
ඇන්ටන් ජෝන්ස් 1937 ජුනි මස 03 වන දා කොළඹ අලුත්කඩේ දී මෙලොව එළිය දුටුවේ ය. දරුවන් දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ , බාල දරුවා වූ ඔහුට එක් වැඩිමල් සොහොයුරියක් විය. ජෝන්ස්ගේ පියා බර්ගර් ජාතිකයෙකු වුව ද , මව සිංහල බෞද්ධ කාන්තාවක් වූවා ය. කුඩා කල ඔහු සිය පවුල සමඟ කොළඹ අලුත්කඩේ ශාන්ත සෙබෙස්තියන් වීදියේ වාසය කළේ ය.
අලුත්කඩේ ශාන්ත සෙබෙස්තියන් ඉංග්‍රීසි මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ජෝන්ස් , SSC දක්වාම මැනවින් අධ්‍යාපන කටයුතු සිදු කළ අතර , දැනට රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම්.ෆවුසිගේ පංති සගයෙකු ද විය.
පාසලේ දී සෑම වසරක ම විවිධ ප්‍රසංගයන්ට සහභාගී වූ ඇන්ටන් ජෝනස්ගේ ගායනාවලට එකල ද ඉහළ ඉල්ලුමක් විය. ඔහු එසේ ගායනා කළ ගීතවලින් බොහොමයක් වොලී බැස්ටියන් , සී.ටී.ප්‍රනාන්දු , රුක්මණී දේවී ගැයූ ගීත විය. ඒ අතරින් ඔහු වඩාත් ප්‍රිය කළේ වොලී බැස්ටියන්ගේ ගීතවලටයි.
පාසල් අධ්‍යාපනයෙන් පසු , අලුත්කඩේ නීතීඥවරයෙකු ළඟ ලිපිකාර සේවයට බැඳුණු ඇන්ටන් , පසු ව නීති උපදේශක ආයතනයක ද සේවය කළේ ය. ඉන්පසු 1963 දී ඉංග්‍රීසි ලඝු ලේඛකයෙකු ලෙස ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු , සිය මුල් පත්වීම ලබා ගත්තේ කලුතර ලංකා බැංකු ශාඛාවටයි. ඉන්පසු වැල්ලවත්ත ශාඛාවට පැමිණි ඇන්ටන් , එහි අවුරුදු 24ක් සේවය කළේ ය. 1997 දී විශ්‍රාම යන විට ලංකා බැංකුවේ ඔහුගේ පූර්ණ සේවා කාලය අවුරුදු 35කි.
සංගීත ගමනේ ආරම්භය
තරුණ අවදියේ දී ම ඇන්ටන් ට , ශ්‍රී ලාංකික බයිලා සංගීතයේ පියා ලෙස හැඳින්වූ වොලී බැස්ටියන් නම් ගායකයා හඳුනා ගැනීමට මග හසර එළි විය. එකල ගිංතොට වාසය කළ වොලී බැස්ටියන්ගේ සංගීත කණ්ඩායමෙහි වූ ගායකයන් අතර ඇන්ටන්ගේ මාමලා ( M.W.Kerner ) ද විය. සිය මාමලා සමඟ ගිය ඇන්ටන්ට වොලී බැස්ටියන් හඳුනාගැනීමෙන් පසු , එම කණ්ඩායමත් සමඟ එකතු වීමට අවස්ථාව හිමි විය. ඒ එක්දහස් නවසිය පනස් ගණන්වල දී ය.

