බයිලා ලොවේ රන් කිරුල….
ඩෙස්මන්ඩ් ද සිල්වා

ශ්‍රී ලාංකේය බයිලා සංගීත ක්ෂේත්රයට තම මධුර ස්වරය දායාද කළ , බයිලා ලොවේ රජු ලෙස කිරුළු පැලැඳූ , පනස් වසක් මුළුල්ලේ ලොවක් රස ගැන්වූ ගායන ශිල්පියා ඔහුය. “චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි ” වැනි පරම්පරා ගණනාවක සිත් ගත් ගීතය ඇතුළුව ” යමන් බණ්ඩො වෙසක් බලන්න ” , ” පොල්කටු හැන්දෙ මිට වගේ “, ” මම්මා නෝ පප්පා නෝ ” වැනි සැම හද දිනූ ගීත රාශියක් ලාංකේය සංගීත ක්ෂේත්රයට තිලිණ කර දුන් ඔහු ඩෙස්මන්ඩ් ද සිල්වා ය.
1944 වසරේ ජුලි මස මාතර ප්‍රදේශයේදී නාපේ රංගේ ගොඩගේ ඩෙස්මන්ඩ් ඇනක්ලිටස් රජිව් ද සිල්වා නමින් ඔහු ජන්මය ලැබුවේය. කුඩා අවධියේදීම කොළඹ ප්‍රදේශයේ වාසය කිරීමට යාමට ඔහුට සිදු වන අතර පස් වන ශ්‍රේණිය දක්වා ඔහු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේය. ඉන් පසුව නැවත සිය උපන් ගම වෙත පැමිණෙන ඔහු සිය පාසල් අධ්‍යාපනය නිම වන තෙක් ඔහුගේ පිය පාර්ශවයේ ඥාතීන් ඇසුරේ හැදී වැඩුණේය. පවුලේ හුදු විනෝදය පිණිස සාදා ගෙන තිබු සංගීත කණ්ඩායමක ගී ගයමින් කුඩා ඩෙස්මන්ඩ් සිය ගායන දිවියට අත් පොත් තැබුවේය. නමුත් ඔහු අනාගතයේදී ලොවක් වැළඳ ගන්නා ගායකයෙකු වනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත.
1963දී ඩෙස්මන්ඩ් ” ෆයර් ෆ්ලයිස් ” සංගීත කණ්ඩායමේ දක්ෂතම ගායකයෙක් වශයෙන් සිය ගායන දිවිය අරඹන්නේය. ඉන් අනතුරුව ඩියානා ද සිල්වා සමඟ විවාපත් වන ඔහු ගීත ගායනයට සමු දී දුම්කොළ සමාගමක රැකියාවකට පිවිසෙන්නේය. සුළු කලකින් රැකියාවෙන් සමු ගන්නා ඔහු ” ෆින් ෆයර්ස් ” සංගීත කණ්ඩායමෙහි ගායන ශිල්පියෙකු වශයෙන් නැවතත් ගායන දිවිය අරඹන අතර ඉන් අනතුරුව ” ජෙට් ලයිනර්ස් ” නැමැති සංගීත කණ්ඩායම සමඟද තම සංගීත දිවිය ඉදිරියට ගෙන යන්නේය.



1969 වසරේදී ” සූරිය ” සමඟ ස්පිට් ෆයර්ස් බ්ලාස්ට් ඕෆ් ගීත එකතුවේ බටහිර ගී ගායනයෙන් ඩෙස්මන්ඩ් තම ගායන හැකියාව තම රසික රසිකාවියන් හමුවට ගෙන ගියේය. 1971දී නැවත ” සූරිය ” ලේබලය යටතේ නිමැවුණු ” ක්ලෝඩ් ඇන්ඩ් ද සෙන්සේෂන්” ගීත එකතුවේ නොයෙලින් හා සෑම් යන ගායන ශිල්පීන් සමඟ තම මියුරු ස්වරය එක් කිරීමට ඔහුට හැකි විය.
1976දී ඔහු ඔහුගේම සංගීත කණ්ඩායමක් වූ ” ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන් ” පිහිටුවමින් තම ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලඟා වන්නේය. මුල් යුගයේදී තම ගීත වලට අමතරව එල්විස් ප්‍රෙස්ලි හා ටොම් ජෝන්ස් වැනි ලෝකප්‍රකට ගායන ශිල්පීන්ගේ ගීතද ගායනා කරමින් රසික සිත් පිනවූ ඔහු එකල ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි ලෙස බටහිර ගීතයන්ට ඇලුම් කළ රසිකයන් අතර ප්‍රකට විය.









