ජෝති, වික්ටර් හා ප්‍රබුද්ධ.

Posted by admin Category: Dileepa Abeysekera, Sinhala
jothi , victor and prabuddha

දිලීප අබේසේකර (රාවය පුවත්පත, 2012 ජූනි 3)

ප්‍රබුද්ධ ගායකයෙකි, සංගීතඥයෙකි. අනේක රසිකයන්ගේ ආදරයට පාත්‍ර වන්නේය. මේ නිසා නොබෝ කලකින් ඔහු හඬට මිලක් එකතු වී මහා තරු ප්‍රතිරූපයක් බවට හැරේ. එහෙත් මේ සියුමැලි කලාකරුවාට සතුටක් නැත. අවසානයේ හේ සියලු සංකූලතා මැද ජීවතාවබෝධය ලබන්නට උත්සාහ දරයි. මේ සම්මා වායාමය ඔහුගේ කලාටද වඩා පොදු ජනතාවගේ හිත සුව පිණිස වේ.

මේ කියන ප්‍රබුද්ධ අපට හමුවන්නේ මෙරට පහළ වූ දාර්ශනික තලයේ  කලාකරුවකු වන මහගමසේකරගේ එනමින් සුපතළ මහා කාව්‍යයෙහිය. 1977දී එය පළවන විට ඔහු අප හැරගොසිනි.  ඊට පසුබිම් වනුයේ 70 දශකයේ මුල් භාගයේ මෙරට සමාජය අත්දුටු දෑය. එය අද්විතීය යුගයකි. මෑත ඉතිහාසයේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන 56 දේශජ සංස්කෘතික පෙරළියේත් 60 ගණන් වල ලෝකය පුරා පැතිරී ගිය ලිහිල්, ලිබරල් මතවාදී දැක්මේත් අනුහස් එකට සංකලනය වූ කාලයකි මේ. එහෙත් එහි දිශානතිය වෙනස් කරන්නට 71 තරුණ නැගිටීමේ කම්පනය හේතුවන්නට ඇත. අසනහකාරී තරුණයන්, කම්පිත වැඩිහිටියන් යම්තාක් දුරට සමනය කරනු ලබන්නේ කලාව විසිනි. ඒ අතරින් ගීතයත්, ගායකයාත් ඔවුනට වඩාත් සමීප වීම ජන මූලික කවි සම්ප්‍රදායක් ඇති රටෙක පුදුමයක් නොවේ. මහගම සේකර සිය ආත්මකථනය රැගත් කෘතියේ ප්‍රධාන චරිතය ගයකයකු කරන්නේ ඒ හේතුවෙන් විය නොහැකිද? ගායකයා සංවේදීය. අප කාගේත් දුක, සතුට අපට වඩා හොඳින් ඔහු  ගයයි. ඉන් සියුම් වන අපේ මනෝභාවයන් ප්‍රඥාව වෙත විවරවීමට ඇති ඉඩකඩ වැඩිය. එය නිවීමට හේතුවකි. පෘථුල ප්‍රඥයාටත් සාමාන්‍ය සහෘදයාටත් එක සේ ගෝචර වන අන්දමින් සරලව, සංක්ෂිප්තව පිටු 100කට නොවැඩි ප්‍රබුද්ධ කාව්‍යයෙන් මහගමසේකර ඉදිරිපත් කරන්නේ මේ දර්ශනයය.

සැබෑ ජීවිතයේදී ඔහු දුටු පරමාදර්ශී ගායකයා, සංගීතඥයා අමරදේව බවට සැක නැත. එහෙත් ප්‍රබුද්ධ ලියන කාලය වන විට ජනතාව රොද බැඳ සිටි තවත් චරිත දෙකකි.

චංචල අඳුරු ලොවේ, නිසංසල සීතල පරම සුවේ.

ඉන් අයෙකි වික්ටර් රත්නායක. සංගීතය හැදෑරීමේ අභිලාෂයෙන් කඩුගන්නාවේ සිට කොළඹ පැමිණ,රජයේ සංගීත විද්‍යාලයෙන් නොහොත් දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගත් හේ 60 දශකය මැදදී, ගුවන්විදුලියේ ගැයූ මුල්ම සරල ගී කිහිපයෙන් රසික හද බැඳගන්නට සමත් වූයේය. පාවේ වලා, සෝක සැනසුම් වේදනා, මයුරාසන මත වැඩ හිඳිනා මෙන්ම ගොළු මුහුදේ මුතු ඇටේ වැනි ගීතවලින් පුළුල් පරාසයක් ඔස්සේ තම අනන්‍යතාව සලකුණු කළ ඔහු,  වැඩිකල් යන්නට මත්තෙන් සහෝදර ගායක ගායිකාවනට තනු නිර්මාණය කරමින් විචිත්‍ර සංගීතඥයකු බවට පත්විණ. තුරුණු වියේදීම චිත්‍රපට පසුබිම් ගයනයට පිවිස, සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු වීමේ වරමද හිමිකර ගැනීමෙන් වික්ටර් රත්නායකගේ ප්‍රතිභාව කෙතරම් වීදැයි වටහා ගතහැකි වේ. ඔහු වාසනා ගුණයේත්, ප්‍රතිභාවේත් අධ්‍යාපනයේ හා අභ්‍යාසයේත් අග්‍රඵලලාභියෙකි.

