• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සී. ද ඇස්. කුලතිලක

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

දේශීය ජන සංගීතයේ මහා ගවේශකයාණෝ……
සී. ද ඇස්. කුලතිලක

අතීතයේ එක් දිනෙක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පැමිණෙන ආනන්ද සමරකෝන් නැමැති මහා සංගීතඥයා දැක පැහැදෙන කුඩා පාසල් ශිෂ්‍යයෙක් එතුමාගේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් වූ එස්රාජය වාදනය ඉගෙනීමට පෙළඹුණේය. පසු කලෙක,එනම් 1961දී “ක්‍රමවත් එස්රාජ් වාදනය” නැමැති ග්‍රන්ථය ලියැවෙන්නේ එදා ඒ සංගීතය හැදෑරීමට ආශා කළ ඔහු අතිනි. එයින් නොනැවතුණු ඔහුගේ ගමන කෙලවර වන්නේ මානව සංගීත විද්‍යාඥයෙක් ලෙස තම නාමය හෙළ  සංගීත වංශ කතාවට එක් කරමින්ය. හේ 1926දී අම්බලන්ගොඩ පොල්වත්තේදී  උපත ලද පින්නදූවහේවා සිරිල් ද සිල්වා කුලතිලක නම් අභිමානවත් කලාකරුවාණන්ය.

පොල්වත්තේ ශ්‍රී බුද්ධත්ත විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්ද  අධ්‍යාපනය ලබන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය හැරපියා පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස 1948දී තෙල්දෙණිය මහා විද්‍යාලයේ සේවයට එක් වුවේය. එම පාසලේදී සංගීතය,භූගෝලය විෂයන්ට අමතරව චිත්‍ර කලාවේද දක්ෂයෙකු වූ ඔහු චිත්‍ර විෂයද තම ශිෂ්‍යයන්ට ඉගැන්වීමට උත්සුක වුවේය.

1952 වසරේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා භාරතයේ විශ්ව භාරති විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ ඔහු එස්රාජ් වාදනයද මනා සේ උගත්තේය. 1956දී නැවත ලංකාවට පැමිණෙන ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ වාද්‍ය ශිල්පියෙකු ලෙස තේරී පත්වූවේය.

තම ශිල්පය තවත් බොහෝ දෙනෙකුට ලබා දීමේ චේතනාවෙන් ඔහු මීරිගම ගුරු විදුහලේ සංගීත උපදේශක ලෙස සේවයට එක් වුවේය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ “ක්‍රමවත් එස්රාජ් වාදනය” එලි දැක්වෙන්නේ මෙම වකවානුවේය. අනතුරුව මහරගම ගුරු විදුහලේ සංගීත කථිකාචාර්යවරයා ලෙස ඔහු පත් වන්නේය. ලාංකේය ජන සංගීතයේ පර්යේෂණ රාශියක නියැළුන මකුලොලුව මහතාගේත් කුලතිලකයන්ගේත් හමුවීම ඔහුගේ සංගීත දිවියට නව ජවයක් එක් කිරීමට සමත් විය.සති ගණන් නගරයෙන් බැහැර ගම්බද ප්‍රදේශ වලට ගොස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ගැමි ජනයා අතර රැඳෙමින් ඔවුන්ගේ අව්‍යාජ ජන ගැයුම් වැයුම් අසමින් හා පටිගත කරමින් තම ජන ගී එකතුව පොහොසත් කර ගැනීමට කුලතිලකයන්ට හැකියාව ලැබෙන්නේ මකුලොලුව මහතා සමඟ එක්ව කළ කී දෑ හි ප්‍රතිඵලයක් වශයෙනි. හෙළ සංගීතය පෝෂණය කළ විවිධ ජන ගායනා ඇසීමත් ඒවායේ නාද මාලාවන් මැනවින් විමසා බැලීමත් ඒවායේ අභාෂය ලත් නව නිර්මාණයන් බිහි කිරීමත් ඔහුගේ සංගීත ගමන් මගෙහි වූ මිහිරිතම අංගයන් විය.

