විරහවේදියා: ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ දුක් ගී කලාව

සියලු පෙම් ගී මුහුකුරා ගොස් වියෝ ගීත බවට පත්වෙතැයි සිත්ගන්නාසුලු  කතාවක් ඇත. කලෙක රසවිඳින ආදර ගීයක් තවත් කලෙක විරහව දනවන්නේ ජීවිත අත්දැකීම් වලට අනුවය. ලොව කොතැනක වුව වැඩියෙන් ඇත්තේ ප්‍රේම ගීත බව මෙන්ම ඉන් බහුතරයකින් කියැවෙන්නේ ප්‍රේමයෙන් ලබන ශෝකය පිළිබඳව යැයි අනුමාන කිරීම අපහසු නොවේ. අප රටේ ඇත්තන් සෙසු ලෝකයාටත් මඳක් වැඩියෙන් විරහ ගී ප්‍රිය කරන්නේදැයි සර්වකාලීන ජනප්‍රිය දේශීය ගීතාවලිය විමසා බලන්නකුට සිතෙන්නට පුළුවන. එහි තැනින් තැන ජේ.ඒ. මිල්ටන් පෙරේරා නමැති ගායකයාගේ සාතිශය ශෝකාකූල හඬ මතුවන්නේය. ඒ නූතන දුක් ගී කලාවේ ආදි කතුවරයාණන් බව අද අප මෙන් එකල ඔහුවත් නොදැන සිටින්නට ඇත.

ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා 1920-30 ගණන්වල කොළඹ කොටහේනේ විසූ සුප්‍රකට තබ්ලා පොඩි අප්පුහාමිගේ පුත්‍රයාය. එච්.ඩබ්ලිව්. රූපසිංහ හා මොහොමඩ් ගවුස් යන ප්‍රවීණයන් යටතේ සංගීතය ප්‍රගුණ කර විසි වයසේදී පමණ ගායනයට පිවිසුණෙකි. ඔහුට පෙර හා පසුවද බොහෝ ශිල්පීන් දුක් ගී ගායනා කර තිබේ.ඒවා ජනප්‍රිය බවද සැබෑවකි. එහෙත් ප්‍රථමවරට, ප්‍රේමයේ දුක්ඛිත ස්වභාවය තම විෂය කරගනිමින් එහි සියුම්, ගැඹුරු තැන් සොයමින් සිය සංගීත ජීවිතයේ අවසාන තෙක් එක සමාන ජීව ගුණයෙන් යුතු නිර්මාණවලියක් උත්පාදනය කරන්නට සමත් වූ ගායකයා මේ යැයි හැඟේ.

ආදරේ වේදනා

විරහව, වියෝව, වියෝගය, වික්ෂෝභය, විප්‍රයෝගය,විප්‍රලම්භය ආදී කිනම් වචනයක වුවද අර්ථය වෙන්වීමෙන් ඇතිවන දුක පිළිබඳවය. පැරණි සාහිත්‍යයේ අනංගයාට දෙන තවත් නමකි වියොවග. අසරීර නොහොත් ශරීරයක් පෙනෙන්නට නැත යන තේරුමෙනි එසේ කියන්නේ. ඔහු සතුව ඇති මල් හී පහෙන් විවිධ විඳුම් දනවන අතර එකකින් අවසානයේදී විරහව ඇති කරයි. එවිට අප ප්‍රේමයට බඳුන් වූ පුද්ගලයා නොදැක, නොපෙනී, වෙන්ව වෙසෙන්නට සිදුවීම මහා වේදනාවක් බවට හැරේ. සාමාන්‍ය ව්‍යවහාරයේ වියෝ දුක යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

විරහව ගැඹුරු රස භාවයක් වන්නේය. එහෙත් එය ආදරය මෙන් දෙදෙනකු එක්ව ලබන රසයක් නොව එකකු, තනිව විඳින්නකි. ප්‍රේමයට නොදෙවැනි ලෙස වියෝගයද අනේක විධ නිර්මාණාත්මක ප්‍රකාශනවලට හේතුවන බවට සාධක අපේ ඓතිහාසික ජනප්‍රිය කවිමාලා තුළ නිතර හමුවේ. මේ සීගිරි කැටපත් පවුරේ කෙටූවකි.

