1947 ජුනි 13 දා සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වෙරලුපේ ග්‍රාමයේදී ඇනස්ලි මාලවන උපත ලද්දේය. උසස් අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණීම ඇතැම්විට ඔහුගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නට ඇත. කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ඔහු අධ්‍යාපනය හදාරන්නේ නාවල පිහිටි සිය මාමා කෙනෙකුගේ නිවසේ නැවතී සිටය.
ඇනස්ලි තුළ තිබූ සංගීත ඇල්ම වඩන්නට ඇත්තේ ගුවන්විදුලියයි. රේඩියෝව එකළ ලංකාවේ තිබූ එකම විද්‍යුත් මාධ්‍යයයි.ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගුරුවරයෙකු වූ ලෝගනාදන් මහතා ඇනස්ලි සහ ඔහුගේ මිතුරන්ගේ සංගීත කුසළතා දැක ඔවුන් සඳහා පාසල් කරළිය විවෘත කර දුණි. හෝරා එක හමාරක් දිගු වූ පාසලේ දිවා විවේකයේදී “Interval Melodies” ( විවේකයේ ගීතය) නමින් ඔවුන් තම අනෙකුත් මිතුරන්ට කුඩා සංගීත ප්‍රසංග පැවැත්වූයේ මෙම ගුරුවරයාගේ මග පෙන්වීමෙනි.
කෙසේ නමුත් මෙම සංගීතයට දැක්වූ කැමත්ත තමන් ගායකයෙකු විය යුතු යැයි යන තැනට විස්තාරණය වන්නේ 1964 වසරේ දිනයක ශාන්ත පීතර විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති “ස්පිට්ෆයර්ස්” සහ “ලොස් කැබිලරෝස්” යන සංගීත කණ්ඩායම් ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක් නැරඹීමෙනි.
සංගීත ගමනේ ආරම්භය
1960 දශකයේ මැද භාගයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇරඹි සංගීත කණ්ඩායමක් තම කණ්ඩායමට උචිත ගායකයෙකු සෙවීය. ඇනස්ලිගේ උක්ත සිහිනය සඵල වන්නේ එකළ ඔහුගේ අසල්වැසියෙකු වූ ප්‍රේමසිංහ මාරඹ එම සංගීත කණ්ඩායමේ ක්ලැරන්ස් විජේවර්ධන වෙත ඔහුව හඳුන්වා දීමෙනි.
ක්ලැරන්ස් හා පෑහෙන ලයාන්විත හඬක් ඇනස්ලි සතු වූ නිසා දෙදෙනා එක්ව කටයුතු කිරීමට එකඟ විය. මෙම සංගීත කණ්ඩායම සඟබෝ කොරයාගේ නිවසේදී ආදර්ශන පටයක් පටිගත කළේය. ඔවුන්ගේ ශක්‍යතාවය දැක පැහැදුණු සඟබෝ කොරයා රුවන් පුරයේ මිණි කැට වන් ඔවුනට “ද මූන්ස්ටෝන්ස්” (සඳකත්මිණ නම් මැණික් විශේෂයකි) ලෙස නම් තැබීය.
සඟබෝ කොරයා “මූන්ස්ටෝන්ස්” ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වර්නන් කොරයා වෙත හඳුන්වා දීමෙන් අනතුරුව ඔහුගේ ඥාති සොහොයුරු විජය කොරයා වෙත හඳුන්වා දෙනු ලැබිණි.” ද මූන්ස්ටෝන්ස්” හි ප්‍රථම පටිගත කිරීම සිදුවන්නේ 1967 වසරේදී විජය කොරයා විසිනි. ඒ එවකට රේඩියෝ සිලෝන් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙනසුරාදා රාත්‍රී 9 ට ගුවන්ගත වූ “Saturday- stars” නම් ගුවන්විදුලි වැඩසටහන සඳහාය.
මුල් කාලයේදී සංගීත ක්ෂේත්රයට පිවිසීමට ඇනස්ලි තම දෙමාපියන්ගේ අවසරය නොලද්දේය. එබැවින් ඔහු තම ප්‍රථම සංගීත ප්‍රසංගයට සහභාගී වන්නේ ටෙනිස් තරඟයකට සහභාගී වන බවට ව්‍යාජ හේතු දක්වමින් ටෙනිස් රැකට්ටුවක්ද අතැතිව නිවසින් බැහැර වෙමිනි.