1973 ජූලි 20දා ඔහු ප්‍රසංගයත් සමග කොළඹ ලුම්බිණි රඟහල් වේදිකාවට නැග්ගේ ගව්, දහස් ගව් ඉදිරියට දිවෙන රසෝඝයකට උල්පත වන්නටය. එය මෙරට ප්‍රථම පරිසමාප්ත ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙස සැලකේ. විවිධ ගුරුවරුන් යටතේ පෙරදිග මෙන්ම බටහිර සම්ප්‍රදායයෙන්ද සංගීතඥානය උකහා ගනිමින් ඔහු නිර්භයව ආමන්ත්‍රණය කළේ බුද්ධිමත් රසික පිරිසකටය. එහෙත් එතෙක් ගුවන්විදුලියෙන්, සංගීත සංදර්ශනවලින් හා චිත්‍රපට තුළින් ඔහු හඳුනාගෙන සිටි පොදු රසිකයෝද එම ශාලාවේ අසුන් ගත්හ. ඔවුන්ගේ බලාපොරොත්තු අභිබවා යාමට වික්ටර් සමත් වූ අතර ඔහු වටා සිටි නව පරපුරේ ගීත රචකයන්, අත්වැල් ගායක ගායිකාවන් හා වාදකයන්ගෙන් සමන්විතපිරිවර සිංහල ගීත වංශයට එක්විණ.

කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ.

වික්ටර් රත්නායක 70 නව රැල්ලේ සංකේතය වී නම් පොදු ගීත රසිකයන්ගේ අසහාය වීරයා වූයේ එච්.ආර්. ජෝතිපාලය. සින්දු කීමේ ආශාවෙන් පෙළුණු කුඩා ජෝති කොළඹ කැටවලමුල්ල, දෙමටගොඩ, මරදාන ආදී ප්‍රදේශවල එවකට රේඩියෝ යන්ත්‍ර තිබුණු කඩපිල් ගානේ ගැවසෙමින් ඉන් ඇසුණු හින්දි ගීත නැවත ගායනා කළ  බවට නූතන ජනශ්‍රැතියකි. දැඩි ආයාසයෙන් 1950 ගණන්වල මැද භාගයේ ගීත ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුවද ඔහු හින්දි තරු අනුසාරයෙන් සිංහල ගීත ගැයීමට පුරුදුව සිටියේය. එකල එවැනි දෑට ඉල්ලුමක් වූ බව සිහිපත් කළ යුතු වේ. මේ නිසා ජීවිතාන්තය දක්වා දැඩි විචාරක දෝෂාරෝපණයට බඳුන් වූ ජෝතිපාල අතින් සැබවින්ම සිදුවූයේ, හින්දි ගීත රැල්ලකට යටවෙමින් තිබුණු යුගයක එය අභිබවා රසිකයන් අතර සිංහල ගීතම ජනප්‍රිය වීම නොවේදැයි සිතනු වටී. එම සතත අභ්‍යාසය නිසා කිසිදු දිනක සංගීතය නොහදාරා වුවද සිය ගායන මාධූර්යය ඔප් නංවා ගන්නට ඔහුට හැකිවිය. චිත්‍රපට පසුබිම් ගායනයේදී විවිධ නළුවන්ගේ රූපයට සම කරන්නට ජෝතිපාගේ හඬ තරම් සුනම්‍ය හඬක් තවත් නොවූ බව කියනු ලැබේ. සංදර්ශන වේදිකාවට ජෝති නැතිවම බැරිවිය. ඔහුගේ අලුත් සිංදු රැගත් ගී තැටි අලෙවි වූයේ දහස් ගණනෙනි. දේශජ සංගීතඥයන් මුණගැසීමත් සමග කෙමෙන් එච්.ආර්. ජෝතිපාලගේ ආර රූපාන්තරණයට ලක්වන්නේ 70 දශකයේදීය. රාගධාරී සංගීතයට ටජ්මහලක්, සල් සපු නා, නිසසල හදවත වැනි ගීතද; ජන සංගීත ආරෙන් දිය පොදක් වෙමින, රන් ඇට පොට රිදී හවඩි යන නිර්මාණද; බටහිර සංගීතානුසාරයෙන් මල් පිබිදෙන එක වසන්ත සමයක, ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා, නීල දෑස පුරා, ඔබ නිදන්න ඔබ නිදන්න, දුරකතනයකින් ආදී නැවුම් ගුණයෙන් යුතු ගී පෙළක්ද ඉදිරිපත් කරමින් ජෝති ජනාදරයේ හිනි පෙත්තෙහිම රැඳිණ. එහෙත් ජීවත්ව සිටියදී කිසිදු විචාරකයකුගේ අවධානයට නොතරම් වූ එච්.ආර්. ජෝතිපාල අත්නොහළේ, ඔහුගේ හඬේ අගය හා ජනතා ආකර්ෂණය වටහාගෙන සිටි ප්‍රවීණ ගී පද රචකයන්, සංගීතඥයන් අතළොස්සක් පමණි.

