණන් අකුරු කළ පාසලයි. ඔහුගේ ප්‍රථම ඒකළ ගායනය ඔහු සිදුකොට ඇත්තේ මෙම කන්‍යාරාමයේ වාර්ෂික විවිධ ප්‍රසංගය සඳහාය. එවිට ඔහුට වයස අවුරුදු පහක් පමණය වී ඇත්තේ. එවකට තුරුණු වියේ පසුවූ “බයිලා ලොවේ රජු” ලෙස ප්‍රකට වොලී බැස්ටියන් තාත්තාට හමුවන්නේ ඔහුට වයස අවුරුදු දහයක් තරම් කුඩා වියේදීය. බයිලා ගායනා කිරීම තාත්තා උගෙන ඇත්තේ ඔහුගෙනි. ඉන්පසු තාත්තා වෘත්තීය මට්ටමේ බයිලා ගායනා තරඟ වලින් ජයග්‍රහණ ලබා ඇත. සිංහල බස පිළිබඳව ඔහුට පුළුල් දැනුමක් තිබී නැත. ඔහු ගයන්නේ කුමක්දැයි ඔහු නොදත්තේය. තම ගායනයෙන් ආශ්වාදනය ලද රසිකයන්ගේ අත්පොළසන් හඬින් ප්‍රේක්ෂකාගාරය ගිගුම් දෙන විට ඔහු ඉන් ලැබූ තෘප්තිය මහත් සේ සැළකුවේය. ගායනය සඳහා මිලක් ලද ද ඔහු එය දෙවැනි කොට සැළකුවේය. දක්ෂ ජනප්‍රිය ගායකයෙකු වීම ඔහු කුඩා කළ පටන් පෝෂණය කළ එකම සිහිනයයි.

තාත්තා බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ උගත් සමයේ නොයෙල් කෲස් පියතුමා යටතේ වූ කලා සමාජයට බැඳුනේය. එහිදී ඔහු ගායනය මෙන්ම රංගනයද ප්‍රගුණ කළේය. යුකලේලී වාදනය ඔහු උගත්තේද මෙහිදීය. මා දැන් ලියන්නේ 1950 වර්ෂය ගැනයි. තාත්තාගේ මූලිකත්වයෙන් කැරොල් කණ්ඩායමක් ඇරඹිණි. ඔහුගේ ප්‍රථම ආදරවන්තිය වූ මොරීන් (නෙලියා) හින්ජර්ට් ඔහුට හමුවන්නේද මෙහිදීය.

ඩොනවන් ඇන්ඩ්‍රීගේ යටතේ ඉංග්‍රීසි සර්කස් කණ්ඩායමක් ලංකාවට පැමිණියේය. ගෙදරින් හොර රහසේම පලා යන තාත්තා මෙම සර්කස් කණ්ඩායම හා එක්වන්නේය. එතැන් පටන් ඔහුගේ පාසල් ගමනටද තිත වැටුණි. ඒ වනවිට ඔහුට එකෝස්ටික් ගිටාරය වාදනයටද හැකියාව තිබුණි. “කොන්ටිනෙන්ටල් නොන් ස්ටොප් රෙවියු” (Continental  Non – Stop Revue) නමින් ජෙන්කින්ස් සහ ශූබර්ට් සර්කස් කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සර්කස් සංදර්ශන සඳහා ඔහු ගායනයෙන් සහ වාදනයෙන් සහභාගී වූයේය. පස් මසකට ආසන්න කාලයක් ඔවුහු සිය සංදර්ශන දිවයින පුරා රැගෙන ගියහ. එක් සංදර්ශනයකට පැය දෙකක් බැගින් දිනකට තෙවතාවක් සතියට දින හතක් ලෙස එම සංදර්ශන දිග හැරුණි. සාමාන්‍ය සර්කස් හරඹ මෙන්ම කොමඩි, මැජික් දර්ශන වලින් හා සංගීත රාවයෙන් මේවා පිරී පැවතුනි.එහි ගෙවුනු සෑම මිනිත්තුවක්ම ඔහුට අතිශය තෘප්තකර වීය. මෙම සර්කස් කණ්ඩායම ලංකාවට එන ගමනේදී ඉන්දියාවේදී ෆ්‍රෙඩ් සහ එඩ්නා යුවළගේ වැඩිමහල් පුතු අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. එනිසා තවමත් ළාබාල වියේ පසුවූ තාත්තාව ඔවුනට හදා වඩා ගැනීමට අවශ්‍ය වී ඇත. ඔවුන් හා ලොව වටා සංචාරය කරන්නට තාත්තාට බෙහෙවින් උවමනා වන්නට ඇත. එහෙත් සිය වැඩිමහල් පුතුගෙන් වෙන්වීම මවකට කල නොහැක්කක් හෙයින් සිය මගෙන් ඔහුට ඊට අවසර ලැබී නැත.