සිහිල් පිනි බින්දින් අද් සවන්ද් පවන් ගෙන මන්ද්‍ හමුළෙ
කොන්ද් කුමුන්ද් වසත් අව්හි මල් සුසැදිවි හෙබි මුළුළෙ
තබය් එය් මෙරන්වනුන් දකුත් මෙසිත් කාතර කෙළෙ
විදි යමින් මෙමන්ද් බලමිනි වගුළෙමි මෙගිරි තෙළෙ
පන්සිය අග්නන් රිසි සෙය් බලය් ගිරි තෙළෙ
නොගනියි සග් මෙනෙ මය් එකක් මෙනෙහි කොට් මනා කොට් (249)

(සිහින් පිනි බිංදු ඇති පවන සුවඳින් හැමී, කොඳ කුමුදු සියලු තැන මනාසේ බැබළීම, එහෙත් මේ රන්වනුන් දැක මසිත අවුල් වී; දැක යද්දී දෛවයද කෙළවරව කඳු මතදී, පන්සියක් අඟනුන්ගෙන් එකියකට හිත වැටී, මසිත ස්වර්ගය කෙරෙහි යොමු නොවී)

ආවෙමි ළඳේ ඔබ දැකගන්නට හිතලා
උන්නෙමි ළඳේ වන පදුරක මුවා වෙලා
දුක්වෙමි ළඳේ ඇස දැක ගන්ට බැරි වෙලා
යන්නෙමි ළඳේ නුඹ ගිය මග සුසුම් ල ලා (පැල් කවි)

සිය ජීවිකාවේදී හෝ ජීවිතයේදී හුදෙකලා වූ විටෙක මතකයේ රැඳුණු සිව්පදයක් තමනට රිසිසේ, වචනයක් දෙකක් වෙනස් කර හඬ නගා කීම පැරැන්නන්ට අමුත්තක් නොවී. ඒ බොහෝ කවිවල ඇත්තේ විරහ දුකයි. ලොකුම වියෝගය වන මරණයේදී පවා ඔවුන් සත් දවසක් යනතුරු වෙස්සන්තර ජාතකයේ කවි කියවන්නේ ප්‍රියයකුගේ වෙන්වීමේ දුක තුනීකර ගැනීමේ අරමුණෙනි.

ප්‍රේමයේ විරහව අත්‍යලංකාරයෙන් වර්ණනා කළ කවි සමයක්ද වේදනාවක්. මාතර යුගයේ, එනම් ක්‍රි.ව. 1799-1852 අතර විසූ බොහෝ කවියන් මේ විෂය සම්බන්ධයෙන් කළ දීර්ඝ කවි එකතු රති කාව්‍ය යනුවෙන් හඳුන්වන්නට යෙදිණ. වියොවගරතනාමාලය, රතිරත්නාලංකාරය ආදී එම කෘතීන් හුදු ප්‍රේමාලාප හෝ කාමාලාප හෝ ලෙස නොසලකා හරින්නට මෑත යුගයේ විචාරකයෝ ඉක්මන් වූහ.

මිල්ටන් පෙරේරාගේ ගීතවලට අත්වූයේ මාතර හා කොළඹ කිවිවරුන්ගේ ඉරණමමදැයි සිතේ. සිය  මුල් ගීතයෙන් ඔහු ගෙනහැර පාන්නේ ප්‍රේමයට පිළිබඳ විරෝධාකල්පයකි. හින්දුස්ථානි තනුවකට අනුව එය ලියා දුන්නේ ඇලෝයි ගුණවර්ධනය.

ආලේහි බැඳි ජීවිත අඳුරෙහි ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප සෝකේම සදාවී….

