ගැමි සුවඳින් කලා කෙත පෝෂණය කළ සාහිත්‍යවෙිදියා – පොඩිරත්න අඟමලේ

තුන්වන ශ්‍රේණියෙන් පාසල් දිවිය නිමකළ නමුත්, 2013 සහ 2014 වර්ෂවලදී රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයද නියෝජනය කළ නිහඬ සාහිත්‍යවෙිදියා ඔහුය.

ව්‍යක්තව සිංහල හා දෙමළ භාෂා හසුරවන භාෂා ප්‍රවීණයා ඔහුය.

බස් රියදුරෙකු ලෙස බොහෝ කාලයක් සේවය කර, පසුව රියදුරු උපදේශකවරයකු හා ඩිපෝ මාර්ග පරීක්ෂකවරයකු වැනි තනතුරු දැරූ, ගැමි සුවඳ හඳුනන කවියා ඔහුය.

කාව්‍ය, ගීත, කෙටිකතා සංග්‍රහ, ළමා කතා සහ ජනශ්‍රැති පර්යේෂණ වැනි කෘති විස්සක් පමණ පාඨකයාට දායාද කළ නිහතමානී ගැමියා ඔහුය.

වරෙක ඔහු මෙසේ ලියයි.

“කෙස් ගසක් තිබිලා කෑම පිඟානේ
ඇයි මේ හැටි හිත රිදවන්නේ..
ඔබ නේද කුඩේ යට හැංගීලා
මගේ කේස කලාපෙට
දුන්හිඳ ඇල්ලයි කීවේ….”

ගැමි දිවිපෙවෙත හා සසඳද්දී සංකීර්ණවූ නාගරික ජීවිතය කටුක බව ඔහු පවසන්නේ මෙලෙසින්.

“ලක්ෂ ගණන කෝටිය කරගන්නට
දුක්විඳ වෙහෙසෙන්නේ
තිස්සෙම උවදුරු සැක සංකාවන්
සිත්බිය ගෙන දෙන්නේ..
ලස්සන ඇතිරිලි යහනට තිබුනට
ඇස් නැහැ නිදියන්නේ
හිස්බව පමණයි
පස්යට සැඟවෙනදා අරගෙන යන්නේ…”

එදිනෙදා අපට හමුවෙන මිනිසුන් තුල දැකිය හැකි මනුස්සකම්, බෝසත් කම් සහ නෑදෑකම් වල යතාර්ථය ඔහු දකින්නේ මෙලෙසින්.

“මත් වතුරට දුම් වැටියට
අතවනනා මනුස්සකම
බත් කටකට කහට පොදට
මසුරුකමේ පැනයන හැටි
අන්න බලන් හිතමිතුරේ
මනුස්සකම..

පවසට පැන් පොදක් නැතිව
ගෙදර බුදුන් දුක් යාදිනි
දාන, ශීල. භාවනාව
පිළුණු වෙලා බුදු කුටියේ
අන්න බලන් හිත මිතුරේ
බෝසත් කම..

දුකට අරෝවට නුදුටුව
සුසුමකදිත් ලඟ නොසිටිය
සුදට සුදේ පිරුවට ඇඳ
විස්සෝපෙන් මළගම් යන
අන්න බලන් හිතමිතුරේ
නෑදෑ කම….”

පොඩිරත්න අඟමලේ නැමති අප්‍රමාන මිනිසා කියවීමට සහ ඔහු ගැන සටහනක් ලිවීමට මගේ හිත ඉඟිකළේ, ඔහු විසින් රචිත සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය ඇසුනායින් පසුවයි..

“හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්”

රියදුරෙකු ලෙස සේවය කරන අවධියේ සිදුවූ අත්දැකීමක් ඇසුරෙනුයි ඔහු මේ ගීතය ලියන්නෙ.

“වරක් ඔහු රියදුරු රැකියාව නිමවී ගෙදර එද්දි පොඩි පුතාට හොඳටම අසනීප වෙලා. ඔහු පුතාවත් රැගෙන රෝහලට යනවා.
එදින ඔහුට දිවා ආහාරය ගන්න වෙන්නෙත් නෑ, පුතා අසනීප වී අඬන නිසා ඇයට රාත්‍රී ආහාරය උයන්න වෙන්නෙත් නෑ.
ඔහු තේ එකක් බීලා නිදාගන්නවා.

පසු දින උදේ ඔහු නැගිටලා වැඩට යන්න සූදානම් වෙන්නේ කඩෙන් බත්මුලක් අරන් දවල්ට කනවා කියලා හිතාගෙන.
ගෙදරින් පිටත් වෙන්න හදද්දිම ඔහුව පුදුම කරවමින් බිරිඳ ලොකු බත්මුලක් ඔහුට ගෙනත් දෙනවා.

දවල් ඒ බත්මුල කන්න හදද්දි ව්‍යාංජන හතර පහක් බත් පතේ තියෙනවා. කෑම කාමරයම බත්පතේ සුවඳින් පිරෙනවා.

“මූ ඊයෙ හොඳට ගෑනිට සලකලා. බලපල්ලකෝ මඟුල් ගේකටත් වඩා බත් එක ජයයි” යනුවෙන් මිතුරන් ඔහුට විහිළු කරනවා. ‘.

ඔහුට ඒ බත්මුල කන්න හිත දෙන්නෑ. ඔහු බත් කටවල් දෙකක් කාලා යාළුවන්ට බත් එක කන්න ඉඩදීලා එතැනින් ඉවත්වෙනවා.

පසුකලෙක එම අත්දැකීමෙන් පාදක කොටගෙන ඔහු මේ ගීතය ලියනවා.

අසා බලන්න කොතරම් හදවතට දැනෙන ගීතයක්ද?

පොඩිරත්න අඟමලේ සාහිත්‍යවේදියානන්ට දීර්ඝායු පතමි.

—————————————————————-

සටහන – ජනක බොරලැස්ස

19-01-2018

ජනක බොරලැස්ස

නිදහස් මාධ්යවේදියෙක්, ෆේස්බූක් පිටු තුළ

Social Media

Latest posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>