ඇන්ටන් ජෝන්ස් , වොලී බැස්ටියන් ඇතුළු කණ්ඩායම සමඟ
මුල් කාලයේ දී එම සංගීත කණ්ඩායමේ මැරකාස් , කොංගෝ ඩ්‍රම් , බොංගෝ ඩ්‍රම් වාදකයෙකු ව සිටි ඇන්ටන් , පසු ව ගීත ගායනයට ද එක් විය. එකල එම සංගීත කණ්ඩායම විසින් එක් ප්‍රදර්ශන වාරයක් සඳහා රුපියල් 3.00 ක ගෙවීමක් කර තිබූ අතර , එයින් ඔහුට මනාව සෑහීමකට පත් විය හැකි විය.
එවකට වොලී බැස්ටියන් දැඩි සේ ජනප්‍රියත්වයට පත් ව , ඔහුගේ ගීතවලට වූ ඉල්ලුම ඉහළ ගොස් තිබූ මුත් , ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාව කළ නිසා , ප්‍රසංගවල ගීත ගායනයට තිබූ ඉඩකඩ අවම විය. මේ නිසා වොලීගේ අඩුව පිරවීමට එම ප්‍රසංගවල වොලී බැස්ටියන්ගේ ගීත ගායනා කරමින් , ඇන්ටන් සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ ය.
සංගීත ගමන
ඇන්ටන් වඩාත් ම ප්‍රිය කළේ වේග රිද්ම ගීතවලටයි. එහෙයින් පනහේ දශකයේ දී ප්‍රචලිත වෙමින් තිබූ “6 / 8 beat“ තාල රටාවෙන් හා කපිරිඤ්ඤා සංගීතයෙන් සුපෝෂිත බයිලා සංගීතයට ඔහුගේ සිත ඇදීගියේ නිතැතිනි. එලෙස වොලී බැස්ටියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඇරඹි ඇන්ටන් ජෝන්ස්ගේ සංගීත දිවිය , සිය කතෝලික සංස්කෘතික ඌරුව නිසා වඩ වඩාත් සරු සාර විය.

ඇන්ටන් ජෝන්ස් රේඩියෝ සිලෝන්හි තමාගේ ම ගීයක් ලෙස මුල් වරට ගායනා කළේ , වොලී බැස්ටියන් රචනා කළ “කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන“ යන ගීතයයි.ඒ 1958 දී ය. එයින් ඇරඹි ඔහු , “සල්ලි දීල ගවුම මැහුවෙ“ , “ උයල පිහල“ , “Baby play the Ramba“ , “බැලුවම අහිංසකයි“ , “දැඩි කළ මගෙ මව්නි“ ආදී ගීත බොහොමයක් ගායනා කළේ ය.
ඔහු ගායනා කළ ගීත අතුරෙන් වැඩි ප්‍රමාණයක් සත්‍ය සිදුවීම් ඇසුරෙන් රචනා වී තිබූ අතර , බයිලා ලෙස එළි දැක්වුණු එම ඇතැම් ගීත , ප්‍රබල සමාජ මතයන් ගොඩනැගීමට ද දායකත්වය සැපයී ය.ඇන්ටන්ගේ එම ගීත ශෛලියට ඉවහල් වූයේ ද වොලී බැස්ටියන් ය.
බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී යාමේ සිද්ධිය මුල් කොට ගෙන වොලී බැස්ටියන් නිර්මාණය කළ “දෝවේ අඳෝනාව“ එවන් ගීයකි.එවැනි ම ගීයක් වන “හාරලක්ෂ මංකොල්ලය“ ද වොලීගේ ම නිර්මාණයකි.නමුත් මෙම ගීත ශෛලිය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඇන්ටන් ජෝන්ස්ගේ වේදිකාවේ ය.

ප්‍රේමවතී මනම්පේරිගේ ඝාතන සිද්ධිය
නිල්වලා බෝට්ටු ඛේදවාචකය ඇසුරින් නිර්මාණය වූ ”ආසයි බයයි ” , නක්ල්ස් කඳුවැටිය කඩා වැටීමේ සිද්ධිය ඇසුරෙන් නිර්මාණය කළ ” DC 7 ” , ” මරුසිරා ” , ” රුක්මනී දේවී ” , කතරගම රූ රැජිණගේ ඝාතන සිද්ධිය ඇසුරෙන් නිර්මාණය වූ ” ප්‍රේමවතී මනම්පේරි ” ,” පොළොන්නරුවෙ පොඩි විජේ ” , ”සේපාල ඒකනායක” ආදිය ඇන්ටන් ගැයූ එවැනි ගී කිහිපයකි.

මරුසිරා
ඇන්ටන්ගේ ප්‍රථම EP තැටිය වූයේ , Philips ලේබලයෙන් නිකුත් වූ ” මිණි ගවුම ” යි.
ඔහුගේ එක ම චිත්‍රපට ගීය වූයේ ” ඔහොම හොඳද ” චිත්‍රපටයට ගැයූ ” කොමළ පපා මුකුළු පපා මගේ ළඟට එන්නකෝ ” යන ගීතයයි. එයට රංගන දායකත්වය සැපයූවේ ගාමිණී ෆොන්සේකා ය.

ඇන්ටන් ගැයූ එක ම සරල ගීය මෙන් ම එක ම යුග ගීය වනුයේ “ හොරැහින් බලන්න “ ගීතයයි. ඇන්ජලීන් ගුණතිලක සමඟ ගායනා කළ මෙම ගීතය , ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ , Silver Line Record Bar හි පටිගත කර ඇත.