මේ සියලු දේ ඉතා සුබවාදීව හා සෞන්දර්යයාත්මකව දුටු 1956-57 වකවානුවේදී බව සිහිපත් කළ යුතුය. ඒ අනුව අප ගායකයා විසින් දැන හෝ නොදැන හෝ ගනු ලැබ ඇත්තේ සුළුපටු අවදානමක් නොවේ. ඇතැම් විට ඒ ගීතයෙන්ම ඔහු වැළලී යන්නට ඉඩ තිබිණ. එහෙත් එයින් රසික සිත් දිනාගන්නට හෙතෙම සමත් වූවා පමණක් නොව එතැන් පටන් ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටි ශෝක රසයෙන්ම ජේ.ඒ.මිල්ටන් පෙරේරා නමැති ගායකයාගේ අනාගතය තීරණය විය.

කදුළු අතරට

දෙසවනින් පමණක් ගීතයත් ගායකයාත් හඳුනාගත් ඒ යුගයේ අනෙකුත් හඬවල් අතරින් මිල්ටන් පෙරේරා ඉස්මතු වූයේ ඔහුගේ ශෝකී රාවය නිසා බව පැහැදිලිය. එය ආරූඪ කරගත්තක් නොවේ. එබැවින් ඔහු ඊටම ගැලපෙන දුක්බර ගී පදමාලා හා තනු ගායනා කරද්දී කිසියම් ආත්ම ප්‍රකාශනයක ස්වභාවයක් අසන්නාට දැනේ. අප ඒ ගීතවලට ආසක්තවන්නේ එතැන් සිටය. මන්ද, අපටද ඒ අත්දැකීම් විඳ හුරු බැවිනි.

සඳුන් ගසක එතී සමන් ලතාවක මල් පරවී යනවා, පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ, අතීතේ උන්නු හැටි දෙන්නා, ජීව වේදනා හදින් නැගෙන මගෙ ඔබ හදවතටත් දැනෙනවා නම්, සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේඑකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ, ඔබ තරමට මා නැළවූ ඔබ තරමට මා හැඬවූ වෙන කෙනෙක් නොමැත දියේ, විමන් ඉඩ ඇතේ පැල්පත්වලද ඉඩ ඇතේ එයින් ඵල නැතේ සැතපෙමි ඔබගෙ හදවතේ, හිනැහෙන්නට මට ඉගැන්වූ සැනසෙන්නට මට පෙන්වූ කටු කොහොලින් පිරි මෙලොවේ, දෙතුන් වතාවක් ඔබ ඇමතූයෙමි සැප දුක සොයා බලන්න–  මගෙ දුරකථනයෙ අංකය මතකද මොහොතක්කතා කරන්න, ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා, කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ, ඔබ සාගරේය මා එහි දියරැළි බව කීවා- අමතක වුණාද කෝමල මධුපානියෙ ඒවා, ඔබට නම් නෑ නේද රත්නේ මට වගේ දුක් වේදනා…. ඔහු විසින් ගායනා කරන ලදැයි සැලකෙන හාරදහසක් පමණ වූ ගීත වලින් දැන් මතකයට නගාගත හැකි විරහ ගී අතළොස්සක මුල් පදය. මින් බොහොමයක් 60-70 දශකවල ගුවන්විදුලියට හා වෙළෙඳ තැටිවලට කළ නිර්මාණ වේ. මොහොමඩ් සාලි, ආර්. මුත්තුසාමි ඔහුගේ යාවජීව තනු රචකයන් වූ අතර ලලිත් එස්. මෛත්‍රීපාල, මර්වින් සේනාරත්න, සිරිල්. ඒ. සීලවිමල, විමලදාස පෙරේරා, ධර්මසිරි ගමගේ හා ප්‍රේමකීර්ති ද අල්විස් ඔහු වටා සිටි සෙසු ගීත රචකයෝ වූහ.

