ශ්‍රී ලාංකීය රසික සිත් පර්ෂදයේ ඔහුට ඇති ගෞරවය පෙරදැරි ආලය ජාති, ආගම්, වයස් භේද මේ සියල්ල අතික්‍රමණය කරයි. මෙරට සියලු විදග්ද සභාවන්හි ප්‍රථමයෙන් ගැයෙන ඒ මියුරු ස්වර ප්‍රබන්ධයේ අයිතිකරු ඔහුයි. ජාතියේ ප්‍රෞඪත්වය නින්නාද කරවන ජාත්‍යාලය ඔප්නංවන ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාපකයා ඔහුයි. ඔහු නමින් ආනන්ද සමරකෝන් නම් වෙයි.
“ලස්සන සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවනුයේ..” මැයෙන් ඔහු වෙනුවෙන්ද ගැයිය හැකි වනුයේ හෙළ කලා කෙත සාරවත් කිරීමට යත්න දැරූ ඒ සොඳුරු සාහිත්‍යවේදියා අකාලයේ ජාතියට අහිමි වූ හෙයිනි. නමුත් වසර පනහකට පමණක් සීමා වූ ඔහුගේ ජීවිතය තුළ ඔහු මෙරටට ඉටූකොට ඇත්තේ අමිල මෙහෙවරකි.
එගොඩහගේ ජෝජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් මෙලොව එලිය දකින්නේ 1911 ජනවාරි 13 වැනිදා පාදුක්කේ ලියන්වැල්ල ග්‍රාමයේදීය. ඒ සමුවෙල් සමරකෝන් සහ ඩොමින්ගා පීරිස් යන ආදරණීය දෙමාපියන්ට දාව තෙවැනි දරුවා ලෙසටය. උපතින්ම දෙමාපියන් තැබූ සිය නාමය පසු කලෙක දේශීය ඌරුවට ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කරනු ලැබිණි. හැදෙන ගහක් දෙපෙත්තෙන් දනෙන්නා වන හෙයින් සිය විවිධ වූ කුසලතා ඔහු විද්‍යාමාන කරන්නේ ළපටි අවදියේ පටන්මය. මූලික අකුරුකරණය සඳහා ආනන්ද සමරකෝන් පිළියන්දල වෑවල ගමේ පිහිටි රජයේ පාසලට ඇතුළත් වූයේය. එහිදී සිදුවූ රසවත් සිදුවීමක් මෙසේ කියැවෙයි. පන්තියේ ගණිත පාඩමක් අතරතුරේදී කුඩා සමරකෝන් ඔහු නිතර දකින වෙරහැ ගඟ ගැන කවි පද කිහිපයක් කුරුටූ ගාමින් සිට ඇත. මේ දැක කිපුණු ගණිත ගුරුවරයා දඬුවමක් දෙනු පිණිස ලියූ ගීය ගයන ලෙස අණ කොට ඇත. ඊට පැකිළී ඇත්තේ ඔහු නොවේ! පසු කාලීනව ඔහු සිය මවද ඉගැන්වූ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට මාරු වූ පසු එහිදී පාසල වෙනුවෙන් ගීයක් රචනා කළ මොහු අන්තර් පාඨශාලීය ගායනා තරඟයකදී මෙම ගීතය ගයා ප්‍රථම ස්ථානය දිනා ඇත.