ඊට අමතර ව “ දෙනගම චානවතී “ , “ ඩෙන්සිල් කොබ්බෑකඩුව “ , “දෑවැද්ද “ ,“ දිඹුලාගල වීරයාණෙනි “ , “දෝශාභියෝගය“ , “ගන්ඨා නාදේ “ , “ගිය මැතිවරණේ “ , “ ගල්ෆ් දේශය “ , “හෝකන්දර ඛේදවාචකය “ , “ කන්දෙ හැපුණ මහ වනන්තරේ “ , “ලයි ලයි ලලයි ලිලයි “ , “මාරයා “ , “මනාපයක් “ , “මට කම් නෑ සුදූ “ , “නියං සමයක දී “ , “පදික වේදිකාව “ , “පෝරකය “ , “පුංචි පුතු “ , “පුර හඳ මෝරලා “ , “රම්‍ය මනහර දළදා“ , “රන් දෙරණේ සක්විති “ , “ රත්තරත් “ , “රටින් රටට බිලි ගන්නට “ , “රියෙදුරාණෙනි “ , “සමන් කුමාර “ , සම්මානය “ , සතුටු කඳුළු “ , “ සීගිරි ගිරි ශිඛරේ “ , “සැකෙළියේ දී “ , “සාන්ත අන්තෝනි මුණි“ , “සියල් සිරින් “ , “සුළි සුළං හමාලා“ , “විදුලි ආලෝකෙන් “ , “විල්පත්තු ඛේදවාචකය “ , “වධක භාරී “ , “වනසරා “ , “ගල්කිස්සේ මුහුදු වෙරළේ “ ආදී 500කට අධික ගීත ප්‍රමාණයක් ඇන්ටන් ජෝන්ස් විසින් ගායනා කොට ඇත.

සමන් කුමාරගේ ඝාතන සිද්ධිය
එම ගීත අතුරෙන් ජනප්‍රිය වූ ගීත බොහොමයක් රචනා කළේ , ජේ.ඩී.සුමනපාල මහතා ය. ඇන්ටන් ලබා දෙන ගීතමය සංකල්පනා සුමනපාල මහතා අතින් මනහර වූ ගීත රචනා බවට පත් විය. ඊට අමතර ව ෂර්ලි බැස්ටියන් , ඩී.බී.ටී.එදිරිසිංහ හා හේමසිරි හල්පිට ද ඇන්ටන් වෙනුවෙන් ගී පද රචනා කර ඇත. එමෙන් ම ඇන්ටන් විසින් ම රචනා කොට ගැයූ ගීත ද වේ.

ඇන්ටන්ගේ ගීත සංගීතවත් කළ අය අතර අර්නස්ට් සොයිසා ප්‍රධාන වේ. ඊට අමතර ව ස්ටැන්ලි පීරිස් , අශෝක පීරිස් හා මිල්ටන් පීරිස් ද ඇන්ටන්ගේ ගීතවලට සංගීත නිර්මාණයන් කර ඇත. එමෙන් ම ඇන්ටන් ම සංගීත නිර්මාණය කොට ගෙන ගායනා කළ ගීත ද වේ.
“පෝරකය“ නම් ගීතය , පද රචනය මෙන් ම සංගීත නිර්මාණය ද සිදු කර ගායනා කළේ ද ඇන්ටන් ජෝන්ස් මය.

බයිලා චක්‍රවර්තී වොලී බැස්ටියන්
ඇන්ටන්ගේ සංගීත ගමනේ උපදේශකයන් වූයේ වොලී බැස්ටියන් හා මොරිස් දහනායකයි. දශක පහකට අධික කාලයක් ගී ගයමින් රසික සවන් පිනවූ ඇන්ටන් කැසට් පට 40ක් හා CD තැටි 10ක් නිකුත් කර ඇත. 2004 වසරේ දී සිදු වූ සුනාමි ඛේදවාචකය අනුසාරයෙන් නිර්මාණය වූ ගීත ඇතුලත් “ සැබෑ සිද්ධි “ නම් CD පටය ද ඒ අතර වෙයි.

ශ්‍රී ලංකා බයිලා සංගීතයේ ස්වර්ණමය ලකුණක් වූ ඇන්ටන් ජෝන්ස් , ‘ ෆ්ලෑෂ් බෑක් ‘ , ‘සන්ෆ්ලවර් ‘ ආදී සංගීත කණ්ඩායම් සමඟත් ගී ගයා ඇත.