හා එන්න ප්‍රීතිවන්න ගී කියන්න පෙම්බරෝ

ප්‍රබුද්ධ කාව්‍යයේ එන මේ ගීතය මනඃකල්පිතය. එච්.ආර්.ජෝතිපාල කරළියට ආවේ එවැනි පද පේළි රැගත් සින්දු වලිනි.  ජෝතිට ගීයක් ලියන්නට මහගමසේකර කැමැත්තෙන් සිටි බවට ජනප්‍රිය මතයක් පවතින්නේය. එහෙත් එවැන්නක් ලියැවුණ ලියැවුණේ නැත. වික්ටර් රත්නායකට ඔහු රචනා කර ඇත්තේ ගීත 4ක් පමණි. ඉන් අඩවන් දෑසින්, අවදිවෙයන්, සරා සොඳුරු මල්( නන්දා මාලිනී සමඟ) යන ගී, චිත්‍රපට දෙකක් සඳහා ලියූ ඒවාය. ඈත එපිට ගම්මානේ යනුවෙන් වෙළෙඳ සේවා තැටියකට ගැයූ ගීයකි.

පොදු සමාජය තුළ මේ දෙදෙනාගේ භූමිකා මහගමසේකරගේ අවධානයට පාත්‍ර නොවීයැයි සිතනු නොහැකිය. ප්‍රබුද්ධගේ චරිතයේ මුල් ස්වභාවය නොහොත් කතාවේ මුල් අදියර කවියට නගද්දී, වික්ටර් හා ජෝති කේන්ද්‍ර කොටගෙන එකල ගීත ක්ෂේත්‍රයේ පැවති ප්‍රවණතාව ඡායාමාත්‍ර වශයෙන් හෝ කෘතියට එක්වී ඇති බව පෙනෙයි. නිර්මාණය එකම අභිලාෂය කරගත් ප්‍රබුද්ධටද වික්ටර් හා ජෝතිට මෙන් වැඩිකල් යන්නට මත්තෙන් විශාල රසික ආකර්ෂණයකට පාත්‍රවන්නට සිදුවන්නේය. ඔවුන් ඉල්ලන්නේ වෙනත් දෙයකි  ගුත්තිලයේ කවි දෙපදයක් උපුටා ගනිමින් මහගමසේකර, ප්‍රබුද්ධගේ මධ්‍යම පාන්තික රසිකයන් මුවගට නගන මේ වචනවල ඇති උත්ප්‍රාසය බලන්න.

ඇදුර තුටු නොවෙතියි
නොසිතප සිප් නොදනිතියි
පොප් ගීයක් කියයි
කියා අප හැම දෙනම හිතුවයි

මෙසේ දිගින් දිගටම සරල, පොදු රසිකත්වයට සරිලන නිර්මාණ කරන්නට යෑමේදී කලාකරුවාගේ හෝ කලාවේ හෝ වර්ධනයක් සිදුනොවන්නේය. නිර්මාණ අබිබවා ප්‍රතිරූපය ඉස්මතු වෙයි. එච්.ආර්. ජෝතිපාලට අත්වූයේ ඒ ඉරණම නොවේද?ප්‍රසංගයට ලැබුණු පෙර නොවූ විරූ රසික ප්‍රතිචාර මැද වික්ටර්ටද එයින් ගැළවෙන්නට හැකිවේදැයි එකල සැක සංකා පළවීනම් එය යුක්තිසහගතය.