ඉන්පසු ඔහු ඩොනවන් ඇන්ඩ්‍රි යටතේ අර්ධ කාලීන රැකියාවක් කළේය. තාත්තාට අනුව ඔහු ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ එකම සහ හොඳම වාණිජ කලාවට දායකත්වයක් දැක්වූ පුද්ගලයාය. ඔහු යටතේ කටයුතු කළ ප්‍රථම වෘත්තීමය කලාකරුවා තාත්තාය. එය ඔහුගේ කලා දිවියේ ඔහු ලද සුවිශේශී වරමක් වැන්න.

සර්කස් කණ්ඩායම හා එක්ව සිටි කාලය ඔහුට බොහෝ මිහිරි මෙන්ම කටුක මතකයන් රැසක්ද ඉතිරි කොට ඇත. තවමත් නව යොවු වියේ පසු වූ ඔහු සංකීර්ණ සමාජයක අහිතකර පෙළ ගැස්ම විඳ දරා ගැනීමට හැඩ ගැසී නොසිටියේය. මුවහත් සැත් තුඩින් මේ තරුණ දරුවා  බිය වැද්දවූ ඇතැම් සොරුන් ඔහුගේ මුදල් සොරා ගත්තේය. ඔහු දෙවරක්ම නුගුණ මිනිසුන්ගේ වැර පහර ලද්දේය. එක් වරක් මැරයන් පිරිසක් හා කොලහයකට මැදිවුණ ඔහුට මැදියම් රාත්‍රී කාලයේ නැවත සර්කස් කණ්ඩායම වෙත යාමට මග සොයා ගත නොහැකි විය. කුඩා ගම්මානයක සුසාන භූමියක් හරහා ඔහු යමින් සිටියදී ඒ අවතාරයක් යැයි මිනිසෙකු බිය වැදී ඇත. මෙය මිනිසුන් බිය වැද්දීමට ඔහු හිතා මතා කරන ලද්දකැයි වැරදි වැටහීමකට පැමිණි ගම්වාසීන් ඔහුට දරණු ලෙස පහර දී ඇත. ඔවුන් මෙන්ම ඔහුද අතිශය බියට පත්ව සිටි බව ඔවුන් නොදත් කරුණයි. පහරදීම් නිසා මදක් අවසිහි තත්වයට පත් වූ ඔහු රාත්‍රිය ගෙවා ඇත්තේ සොහොන් ගොඩැල්ලක් මත බව දැක තවදුරටත් බියට පත්වී ඇත.  ජීවිතයේ ප්‍රථම වතාවට ඔහු සිතින් සිය නිවසේ සුවැති රැකවරණය පතා ඇත. තාත්තාගේ අම්මා මේ කිසිවක් නොදත්තාය. එහෙත් සිය පුතා එතරම් කුඩා වයසකදී රටින් පිට නොයැවීමට ඈ ගත් තීරණය කෙතරම් කාලෝචිතදැයි එම කාලවකවානුව දෙස සිය සැඳැ  සමයේ සිට හැරී බලන තත්තා පවසයි.