මෙතෙර පමණක් නොව එතෙර ද ඔහුගේ ගායනා වෙනුවෙන් ඇත්තේ ඉහළ ජන ප්‍රසාදයකි. මේ හේතුවෙන් එක්සත් රාජධානිය , ප්‍රංශය , ඉතාලිය, කැනඩාව , ජපානය , දකුණු කොරියාව , ලෙබනනය , සයිප්‍රස් , ජෝර්දානය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , බහරේන් , කුවේට් , කටාර් ආදී දේශ දේශාන්තරයන් රාශියක සංචාරය කරමින් ඔහු ප්‍රසංග පවත්වා ඇත.

එක්සත් රාජධාන්යේ පැවැත්වූ ඇන්ටන්ගේ ප්‍රසංගයක අත් පත්‍රිකාවක්

ඇන්ටන් ජෝන්ස් , පාප් වහන්සේ බැහැදුටු අවස්ථාවක්
සිය දස්කම් අගයමින් පිදුණු “කලා භූෂණ“ සම්මානයකට ද හිමිකම් කියන ඔහු , ගායනය පමණක් තම වෘත්තිය කර නොගත් දේශීය කලාකරුවන් අතර එක් අයෙකු විය. සරල මිනිසෙකු වූ ඔහු , ලංකා බැංකුවේ තමා කළ රැකියාව සමඟ සිය කලා ජීවිතය ද සමබර ව ඉදිරියට ගෙන යාමට සමත් විය.

කලා කටයුතු හේතුවෙන් සිය රැකියාවට කුඩා හෝ බාධාවක් ඇති කර නොගත් ඔහු , ප්‍රසංග අවසන් වී උදෑසන පහට නිවසට පැමිණිය ද , උදෑසන අටට සිය රැකියා ස්ථානයට වාර්ථා කිරීමට තරම් දක්ෂ අවංක පුද්ගලයෙකු විය. මෙම සමබරතාවය රැක ගැනීමට ඔහුගේ බිරිඳ ද , මිතුරන් ද ඔහුට මනා පිටුබලයක් වී ඇත.

ඇන්ටන් – අයිරිෂ් විවාහය දා

ඇන්ටන් , බිරිඳ අයිරිෂ් සමඟ

ඇන්ටන් ජෝන්ස් , පවුල සමඟ
අයිරිෂ් ජෝන්ස් , ඇන්ටන්ගේ ආදරණීය බිරිඳ වු අතර , අයිරිෂ්-ඇන්ටන් දෙපලට ටයිරන් හා රෝෂාන් නමින් පුතුන් දෙදෙනෙකු හා රෝෂනී හා ප්‍රියන්කා නමින් දුවණියන් දෙදෙනෙකු විය. දූදරු සිව් දෙනා ම විවාහක වන අතර , ඇන්ටන් බිරිඳ සමඟ සිය ජීවිතයේ සැඳෑ සමය එම ආදරණීය මුණුබුරු මිණිබිරියන් සමඟ දෙහිවල කවුඩාන පාරේ පිහිටි නිවසේ සතුටින් ගත කළේ ය.

50 වන විවාහ සංවත්සරය දා ඇන්ටන් ජෝන්ස් ,සිය මුණුබුරු මිණිබිරියන් සමඟ
යුගයක රසික හදවත් බයිලා ගීතයෙන් පිනවූ ඇන්ටන් ජෝන්ස් නම් කලාකරුවාණන් දිවියේ අවසාන කාලයේ දී දියවැඩියාව හා අධික රුධිර පීඩනය රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටියේ ය.



එතුමන් වයස අවුරුදු 79 දී , එනම් 2016 පෙබරවාරි 21 දින මෙලොව හැර යන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ය.

ඇන්ටන්ගේ වැඩිමහල් පුත්‍රයා වන ටයිරන් ජෝන්ස් , පැරීසියේ වාසය කරයි. සිය පියාගේ උරුමය රැක ගන්නේ ඔහු ය. පියා මෙන් ම මනා ගායන හැකියාවකින් හෙබි හෙතෙම , පැරිසියේ විවිධ ප්‍රසංග ද පවත්වමින් , වර්තමානයේ ඇන්ටන් ජෝන්ස්ගේ අඩුව පිරවීමට ගනු ලබන උත්සාහය ප්‍රශංසනීය වේ.