පුදුමය නම් මිල්ටන් පෙරේරා අතිශය ප්‍රේමාන්විත ගීයක් ගැයුවද එහි ශෝකී බවක් අපට දැනීමය. දයා ද අල්විස් ගීත රචනයට කැඳවාගෙන එමින් ඔහුම තනු නිර්මාණය කර ගැයූ මේ ගීය මතකද?

කදුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවණක් වෙමි
ජීවිතේ පොත පුරා ලියැවුණු ආදරේ කවියක් වෙමි…..

සිය බිරිඳ වෙනුවෙන් ගැයූ කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ගීතයද එසේමය. කොටින්ම මිල්ටන් පෙරේරා ආදරයෙන් පැරදුණු, එහි දුක්බර පැත්තම අත්දුටු, වියොවග හා විරසකයකින් පසුවූවකුදැයි විටෙක සිතෙන්නේ නම් එය අරුමයක් නොවේ.

අනංගයා වසයි

අහඹු සිදුවීමකින් හැටේ දශකයේ මැදදී එක්. ආර් . ජෝතිපාල සමග පැටලුණු අනංගවාදය එවකට ගීත ලෝකය තුළ මිල්ටන් පෙරේරාගේ ආස්ථානය තහවුරු කරන්නකි. එහිදී ඔහු අනංගයාට නොහොත් ප්‍රේමයට ප්‍රතිපක්ෂව ගී ගැයුවේය. ආදරේ ගීත වලට විකල්ප අදහස් ඇති ගී විශේෂයක්ද තිබිය හැකි බව මෙරට සාමාන්‍ය රසිකයන් විසින් වෙන්කොට හඳුනාගනු ලැබුවේ මේ සිදුවීමෙන් අනතුරුවදැයි විමසා බලනු වටී. සැබෑ ජීවිතයේ සමීපතමයන් වූ මේ ගායකයන් දෙදෙනා වටා එවකට ගොඩනැගී තිබුණු ප්‍රතිරූපවල තරම හා වෙනස ඉන් මනාව පිළිබිඹු විණ. පවත්වා ගැනීමට අසීරු ආර තිබුණේ මිල්ටන්ටය. එච්. ආර්. ජෝතිපාලගේ ගීත පෙම්වතුන්ට සරණ වන විට මිල්ටන් පෙරේරා එතෙක් නිහඬව සිටි විරහීන් ගේ කැඳවුම්කරු ලෙස නිරායාසයෙන් පිළිගැනුණු සෙයකි.

නෙලන්න බැරි මල්

ප්‍රේමය තරමටම විරහව වැළඳගන්නෝද වෙතැයි අනංගවාදයෙන් පසු මිල්ටන් පෙරේරාට පසක් වන්නට ඇත. එතැන් සිට ඔහු දැනුවත්ව වියෝගය මාතෘකාවක් කරගත් බවක් පෙනීයන්නේය. ඒ හුදු ශෝකාලාප ලෙස නොව ලෝක ස්වභාවයක් සේ සලකා, ඒ මේ අත හරවා, සිය සහෘදයන් සමග හෙමි හෙමින් අවබෝධ කරගැනීමෙනි. මෙහිදී ඔහුගේ දීර්ඝකාලීන සගයෝ වූවෝ රසිකයන් තරමටම මිල්ටන්ගේ හඬට ඇලුම් කළ ගීත රචක කරුණාරත්න අබේසේකර හා සංගීතඥ මොහොමඩ් සාලිය.

නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ
ආලෝකය දිදී දිලෙයි පහන් ටැඹ කසුන්
මාර ගඟ මැද ඉවුරු දෙපස පෙනෙයි සුව දසුන්
කුමුදාකරයේ දිගු නෙත් යුවලක් දකිමි.
සතපා පිබිදෙන සිතිවිල ගොලුවත රකිමි.
සුසුම් ගුලි වෙවී පැටලී හමන මාරුතේ
නොහිම් ගිම් දෙවයි කළු දුම් වැලකි ජීවිතේ

විරහී හදවත් නිවන කිසියම් දාර්ශනික ගුණයක් මේ ගීතවල තිබේ. 1965 සිට දශක එකහමාරක් තුළ මෙබඳු ගී සිය ගණනක් මිල්ටන් ගැයුවේය. ගුවන්විදුලි සරල ගී සඳහා පටිගත කරන ලද ඒවායින් අග්‍රභාගය අද අසන්නට නැත. එහෙත් එක් වරක් හෝ ඇසුවනට මතක ඇතුවා නිසැකය. මේ එවැන්නකි.