සංගීත ගමන
“ද මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමේ ගීත ඉතා ඉක්මණින් ජනතාව වැළඳ ගත්හ. ඒ නිසා ‘ ගෞරි සංස්ථාව‘ විසින් ෆිලිප්ස් ලේබලය යටතේ EP ඇල්බමයක් (Extended player album: සාමාන්‍ය ඇල්බමයකට වඩා කෙටි වූ සාමාන්‍යයෙන් සගීතඥයෙකුගේ හෝ සංගීත කණ්ඩායමක දක්ෂතා පෙන්වීම සඳහා ඉදිරිපත් කරන්නකි) නිකුත් කිරීමට අවස්ථාව ලැබිණි.ඉමහත් ජනාදරයට පත් ඔවුන්ගේ දෙවන ගීත ඇල්බමය “මෝ හිට්ස් බයි මූන්ස්ටෝන්ස්” හෙවත් මූන්ස්ටෝන්ස් වෙතින් තවත් ගීත (More Hits By Moonstones – කැටලොග් අංක CHB001 ) නිකුත් කරන ලද්දේ සූරිය ලේබලය යටතේය.
1970 වසරේදී ක්ලැරන්ස් “ද මූන්ස්ටෝන්ස්” හැර ගියේය. ඇනස්ලි මාලවන 1973 දක්වාම තම සංගීත ඥාණයත් අත්දැකීමත් එක් කොට මූන්ස්ටෝන්ස් මෙහෙයවීය. නමුත් සංගීත විෂයෙහි ක්ලැරන්ස් හා ඇනස්ලි වෙන් කළ නොහැකි ද්විත්වයක් වීය. එනිසා 1973 දී ඔවුන් දෙදෙනා එක්ව “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” ලෙස නව සංගීත කණ්ඩායමක් ඇරඹීය. පසු කාලීනව ක්ලැරන්ස්, ඇනස්ලි සහ ඉන්ද්‍රානි පෙරේරා “සිංහල පොප් සංගීතයේ අපූර්ව ත්‍රිත්වය” (The Original Pop Trio) ලෙස හැඳින්වීය.




“බෙස්ට් ඔෆ් ඇනස්ලි” (Best of Annesley), “වන බඹරෝ”, “නන් ස්ටොප්” (Non Stop), “තොටියා” සහ “කියුඹු ලතා” යනු එතෙක් මෙතෙක් සංගීත ජීවිතයේ ඇනස්ලි මාලවන නිකුත් කර ඇති සංගීත තැටිය.


1977 වසරේදී ඔහුට සිය සංගීත ගමන මදක් නතර කරන්නට සිදුවන්නේ සිය පෙම්වතියගේ දෙමාපියන් ඊට දැක්වූ අකමැත්ත නිසාවෙනි. ඔහු ඉන්පසු මයුර සමූහ ව්‍යාපාරයේ ගිණුම් ලිපිකරුවෙකු ලෙස සේවය අරඹයි. 2004 වසරේදී ඔහු ඉන් විශ්‍රාම ලබන්නේ එහි සාමාන්‍යාධිකාරී වරයෙකු ලෙස උසස් වීම් ලැබීමෙන් අනතුරුවයි.
ඉන්පසු ඔහු නැවතත් සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ “ඇනස්ලි ඇන්ඩ් ද සුපර් චයිම්ස්” (Annesley and the Super Chimes) ලෙස නව සංගීත කණ්ඩායමක් අරඹමිණි. “සින්ග් අලෝන්ග් විත් ඇනස්ලි” (Sing along with Annesley: ඇනස්ලි හා ගී ගයමු) යන සංකල්පයෙන් එය දැනටත් ක්‍රියාකරී ලෙස සංගීත ක්ෂේත්රයේ කටයුතු කරමින් සිටියි.
1997 දී ජෝශප් විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රියන්ත කන්නංගරගේ අදහසකට අනුව ඇනස්ලි මාලවන “ස්ටාර්ස් ඔෆ් සෙවන්ටීස්” (Stars of 70’s: 70 දශකයේ ගී තරු) මැයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ගීත ප්‍රසංගයක් පැවැත්වීය.


එය සියලුම ටිකට් පත් විකිණී අවසන් වූ අති සාර්ථක ප්‍රසංගයක් විය. ඉන්පසු 1999දී මොරටූවේ දීත් 2000දී රත්නපුරයේදීත් මෙම ප්‍රසංගය පැවැත්විණි. එදා සිට අද දක්වා වාර්ෂිකව මෙම සංගීත ප්‍රසංගය ඉතා සාර්ථක ලෙස පැවැත්වෙයි. ලංකාවේ පමණක් නොව ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ අරාබි රාජ්‍යයේද ඇරයුම් සඳහා ඔවුහු සහාභාගී වෙති.



Moratuwa by The Super Golden Chimes

Kandayam Gee (Hits In Harmony)

The Original Sinhala POP TRIO – Clarence/Annesley/Indrani

The Original Sinhala POP TRIO Clarence, Annesley & Indrani
