අභිනවයෙන් පිහිටවූ “සුරිය ලේබලයේ” ප්‍රථමයෙන් පටිගත කිරීම සිදු කරන ලද්දේ “ද මුන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායම වන අතර කණ්ඩායමේ සාමාජිකයකු වන “මංගල රොද්‍රිගෝ”, “ජෙරල්ඩ්ගේ” පුතා වන “නේතාජිගේ” මිත්‍රයකි ඒ හරහා “ද මුන්ස්ටෝන්ස්” හා “සුරිය” මුණගැසිණ.

“සුරිය ලේබලය” යටතේ ප්‍රථමයෙන් නිකුත් කෙරුණු “More Hits by The Moonstones” ගීත ඇල්බමය, නාමාවලි අංක CHB 001 ලෙසින් නිකුත් වූ අතර ඇසිල්ලකින් ජනප්‍රිය විය. ඇල්බමය ප්‍රථමයෙන් නිකුත් වුවද මෙය ඔවුන් සමග අත්සන් කල දෙවන ගිවිසුමට අයත් වේ.

“ද මුන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායම සමග වන පළමු ගිවිසුමට අදාළ ගීතයන් ඊට හරියටම වසරකට(1969) පසුව නිකුත් වූ අතර එය සුවිශේෂී වන්නේ “දිල්හානි” ගීතය හරහා “ඉන්ද්‍රානි පෙරේරා” ගායිකාවගේ හඳුන්වාදීමත්, සුරිය ලේබලය යටතේ ප්‍රථම එකල ගීතයක් ඉදිරිපත් කලේ මෙම ඇල්බමය හරහා වීමත්ය. මෙම ඇල්බමය ආදායම් වාර්තා බිඳ දමමින් අලෙවි විය.

ඊට අමතරව “මෙල්රෝයි ධර්මරත්නයන්” සහ “ධර්මරත්න සහෝදරයන්” සංගීත කණ්ඩායම සුරිය ලේබලයේ තවත් අතිශය ජනප්‍රිය “වාසිටි කොල්ලෝ” ගීතයද නිකුත් විය.

නො.5, සී වීව් ඇවිනියු, කොළඹ 3 හි වික්‍රමසුරිය නිවසෙහි සතිපතා ශ්‍රවණ පරීක්ෂණයන් පැවැත්වූ අතර තරුණ සංගීතඥයන්ගේ සංගීත දිවියේ අනාගතය තීරණය කෙරෙන තැනක් බවට එය පත්විය. “ජෙරල්ඩ්” විසින් බොහෝ විට “විජය කොරයා” සමගින් ශ්‍රවණ පරීක්ෂණයන් පැවැත්වු අතර සමහර අවස්ථාවලදී “වෛරවනතම්”(සභාපති තන්ඩර්ෆ්ලෑෂ් ප්‍රචාරණ සේවය – සුරිය ලේබලයේ වෙළඳ දැන්වීම් නියෝජිත) මහතාද මේ සඳහා සහභාගී විය.

ප්‍රවීණ සංගීතඥයන් නවකයන් හඳුන්වාදීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කල අතර “ලා බම්බාස්” සංගීත කණ්ඩායමේ “ප්‍රියා පිරිස්” විසින් “පෝල් ප්‍රනාන්දු” ද “මෙල්රෝයි” විසින් සුරිය ලේබලයේ ප්‍රථම ළමා ශිල්පී තම ඥාති දියණියක වන “ශිරෝමි ප්‍රනාන්දු” ද හඳුන්වාදීම සිදු කළ අතර තවත් කලාකරුවන් රැසක් හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ විජය කොරයා මහතාටය.

ඉන් අනතුරුව සිංදුවෙන් සිංදුව ජනප්‍රිය වීමේදී සුරිය ලේබලයේ නවක ශිල්පින් ලාංකීය අඹර දිදුලන තාරකාවන් බවට පත් විය.