දැන් මම නැවත ලියන්නේ ඔහු නැවත සිය ලෝරන්ස් පාරේ නිවසේ සිටි කාලය ගැනයි. ඔහුට එවකට පූර්ණ කාලීන රැකියාවක් නොවූයේය. එහෙත් ඔහුට පෙම්වතියන්ගෙන් නම් අඩුවක් නොවූයේ හුදෙක් ඔහු ගිටාරය වයන්නට දත් නිසාම පමණි. එවකට රේඩියෝ සිලෝන් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වර්නන් කොරයාව ඔහුට හමුවන්නේ මේ අවදියේදීය. ඩෙස්මන්ඩ් කෙලී නම් පුද්ගලයා තුළ තිබූ විභවය දුටු කොරයා ඔහුට රේඩියෝ වැඩසටහන් මෙහෙයවීම පිළිබඳ පුහුණු කළේය. “ස්පොට් ලයිට්” (Spotlight) නමින් ගුවන්ගතවූ ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රථම රේඩියෝ ශිල්පියා වූ යේ තාත්තාය. එම වැඩසටහන සඳහා ඔහු ඉහළ රසික ප්‍රතිචාරයක් ලද්දේය. ඉතා ඉක්මණින් ඔහුට කුඩා රසික සමාජයක් ගොඩ නැගුණි. ඉන් වැඩිහරියක් කාන්තාවෝ වූහ. තාත්තා විවාහ වූ පසුවද ඔහුට කිසිදා නොදත් ඇතැම් කාන්තාවන්ගෙන් විවාහ යෝජනා ලැබුණි. එපමණක් නොව එම කාන්තාවන් විවාහකර ගතහොත් දායාද ලෙස අක්කර ගණනින් ඉඩකඩම්ද පිරිනැමෙන බවට පොරොන්දු ලැබුණි. තාත්තා රැවටිලිකාර ලෙස ද්විවිවාහ කර නොගත් නිසාය; නැත්නම් අද ඔහු ලංකාවේ විශාලතම ඉඩම් හිමිකරු වන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහු ගායනයට දක්වන සාමාර්ථය වගා කිරීමට නොදක්වයි. අදටත් ඔහු වල් පැළෑටියක්වත් වවන්නට නොදන්නේය!

1953 වර්ෂය වන විට තාත්තාගේ ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය නොවුණු ඩොනවන් සංවිධානය කළ ප්‍රසංගයකට ඔහු ගී නොගැයූ සතියක් ගෙවී ගියේ ඉතා කලාතුරකිනි. එමෙන්ම තාත්තා ගී ගයා නැති ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක් හෝ හෝටලයක් එකළ නොවීය. බයිලා, බැලඩ් කාව්‍ය, කැලිප්සෝ, ලතින් ගීත, දේශීය ගීත වැනි ඕනෑම සම්ප්‍රදායක ගීත ඔහු ගැයුවේය. එතරම් ජනප්‍රිය වීමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කුමක්දැයි ඔහු නිවැරදිවම දැන සිටීමයි. ගයන ගීතයෙන් ප්‍රේක්ෂකයන් වෙලා ගැනීමට හැකි අරුම පුදුම හැකියාවක් ඔහුට තිබුණි. ඔහු වෘත්තීය මට්ටමේ ගායකයෙකු විය. සෑම විටම ඔහු එම තත්වය ආරක්ෂා කළේය.ඔහු ගයනු නැරඹීමට මුදල් ගෙවන ප්‍රේක්ෂකයන් හොඳම දේ ලැබීමට සුදුසුකම් සපුරන බව ඔහු විශ්වාස කළේය.