දෙපිය නගා එන්නට බැරි කටු අකුල් කැලේ
සසර වසන තුරු ඔබ නොපිපියන් සුදු මලේ
දසුන පියවි නෙත් යුග මත අඳුන් උලනවා
කෙලෙස මගේ අත පොවම්ද බිඟුන් බමනවා
සිහින් සිනිඳු පෙතිවල මුදු පහස රිසියෙමි
එවන් සුවය නොලැබෙන ලෙස බැඳී ඇත බැමි
මොටද පැහැති මල් පිපිලා ළඟ ලියගොමුවේ
දුරක සිටන් හමන සුවඳ ඉන් නැත හැමුවේ
මල් කුමරියෙ සිහිල් සුළඟෙ අතු අග සැලෙනා
ඔබ දැකුමෙන් මගෙ නෙතු පින් කළ බව දැනුණා

එහෙත් මේවා නෑසූ කන්ව සිටි එකල විචාරකයන් හින්දි තනුවලට සිංහල ගී ගැයූ ගායකයන්ගේ හංවඩුවෙන් මිල්ටන් පෙරේරාට ගැලවෙන්නට ඉඩ දුන්නේ නැත. සැබෑව නම් විදේශීය තනු තුළට පවා මිල්ටන් සිය ශෛලිය ගෙනගිය බවය. ගීයක පදමාලාව හැඟුම්බරව ගායනා කිරීමෙන් එහා ගොස් ආලප් ආදී අලංකරණ එක්කිරීමේ රුසියෙකි ඔහු. එය හින්දුස්ථානී රාග පදනම් කරගත් ගී ශ්‍රවණය කරමින් නැවත ගැයුමෙන් ලත් පරිචයක් බව හැඟේ. ඇතැම් රළු වදනක් වුව ඔහුගේ මුවට නගන්නට රචකයන් නිර්භය වන්නට ඇත්තේ මේ සමත්කම නිසාය. උක්ත කරුණු සම්බන්ධයෙන් මතකයට නගා ගත හැකි සුප්‍රකට ගීයක කොටසකි මේ.

..දිගු නෙත් කැළුම් විදාලා
මා දෙස බලා සිනාසී
දුක වේදනා නිවාලා
කරතැයි සිතා අහෝසි(හෝ…ඕ.)
නොඉඳුල් සිහිල් අමා මී
දෝතට පෙරා ගෙනාමි
ඔබ නෑ දේවාලේ
(දෙව්දුව පලාගියාදෝ)

වියෝගයේ තවත් රමණීය අවස්ථාවක් නම් පෙර විඳි සම්භෝග සුව ස්මරණයයි. පැරණි රති කාව්‍යවල මෙවැනි කවි නොඅඩුව දක්නට ලැබේ. ඉන් ලැබූ ආභාසයක් මෙන් මේ ගීතය ජනප්‍රිය තනුවකට පසුව රචනා කරන ලද්දකි. එකල ගුවන්විදුලියේ වාරණ නීති රීති වලින් මිදෙන්නට තරම් සංයමයකින් එය ඉදිරිපත් කර ඇති සැටි.