එක්තරා කතාවකට අනුව වික්ටර්ගේ කෙස් ගස් ගලවාගන්නට පවා සැරසුණු රසික පිරිස් සිටි බව කියැවේ. දිගු කෙස් වැටියෙන්ද, බෙල් බොටම් කලිසමට උඩින් ඇඳිහ  කුර්තාවෙන්ද, අත රැඳි සිතාරයෙන්ද සමන්විත තරුණ වික්ටර් රත්නායකගේ පෙනුමමය 70 දශකයේ මුලදී රවි ශංකර් හමුවන්නට ඉන්දියාවට පැමිණි සුප්‍රකට බීට්ල්ස් කණ්ඩායමේ සාමාජිකයන්ට තිබුණේ.

ජෝති මෙන් ලේස් රෙද්දෙන් මැසූ කමිස හා පුළුල් බඳ පටිවලින් සැරසුණු තරුණයෝද වූහ. මේ ප්‍රතිරූප කෙරෙහි එකල පැවතියේ ඉන් පෙර සිනමා නළු නිළියනට පමණක් හිමි වූ ආකර්ෂණයකි. එය සමාජයේ පහළ ස්ථරවලද, ඉහළ මධ්‍යම පන්තිය හා ප්‍රභූන් දක්වාද පැතිර තිබිණ. පසුකලෙක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා එම ආර්යාව වික්ටර්ගේ අපි ඔක්කොම රජවරු ගීතයට ප්‍රියතාවක් දැක්වූ බව ප්‍රසිද්ධ විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් වික්ටර්ට හා ජෝතිට ගීත රචනා කරදෙනු ලැබිණ. ඊට කලින් මහගමසේකර මෙසේ ලිවීය.

‘..උඩුමහල් හා සඳලුතලවලින්
ඒ කටහඬ බැස ගොසින්
ගැලී ගම් නියම්ගම් දනව්වල
කොලු කුරුට්ටන් අතරට,
ඇන්දෝය ඉන්පසු  ඔවුහුද  බෙල්බොටම්
බැන්දෝය මහ පටි සම්.
නැටුවෝය හන්දිවල සැදී කණ්ඩායම්. .’

තරුණ තරුණියන්ගේ චර්යාවනට පමණක් නොව චින්තන රටාවටද මොවුනගේ නිර්මාණ, බලපෑ බව කිව යුතුය. ජෝතිගේ ගීතවලින් වර්ණනා කැරුණු අන්දමේ අකලංක ආදරියක සෙවූ රසිකයෝද, වික්ටර් චිත්‍රණය කළ සුළකල් පෙම්ලොව සැරිසරන්නට කල් බලමින් සිටි රසිකාවෝද වූහ.

මෙරට විශාලතම වෙළෙඳ අගයක් තිබූ ගායකයා එච්.ආර්. ජෝතිපාල බවට විවාදයක් නැත.ඔහුගේ ගී තැටිවලට පැවති ඉල්ලුම හැරුණු කොට ජෝති පසුබිම් ගීත ගයන ඕනෑම චිත්‍රපටයක් වෙත ජනතාව ඇදෙන තත්වයක් එදා තිබිණ.හුදු රසිකයන් ලෙසින් මෙන්ම ලාභ වාසි අත්කර ගැනීමේ අරමුණෙන්ද මේ චරිත වටා ව්‍යාපාරිකයන් රොක් වූ බව නොරහසකි. සංගීත සංදර්ශන සංවිධානකරුවන්ගේ සිට මහා සමාගම් හිමිකරුවන් දක්වා මේ අති ජනප්‍රිය කලාකරුවන් තම කටයුතුවලට කිසියම් ආකාරයකින් සම්බන්ධ කරගැනීමට කල් යල් බැලූහ. ප්‍රබුද්ධටද එසේම වී,

‘. හෙලුවෝ ගිජු දෙනෙත්
ව්‍යාපාර හිමිකරුවෝ
නොව ඔහුගේ කටහඬට
ඉන් ලද හැකි ලාභයට,

හනා සූකිරි ප්‍රේමයට
හරවා අනුරාගයට
පෙරුවේය ඔහු තම කටහඬ
එතැන් සිප සංගීත තැටිවලට,
විකිණින දහස් ගණනින්
ඒ සුරා තැටි.

ගලා ගිය කටහඬ
හැරී ආවේ ආපසු
රිදී රුපියල් විලසිනි.’