සිය සංගීත ජීවිතය වර්ණවත් කර ගැනීම සඳහා ඩොනවන් ලබා දුන් සහයෝගය ඔහු නිරතුරුවම ගෞරවයෙන් සිහිපත් කළේය. එකළ ඩොනවන් නවක ගායකයන්ට ක්ෂේත්‍රයට පිවිසීමට අතහිත දුන්නේය. බිල් ෆෝබ්ස් සහ ක්ලිෆ් ෆෝනැන්ඩර් ඉන් දෙදෙනෙකි. නමුත් ඔවුන් වඩාත් ජනප්‍රිය වූයේ ලංකාවේ නොව විදේශ රටවලය. බිල් එංගලන්තයට ගොස් කොලොම්බියා රෙකෝඩ් ලේබලය යටතේ සිය වෘත්තිය සාර්ථක කරගත් අතර ක්ලිෆ් සිංගප්පූරුව වැනි විවිධ රටවල සංචාරය කළේය. ඔහු “ෆැබියුලස් එකෝස්” (Fabulous Echoes) නම් පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකත්වය ලද අතර ඔවුන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉමහත් ප්‍රසිදිධියක් ලදහ. එකළ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ “එඩ් සලිවන්” (Ed Sullivan) වැඩසටහනට සහභාගී වීමටද ඔවුහු අවස්ථාව ලද්දෝය. සරළවම ගත් කළ ඩොනවන්ගේ උදවු නොලද ජනප්‍රිය ගායකයෙකු 50 දශකයේ නොවීය.

කෙසේ වෙතත් තාත්තා ලංකාවේම රැඳුනේය. ඔහු ඩොනවන් යටතේ අර්ධ කාලීන වශයෙන් රැකියාව කළද 1954 වසරේදී එනම් ඔහුට වයස අවුරුදු 18 ක් වන විට ඔහු සිලෝන් රාජකීය නාවික හමදාවේ සැපයුම් සහකරුවෙකු වශයෙන් සේවය කළේය. එහිදී ඔහු අධික ලෙස සිගරට් හා මත්පැන් පානයට ඇබ්බැහි විය. ඔහු ඉන් කෙතරම් මත් භාවයට පත් වන්නේද යත් ඔහුගේ උඩු බාහු දෙකෙහිම පච්ච කොටන විට ඔහුට එහි වේදනාවක් දැනී නැත. මෙම ක්‍රියාව දෙස ඔහුගේ නාවික සඟයන් බලා සිට ඇත්තේ වික්ෂිප්තය මුසු විනෝදයකිනි.

පිටතදී ඩොනවන් මෙන් නාවික හමුදාවේදී ඔහුගේ සංගීත ගමනට අත හිත දුන්නේ රෙයාර් අද්මිරාල් රොයිස් ද මෙල් ය. ” ගී ගයන නාවිකයා” (Singing sailor) ලෙස ඔහු තාත්තාව හඳුන්වා ඇත.  තාත්තාගේ සංගීත කටයුතු සඳහා ඔහු නොපැකිළිව අනුග්‍රහය දකවා ඇත.

මේ වන විට ලංකාවේ තාත්තා නොදත් කෙනෙක් නැති තරම් වීය. කරෙහි එල්ලා ගත් එකෝස්ටික් ගිටාරය ඔහුගේ ගමන් සඟයා මෙන් විය. එවකට ලංකාවේ තාත්තා නොගැයූ සංගීත ප්‍රසංගයක් නැති තරම්ය. සංගීත මූලධර්ම පිළිබඳ ඔහු හදාරා නැත. එහෙත් මේ අවධිය වන විට ඔහුට තනිවම ගීත ප්‍රබන්ධ කිරීමේ හැකියාව ලැබී තිබිණි.”ඩ්‍රීම් වර්ල්ඩ්” (Dream World) නමින් ගීතයක් නෙලියා වෙනුවෙන්ද, “සෙලෝනියා” (Celonia) නමින් ගීතයක් සිය යහලුවෙකු වූ මෙල්රෝයි ද සිල්වා වෙනුවෙන්ද ඇලෝමා නැමැති ගැහැණු ළමයෙකුට ගීතයක්ද ඔහු ලීවේය. ඔහු බොහෝ ගීත ලියූවේ ඔහුට හමුවූ විවිධ ගැහැණු ළමුන් පිළිබඳවයි. තවමත් නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී සිය සිහින කුමරිය හමුවන්නේද මේ ආසන්න කාලයේදීය. ඇය නමින් සින්තියා ය. 1956 දී ඔවුන් දෙදෙනා විවාපත් වෙයි. ඉන්පසු “ඩ්‍රීම් වර්ල්ඩ්” ගීතය ගැයුනේ අම්මා වෙනුවෙනි.

