විරහව

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

ගීත සාහිත්‍යය ගැන කතා කිරීමේදී, පද රචකයන්ගේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නෙ ‘ආදරයට’ බව අපට හොඳින්ම පෙනෙන දෙයක්. එසේම ඊට නොදෙවෙනි මාතෘකාව තමයි විරහව. ආදරයයි විරහවයි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇතැම් අයට, ආදරය ගැන ලියවී ඇති ගීත වලටත් වඩා හදවතට දැනෙන්නෙ විරහ ගීතය. ඉහතින් දක්වා ඇති, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන, කරුණාරත්න විජේවර්ධනයන්ගේ තනුවට, ඩිෂාන් නානායක්කාර විසින් රචිත ගීතයත් එවැන්නක්.

විවිධ පුද්ගලයන් විරහවට මුහුණ දෙනුයේ විවිධ අයුරින්. ඇතැමෙක් විරහව සුන්දර ලෙස විඳින අතර තවෙකෙක් විරහවෙන් පීඩාවට පත්වී අවසානයේ ජීවිතයටද සමුදෙනවා. එසේත් නැතිනම් නම් විරහව වෛරයක් බවට පත්වී අවසන් වනුයේ ඛේදාන්තයකින්. ප්‍රේමය හෝ විරහව පුද්ගලයන්ගේ හිත තුල ඇතිවන‍, පුද්ගල හැසිරීම් බොහෝ සෙයින් වෙනස් කල හැකි මනෝභාවයක්.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි

(ප්‍රේමකීර්ති ද අල්විස්- යමුනා විනෝදනී)

විරහව ගීතයකින් ප්‍රකාශ කිරීමේදී ඇතැම් පද රචකයන් බොහෝ සංයමයෙන් කටයුතු කර ඇති බව පෙනී යන දෙයක්. මේවාට උදාහරණ නම් අනන්තයි. විරහව නිසා ජීවිතයෙන් පලායනවා වෙනුවට, විරහව ජීවිතයේ පාඩමක් බවට පත් කරගත් අවස්ථා ගැන ලියැවී ඇති ගීත බොහෝයි.

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

විරහවේ කටුක අද්දැකීම් වලින් පසු ‘තනිකම’ තම පෙම්වතිය බවට පත් කරගත් තරුණයෙකු ගැන මෙසේ ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. මෙවැනි ගීත තුලින් විරහවෙන් පෙළෙන්නන්ට ලැබී ඇත්තේ සහනයක් මිස වේදනාවක් නම් නොවෙයි.

විරහව පදනම් ව ලියැවී ඇති ඇතැම් ගීත තුලින් දැනෙන්නේ සරළ බව පරයා යන සාහිත්‍යමය හැඟීමක්. විප්‍රලම්භ ශෘංගාරය යනු අප ප්‍රකම්පනයට පත්කරන සාහිත්‍යය රසයකි.

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

(පන්ඩිත් අමරදේව- මහගමසේකර)

ඇතැම් විරහ ගීත වලින් අපට අත්හැරීම හුරු කලා.

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

(පන්ඩිත් අමරදේව- අජන්තා රණසිංහ)

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

(කරුණාරත්න දිවුල්ගනේ – රත්න ශ්‍රී විජේසිංහ)

ඇතැම් විට විරහව යනු දරා ගැනීමට නොහැකි වේදනාවක්. විරහවේ අන්තයටම ගිය විට ඉන් පෙළෙන්නා දකින්නේ මරණය උවත් සහනයක් ලෙසයි. ඔවුන්ට නැවතත් ප්‍රේමය උවමනා නැත. ඇතැම් විට ඔවුන් ප්‍රාර්ථනා කරනුයේ තමා හැරගිය පෙම්වතාට හෝ පෙම්වතියට, තමා විඳින මානසික වේදනාව කිසිදිනෙක නොලැබේවා යනුවෙනි. එය බොහෝ විට තමන් සිටිනා මානසික තත්වය අනුව ඇතිවන අහිංසක, අවංක පැතුමකි. ආදරයේ අන්ධ භාවයෙන් කරන පැතුමක් නොවේ. මුලින්ම දක්වා ඇති ගීතයත් එවැන්නකි.

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

(සුනිල් එදිරිසිංහ – ජයරත්න ගමගේ)

විරහව තරම් තමන්ට ලං නොවන දෙයක් තවත් නැති තරම්. ආදරය අහිමි වූ කල, විරහව නිර්මල බව දැනෙන නිසයි ඇතැමෙක් විරහවට පෙම් බඳින්නේ. විරහව ගැන, විරහ ගීත ගැන ලිවිය හැකි දේ අනන්තයි. නමුත් ඉතිරිය ලිවීමට ඔබට භාර කර මේ සටහන මෙතැනින් නවත්වමි.

ලබන්නාවූ 2017 නව වසර සතුට පිරුණු සෞභාග්‍යමත් එකක් වේවායි පතමි.

-ජනක බොරලැස්ස-

Janaka Boralessa

ජනක බොරලැස්ස

නිදහස් මාධ්යවේදියෙක්, ෆේස්බූක් පිටු තුළ

Social Media

Latest posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>