ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරි පා දොවන්නම්

Avukana Buddha statue
Avukana Buddha statue by Janaka Boralessa

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත

——————————————–

ප්‍රංශ සම්භවයක් සහිත Richard Lesley Brohier නැතහොත් ආර්. එල්. බ්‍රොaහියර් මහතා 1892 ඔක්තෝබර් 5 වන දින කොළඹදී උපත ලැබීය. ඔහු ද්විතීයික අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාවක් හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌විය. ශ්‍රී ලංකාවේ පළමු මිනින්දෝරුවා ලෙස සැලකෙන්නේත් එතුමාය.

රාජකාරි කටයුතු වලට අමතරව ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කොට ගවේශණය කිරීමයි.

මේ අත්දැකීම් මත, ඔහු විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර එම ග්‍රන්ථ පසුකාලීනව අභය හේවාවසම් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේය.

ඔහුගේ සංචාරයන් අතර තුර, ඔහු කළ ඉතාමත්ම වටිනා සොයාගැනීමක් වූයේ, වන ගතව, ජනශූන්‍ය ප්‍රදේශයක තිබූ අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමයි.

මිනින්දෝරු කටයුත්තක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගැනීමට බ්‍රොaහියර්ට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා ගම්වැසියන් ද සමඟින් කැලය කපමින් ඉදිරියට යන්නට විය. කලා වැවේ සිට සැතපුම් එකහමාරක් පමණ ගිය තැන ඔහුට දැක ගැනීමට හැකිවූයේ කලාකරුවකු විසින් මේ කුඩා දිවයින තුල බිහිකල තවත් විශ්මය දනවන නිර්මාණයකි.

එය ගස් වැල් වලින් වැසීගිය තරණය කළ හැකි ගල් පර්වතයක් ලෙස මුලින් සිතුනත්, එය එසේ නොවන බව ඒ දෙස බලාසිටි බ්‍රොaහියර්ට වැටහුනි. එය හුදෙක්ම ගලක් නොව, ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයෙකු වූ බුදුන්වහන්සේගේ අසම සම කරුණාව, දයාව මුසු අධ්‍යාත්මය පිළිබිඹු වන අති සුන්දර කලා නිර්මාණයක් බව බෞද්ධයෙකු නොවූ ඔහු තේරුම් ගත්තේය. ප්‍රතිමාව දැකීමෙන් ඔහු තුල තිබූ ස්වයං අභිමානය පහව ගොස් විසල් ප්‍රතිමාව ඉදිරියේ තමා කුරුමිට්ටෙකු ලෙස ඔහුට හැඟුනි. ඒ බව ඔහුගේ “Seeing Ceylon” (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි සඳහන් කර තිබේ.

අවුකන බුදුපිළිමය නැවත සොයා ගැනීමෙන් පසු එය වන්දනාමාන කිරීම සඳහා විවිධ පිරිස් පැමිණෙන්නට විය.

අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පසුව සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණ වලින් විවිධ කරුණු රැසක් සොයා ගැනුනි. මහාචාර්ය පරණවිතාන සූරීන්ට අනුව මේ බුදුපිළිමය පස්වන සියවසේ අග භාගයේ, ධාතුසේන රජ සමයේ ඉදිවන්නට ඇතැයි සැළකේ. මෙය කලාවැව ආසන්නයේ පිහිටීමත්, මහා වංශය වැනි ග්‍රන්ථ වල ඇති තොරතුරු අනුවත් මේ නිගමනයට ආවා විය හැකියි. නමුත් මේ අවට ඇති අතිපෞරාණික ලෙන්විහාර වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලට අනුව, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි විහාර සංකීර්ණයක් පළවන හෝ දෙවන සියවස් වල මෙහි තිබෙන්නට ඇතැයි සැලකේ.

‘අව්කන’ නැතහොත් ‘අවුකන’ නම බුදුපිළිමය නැවත සොයාගත් කාලයේ යොදන්නට ඇති බව විශ්වාස කෙරේ. මහා වංශයේ සඳහන් වන කාලවාපී විහාරය නැතහොත් කලාගුලු විහාරය මෙය බව සැලකේ. මහා වංශයෙහි බුද්ධ ප්‍රතිමාව සඳහන් වන්නේ ‘කාලසේල සත්ථු පඨිමා’ ලෙසයි.
පර්වත කොනක තිබූ නිසා (පබ්බතකෝන) පව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, කුඩා වැවක් මේ අසල තිබූ නිසා, වැව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, පටිමාඝරය විනාශවී ගිය පසු අව්වෙන් පීඩාවට ලක් වු නිසා අව්කන වූ බව, මේ නම යෙදීමට හේතුවූ බව සැලකෙන ජනප්‍රවාදයන්ය.