ජන සංගීතයේ නාදමය සංසරණය සොයා යාමෙහි දැරූ අතිමහත් උත්සාහයේදී ලද දැනුමද, අත්දැකීම්ද අනුසාරයෙන් “ලංකාවේ සංගීත සම්භවය” කෘතිය රචනා කිරීමට කුලතිලකයන් සමත් වුවේය.ඔහුගේ හෙළ සංගීතය පිළිබඳව වූ පර්යේෂණාත්මක ගමන් මගෙහි සාර්ථකත්වයට ශක්තිමත් ඉදිරි පියවරක් තැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න යුගයේදී එහි ප්‍රථම වරට සංගීත පර්යේෂණ අංශය පිහිටුවීමත් සමඟය. ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ කුලතිලකයන්ගේ සිතේ දැල්වී තිබූ බලාපොරොත්තු නිවී ගියේ එහි පැමිණ සිටි ප්‍රවීනයන් දැකීමෙනි. නමුත් සුදුස්සාට සුදුසු තැන ලැබීම යථාර්තයක් බවට පත්වෙමින් කුලතිලකයන් ඊට තෝරා පත් කර ගැනීම පසුකාලීනව ලාංකේය ජන සංගීතයේ උන්නතිය උදෙසා ඉතිහාසයේදී ගත් නිවැරදිම තීරණයක් ලෙස හැඳින්විය හැකිය. එය ඔහුගේ ජන ගී පිළිබඳව වූ පුළුල් පර්යේෂණ සඳහා මෙන්ම සිය ප්‍රතිනිර්මාණයන් දේශීය සංගීතයට මුසු කිරීමට මනා තෝතැන්නක් විය. එහිදී මුල්ම ගුවන් විදුලි ජන ගී දීර්ඝ ධාවන තැටිය එළිදැක්වීමට තම දායකත්වය ලබා දීමටද ඔහුට හැකි විය.

1970දී සංගීත පර්යේෂණ අංශයේ අංශ ප්‍රධානි තනතුරට  පත් වූ ඔහුට ජන සංගීත පර්යේෂණ වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණි. පන් නෙලීමේ කවි අභාෂයෙන් “ගාන තෙල් සඳුන් වරලස” ගීතයද, බමර ගී අනුසාරයෙන් “බැද්ද වටට සඳ මොර මල්” ගීතයද, නෙලුම් ගී ඇසුරින් “දෑතට වළලු” ගීතයද, රබන් කවි අභාෂයෙන් “වරලසා වරල නීල” ගීතයද, හේවිසි ගී ඇසුරින් “සපුරා දස පිරූ” ගීතයද යනාදී වශයෙන් රසාලිප්ත සංගීතාංගයන් රැසක් කුලතිලකයන්ගේ වෙහෙසෙහි ප්‍රතිඵලයන් වශයෙන් බිහි විය. ගැට බෙරය, තම්මැට්ටම, යක් බෙරය, තාලම්පොට හා රබාන යනාදී දේශීය වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින් තම ප්‍රතිනිර්මාණයන්හි අලංකාර තාල තරංග මැවීමට ඔහු නිරන්තරයෙන් උත්සාහ කළේය. මෙම ප්‍රතිනිර්මාණයන්හි මිහිරි බව කොතෙක්ද යත්, ඇතැම් නිර්මාණයන් විදේශීය සංගීත සංයුක්ත තැටි වල පවා ඇතුලත් වීමෙන් ඒ බව ප්‍රත්‍යක්ෂ වේ.