1930 දශකය අග භාගයේදී එනම් ඔහුට අවුරුදු 20 පමණ වන විට ඔහු ඉගෙනගත් ක්‍රිස්තියානි පාසලේම සංගීත හා චිත්‍රකලා ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට අවතීර්ණ විය. ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ 1933 දී විශ්ව කීර්තියට පත් රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ලංකා ආගමනයයි. තාගෝර් තුමාගේ කලා ඥාණයෙන් වශී වූ බොහෝ කලා කරුවන් මෙන් ආනන්ද සමරකෝන් ද ඔහුගේ ශාන්ති නිකේතනයට සම්බන්ධ විය. එහිදී ඔහු නන්දලාල් බෝස් යටතේ චිත්‍රකලාවද ශාන්ති දේවි ගෝෂ් යටතේ ගායනයද හැදෑරීය. එහි අධ්‍යාපනය අවසන් නොකළ මුත් ඔහු 1937 දී නැවත ලංකාවට පැමිණ සංගීතය ඉගැන්වීම ඇරඹීය.
මෙම කාල වකවානුවේදී එනම් 1938 දී සූරිය රෙකෝඩ් ලේබලයේ නිර්මාතෲ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා ආනන්ද සමරකෝන් සහ ඔහුගේ බිරිඳගේ පින්තූරයක් පුවත්පතකින් දැක ඔහු යටතේ පෙරදිග සංගීතය හැදෑරීම සඳහා යොමු විය. භාරතීය රාගධාරී සංගීතය සේවනය කරමින් ඉන් වාරුගත් එවකට සිංහල ගීතය සමරකෝන්ට රුචි නොවීය. ජෙරල්ඩ් වික්‍රමසූරිය ආනන්ද සමරකෝන් ශූරීන්ට අපමණ ලෙස ප්‍රිය කළේ නැවුම් වූත් කුලුඳුල් වූත් ගී පද ආකෘතීන් නිමැවමින් අපේ යැයි මුව පුරා කීය හැකි ගීතයක් ඔහු බිහි කල නිසාවෙනි.




1940 දශකය ආනන්ද සමරකෝන් සංගීතඥයෙකු වශයෙන් විශිෂ්ටයෙකු කළ දශකයයි. 1939 දී සිය ප්‍රථම ගීත පටිගත කිරීම සිදුකරන ඔහු 40 දශකය පුරාවට තවත් බොහෝ ගීත පටිගත කළේය. ඉන් වැඩිමනක් ලීලාවතී නම් ගායිකාව හා ගැයූ යුග ගීතයන්ය. එම ගීත සැරසූ නාද රටා ආනන්දයන් විසින්ම තනා ගන්න ලද නැවුම් වූ ඒවාය. එම අභිනව ගායන ශෛලියේ තිබූ ලගන්නා ගැමි වහරත් සරළ තනු ප්‍රබන්ධයත් නිසා එවකට සිංහල රසිකයා එම ගී ඉමහත් ආදරයෙන් වැළඳ ගත්තේය. ස්වර්ණා ද සිල්වා නම් ගායිකාව සමඟ ඔහු යුග ගායනයේ යෙදෙන්නේ ලීලාවතී මහත්මියගේ වියෝවෙන් පසුවය.1946 දී පටිගත කෙරුණු ” නමෝ නමෝ මාතා” ගීතයට අමතරව “පොසොන් පොහෝදා”, “පොඩි මල් එතනෝ”, ” පුංචි සුදා” සහ “සිරි සරු සාර කෙතේ” වැනි මියුරු ගීත එකළ ජනප්‍රිය වූ ගී සමුච්චයේ එයි.




ආනන්ද සමරකෝන්ගේ චිත්‍ර කලාව සුවිශේෂී වන්නේ ඔහුගේ වර්ණ භාවිතය නිසයි. එම සිතුවම් සඳහා රතු සඳලින්ගම් වලින් සාදාගත් රතු වර්ණයත්, ගොටූකොළ සාරයෙන් ගත් කොළ වර්ණයත්, කිරි මැටියෙන් හෝ බිත්තර සුදු මදයෙන් සුදු වර්ණයත්, ලාම්පු දැලි වලින් කලු වර්ණයත් භාවිතා කර ඇත. එපමණක් නොව වර්ණ මිශ්‍ර කිරීම සඳහාද ඔහු යොදාගෙන ඇත්තේ කජු ලාටූ හෝ දිවුල් කිරි ය. එනමුදු මෙම සිතුවම් සුරකිව තිබී ඇත්තේ සමකාලීන අනෙකුත් සිතුවම් වලට වඩා හොඳින් සංරක්ෂණය වෙමිණි.



ඔහුගේ ජීවිතයේ සුවිශේෂීම කඩඉම වන “නමෝ නමෝ මාතා” ගීතය සැබවින්ම රචනා කොට ඇත්තේ ජාතික ගීයක් සඳහා නොවේ. එමෙන්ම එම ගීතය ජාතික ගීයක් ලෙස තොරා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත්තේද ඔහු විසින් නොවේ. ශාන්ති නිකේතනයේ සිට නැවත මවු රටට පමිණෙමින් සිටියදී ගුවනේ සිට ශ්‍රී ලංකාව දැකීමෙන් එහි ශෝභමාන බවින් ඔහු වශී වී ඇත. දිවයින පිළිබඳ ඔහු තුල තිබූ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් මුසු කොට මෙම ගීය ඔහු රචනා කොට ඇත. 1951 වසරේදී රජය විසින් එය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරන ලදී.