” සූරිය ” සමඟ නැවතත් 1977 දී එක් වෙමින් ” පොඩි මල්ලී ” සිනමා නිර්මාණයේ එන සුනිල් ආරියරත්නයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු ” රංචු ගැසී ” ගීතය ගායනයට ඔහු සමත් වුවේය. එම වසරේදීම ” සූරිය ” හා සුසංයෝගයෙන් ” මතකයි අම්මේ ඔබෙ ” ගීය අන්තර්ගත කරමින් ගීත එකතුවක්ද , ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු හා ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා සමඟ වාද බයිලා එකතුවක්ද , එම ශිල්පීන් දෙදෙනා සමඟ වෙන වෙනම වාද බයිලා එකතු ද්විත්වයක්ද තිලිණ කරමින් ඔහු බයිලා සංගීත ක්ෂේත්රය රස ගැන්වුවේය. ඔහු ගායනා කළ ගී අතරින් අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ ” චූඩ මාණිකේ බලාල ” ගීතය ” නිව් සවුන්ඩ්ස් ” ලේබලය යටතේ පටිගත කරමින් ශ්‍රී ලාංකේය බයිලා සංගීත ක්ෂේත්රයේ ඔහුගේ සලකුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඔහු සමත් විය.
” කිරිල්ලී රන් කිරිල්ලී “, ” නිල්වන් මුහුදු තීරේ “, ” කැන්ඩි ලමිස්සී “, ” සුමිහිරි පානේ ” වැනි ගී ද හඩ්සන් සමරසිංහ මහතා විසින් ලියැවුනු “යන්න රට වටේ ” ගීයද ගායනයෙන් රසික සිත් තම ආකර්ෂණයට ගැනීමට ඩෙස්මන්ඩ් ද සිල්වා නැමැති මෙම විනෝදකාමී ගායන ශිල්පියා සමත් වුවේය. ආනන්ද සෙනෙවිරත්න මහතාගේ සංකල්පනාව අනුව යමින් සිංහල හා ඉංග්‍රීසි භාෂා සංකලනයෙන් ” සිංග්ලිෂ් ” ගීත කලාව හඳුන්වා දීමේ ගෞරවය හිමි කර ගන්නේද මෙම සොඳුරු ගායන ශිල්පියාය.
බයිලා ලොවේ සැබෑ පෙරලිකරුවෙකු වූ ඔහු ” බයිලා 20 “, ” ග්රැමෆෝන් එක්ස්ප්‍රස් “, ” චූඩ මාණිකේ “, ” හාදු හතක් “, ” කොමලි පනේ “, ” බයිලා රාජ්ජේ ” සහ ” ඩෙස්මන්ඩ් ද සිල්වා විත් සන්ෆ්ලවර්ස් ” යනාදී ගීත එකතු රැසකින් සංගීත ක්ෂේත්රය පෝෂණය කළේය.



1979 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් හිදී පැවැත්වුන පස් වන ” ඔලිම්පියාඩ් ඔෆ් සෝන්ග්ස් ” උළෙලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඔහු සමත් වුවේය. එමෙන්ම ජපානයේ ටෝකියෝහි පැවැත්වුන යමහා ගීත උළෙලටද ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔහුගේ දායකත්වය ලැබුණි.
ගායකයෙකු වශයෙන් පමණක් නොව සමාජ සේවකයෙකු වශයෙන්ද සිය වගකීම ඉටු කිරීමට කැප වූ ඔහු ” ඔටිසම් ” රෝගීන්ගේ සුභ සිද්ධිය උදෙසා දැනුවත් කිරීමේ ව්‍යාපාර හා ප්‍රසංග ආදිය සංවිධානය කරමින් මහත් සමාජ මෙහෙවරක් සිදු කර ඇත. ඒ වෙනුවෙන් 2006 වසරේ මාර්තු 31 වන දින සිඩ්නි නුවර ප්‍රථම වරට ප්‍රසංගයක් පැවැත්වීමට මෙම සොඳුරු ගායන ශිල්පියා සමත් වුවේය.



දෙස් විදෙස් රසික රසිකාවියන්ට බයිලා ගී රස විඳීමට අවකාශ සපයමින් වසර ගණනාවක් එංගලන්තයේ දිවි ගෙවූ ඔහු වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිය බිරිඳ ෆීලික්ස් සමඟ වෙසෙන්නේය. “ද ජර්නි ” ප්‍රසංග මාලාව හරහා ලොස් ඇන්ජලිස් , නිව්යෝක් , ඉතාලිය හා පැරිසිය ඇතුළු විදේශයන්හිදී ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ මෙම ගායන ශිල්පියා හට තවත් බොහෝ කලක් ලොව පුරා ශ්‍රී ලාංකේය බයිලා සංගීතය රැගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහුගේ ගීත කෙරෙහි පෙම් බඳින සෑම රසික සිතකම රැඳෙන ප්‍රාර්ථනය වන බවට නො අනුමානය.