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙත් දෙතොලේ රැඳෙව්වේ
ඔබයි සොඳුරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
ඔබයි මිහිරේ
දෑසට බරවී දෑතට සිරවී
එක්වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත්වුණු කොවුලා සිත්ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ
නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොලඟ ගිලුණා විස්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත්ගෙන පෙරසේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
සසරෙදි පෙරදී ආ මග වැරදී
කොයිබද පෙරදී ආ මග වැරදී
කොයිබද අප මේ පියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ

අපේ ජනකවි සම්ප්‍රදාය තුළද හමුවන මේ යෙදුම්, උපමා හා ව්‍යංගයන් සරල බැවින් සාමාන්‍ය රසිකයාට සමීප වෙයි. කල්‍ යෑමේදී මිල්ටන් පෙරේරාගේ ගී වඩාත් කෙටි පදපේළි වලින් හා පුරාණකවි විරිත් වැට නොදෙවැනි ස්මරණීය ගුණැති තනුවලින් සමන්විත වූ ආර වියෝගයෙන් අඳුරුම, ගැඹුරුම පත්ල සොයා ගිය සෙයක් දැනේ.

  1. රුවන් මැදුරේ ඔබම ඉදිකෙරූ
    පහන් නිවා ජවන් රළයුරු
    ගියෙන් හොවා ලෙනක ගනඳුරු
    මගේ ලොවට මොටද සඳ හිරු
    ….නිහඬ නිසල දිවියේ තනි නැසූ
    පිනවූ සවන් ලෙලවූ රන් රසු
    ඔබම මහද සිදුරු කළ පසු
    සෙවිය නොහැක සුවය දෙන ඔසු..
  2. මා අමතක කොට හැරයන ඔබ වෙත
    පෙම්බැඳි සමයේ සැමරුම් පිඬුකොට
    මුළු ජීවිතයම එක හිස් පිටුවක
    ලියා එවන්නට වෑයම් කෙරුවෙමි.

  3. ඇස රැඳුණු රැඳුණු තැන්වල මුව මඬල හිනැහුණා
    ඔබ මතක නැති කරන්නට මට මතක නැතිවුණා.
    දුක් පැදුර දිගැර අලසව වැද හද ගිලන්හලේ
    නින්දකට නොවැටී තැවි තැවි රැය පහන් කළේ
    රෑ කවුද හෙමින් එළඹී මගෙ කනට මුව තියා
    මින්දදගෙ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා
    වැසු විමන් පියන් පියවා සනහන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතය

කෙතරම් දුක්බර, ඒ යුගයේ හැටියට අසාමාන්‍ය ගීයක් වුවද මෙය එකල ජනප්‍රියම ගුවන්විදුලි ගීතය ලෙස දිගු කලක් වැජඹුණු බව කියැවේ. ඉන් හැඟෙන්නේ මිල්ටන් සිය රසිකයන්ගේ රසඥතාව ගෙනගිය දුරය.

සියුමැලියා

චිත්‍රපට පසුබිම් ගායනා වෙනුවෙන් කිහිපවරක් සම්මාන දිනූ මිල්ටන් පෙරේරාගේ හඬයි කතාවේ සියුම් අවස්ථාවක් උද්දීපනය කරන ගීත සඳහා බොහෝවිට යොදාගැනුණේ. එහි කූටප්‍රාප්තිය ලෙස සිකුරුලියා චිත්‍රපටයේ එනමින්ම ජනප්‍රිය ගීතය දැක්විය හැකිය. ප්‍රකට කතාවකට අනුව ධර්මසිරි ගමගේ මහතාගේ පදමාලාව සඳහා වෙනත් ප්‍රවීණ ගායකයකු යොදාගැනීමට අදහස් කර තිබියදී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ,තරුණ ක්ලැරන්ස් විජේවර්ධන ඊට සුදුසුම හඬ මිල්ටන් පෙරේරාගේ බව එකලෙස කියා සිටියේලු.

ප්‍රේම විරහවෙන් එහා ප්‍රස්තූතයන් හැඟුම්බරව ප්‍රකාශ කරන්නට ඔහුගේ හඬ යොදාගත් විශේෂ අවස්ථා කිහිපයක් පිළිබඳව සඳහන් කරනු වටී. දේශානුරාගය ශෝක රසයට මුසුකරන අහන්න මගෙ හොඳ පුංචි පුතේ, සමාජයේ අසමානතා පිළිඹිබු කරන වැඩකරලා ඉවර නොමැත දෙවියනේ,  සත්ව කරුණාව මතුකරන උම්බෑ කිය කියා මරණ බයේ මෙන්ම සිරකරුවකුගේ තනිකම ගැන කියවෙන සොඳුරිය හා සිඟිති පුතා නැත කලකින් දුටුවේ.. එකලට සාපේක්ෂව අපූරු අත්හදාබැලීම් වේ.