සිය පුතුගේ වියෝව නිසා ආනන්ද සමරකෝන් මානසික වශයෙන් ඔත්පල වීම ඔහුගේ සංගීත දිවිය කෙරෙහිද බලපෑය. 60 දශකයේ අග භාගයේදී “නමෝ නමෝ මාතා” ගීතයට එරෙහිව විවිධ වාද විවාද හා චෝදනා මැවෙන්නට විය. එකල සිටි බොහෝ කවීහු, විද්වත්හු සහ බෞද්ධ භික්ෂූහු “නමෝ නමෝ මාතා” ගීතයෙහි ඇති අසුභ ගන පිහිටීම රටට අයහපත උදා කරන බව කියමින් ආනන්ද සමරකෝන් හට චෝදනා එල්ල කළහ. එවකට තේරී පත්වූ අගමැතිවරුන් දෙදෙනෙකුගේ අකල් වියෝවන් මෙම තර්ක වලට දෘඪ ලෙසම රුකුල් දීය.



1940 දශකය අග භාගයේදී ඉන්දියාවට නැවත යන ඔහු එහිදී සාර්ථක ලෙස පින්තාරුකරණයේ නියැළෙයි. ඔහුගේ පස් හැවිරිදි පුතු මෙලොව හැර යන්නේ මේ ආසන්න කාලයේදීමය. ඉන් ඔහුට ඇති වූ සිත් වේදනාව “පහන නිවී ගියා” ගීතයේ ගැබ්ව ඇත.



එබැවින් “නමෝ නමෝ මාතා” ලෙස ඇරුණු ජාතික ගීයේ මුල් පද කිහිපය “ශ්‍රී ලංකා මාතා” ලෙස සංශෝධනය කිරීමට එවකට රජයට සිදුවිය. නමුත් මෙම වෙනස සිදු කොට ඇත්තේ එහි ගී පද රචකයාට එය නොදන්වා ඔහුගේ අනුමැතියකින් තොරවය. මේ නිසා ඔහු ඉතා සිත් වේදනාවෙන් සිටි බව කියැවෙයි. 1962 වසරේදී තවමත් වසර 51ක් පමණක් වියැතිව සිටියදී නිදි පෙති පානය කර සියදිවි හානි කර ගැනීමට මෙය හේතු වූ බවට මතයක් පවතී.
සුනිල් ශාන්ත, සෝමපාල, චිත්‍රා, C.T. ප්‍රනාන්දු වැනි තවත් බොහෝ සංගීත ශිල්පීන්ගේ සංගීත ආකෘතීන් ආනන්ද සමරකෝන්ගේ සංගීත ශෛලියෙන් පෝෂණය ලබා ඇත. සාමාන්‍ය ගැමි දරුවෙකු ලෙස ඉපිද අසාමාන්‍ය යුග පුරුෂයෙකු ලෙස ජාතියෙන් සමුගත් ආනන්ද සමරකෝන් නාමය ජාතික ගීය ගැයෙන සෑම වාරයක් පාසාම ශ්‍රී ලාංකික හදවත් තුළ අමරණීයත්වයට පත්වනු ඇත.
ආනන්ද සමරකෝන් විසින් රචිත ජාතික ගීය 1979 දී සංස්කෘතික අමාත්‍යංශයේ අනුමැතිය සහිතව සූරිය විසින් පටිගත කෙරිණි.
ආනන්ද සමරකෝන් ශූරීන්ගේ “ඇසේ මධුර” නම් ගීතයද 1970 දශකයේ අග භාගයේදී සුපර් ගෝල්ඩන් චයිම්ස් විසින් සූරිය රෙකෝඩ් ලේබලය යටතේ නැවත පටිගත කර ඇත.



සටහන : තාරක රංචිගොඩ
සංස්කරණය : නදීෂා පෝලිස්
පරිවර්තනය : යශිනි සේනානායක