තාත්තා බොහෝ ගීත ලියා සංගීතවත් කළේය. එහෙත් වැඩිම ජනප්‍රියත්වයක් ලඟා කර ගත්තේ ” ඩ්‍රීම් වර්ල්ඩ්” ගීතයයි. එය ඔහු ගායනා කරන්නේ “සෙමි ටෝන්ස්” (The Semi-Tones)  නම් සිය ගායන කණ්ඩායමත් සමඟයි. ඔහුගේ සොහොයුරු රෝගන් කෙලී, චාලි ශොක්මන් සහ කොන්රැඩ් ද සිල්වා මෙම කණ්ඩායමේ සාමාජිකයන් වූහ. එය නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවයේ සිටි තාත්තාගේ මිතුරු ක්‍රිස් ග්‍රීට් විසිනි. ලංකාවේ මෙන්ම විදේශයන්හිද එකසේ ජනප්‍රිය වූ මෙම ගීතය අදටද බොහෝ දෙනාගේ මතකයේ රැඳුනකි. ප්‍රථම වතාවට ලංකාවේ ඉංග්‍රීසි ගීතයක් ලෙස ෆිලිප්ස් සමාගම විසින් භාර ගනී; ඒ “ඩ්‍රීම් වර්ල්ඩ්” ගීතයයි. “චා චා බේබි” (Cha Cha Baby) නම් ගීතය අඩංගු ගී තැටි ලංකාවට පැමිනීමටත් ප්‍රථම දහස් ගණනින් විකිණී ඇත. මෙම ගීතය “හිට් පැරේඩ්” (Hit Parade) ගීත දර්ශකයේ මාස තුනක්ම රැදී තිබී ඇත්තේ එල්විස් ප්‍රෙස්ලිගේ “ඩෝන්ට් බී කෘවල්” (Don’t Be Cruel)නම් ගීතය දෙවැනි තැනට තබමිනි. “ඩ්‍රීම් වර්ල්ඩ්” ගීතය ඉන්දියාවේ “බිනාකා හිට්  පැරේඩ්” ගීත දර්ශකයේද ප්‍රථම ස්ථානයේ රැඳී තිබී ඇත.

1936 සිට 1962 දක්වා විසිහය වසක් තාත්තා ජීවත් වූයේ මේ පුංචි දිවයිනේය. එය ඔහුගේ ජීවිතයෙන් ඉතා කුඩා කාලයක් යැයි ඔබ කියනු ඇත. එහෙත් එය ඔහුගේ ජීවිතයේ සොඳුරු එමෙන්ම වැදගත් සිද්ධීන්ගෙන් පිරිණු කාලයකි. තාත්තා ලංකාව හඳුන්වන්නේ “මනහර ලංකා දිවයින” (Lovely  Island Home) ලෙසයි.1962 දී නාවික හමුදාවෙන් ඉවත්වුනු තාත්තා අම්මාද මයිකල් සහ ඩග්ලස් මාගේ සහෝදරයන් දෙදෙනාද කැටුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට සංක්‍රමණය කළේය. මා සහ මගේ මල්ලී වොරන් උපදින්නේ ඕස්ට්‍රේලියාවේදීය.  තාත්තා තවදුරටත් ලංකාවේ නොසිටියද “ඩ්‍රීම් වර්ල්ඩ්” ගීතයට තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇති බවට අපට දැන ගන්නට ලැබේ.