නොසිතූ විරූ ජනතා ආදරයක් දිනුවද මිල්ටන් පෙරේරාට ගීත ලෝකය තුළ කෙනෙහිලිකම්වලට ලක්වන්නට සිදුවිය. ඒ පිළිබඳව වචනයකදු නොදොඩා 1991දී අවුරුදු 54ක්ව ජීවිතයෙන් සමුගන්නා විට ඔහු දශකයකට ආසන්න කාලයක්  (ජෝති උපහාර ගීයක් හැරෙන්නට) අලුත් ගීතයක් ගයා නොතිබිණ. තැටි යුගය නිමා වී කැසට් පටය වේගයෙන් ප්‍රචලිත වෙමින් පැවති ඒ අවධියේ වරකට ගීත 4ක් පමණ ඉතා මහන්සියෙන් හදාගන්නට හුරුවී සිටි බොහෝ ශිල්පීන් එකවර ගීත 16ක් සම්පාදනය කරගනු නොහැකිව පසුබෑමට ලක්වූ බව පෙනීයයි. ඊට අමතරවමිල්ටන් පෙරේරාට සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමද, කල්‍යාණ මිත්‍රයන්ගේ වියොවද බලපාන්නට ඇත. ඔහුගේ අවසාන ජනප්‍රිය ගීතය වූයේ 1978 සිතක සුවඳ චිත්‍රපටයට ගැයූ ශෝකය පිට ශෝකය දේ නිෂ්ඵල මේ ජීවේ නම් දෛවෝපගත පද පෙළය.

අපෙ ආදර කතන්දරේ

මිල්ටන්ගෙන් තවත් මිල්ටන් කෙනෙක් බිහිවීය. ඒ මිල්ටන් මල්ලවරච්චිය. තමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන කාලයේ ගායනා කළේ මිල්ටන් පෙරේරාගේ ගීත බවත් ඊට ගෞරවයක් ලෙස ඔහුගේ මුල් නම සිය නමට ඈඳාගත් බවත් හෙතෙම පවසා ඇත. මල්ලවරච්චි මිල්ටන් පෙරේරාගේ නියම, නිසි අනුප්‍රාප්තිකයා වූ අතර මේ වනවිට කරුණාරත්න දිවුල්ගනේ හා නිරෝෂා විරාජිනී විරහවෙන් පිරි අපේ ආදර කතන්දර වලට ජීවය දෙති.වියෝ ගී ගැයූ පමණින්ම එබඳු විශ්වසනීය චරිත බිහි නොවේ. විරහව අව්‍යාජය. ආදරය පසුපස එය පැමිණෙන බව අපි ඉවෙන් මෙන් දනිමු. මිල්ටන්ලා මගින් මගට කියාදෙන්නේ එයයි.

උඩුගුවන් යටින් මහ දෙරණ පිටින් හැම මුවකින් පිට වෙන්නේ
අපෙ ආදර කතන්දරේ
පෙති ඇරෙන මලේ දියට පිරෙන විලේ මුළු දවසම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ
වන විහඟ තුඩින් බට පඳුරු උඩින් දස දිගතේ විහිදෙන්නේ
අපෙ ආදර කතන්දරේ
සිතිජය අතරේ ගං රළ පතරේ එබිකම්කොට සැඟවෙන්නේ
අපෙ ආදර කතන්දරේ

Dileepa Abeysekera

Dileepa Abeysekera

An influential writer and creative director for over two decades, Dileepa is a founding partner at Heensare (Pvt) Ltd., a leading local advertising agency.

Latest Posts by Dileepa Abeysekera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>