බොහෝ කලාකරුවන් අතිශය පුහුදුන් මිනිසුන් බවට පත්වන තැන එතැනය. මෙසේ කියන්නේ ධනයට අධිපති ලක්ෂ්මි දෙවඟන ගෙට එන විට, කලාවේ සංකේතය වූ සරස්වතිය පෑල දොරින් පැන යන බවට ප්‍රකට අදහසින් පමණක් නොවේ. එතැන් සිට අවංක රසිකයන්ට පමණක් නොව තමුන්ටද තමුන් නැතිවන අසරණ තත්ත්වයක් උදාවන බව කලාකරුවා දත යුතුය.

ලැබුවද කොතෙක් දන
නැගුණද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට.

එවක සිය ජීවිතයේ වඩාත් පරිණත අවධිය ගෙවමින් සිටි මහගමසේකර ප්‍රබුද්ධ කාව්‍යය ලියන්නේ සහෘද කලාකරුවන්ට, රසිකයන්ට හා අනාගත ජන සමාජයට පණිවුඩයක් ලෙසිනි. එදා වූ සංසිද්ධීන් මතු එළඹෙන ඛේදනීය තත්වයක පෙරනිමිති සේ ඒ මහා කවියා දකින්නට ඇත්තේය.

ලෝකය තනි යායෙකි.

මහගමසේකර 1976ට ආසන්න කාලයේ සිතුවාටත් වඩා අනාගතය බොහෝ ව්‍යසනකාරී වූ බව අෂි දනිමු. සමාජයට අනුරූපව කලාවද කලාකරුවන්ද වෙනස් වී ඇත. කලාවටත්  දේශපාලනයටත් වඩා මිනිසුන්ට බලපෑම් කරන්නේ ජනමාධ්‍ය සංස්කෘතියදැයි සිතේ. මේ සියල්ල හසුරුවන බලවේගයයි මුදල්.

එච්.ආර්. ජෝතිපාලගේ  පියවි ජීවිත කාලය 1987දී නිමා වුවත් ඔහු අදත් මෙරට ජනප්‍රියම ගායකයාය. කිසියම් ගුවන්විදුලි නාලිකාවක අවම වශයෙන් පැයකට වරක් හෝ ඔහුගේ ගීයක් වාදනය වන බව කියැවේ. එම නිර්මාණවලට කිසිදු සම්බන්ධයක් නැති ජාවාරම්කරුවෝ රිං ටෝන්, ඩවුන්ලෝඩ් ආදී නවීන මාධ්‍ය අංග උපයෝගී කරගනිමින් ජෝති කිසිදා නොදුටු, නොඇසූ තරමේ මුදල් සම්භාරයක් රැස්කර ගනිති.

එහෙත් ජෝතිගේ ගී අසා සිංහල ගීතය ප්‍රිය කරන්නට පටන් ගන්නා තරුණ රසිකයෝ කිසියම් අවස්ථාවක වික්ටර් රත්නායකගේ ප්‍රසංගය අත්විඳින්නට යන්නාහ. දශක 5ක් මුළුල්ලේ අනේක වූ වේරම්බවාත හමුවේ නොසැලී, සක්‍රීයව සංගීත නිර්මාණයේ නියැලී සිටින වික්ටර්ගේ තරම් ජයකෙහෙළි නැංවූ ගී ප්‍රසංගයක් එදා මෙදාතුර බිහිවී නැත. එය වේදිකා ගතවන්නේ කොතැනද, කිසිදු ආයාසයකින් තොරව සියලු අසුන් පිරී යන්නේය. 1400 වැනි වරටත් එය එලෙසින්ම සිදුවනු ඇත. එම බුද්ධිමත් රසික පිරිස අතරේ මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍යය ඇසුරු කරන්නට පෙළඹෙන්නෝ නොසිටිත්ද? තවමත් ඒ හා සමාන ජනප්‍රියත්වයට පත් වෙනත් කවි පොතක් ගැන අසන්නට නැත. එහි අගය අකාලිකය.

මේ කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ අවංක ගුණයෙන් යුතුවීමද මීට හේතුව? ජෝති යශු ආනන්දයක් නම් වික්ටර් ප්‍රඥාවට අප ළං කරයි. ප්‍රබුද්ධ තුළ අපට දැනෙන්නේ නිවීමය. මේ අත්දැකීම වෙන් කළ නොහේ. ප්‍රබුද්ධ කාව්‍යයේ එක් තැනක එන හුදෙකලා වැකියකින් කියන පරිදිලෝකය තනි යායකි’.

Dileepa Abeysekera

Dileepa Abeysekera

An influential writer and creative director for over two decades, Dileepa is a founding partner at Heensare (Pvt) Ltd., a leading local advertising agency.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>