තම මියුරු ප්‍රතිනිර්මාණය දේශීය සංගීතයට මුසු කිරීම පමණක් නොව සංගීත ක්ෂේත්‍රයට සුමධුර නවක හඬ කිහිපයක් හඳුන්වා දීමේ ගෞරවය හිමිවිය යුත්තේද කුලතිලකයන්ටය. දශක ගණනාවක සිට අදටත් දහස් සංඛ්‍යාත රසික හදවත් සනසාලන හඬක් හිමි ටී.එම් ජයරත්න නැමැති සොඳුරු ගායන ශිල්පියාගේ ආගමනය සිදු වන්නේද එලෙසිනි. ඒ කුලතිලකයන්ගේ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ “ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට” යන ගීතය හරහාය. එමෙන්ම වර්තමානයේදීද ජන සංගීතය හා හෙළ සම්ප්‍රදායන් වෙනුවෙන් පෙනී සිටින දැවැන්තයෙකු වන රෝහණ බැද්දගේ මහතාද කුලතිලකයන්ගේ ජන ගී පර්යේෂණ හරහා සිය ගමන් මගට ආලෝකයක් ලඟා කරගත් කලාකරුවෙකු ලෙස හැඳින්විය හැකිය. තවද, නීලා වික්‍රමසිංහ හා නන්දා පතිරණ යන ගායන ශිල්පිනියන්ද කුලතිලකයන්ගේ උත්සාහයෙන් බිහි වූ නිර්මාණයන්ට හඬ මුසු කිරීමට වරම් ලැබූවන් වුහ.

ජන සංගීතයට ඇලුම් කළ මෙම සොඳුරු කලාකරුවාණන්ගේ අප්‍රතිහත ධෛර්යයත්, උත්සාහයත් මල්ඵල  ගන්වමින් ගුවන් විදුලි සංස්ථාව හරහා “හෙළ ජන ගී”, “කොහොඹා කංකාරිය”, “කපුයක්කාරිය” හා “නාඩගම් සංගීතය” වැනි පර්යේෂණාත්මක නිර්මාණ අන්තර්ගත කරමින්  LP තැටි කිහිපයක් නිකුත් කිරීමට හැකිවිය.

කුලතිලකයන් අතින් සිදු වූ තවත් දැවැන්ත මෙහෙයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියට “මානව සංගීත විද්‍යාව” යන විෂය හඳුන්වා දීම සඳහන් කළ යුතුමය. එමෙන්ම “ජන සංගීත සිද්ධාන්ත”යනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද කෘතිය රචනා වුවේද ඔහු අතිනි. සංගීත විෂයෙහි ඔහු සතුව වූ පරිනත දැනුම නිසා සංගීත විශ්ව කෝෂයට ලිපියක් ලිවීමට ඇරයුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වීමට ඔහුට හැකිවිය.

“සූරිය” ලේබලය යටතේ නිකුත් වුණු ජී.ඩී.එන්.යූ 55 දරණ “දහඅට වන්නම 1”, හා ජී.ඩී.එන්.යූ  54 දරණ “දහඅට වන්නම 2” යන කැසට් පට දෙක පටිගත කිරීමේදී සංගීත අධ්‍යක්ෂණයෙන් සහය වන්නේ කුලතිලකයන්ය. ටී.එම් ජයරත්න, රෝහණ බැද්දගේ, නන්දා පෙරේරා හා කේ.නිමලසිරි ඇතුළු ගායන ශිල්පීන්  රැසක් එහිදී තම හඬ ඒ සඳහා මුසු කළහ. “සිංහල බෙර පද” ලෙසින් “සූරිය” යටතේ පටිගත කළ ජී.ඩී.එන්.යූ 45 දරණ කැසට් පටයට නාඩගම් රංග කලාවේ එන බෙර වාදන, මගුල් බෙර වාදන හා බෙර වාද්‍ය වෘන්ද සඳහා තම දායකත්වය ලබා දීමට ඔහුට හැකි විය. ජී.ඩී.එන්.යූ 31 නාමාවලි අංකය සහිතව “සූරිය” වෙතින් නිකුත් වූ “රත්නවල්ලි” කැසට් පටයේ සංගීත අධ්‍යක්ෂණයද කුලතිලකයන්ගේය. එහි ගායනයෙන් දායක වීමට ටී.එම්. ජයරත්න, ධම්ම ජාගොඩ, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි හා නීලා වික්‍රමසිංහ වැනි දක්ෂ ගායන ශිල්පීන්ට අවස්ථාව උදා විය. “සූරිය” ලේබලය යටතේ නිකුත් වුණු ජී.ඩී.එන්.යූ 33 දරණ “ජය මංගල ගාථා” කැසට් පටයේ මගුල් බෙර, ජය මංගල ගාථා හා අෂ්ටක පටිගත කිරීමේදී තම දායකත්වය ලබා දීමටද ඔහුට හැකි විය. “සූරිය”හි අභිමානවත් නිර්මාණයක් වන ජී.ඩී.එන්.යූ 66 දරණ “ශ්‍රී ලංකා ජාතික ගීය” කැසට් පටයේ ස්වර මාධූර්යය ද කුලතිලකයන්ගේය.