ඕස්ට්‍රේලියාවේදී තාත්තා වෘත්තිය කර ගත්තේ රඟපෑමයි. ක්‍රෝෆෝඩ් සමාගම විසින් නිෂ්පාදිත “හොමිසයිඩ්” (Homicide) සහ “හන්ටර්” (Hunter) රූපවාහිනී නාට්‍ය වල ඔහු රඟපෑවේය. එමෙන්ම ඔහු මෙල්බර්න්හි ෆෙඩරල් හෝටල් සමූහයේ විනෝද කටයුතු පිළිබඳ සහකාර කළමණාකරුවෙකු වශයෙන් අර්ධ කාලීන රැකියාවක් කළේය. එහිදී ඔහු “සර්ච් ෆො අ ස්ටාර්” (Search for a Star) නම් වැඩසටහන සංවිධානය කළේය. එමෙන්ම ඔහු සංගීත කණ්ඩායම් කිහිපයක් හා කලාකරුවන් කිහිපදෙනෙකු කළමණාකරනය කළේය. තවද ඔහු ඉහළ පෙළේ සමාජ ශාලාවල ගී ගැයීමද නතර කලේ නැත.

ඔහු ක්‍රෙස්ට් (Creast) ලේබලය යටතේ සිංහල ජන ගී පටිගත කළේය. එමෙන්ම “ද මිඩ්නයිට් ෆයිව්” (The Midnight  Five) ගීතය සිංහලෙන් ගැයුවේය (ලංකාවාසීන් එම ගීතයට ඇලුම් කළහ). ඔහු රූපවාහිනී වැඩසටහන් තරඟයකට මාර්ග ආරක්ෂාව ගැන ලියවුණ ගීතයක් ගයා ජයග්‍රහණය කළේය. ඔහු ගීත සිය ගණනක් ලියා සංගීතවත් කොට සීඩී තැටි වලට පටිගත කරන්නට ඇත. තවද ඔහු ඩී.කේ. සෙකියුරිටි (D.K.Security) නමින් ආරක්ෂණය පිළිබඳ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යයි. තවමත් ඔහු සිය නිවසේ සිට කීබෝඩය වාදනය කරමින් ගීත පටිගත කරයි. ඔහු දැනට ජාත්‍යන්තර පුවත්පත්  කලාවේදියෙක් ලෙසද කටයුතු කරයි. ඔහු විසින් රචිත ලිපි ඇමරිකාව, එංගලන්තය, කැනඩාව වැනි රටවල පළවෙයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ “ලංකා ටයිම්ස්” (Lanka Times) පුවත්පතේ කතුවරයාද ඔහුය.  

තාත්තා සිය අසූ වැනි උපන්දිනය 2016 දී සැමරීමට බලාපොරොත්තුවෙන් සිටී. සුෂුම්නාවේ ආබාධයක් නිසා ඔහුගේ ඇවිදීම සීමාවී ඇත.

තාත්තාගේ කතාවට මට එක් කිරීමට තවත් දෙයක් ඇත. ඒ ඔහු හරි අපූරු පියෙකු බවයි. ඔහු අපිව ඉතා හොඳින් රැක බලා ගත්තේය.ඔහු අපගේ ජීවිත වලට සාර්ථක මග පෙන්වන්නෙකු විය. මමත් මගේ සහෝදරයනුත් ඔහු ගැන නිහතමානී ලෙස ආඩම්බර වෙයි.  ඔහු මගේ තාත්තා වීම මා ලද දේව ආශීර්වාදයක් වන්නට ඇත.

මයිකල්  කෙලී
2015 දෙසැම්බර්
පරිවර්තනය :  යශිනි සේනානායක

error: Content is protected !!

Have a passion to write ?

Join our Team

Subscribe!