අඩි 46 කුත් අඟල් 6ක් උස අවුකන පිළිමවහන්සේ බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිළිව නිරූපනය වන අයුරින් නිමවා ඇති සුවිශේෂ නිර්මාණයකි. ඒනිසා මෙය විශ්මිත කලා නිර්මාණයක් ලෙස මෙන්ම, බුදුන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් සිත සනසාගත හැකි නිර්මාණයක්ද ලෙසද වැදගත් කමක් උසුලයි. අවුකන පිළිම වහන්සේගේ සිරසට වැටෙන ජල බිඳු නාසය දිගේ ගලාගෙන පැමිණ, සිරි පතුල් දෙක අතර ඇති සළකුනක් මතට වැටෙන ලෙස ලම්භකව, සමබර සෘජු පිළිමයක් ලෙස නිර්මාණය කර ඇත. එමගින් ප්‍රතිමාවේ නිර්මාණකරුවාගේ විශ්මිත හැකියාව මොනවට පැහැදිළි වෙයි.

මේ ප්‍රතිමාව නිර්මාණය කළ කලා ශිල්පියා “බරණ” නැමති ගල් වඩුවෙකි. විහාරස්ථානය ආසන්නයේ ඇති ගල්වඩුවාගම නැමති ග්‍රාමය ඔහුට උපහාරයක් ලෙස ලබා දුන් නින්දගමක් ලෙස සැලකේ.

එය අවුකන ආශ්‍රිතව බිහිවූ ජන කවියකින්ද පැහැදිළි වේ.

‘අවුකන විහාරෙට අසුවුණ පටුනු ගම
නින්දෙට දන්දෙන්ට සැදුනා නියම ගම
දෙන්නට දෙයක් ගැන සිතවූ රජු මෙහෙම
පඬුරක් ලෙසින් දුන්නා ගල්වඩුව ගම’

බ්‍රොaහියර් මහතා විසින් අවුකන පිළිමය සොයාගත් ආකාරයත්, අබෞද්ධ, වෙනත් සංස්කෘතියක හැදී වැඩුනු ඔහු අවුකන පිළිමයෙහි ඇති භෞතික හා ආධ්‍යාත්මික රූපකායට ආකර්ශණය වූ අයුරුත්, එවැන්නක් ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවත් පාදක කොට ගෙන විමලරත්න කුමාරගම, මහගම සේකර වැනි කවීහු පසුකාලීනව කාව්‍ය රචනා කරන ලදී.

‘පරණ හුරු දිගු මඬල ඉක්‌මී
මගේ කුදු බව පෙනෙන්නේ නැත
අරණ වැසි දිවි වලස්‌ රාවෙන්
සිරුර සිත කිළි පොළන්නේ නැත
මරණයෙන් මිරිකා ගත්තත් හස
රිදුම දුක පළ කරන්නේ නැත
මරණ මිනිසුන් මැද ද හිමියනි
ඔබේ මදහස මැරෙන්නේ නැත’

මෙසේ ලියන ලද්දේ විමලරත්න කුමාරගම සූරීන් ය.

එම අවස්ථාව මහගමසේකර සූරීන්ගේ සක්වා ළිහිණි කාව්‍ය සංග්‍රහයේ දැක්වෙන්නේ මෙලෙසිනි.

“ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි

අහිංසක හදවත්හි උපදින
මෙලෙක්‌ සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහට ම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ
අනෙක්‌ පිහිටක්‌ නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත

ඔබේ පා මුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක්‌ ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන’

මේ කවි පන්තියේ තෝරාගත් කවි කිහිපයක් ආචාර්ය පන්ඩිත් අමරදේවයන් විසින් තනුවක් යොදා ගීතයක් ලෙස ගායනය කරන ලදී. ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්’ ගීතය බිහිවූයේ ඒ අයුරිනි.
—————————–
Janaka Boralessa

ප.ලි ඇසේ මතුවන කඳුළු බිඳු’ කාව්‍යය සඳහා බ්‍රෝaහියර්ගේ ග්‍රන්ථය මූලාශ්‍ර වී ඇති බව පෙනී ගියත්, අවුකන පිළිමය කැලයෙන් වැසීගොස් මිනිස් වාසයෙන් තොර වීමෙන් පසු මුල් වරට සොයාගෙන ඇත්තේ 1845 සිට පුරාවිද්‍යා හෝ නිධන් වස්තු ගවේෂණයේ යෙදුනු එච්.සී.පී බෙල් මහතා විසින් බව වාර්තා වෙයි. එය නැවතත් ජනශූන්‍ය වී වසර ගනනාවකට පසු බ්‍රෝaහියර් විසින් නැවත සොයාගන්නා ලදී. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මැදිහත් වීම් ඇතිවුයේ ඉන්පසුවයි

Janaka Boralessa

ජනක බොරලැස්ස

Social Media

Latest posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>