හෙළ සංගීතයේ උන්නතිය වෙනුවෙන් මහත් සේ කැප වුන කුලතිලකයන් විසින් සිදු කළ පර්යේෂණ පිලිබඳ පැහැදුණු විදේශීය විද්වත් සංගීත පර්යේෂකයන්ගෙන් ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ජපානය හා නොර්වේ වැනි රටවල සම්මන්ත්‍රණයන්හි හා වැඩසටහන්හි විශේෂ දේශන සඳහා ඔහුට බොහෝ ඇරයුම් ලැබුණි. නොර්වේ රාජ්‍යයෙන් වරක් ඔහුගේ පර්යේෂණ අගයනු වස් තිලිණ කළ බහුවිධ සංගීතමය කාර්යයන් උදෙසා යොදාගත හැකි  නවීන විද්‍යුත් උපකරණය කුලතිලකයන් විසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ප්‍රදානය කරන ලදී.

එමෙන්ම වෙනත් රටවල ජන සංගීත ශිල්පීන් මෙරටට ගෙන්වා එක් එක් රටවල් වලට ආවේණික ගායනයන් හා වාදනයන්ගෙන් සමන්විත වැඩසටහන් සංවිධානයටද මූලික වී කටයුතු කළේ කුලතිලකයන්ය.

“පලිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණයද ඔහු විසින් සිදු කළ අතර ඔහු දේශීය සංගීතය අනාගත පරපුරට උරුම කර දීමෙහි ලා මහඟු වෙහෙසක් දැරුවේය. ලංකා කලා මණ්ඩලයේ ජන ගී හා සංගීත අනුමණ්ඩල සාමාජිකයෙකු ලෙසත් වරෙක එහි සභාපති ලෙසත් ඔහු කටයුතු කළේය. තම ජීවිත කාලයෙන් වැඩිමනක් කැප කරමින් හෙළ සංගීතයේ ප්‍රගමනයට ක්‍රියා කළ මෙම කලාකරුවා “කලා කීර්ති” ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේය. නමුත් දේශීය සංගීත ක්ෂේත්‍රයට වූ මෙතෙකැයි කියා නිම කළ නොහැකි ඔහුගේ කෘතහස්ත මෙහෙවර ඇගයීමට එම ගෞරව නාමයද නොසෑහේ. විශ්‍රාම ගිය පසුවද තම පර්යේෂණ කටයුතු වලින් නොනික්මුනු වයෝවෘද්ධ කුලතිලකයන් පෑන සිය අතැඟිලි අතර රඳවා ගත නොහැකි වූ විට පරිගණකයෙන් සිය කටයුතු වල නොනවත්වාම නිරත වුවේය. මෙලෙසින් සිය ජන සංගීත පර්යේෂණ කටයුතු උදෙසා වූ කැපවීම නිසාම වයස්ගත වීමෙන් ඇති වූ ශාරීරික දුර්වලතාවයන්ට පවා අභියෝග කළ කලාකීර්ති සී ද එස් කුලතිලකයන් තම බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනාගෙන් පමණක් නොව තමා ඇලුම් කළ ජන සංගීතයෙන්ද 2005 වසරේ මැයි 21 වන දින සමුගත්තේය.

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

සී. ද ඇස්. කුලතිලක

උපත  – 1926 දෙසැම්බර් 19

විපත  – 2005 මැයි 21

ප්‍රභේදය – ග්‍රන්ථ(පොත්)

Previous Artist
සී. ටී. ප්‍රනාන්දු
Next Artist
සුනිල් එදිරිසිංහ

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved